ලොව වටා | සිළුමිණ

ලොව වටා

කොරියා දෙරට යළි

‘හලෝ’ කියයි

 

 

දකුණු කොරියාව සමග පොදු දුරකතන සම්බන්ධය යළි ක්‍රියාත්මක කිරීමට උතුරු කොරියාව තීරණය කළ බව පසුගියදා ප්‍රකාශයට පත් කර තිබේ. මේ පොදු දුරකතන සම්බන්ධය දෙරට අතර සැලකිය යුතු කාලයක් තිස්සේ ක්‍රියාත්මක පැවති අතර පසුගිය අගෝස්තු මාසයේදී එම සම්බන්ධයද අක්‍රිය කර දැමීමට උතුරු කොරියාව කටයුතු කරනු ලැබුවේ දකුණු කොරියාව ඇමරිකාව සමග එක්ව යුද අභ්‍යාසයක නිරත වීම හේතුවෙනි. පසුව සැප්තැම්බර් මාසය පුරාවට නව මිසයිල අත්හදා බලමින් එවායේ ප්‍රතිඵල ලෝකයට පෙන්වීමට කටයුතු කළ උතුරු කොරියාව යළිත් දැන් දකුණු කොරියාවට සාමයේ දෑත දිගු කිරීමට කටයුතු කර ඇත්තේ අක්‍රිය කර දැමූ දුරකතන සම්බන්ධය යළි ක්‍රියාත්මක කරමිනි.

 

 

 

ලෝකෙම පැය හයක් අමාරුවේ

 

පසුගිය සඳුදා රාත්‍රියේ මුළු ලෝකයම ආවරණය වන පරිදි ලොව වැඩියෙන්ම භාවිත වන සමාජ ජාලවල බිඳ වැටීමක් වාර්තා විය. ඒ අනුව පැය හයක් පුරා ෆේස්බුක්, වට්ස්ඇප් සහ ඉන්ස්ටර්ග්‍රැම් සමාජ ජාලාවලට පිවිසීමේ අවස්ථාව ජනතාවට හිමිවූයේ නැත. එහෙත් ටිවීටර් සමාජ ජාලය පමණක් ක්‍රියාත්මක විය. එයට හේතු වූයේ ඉහත කී සමාජ ජාලා තුනම ෆේස්බුක් ආයතනය සතු වීමත් බිඳ වැටිම සිදුව තිබුණේ එම ආයතනයේ පද්ධතිය වීමත්ය.

කෙසේ වුවද පැය හයකට පසු යළිත් සමාජ මාධ්‍ය ප්‍රතිස්ථාපනය කළ ෆේස්බුක් ආයතනයේ ඉංජිනේරුවන් පවසා ඇත්තේ ආයතනයේ පද්ධතිවල අධික ධාරිතාව හේතුවෙන් බිඳවැටීම සිදුවූ බව තමන් විසින් සොයා ගත් බවයි. මේ සමාජ මාධ්‍ය ජාලා බිඳවැටී තිබුණු පැය හය ඇතුළත ලොව පුරා ප්‍රදේශ රැසකින් මිලියන 10.6ක දෝෂ වාර්තා කිරීම් තමන් වෙත ලැබුණු බවත් තම ආයතන ඉතිහාසයේ සිදුවූ විශාලතම බිඳ වැටීම මෙය බවත් ෆේස්බුක් ආයතනය පසුව දන්වා තිබිණි.

 

මෙවර නොබෙල් තෑග්ගේ

හිමිකරුවෝ මෙන්න

 

 

2021 වසර සඳහා නොබෙල් ත්‍යාගයට උරුම කියූවන්ගේ නම් පසුගියදා සිට ප්‍රකාශයට පත් කරමින් තිබේ. ඒ අනුව මේ වසරේ රසායන විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය බෙන්ජමින් ලිස්ට් සහ ඩේවිඩ් ඩබ්ලිව්.සී.මැක්මිලන් යන විද්‍යාඥයන් දෙදෙනාට හිමි වී තිබේ. භෞතික විද්‍යාව සඳහා වන ත්‍යාගය සයිකරෝ මනාබේ සහ ක්ලවුස් හැස්ලෙමාන් සහ ජෝර්ජියෝ පාරිස් යන විද්‍යාඥයන් අතර සමසේ බෙදී ගොස් ඇත්තේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම වැළැක්වීමට ඔවුන් දරන ලද උත්සාහය අගය කරමිනි. මෙවර මනෝවිද්‍යාව සහ ඖෂධ සම්බන්ධ ත්‍යාගය හිමිවී ඇත්තේ ඩේවිඩ් ජුලියස් සහ ආර්ඩෙම් පැටපෞෂන් නම් වන විද්‍යාඥයන්ටය. ඒ උෂ්ණත්වය සම්බන්ධයෙන් ඔවුන් සිදු කළ සොයා ගැනීම් හේතුවෙනි.

 

පකිස්තානය හෙල්ලෙයි

 

 

පකිස්තානයේ බලෝචිස්තාන් ප්‍රදේශයට පසුගිය බදාදා දිනයේදී බලපෑ භූමි කම්පාව හේතුවෙන් පුද්ගලයන් තිහකට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා දක්වා තිබේ. මේ භූමිකම්පාව මැග්නිටියුඩ් ඒකක 5.7ක ප්‍රබලත්වයකින් යුක්ත බව ද පසුව සඳහන් විය. කම්පාව හේතුවෙන් එම ප්‍රදේශයේ ගොඩනැගිලි රැසකට හානි සිදුවූ අතර ජනතාව රාත්‍රී කාලයේ සිට නිවාස අහිමිව මාර්ග අසල සිටිනු දැක ගත හැකි විය. පකිස්තානයද ඉන්දියාව මෙන්ම නේපාලයද පසුගිය වසර කිහිපය පුරා අති බිහිසුණූ භූමි කම්පාවලට මුහුණ දුන් අතර ඉතිහාසය පුරා එවැනි ව්‍යසනයකට මුහුණ නොදුන් කලාපයේ එකම රට වන්නේ ශ්‍රී ලංකාවයි.

Comments