
තාක්ෂණය හේතුවෙන් ලෝකයම එකම ගම්මානයක් බවට පත්ව ඇති අද වන් යුගයක කිසිඳු රටකට තනිව පැවතීමට නොහැකිය. ගෝලීය වශයෙන් මෙන්ම විශේෂයෙන්ම කලාපීය වශයෙන් එකිනෙකා සමග සහයෝගයෙන් කටයුතු කිරීම සෑම රටකටම එකසේ වැදගත් වන අතර එහි අවශ්‍යතාව තේරුම් ගන්නා සෑම රටක්ම පාහේ තම අසල්වැසියන් සමග සහයෝගයෙන් කටයුතු කිරීමට පෙලඹෙනු දැක ගත හැකිය. දකුණු ආසියානු කලාපය සැලකීමේදී විශේෂයෙන්ම ඉන්දියාව සමග සහයෝගයෙන් කටයුතු කිරීම සෑම රටකටම වැදගත් වන්නේ ඉන්දියාව යනු කලාපීය ප්‍රබලයා වන බැවිනි.
ශ්‍රී ලංකාව සමග අතීත ඉන්දීය සබඳතා විමසීමේදී සෑම අවස්ථාවකදීම ඉන්දියාව ශ්‍රී ලංකාව සමග සහයෝගයෙන් කටයුතු කළ බව පැහැදිලිය. ශ්‍රී ලංකාව කිසියම් අර්බුදයකට මුහුණ දුන් සෑම අවස්ථාවකදීම ඉන්දියාව තම අසල්වැසියා වෙනුවෙන් ඉදිරිපත්ව ලබා දුන් සහයෝගය ඉතිහාසය පුරා ලියවී ඇත. ඉන්දීය ඇතැම් රාජ්‍ය පාලකයන්ගේ අන්තනෝමතික තීන්දු තීරණ කෙසේ වුවද ඉන්දියාව ශ්‍රී ලංකාවට සැබෑ හිතවත් අසල්වාසියකු වූ බවට නම් තර්කයක් නැත.
පසුගියදා ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්ධන් ශ්‍රිංග්ලාගේ ශ්‍රී ලංකා සංචාරය යෙදුෙණ්ද මෙවන් වූ පසුබිමකය. සිව් දින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි විදේශ ලේකම්වරයා ශ්‍රී ලංකාව සමග ඉන්දියාවේ පවතින හොඳ හිත වැඩි දියුණු කර ගැනීමේ ඉදිරි පියවරක් තැබූ බව පෙනේ. එමෙන්ම ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වෙමින් පවතින ඉන්දීය ආයෝජන සම්බන්ධව වැඩිදුර විමර්ශනය කිරීමද ඔහුගේ සංචාරයේ තවත් අරමුණක් සේ දැකිය හැකිය.
හර්ෂ් වර්ධන් ශ්‍රිංග්ලා ඉන්දීය විදේශ ලේකම් ධූරයට පත් වීමෙන් පසු ශ්‍රී ලංකාවේ සිදු කළ ප්‍රථම සංචාරයද මෙය වේ. එමෙන්ම ධූරයට පත්ව සිදු කළ සංචාරයන් අතරින් ශ්‍රී ලංකාවට වැදගත් ස්ථානයක් ලබා දීම මගින් ඔහු සෑම රටක්ම සෑම විටම පිළිපැදිය යුතු ‘අසල්වැසියාට මුල් තැන‘ නම් වන ප්‍රතිපත්තිය වැදගත් කොට සැලකූ බවද පැහැදිලිය. මේ සියල්ලම පෙන්වා දෙන්නේ ඉන්දියාව තම අසල්වැසියා ලෙස ශ්‍රී ලංකාවට කොතරම් වැදගත් තැනක් ලබා දෙන්නේද යන්නයි.
හර්ෂ් වර්ධන් ශ්‍රිංග්ලා ඉන්දීය විදේශ ලේකම් ධූරයට පත් වූයේ මේ වසරේ ජනවාරි මාසයේදීය. ඔහු ඉන්දියාවේ 33වැනි විදේශ ලේකම්වරයාද වේ. ඔහු ඉන්දීය විදේශ සේවයට එක් වූ පසු ඇමරිකාවේ, බංග්ලාදේශයේ සහ තායිලන්තයේ ඉන්දීය රජයේ නියෝජිතවරයා වශයෙන්ද කටයුතු කර තිබේ. මෙවර ඔහුගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධව ඉන්දීය මාධ්‍ය වැදගත් තැනක් ලබා දුන් අතර එම සංචාරයේ අරමුණු කෙරෙහිද බොහෝ දෙනා සැලකිල්ල දක්වා තිබිණි.
එයට හේතුව වූයේ මේ වන විට ආසියානු කලාපයේ බලවතුන් වශයෙන් චීනය සහ ඉන්දියාව දෙරටම කලාපයේ සෙසු රටවල හොඳ හිත දිනා ගැනීමට කටයුතු කරමින් සිටීමයි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව කෙරෙහි දැන් ලෝකයේ බලවත් රටවල් රැසකම අවධානය යොමු වී ඇති අතර ශ්‍රී ලංකාවේ පිහිටීම අදාළ කර ගනිමින් තම ආර්ථික අරමුණු සාර්ථක කර ගැනීම සම්බන්ධව ලොව බොහෝ රටවල් මේ වන විට උත්සාහ දරමින් සිටින බව පෙනේ.
මෙවර ස්වකීය විදේශ ලේකම්වරයාගේ සංචාරයේ අරමුණ ලෙස ඉන්දීය මාධ්‍ය ප්‍රකාශ කර තිබූ අන්දමට ශ්‍රී ලංකාව සමග ද්වීපාර්ශ්වික සබඳතා වර්ධනය, ද්වීපාර්ශ්වික ව්‍යාපෘතිවල ප්‍රගතිය විමසීම මෙන්ම කොවිඩ් රෝගය ආශ්‍රිතව ඇති විය හැකි සමාජ, ආර්ථික බාධාවන් ජය ගැනිමට ලබා දිය හැකි සෞඛ්‍ය මෙන්ම කලාපීය සහයෝගීතාව කෙරෙහි අවධානය යොමු කිරීමද ප්‍රධාන වේ. ලේකම්වරයාගේ සංචාරය පසුවිපරම් කිරීමෙන් පසු සැලකිය හැකි වන්නේ ඉහතකී කරුණු අතරින් ද්වීපාර්ශ්වික ව්‍යාපෘතිවල ප්‍රගතිය විමසීම කෙරෙහි ලේකම්වරයා වැඩි ඉඩක් ලබා දී කටයුතු කළ බවයි.
සිව් දින නිල සංචාරයේදී විදේශ ලේකම්වරයා ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂයන් ඇතුළු අමාත්‍යවරුන් කිහිප දෙනෙකු සමගම සාකච්ඡා පැවැත්වූ අතර ඉන්දීය සමාගම් යටතේ ව්‍යපෘති ක්‍රියාත්මක වන ප්‍රදේශවල සංචාරයේද නිරත වූයේය. ඒ යටතේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි විමර්ශන සඳහා සිදු කළ සංචාරය වැදගත් තැනක් ගනී.
ත්‍රිකුණාමලය තෙල් ටැංකි එම ප්‍රදේශයේ ඉදි වන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය පාලන සමයේදීය. එවකට ත්‍රිකුණාමල වරාය ඉන්දීය සාගරයේ ඉතා වැදගත් නෞකා නැවතුම්පොළක් වූ අතර යුදමය වශයෙන් වැදගත් සන්ධිස්ථානයක්ද විය. එහිලා නෞකාවලට සැපයුම් දීම අරමුණු කර ගනිමින් තෙල් ගබඩා කිරීම වෙනුවෙන් ඉදි කෙරුණු තෙල් ටැංකි සියයක දැවැන්ත ගබඩා පරිශ්‍රයක් ත්‍රිකුණාමල වරාය ආශ්‍රිතව පවතී. ජර්මනියට එරෙහිව ක්‍රියාත්මක වූ මිත්‍ර හමුදා විශේෂයෙන්ම ජපානය පරාජය කිරීමේදී ත්‍රිකුණාමල වරාය ඉතා වැදගත් කොට සැලකූ අතර ජපානය තෙක් හමුදා මෙහෙයවීමේදී මිත්‍ර හමුදාවලට සැපයුම් ලබා දුන් මර්මස්ථානයක් වූයේ ත්‍රිකුණාමල වරායයි. ජපානය ශ්‍රි ලංකාවට බෝම්බ හෙළිමටද ප්‍රධාන හේතුවක් වූයේ ද මෙලෙස ජපානය දක්වා මුහුදු කලාපය ආක්‍රමණය කිරීමේදී මිත්‍ර හමුදාවලට ශ්‍රී ලංකාවෙන් ලැබුණු සැපයුම් සහයයි. ත්‍රිකුණාමල වරායේ තෙල් ටැංකි ඉදි වූයේ නෞකා සඳහා සැපයුම් ලබා දීම වූ අතර යුද්ධය අවසන් වීමෙන් පසු මේ අතිවිශාල ඉන්ධන ගබඩාවන්ගෙන් ප්‍රයෝජනයක් නොමැති විය.
එතැන් සිට ඉතා දිගු කාලයක් තිස්සේ මේ අති විශාල තෙල් ටැංකිවලින් කිසිඳු ප්‍රයෝජනයක් නොගන්නේ සැබවින්ම ශ්‍රී ලංකාවේ ඉන්ධන ධාරිතාව සඳහා එතරම් අති විශාල ගබඩා ඉඩකඩ කිසිසේත්ම අවශ්‍ය නොවන බැවිනි. එමෙන්ම දෙවැනි ලෝක යුද්ධය අවසන් වීමෙන් පසුව මේ තෙල් ටැංකිවල අවශ්‍යතාවක් අධිරාජ්‍යාවාදීන්ට ද නොවීය. එහෙත් මේ තෙල් ටැංකිවල වැදගත්කම නිසි ලෙස වටහාගෙන සිටි ඉන්දියාව අදින් වසර විස්සකට පමණ ඉහත සිට ඒ සම්බන්ධව අවධානය යොමු කළ අතර අවස්ථානුකූලව ගිවිසුම්ගත වෙමින් ඒවායේ නීතිමය හිමිකාරීත්වයද ලබා ගැනීමට කටයුතු කර තිබිණි. එම ගිවිසුම් යාවත්කාලීන කිරීම සහ ඒවායේ ක්‍රියාකාරීත්වය විමසීම යටතේ මෙවර ඉන්දීය විදේශ ලේකම්වරයා දැනට ඉන්දීය ඔයිල් සමාගම මගින් භාවිතයට ගන්නා තෙල් ටැංකි සහිත ප්‍රදේශවල සංචාරයේ නිරත වූ අතර එහි ක්‍රියාත්මක වන කටයුතුවල ප්‍රගතිය සම්බන්ධවද විමර්ශනය කර සිටියේය.
මීට අමතරව ඉන්දීය රජයේ මුදල් ආයෝජන යටතේ යාපනය ප්‍රදේශයේ සිදු කෙරෙන ද්වීපාර්ශ්වික ව්‍යපෘතිවල ප්‍රගතිය විමසා බැලීමද ලේකම්වරයාගේ සංචාරයේ තවත් අරමුණක් විය. මීට අමතරව ඉන්දීය රජයේ ආධාර මුදලින් වතු කම්කරුවන් වෙනුවෙන් දැනට කෙරෙමින් පවතින පහසුකම් සැපයීම්වල ප්‍රගතිය විමසා බැලීමටද විදේශ ලේකම්වරයා කටයුතු කළ අතර දින හතරක සංචාරය තුළ ශ්‍රී ලංකාව සමග තවත් බොහෝ වැදගත් ගිවිසුම් රැසකට එළඹීමේ ඉඩකඩ මතු කර ගනිමින් ද්වීපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට අඩිතාලම දැමීමට ඉන්දීය විදේශ ලේකම්වරයාට හැකියාව ලැබුණු බව ඉන්දීය මාධ්‍ය විශේෂයෙන් සඳහන් කර තිබිණි.
මීට අමතරව පසුගිය ජනවාරි මාසයේදී ඉන්දීය විදේශ අමාත්‍යවරයාද ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූයේය.