ලොව වටා | සිළුමිණ

ලොව වටා

දොර ළඟටම ලාවා

පසුගියදා කැනරි දූපතේ පුපුරා ගිය ගිනි කන්දෙන් ගලා ගිය ලාවා ධාරාව දින කිහිපයක් පුරා ගොඩබිම ඔස්සේ ගලා යමින් මේ වන විට මුහුද ආසන්නයට පැමිණ ඇතැයි වාර්තා වේ. මේ ලාවා දහරාව ගලා ගිය මඟේ පැවති නිවාස, ගොඩනැගිලි ආදිය සියල්ලම විනාශ වී ගොස් ඇති අතර ගිනි කන්ද පුපුරා යෑමත් සමඟම එම ප්‍රදේශය ජන ශූන්‍ය කිරීමට බලධාරින් කටයුතු කර තිබේ. මේ අතර අධික උෂ්ණත්වයකින් යුතු ලාවා මුහුදු ජලය සමඟ ගැටීමෙන් මිනිසාට අහිතකර වායූන් නිර්මාණය විය හැකි බවත්, ඒවා අවට රටවල ජනතාවට බලපෑම් කළ හැකි වලාකුළු බවට පත් විමට ඉඩ ඇති බවත් විශේෂඥයන් මත පළ කර තිබේ.

 

ආයෙත් බින්දුවට යන්නෑ

ලොව හොඳින්ම කොවිඩ් පාලනය කළ රට බවට පත්ව සිටි නවසීලන්තය පසුගියදා එරට තුළ ඩෙල්ටා ප්‍රබේදය පැතිර යෑමත් සමඟ සංචරණ සීමා පනවා ජනතාව ආරක්ෂා කර ගැනීමට කටයුතු යෙදීය. එහෙත් එරට බලධාරින් දැන් පවසා ඇත්තේ නවසීලන්තය තවදුරටත් කොවිඩ් රෝගීන් නොමැති රටක් ලෙස කිසිදිනක ප්‍රකාශ කළ නොහැකි බවයි. ඒ අනුව ඔනෑම අවස්ථාවක කොවිඩ් රෝගීන් වාර්තා විය හැකි බව නවසීලන්ත බලධාරින් පෙන්වා දෙන අතර තත්ත්වය පාලනය කර ගැනීමට ඉතා කැපවීමෙන් කටයුතු කළ යුතු බවද ජනතාවගෙන් ඉල්ලා සිටිති. පසුගිය වසරේ සිදුවූ කොවිඩ් පැතිර යෑම නවසීලන්තය මැනවින් පාලනය කළ අතර මාස ගණනාවක්ම එකද රෝගියකු හෝ වාර්තා නොවූ එකම රට ලෙසින්ද වාර්තාවක් තැබීය.

 

සිරියාවේ කොරෝනා බරපතළයි

සිරියාවේ ගැටුම් පවතින ප්‍රදේශවල මේ වන විට ඉතාදරුණු ලෙස කොවිඩ් වයිරසය පැතිර යමින් පවතින බව වාර්තා වේ. ඒ අනුව සිරියාවේ ඉලිබ් ප්‍රදේශයේ පමණක් පමණක් මේ වන විටි වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ලක්ෂ හතර ඉක්මවා ඇති අතර වාර්තා ‌නොවූ රෝගීන්ද තවත් විශාල ප්‍රමාණයක් සිටිය හැකි බවද පැවසේ. ගැටුම් හේතුවෙන් සිරියාවේ බොහෝ ප්‍රදේශවල ගොඩනැගිලි මෙන්ම රෝහල්ද විනාශ වී ඇති බැවින් රෝගීන්ට නිසි පරිදි ප්‍රතිකාර ලබා දීමටද බොහෝ අපහසුතා උද්ගත වී ඇතැයි වාර්තා වේ. එමෙන්ම සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලද දැඩි හිඟයක් පවතින අතර ගැටුම් හේතුවෙන් ඇතැම් ප්‍රදේශවලට සෞඛ්‍ය පහසුකම් සැපයිමද ගැටලුවක් වී තිබේ.

 

 

මෙල්බර්න් හෙල්ලෙයි

පසුගිය බදාදා උදෑසන දකුණු ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයට ආසන්නයේ සිදුවූ භූමි කම්පාවක් හේතුවෙන් මෙල්බර්න් නගරයදට හානි සිදුවිය. මේ භූමිකම්පාව මැග්නිටියුඩ් 5.3ක් වශයෙන් වාර්තා වී තිබිණි. දහවල් වන විට වාර්තා වී තිබූ පරිදි මේ භූමිකම්පාවේ අපිකේන්ද්‍රය ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ දකුණු ප්‍රදේශයේ මෑන්ස්ෆීල්ඩ් ප්‍රදේශය ආසන්නයේ පිහිටා තිබිණි. ඒ අනුව භූමි කම්පාව මේල්බර්න් නගරයට ඉතාමත් ආසන්නයේ සිදුවී සේ සැලකිය හැකි අතර නගරයේ ගොඩනැගිලි රාහියක්ද හානියට පත් වී තිබිණි.

භුමි කම්පාවේ ප්‍රබලත්වය කොරතම් වීද යත් එය එහි අපිකේන්ද්‍රයේ සිට කිලෝමීටර් 800ක් දුරින් පිහිටා තිබූ ඇඩිලේඩ් නගරයටත්, කිලෝමීටර් 900ක් දුරින් පිහිටා තිබූ සිඩ්නි නගරයටත් දැනුණු බව මාධ්‍ය වාර්තාවල සඳහන් විය.

 

සොලෙන්ස්කිගේ රථයට වෙඩි

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි භාවිත කරන මෝටර් රථයකට පසුගිය බදාදා කිසියම් පිරිසක් විසින්වෙඩි තබා තිබේ. ආරක්ෂක අංශ ප්‍රකාශ කර තිබුණේ මෝටර් රථයේ තිබී උණ්ඩ 10ක් සොයා ගත් බවයි. රියදුරාට කිසිඳු තුවාලයක් සිදු වී නොමැති බවයි. කෙසේ වුවද මේ රියැදුරා ජනාධිපති සොලෙන්ස්කිගේ බොහෝ සමීප හිතවතකු බවත් ජනාධිපතිවරයා මේ රථයේ සිටින බව අනුමාන කරමින් හෝ ජනාධිපතිවරයාට තර්ජනය කරමින් මේ වෙඩි පහර එල්ල කරන්නට ඇති බවත් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ. ඇතැම් මාධ්‍ය වාර්තාවල දක්නට ලැබුණේ මේ ප්‍රහාරය රුසියාවේ අනුදැනුම මත සිදුවන්නට ඇති බවයි.

Comments