කණපිට හැරෙන ඇෆ්ගනිස්තානය | සිළුමිණ

කණපිට හැරෙන ඇෆ්ගනිස්තානය

පසුගිය අගෝස්තු මාසය අවසන් වනවාත් සමඟම ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලනය ස්ථාපිත විය. එය හදිසියේ වූවක් නොව දින සති මාස නියම කර නියමිත කාලයට සිදුවූවක් සේ පැවසිය හැකිය. ඒ මන්ද යත් පසුගිය මැයි මාසයේ සිට තම හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කර ගන්නා බව ඇමරිකාව පැවසූ අතර ඇෆ්ගන් රජයට රජයේ හමුදා ශක්තිමත් කර ගැනීමට කිසිදු ඉඩක් නොතියාම තලේබාන්වරු එරට බලය අල්ලා ගත්හ. එබැවින් අවසානයේ ජනාධිපතිවරයාට රටින් පලා යෑමට සිදුවූ අතර තලේබාන්වරු ඇෆ්ගනිස්තානයේ පාලනය සියතට ගත්හ.

 

දැන් මුළු ලොවම ඔවුන් දෙස බලා සිටින්නේ ඔවුන්ගේ පාලනය කෙසේ වනු ඇත්ද දැනගැනීමේ මහත් කුතුහලයෙන් යුක්තවය. මීට වසර විස්සකට පෙර ඇමරිකාව ඇෆ්ගනිස්තානයට හමුදා මෙහෙයවීමට පෙර ඇෆ්ගනිස්තානය පාලනය කළ තලේබාන්වරු ප්‍රසිද්ධව සිටියේ රටේ අන්තවාදී ආගමික අදහස් මත ස්ථාපිත කළ පාලනයක් ක්‍රියාත්මක කරන අන්තනොමතික පාලකයක් පිරිසක් වශයෙනි. ඒ සඳහා උදාහරණ රාශියක් විය. ඇෆ්ගන් කාන්තාවන්ගේ නිදහස අතිශයින් සීමා කිරීම, ඔවුන්ගේ අධ්‍යාපනය ලැබීමේ අයිතිය අහෝසි කිරීම මෙන්ම අනෙකුත් ආගම්වටල රට තුළ කිසිඳු ඉඩක් නොතිබීමේ නිති කොන්දේසි යටතේ ලෝක උරුමයක් ලෙසින් පිළිගැණුනු බාමියාන් බුදු පිළිම විනාශ කර දැමීම ඒ සඳහා උදාහරණ කිහිපයක් පමණි. තවත් බොහෝ උදාහරණ විය.

 

දැන් යළිත් වතාවක් තලේබාන්වරුන් අතට ඇෆ්ගනිස්තානය පත්වී ඇති අතර මෙවර ඔවුන් බලය අල්ලා ගනිද්දීම පවසා සිටියේ තමන් ජනතාවට නිදහස ලබා දෙන බවත්, එය මුස්ලිම් ආගමික නීතිවලට අදාළව ක්‍රියාත්මක වනු ඇති බවත්ය. එම ප්‍රකාශයම හාස්‍ය ජනක ලෙස බොහෝ දෙනා විචාරයට ලක් කළහ. වරක් තලේබාන් නායකයකු පවසා සිටියේ තමා පාලන තන්ත්‍රයට කාන්තාවන්ද එක් කර ගන්නා බවයි. දැන් ඇෆ්ගනිස්තානය තුළ තලේබාන් පාලනය ක්‍රමිකව ස්ථාපිත වෙමින් පවතින අතර පෙනී යන්නේ ආරම්භයේදී පැවසූ මානව හිතවාදී අදහස් ක්‍රමයෙන් ඔවුන්ගෙන බැහැරවෙමින් පවතින බවයි.

 

පාලනයට කාන්තාවන්ද සහභාගී කර ගන්නා බව පැවසුවද මේ වන විට පෙනී ගොස් තිබෙන්නේ අඩුම තරමින් අධ්‍යාපනය ලැබීමේ අයිතිය පවා කාන්තාවන්ට අහිමිව ගොස් ඇති බවයි. පසුගිය 18වැනි සෙනසුරාදා සිට ඇෆ්ගනිස්තානයේ පාසල් ආරම්භ වූ අතර එම පාසල් පිරිමි දරුවන් සඳහා පමණක් විය. පාසල් සඳහා සහභාගී වීමේ නිවේදන පිරිමි දරුවන් සඳහා පමණක් වූ අතර ගැහැනු දරුවන් පිළිබඳව සඳහනක් රජය නිකුත් කළ නිවේදනයේ නොවීය. එහෙත් මේ වන විටත් දැනගන්නට ලැබී ඇත්තේ කාබුල් හි පාසල් බොහොමයක් වසා දමා ඇති බවය. රටේ ආර්ථිකය ස්ථාවර කර ගැනීමෙන් පසු ජනතාවගේ සාමාන්‍ය ජීවිතය ස්ථාපිත කරන බවට රජය පවසා තිබුණද එසේ වීම තවත් බොහෝ දුර බව පෙනෙන්නට තිබේ. කාන්තාවන්ගේ අධ්‍යාපනය පිළිබඳව එසේ වන විට තවත් කාන්තා අයිතීන් පිළිබඳව පැවසීමට ඇත්තේ කුමක්දැයි පැනයක් නැගෙන්නේ නිරායාසයෙන්ය. ඒ බව තහවුරු කරමින් ඇෆ්ගනිස්තානයේ රූපලාවණ්‍යාගාර පවත්වාගෙන යන පිරිස තමන්ගෙ අනාගතය පිළිබඳව සැක පහළ කර තිබේ. ඉදිරියේදී කාන්තාවන්ගේ රූපලාවණ්‍ය කටයුතු එරට තුළ තහනම් කිරීමට වැඩි ඉඩක් පවතින බව පෙනී ගොස් තිබේ.

 

මේ අතර තලේබාන් රජය බලයට පත් වීමත් සමඟ ඇෆ්ගනිස්තානය තුළ ක්‍රියාත්මක ජනමාධ්‍යවලටද ලබා ඇත්තේ අයහපත් කාලයක් බව පෙනේ. ක්‍රමයෙන් ඇමරිකානු හමුදා ඉවත් වීම ආරම්භ වීමත් සමඟ තම අනාගතය යහපත් නොවන බව වටහා ගත් ඇතැම් මාධ්‍ය ආයතන ඇෆ්ගන් යුද්ධය පැවති කාලයේ සිටම රට තුළ පවත්වාගෙන යමින් තිබූ තම කාර්යාල වසා දැමීමට කටයුතු කළහ. විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දී ඇත්තේ තලේබාන් පාලනය ස්ථාපිත වීමෙන් පසු මේ දක්වා එලෙස මාධ්‍ය ආයතන 150ක් පමණ වසා දැමීමට කටයුතු කර ඇති බවයි. මෙලෙස වසා දැමූ මාධ්‍ය ආයතන අතර රූපවාහිනී නාළිකා, ගුවන් විදුලි නාළිකා මෙන්ම පුවත් පත්ද වේ. එමෙන්ම තවදුරටත් රට තුළ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ක්‍රියාත්මක නොවන බවටද තොරතුරු ලැබෙමින් තිබේ.

 

මෙලෙස මාධ්‍ය ආයතන වසා දැමීමට නව රජයේ නීති රීති මෙන්ම රට තුළ උද්ගතව ඇති ආර්ථික ආර්බුදයද හේතු වී ඇතැයි පැවසේ. තත්ත්වය මෙසේ වුවහොත් තවදුරටත් මාධ්‍ය ආයතන තම ශාඛා වසා දැමීමට කටයුතු කරනු ඇතැයි විචාරකයන්ගේ මතය වී තිබේ.

 

කෙසේ වුවද මේ වන විට තලේබාන් සංවිධානය විසින් නව රජයක් ස්ථාපිත කර ඇති අතර නව කැබිනට් මණ්ඩලයක්ද පත් කර තිබේ. එම කැබිනට් මණ්ඩලයට ඇමරිකාවේ එෆ්බී අයි සංවිධානයේ ‘අත්‍යවශ්‍ය’ ලෙස නම් කර ඇති පුද්ගලයන් රැසක්ද අයත් වන බව විදෙස් මාධ්‍ය දක්වා තිබේ. ඇමරිකාවට එරෙහිව යුද වැදි පාර්ශ්වයක් ලෙස තලේබාන් සංවිධානයේ නායකයන් ඇමරිකාවට අත්‍යවශ්‍ය පුද්ගලයන් වීම අසාමාන්‍ය කරුනක් නොවන බවද පැවසිය යුතුය. කෙසේ වුවද ඇෆ්ගන් නව රජය තොරතුරු සහ සංස්කෘතිය වෙනුවෙන්ද, දේශසීමා කටයුතු වෙනුවෙන්ද කැබිනට් ඇමතිවරු පත් කිරීමට කටයුතු කර තිබීම වෙන් කොට දැක්විය යුතුය.

මේ වන විට ප්‍රකාශයට පත් කර ඇති මුල්ලා මොහොමඩ් හසන් අකාන්ඩ්ගේ නායකත්වයෙන් යුක්ත රජය තාවකාලික රජයක් බවද ජනතාවට නිවේදනය කර තිබේ.

 

මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසා ඇත්තේ ඇෆ්ගනිස්තානයට වහාම මානුෂීය අධාර ලබා දීම අත්‍යවශ්‍යව පවතින බවයි. ආර්ථික අර්බුදය අතරම කොවිඩ් වසංගතයද පැතිර යෑම හේතුවෙන් මෙන්ම රාජ්‍ය පාලනය අර්බුදකාරී ලෙස මාරුවීම නිසාද මේ වන විට ඇෆ්ගන් ජනතාව ඉතා කනගාටුදායක අවස්ථාවක් පසු කරමින් සිටිති. එබැවින් ඇෆ්ගනිස්තානයට ආධාර ලබා දීමට කටයුතු කළ යුතු බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ අදහස වී තිබේ.

කෙසේ වුවද මේ වන විට නව රජයේ යම් යම් තීරණවලට එරෙහිව ජනතා විරෝධතා මතුවෙමින් පවතින බවද දක්නට ලැබේ. ඇතැම් ස්ථානවල අධ්‍යාපන අයිතිය වෙනුවෙන් මෙන්ම පාලන තන්ත්‍රයට සහභාගී වීමේ අයිතිය වෙනුවෙන්ද කාන්තාවන් විරෝධතා පැවැත්වූ බවට වාර්තා ලැබෙමින් පවතින අතර එම විරෝධතා මර්දනය කිරීමට කටයුතු කළ බවට වාර්තා ලැබී නැත. ඒ වෙනුවට තලේබාන් සංවිධානය පසුගිය ඉරිදා එනම් 19වැනිදා නිවේදනයක් මගින් පවසා සිටියේ එදින සිට කාන්තාවන්ට ගුරුවරියන් ලෙස හෝ සේවය කිරීමේ හැකියාව නොමැති බවත්, ද්විතිය පාසල් සඳහා සහභාගි වීමේ අවස්ථාව කාන්තාවන්ට එනම් දැරියන්ට නොලැබෙනු ඇති බවත්ය.

 

මේ නිවේදනය පැහැදිලිව පවසා සිටින්නේ හොඳ හොඳ සෙල්ලම් එළි වන ජාමයට බවයි. දැන් බලය ලබාගෙන මාසයක් ඉක්ම යැමට පෙර ඔවුන්ගේ නීති මෙසේ නම් ගුවන් යානාවල එල්ලී රටෙන් පලා ගිය ජනතාව වාසනාවන් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

 

Comments