
වදන්වලින් වඩාත් හරඹ කරන්නෝ කවියෝ ය. කවියෝ එක් වදනක වදන් කෝෂයක් හංගති. ඒබැවින් ම කවියක කාව්‍ය සංවේදනා ජනිත කරන බස කුමක්දැයි කෙනෙක් ඇසුවොත් එය විස්තර කිරීම පහසු වන්නේ නැත. වචන බොහෝවිට අපේ පෞද්ගලික අත්දැකීම් හා බැඳුණු ඒවා වෙයි. එය සූක්ෂ්ම හා අලංකාර ලෙස භාවිත කරන නිර්මාණකරුවා ඒ වදන් අනුසාරයෙන් අප වෙත නව ලොවක් තිළිණ කරයි.
සාමාන්‍යයෙන් පොදු ජනතාව අතර තිබෙන; විශේෂයෙන් ග්‍රාමීය ජනතාව අතර භාවිත බස කාව්‍යමය ආලේපයක් සහිත බසකි. ඒ භාෂාවේ සුලලිත බව හසුවන්නේ පොදු ජනයා අතර ඉඳමින් ඔවුන් හා ඔවුන්ගේ කෙනකු ලෙස ජීවත්වන්නකුට ය. ධීවරයන්, කම්කරුවන්, පතල් කරුවන් මේ මහ පොළොවේ මිහිකත හා සටන් කරන ඕනෑම කෙනෙක් ළඟ ලස්සන වදන් මාලාවක් තිබේ. ජීවත්වීමෙන්, මිනිසුන් ඇසුරු කිරීමෙන් මම දැනගත් තවත් රහසක් ඔබට කියන්නෙමි. පැසුණු හැම මිනිසකු ළඟම රන් හා සමාන වාක්කෝෂයක් තිබේ. එය හරියට මිය යන මොහොතේ පවා මහපොළොව සරු කරන්නට තම පත්‍ර දානය කරන ගසක් සේ ය. ඔවුහු ජීවිතය ගැන බොහෝ දේ දන්නෝ වෙති. එවන් බොහෝ දේ ඇසුරු කිරීමෙන් හා සොයා යෑමෙන් දත් අපූර්ව ලේඛකයකුගේ නිර්මාණ අත්දැකීම් මෙවර නිමැවුමක පෙරනිමිති ලිපියට ගොනු කරන්නෙමි.
ලේඛකයා පියදාස වැලිකන්නගේ ය. මාතලේ දිස්ත්‍රික්කයේ හිඳිමින් අගනුවරින් බොහෝ ඈතට වන්නට ජීවත් වෙමින් විවේක සුවයෙන් හා නිරවුල් මනසින් එතුමා නිර්මාණකරණයේ ව්‍යාවෘත ව සිටින්නේ දශක පහක පමණ සිට ය. 1985 දී‘ සුදු සෙවණැලි‘ මේ අපූර්ව ලේඛකයා අතින් ලියැවුණු විශිෂ්ටතම නවකතාවකි. මා පෙර කී සේම ප්‍රාදේශික ජනවහර භාවිතයේ ලා එතුමන් දැක්වූ පරිචය එකී නවකතාව පුරාම විහිදෙන්නේ ය. ලේඛකයකුගේ ලොකු ම අවිය භාෂාව බැව් කියන්නට ආදේශක අවැසි නොවන තරමට එය එකී කෘතියෙන් විද්‍යාමාන ය.
1966 දී ගුරු විභාගයෙන් සමත්වන පියදාස වැලිකන්නගේ, තම වෘත්තීය ජීවිතය අරඹන ලද්දේ අම්පාර මාවින්න විදුහලේ ගුරුවරයෙකු ලෙසිනි. පසුව ඉඟිනියාගල විදුහලටත් ඉන් අනතුරුව විදුහල් ගණනාවකටත් මාරුවීම් ලද මෙතුමා, මාතලේ දිස්ත්‍රික්කයට පැමිණෙන්නේ වන්නි දිස්ත්‍රික්කයේ සිටය. තම වෘත්තීය ජීවිතය මෙන්ම පෞද්ගලික ජීවිතය මාතලේ දිස්ත්‍රික්කය තුළ ස්ථාපිත කර ගත් වැලිකන්නයෝ ගම් නියම්ගම් හි සරමින් දරුවන්ගේ නැණැස පාදන්නට කළ මෙහෙය අමරණීය හ. 1986 නිර්මිත රාජ්‍ය සම්මානලාභී නවකතාව වන සුදු සෙවණැලි අත්දැකීම ගැන වැලිකන්නයන් සිය මතකය අවදි කළේ මෙසේ ය.
‘කාලයක් මම ශ්‍රී ලංකා ජාතික ගුරු සංගමයේ මාතලේ දිස්ත්‍රික් ලේකම් වශයෙන් හිටියා. ඒකාලේ මට සිද්ධ වුණා දිස්ත්‍රික්කෙ බොහෝ පාසල්වලට ගුරු සහෝදරවරුන් හමු වෙන්න යන්න. එක දවසක් මම ගියා දඹුලු ආසනයේ කළුන්දෑව කියලා ඉස්කෝලෙකට. හැබැයි අද වගේ නෙවෙයි එදා කළුන්දෑවට යන පාර තිබුණෙ කැලය මැදින් දිවුණු ගුරු පාරක් විදියට. ඒ ගුරු පාරේ පයින් යන්න අමාරුයි; බයිසිකලයකින් තමයි යන්න ඕන. මොකද අලි කොයි වෙලාවෙ කොහොම මතු වෙයිද දන්නෙ නෑ. ඒ පාසලේ විදුහල්පතිතුමා මාව බයිසිකලේ තියාගෙන පාසලට අරන් යන්න ඇවිත් හිටියා. මම ඒකෙ නැඟල ඉස්කෝලෙට ගිහින් ටිකක් වෙලා කතා කර කර ඉන්න කොට මම දැක්කා වටපිට මිනිස්සු ඉස්කෝලෙට එනවා. මට මේ ගැන ඇහුවා. එතකොට විදුහල්පතිතුමා කිව්වා ආගන්තුකයෙක් පාසලට ආවම එයාගෙ දුක සැප හොයලා බලන්න ඉස්කෝලෙට එනවා කියලා. ඔයා අමුත්තෙක් නිසයි ඒ අය ඇවිත් ඉන්නෙ ඒ අයගෙන් යම්කිසි දෙයක් වෙන්න තියෙනවද කියලා බලන්න කියලා මට ලොකු මහත්තයා කිව්වා. මම ඒ අයත් එක්ක කතා කළා. මේ අයගේ භාෂාව හරි වෙනස්. මට නුහුරු වචන ගොඩක් ඒ අය පාවිච්චි කළා. පස්සෙ මම මගේ යහළු විදුහල්පතිතුමාගෙන් කොළයක් ඉල්ලා ගෙන මේ වචන ලියා ගත්තා. දෙතුන් දවසක් ම ඒ අයට නොදැනෙන්න මම මේ දේ කළා. මේක නවකතාවකට ගන්න හොඳයි කියලා මට හිතුණා. හැබැයි ඒ නවකතාව මේ යුගයේ නවකතාවක් වෙන්න බෑ. ඒ නිසා 1848 මාතලේ පටන් ගත්ත කැරැල්ල සමයේ කතාවක් ලෙස ඒ වචන යොදලා කතාව ලිව්වා. හැබෑවටම සුදු සෙවණැලි අගය වැඩි වෙන්න ඒ් වාක්මාලාව බලපෑවා. වර්තමානයට යම් යම් දේ ගළපන්න මට ඒ අනුව හැකි වුණා. මහාචාර්ය සරච්චන්ද්‍රයනුත් මෙහි භාෂාව ගැන අගය කළා‘
භාෂා ව්‍යවහාරයේදී අප වඩාත් සැලකිලිමත් විය යුතු දෙයක් වන්නේ එහි නිරවද්‍යතාව හා තැනට සුදුසු ලෙස වදන් භාවිතයයි. අප බොහෝ දේ ඇසුරු කිරීමෙන් ලබන භාෂා පරිඥානය සෑම තැනකට ම යෙදීම සුදුසු නැත. භාෂා ව්‍යවහාර කිහිපයක් ම පවතින අපේ භාෂාව උප භාෂාවලින් සමලංකෘත ය. ඒ උපභාෂා භාවිතයේදී අනෙකාට එය කෙතරම් තේරෙන්නේ ද යන්න ගැන නිර්මාණකරණයේදී පරිස්සම් විය යුතුය. කියන්නාට, අසන්නාට ඒවා අමිහිරි වුවහොත් ඔබේ නිර්මාණය ප්‍රතික්ෂේප වීමට ඉඩ ඇත. පරිස්සමින් භාවිත බස නිසා අලංකෘත වූ සුදු සෙවණැලි වසරේ විශිෂ්ටතම නවකතාව ලෙස රාජ්‍ය සම්මාන බුහුමන ලබන්නේ ඒ නිසා ය. ඔහු අතින් 1985 දී නිර්මාණය වූ "පුන්සඳවන් පුතු" යොවුන් නවකතාව ද රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමිකර ගත්තේ ය. මේ එහි අත්දැකීම පිළිබඳ මතකයයි.
‘මගේ පළමු ගුරු පත්වීම හම්බු වුණේ මඩකලපුව දිස්ත්‍රික්කයටයි. ඒ කාලෙ ඒ කියන්නේ 1957 අම්පාර කියලා දිස්ත්‍රික්කයක් තිබුණෙ නෑ. එය දැඩි රශ්මිය සහිත දුෂ්කර පාසලක්. එහේ ඉදලා මම මාරු වෙලා ගියේ ගිනිගත්හේන පැත්තේ ඉස්කෝලෙකට. පරිසර වෙනසක්; ළමයිත් වෙනස්. ඒ ළමයින්ගේ චරිත තමයි මම මේ පොතට ගොනු කළේ. මේ දරුවන් එක ම පන්තිවල එක ම විදිය වුණාට පළාතෙන් පළාත යම් යම් වෙනස්කම් තිබුණා. මම මේව දිහා බලන් හිටියා; නිරායාසයෙන් අධ්‍යයනය කළා. ඒ දරුවන්ගේ චර්යාවන් තමයි මේ නිර්මාණය ලියන්න මට බලපෑම් කළේ‘
නිර්මාණකරුවන් ස්වකීය වටපිටාවෙන්, ඇසුරු කරන දෙයින් ලබන අත්දැකීම් තව බොහෝ දෙනකුගේ ඥානණය පිණිස ලියා තබන්නේ ය. පියදාස වැලිකන්නගේ නම් පරපුරක් ඥානණය කළ ගුරුවරයා ස්වකීය අත්දැකීම් ලියා තබන්නේ ඉදිරි පරම්පරාව දැනුම්වත් කිරීමේ වගකීමෙනි.
පියදාසයන්ගේ බෙහෙවින් කතාබහට ලක් වූ කෙටිකතාවක් වූයේ 1994 පළ වූ ශිවාගෙන් ලියුමක් නම් කෙටිකතාවයි. මේ කෙටිකතාවක් ලියන්නට තරම් සිය හද සසල කළ අත්දැකීම ගැන වැලිකන්නයන් දැක්වූ අදහසයි.
‘මේක මගේ හිතේ තදින් ම වැඩ කළ සිද්ධියක්. මාත් එක්ක වැඩ කළා දමිළ ගුරුවරයෙක්. භීෂණ කාලේ ඔහු යාපනයට ගියා. එයා යාපනයට ගියාට පස්සෙ අපි මුණගැහුණෙ නෑ. අපි එකට එකතු වෙලා විවිධ වැඩකටයුතු කළ අය. කාලයක් ගියාට පස්සෙ එයා මට ලියුමක් එව්වා. එහි කියලා තිබුණා, අපි මේ ජීවිතය කොහොමද ගත කළේ, අපි ජීවිතය කැප කළේ එක රටක්, එක දැයක් වෙනුවෙන් නේද? ඒ වුණාට දැන් මොකද වෙලා තියෙන්නෙ. එතන තියෙනවා වෙන ම කතාවක්. එයාට දරුවො හිටියෙ නෑ. පස්සෙ අපි තමයි එයාට දරුවෙක් හොයලා දුන්නෙ. ඒ දරුවා සිංහල දරුවෙක්. ඉපදිලා මාස හය හතකින් තමයි ඔහු ඒ දරුවා හදාගන්න ගත්තෙ. දැන් ඒ දරුවා ලොකු මහත් වෙලා. එයා ඒ ලියුමෙ කියනවා ‘බලන්න වැලි.... මම හදාගත්ත ඒ දරුවත් එල්ටීටීඊ එකට ගිහින්‘ කියලා. මට ඉවසන්න බැරි ව දවසක් මම ඒ දරුවට කිව්වා උඹ උඹේ මිනිසුන්ව මරන්න නේද මේ හදන්නෙ කියලා. එහෙම කිව්වම ‘මගේ මිනිස්සු, මොකද්ද ඒ කතාවෙ තේරුම... කියලා හාර හාර අවුස්සලා මගෙන් ඇහුවා. පස්සෙ එයාට තේරිලා තියෙනවා, එයා අරන් හදාගත්ත දරුවෙක් කියලා. එයා ගෙදරින් පිට වෙලා යනවා එල්ටීටීඊ නිල ඇඳුමත් ඇඳන් බිම බලාගෙන. එයා ඒ ගියා ගියාමයි ආයෙ ආවෙ නෑ. එයා මැරුණා. ඊට පස්සෙ මගේ යාළුවා සිවඥානම් මට ලියුමක් ලියනවා, ‘අනේ අපි කොයිතරම් බලාපොරොත්තු ඇතිව වැඩ කළ අය ද; ජාතික සමඟිය ප්‍රාර්ථනා කළා ද? අනේ දැන් ඒ සේරම ඉවරයි. මගේ දරුවත් ඉවරයි කියලා. මට යන්න එන්න තැනකුත් නෑ කියලා‘. ඉතින් මං අපේ නෝනට කිව්වා ‘ අනේ මේ මිනිහව මෙහෙටවත් ගෙන්න ගන්න ඕන‘ කියලා.
එතකොට එයා එක පාරටම කියනවා ‘ගෙන්න ගෙන කොහොමද; අපි මෙහේ මිනිස්සුන්ගෙන් බේරිලා ඉන්නෙ කොහොමද‘ කියලා. මට උත්තර නැතිව ගියා. එතනින් කෙටිකතාව ඉවරයි.
වැලිකන්නගේ ලේඛකයාගේ බිරිය ඇසූ ප්‍රශ්නයට බොහෝ කාලයක් උත්තර තිබුණේ නැත. බොහෝ ප්‍රශ්නවලට ජීවිත කාලය පුරාම උත්තර නැත. ලේඛකයා කරන්නේ ඒ ප්‍රශ්න පෙන්වා දීම ය.
ඒවා සිතන තරම් ලේසි නැතත් ලේඛකයා සිය වගකීම වගවීමෙන් ඉටු කරන්නේ ය. පියදාස වැලිකන්නගේ ලේඛකයා ද ස්වකීය ජීවන පරිඥානය, අත්දැකීම් සියල්ල අපට දායාද කළේ අගනා නිර්මාණ කෘති වශයෙන් ඉතිහාසයට, වර්තමානයට හා අනාගතයට යන කාලත්‍රයට ම ජීවිත කාලයට ම තරම් යුතුකම් ඉටු කරමිනි.