කාබුල් බිඳ­ වැ­ටේ ­යැයි ඇම­රි­කාව බියෙන් | සිළුමිණ

කාබුල් බිඳ­ වැ­ටේ ­යැයි ඇම­රි­කාව බියෙන්

මේ වන විට ඇෆ්ගනිස්ථානයේ නගර එකින් එක තලේබාන්වරුන් අතට පත්වෙමින් තිබේ. මේ වන විට ඇෆ්ගනිස්ථානයේ පළාත් 34න් හයක අගනගර අත්පත් කර ගැනීමට තලේබාන් සංවිධානය සමත් වී සිටින අතර ක්‍රමයෙන් ඔවුන් තවතවත් නගර අත්පත් කර ගනිමින් සිටින බවද වාර්තා වේ.

සැප්තැම්බර් මස පළමුවැනිදා වන විට තම හමුදා ඇෆ්ගනිස්ථානයෙන් සම්පූර්ණයෙන් ඉවත් කර ගන්නා බවට ඇමරිකාව පැවසීමත්, එළෙසින්ම හමුදා ක්‍රමයෙන් ඉවත් කර ගැනීම ඇරඹීමත් සමඟ මෙලෙස තලේබාන් ආක්‍රමණය ආරම්භ විය.

මේ වන විට කන්දහාර් නගරය බිඳ වැටීමට ආසන්න අවස්ථාවක පවතින අතර සියල්ල පාලනයෙන් ගිලිහෙමින් පවතින බවක්ද වාර්තා වේ.

යුරෝපා සංගමයට අනුව මේ වන විට ඇෆ්ගනිස්තාන භූමියෙන් සියයට 65ක ප්‍රමාණයක් පාලනය කරනු ලබන්නේ තලේබාන් සංවිධානය විසිනි. එමෙන්ම මේ අන්දමින් කටයුතු සිදුවන්නේ නම් ඉදිරියේදී කාබුල් නගරය හෙවත් ඇෆ්ගනිස්තානයේ අගනුවර ද ඉක්මනින් තලේබාන්වරු අතට පත්වීම වැළැක්විය නොහැකි බව ප්‍රකාශ වී තිබේ.

තත්ත්වය එසේ වුවද තම තීරණයේ වෙනසක් නොකර බවට ඉඟි කරන ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පවසන්නේ ඇෆ්ගනිස්තානය වෙනුවෙන් තම රට වැය කළ මුදල් කන්දරාව දැන් ප්‍රමාණවත් බවයි. පසුගියදා මාධ්‍ය හමුවකදී ඇෆ්ගනිස්තානය තලේබාන්වරුන් අතට පත් වීම සම්බන්ධව ඔහුගෙන අසල ලද ප්‍රශ්නයකට ඔහු පිළිතුරු දුන්නේ එසේය.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ වසර 20ක කාලයක් පුරා ඇමරිකාව ඇෆ්ගනිස්තානය වෙනුවෙන් ඩොලර් ට්‍රිලියනයක් පමණ වැය කර ඇති බවයි. අමතරව නවීන අවි ආයුධ ඇතුළු උපකරණ පුහුණුව ඇෆ්ගන් හමුදාවට ලබා දී ඇති බවත්, ඇෆ්ගන් හමුදාව මේ වන විට ලක්ෂ තුනක් දක්වා වර්ධනය වී ඇති බවත්ය. ඇෆ්ගනිස්තානයේදී ඇමරිකානුවන් දහස් ගණනින් ජිවිත අහිමි කර ගත් බවත් දැන් තම දේශය ආරක්ෂා කර ගැනීමට ඔවුන්ම සටන් වැදි යුතු බවත්, එය ඔවුන්ගේ කටයුත්තක් බවත් ජෝ බයිඩ්න් වැඩිදුරටත් පවසා සිටියේය.

මේ ප්‍රකාශයට සැබවින්ම ඇෆ්ගන් පාලකයන්ට දෙකොන ගිනි ඇවිලෙනු ඇති බව නිසැකය. එසේ වන්නේ ඇමරිකාව ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළේ කෙ‌සේදැයි මුළු ලොවම දන්නා බැවිනි. දැන් ඔවුන් තම දේශය ආරක්ෂා කර ගැනීම තමන්ගේ වගකීම බව කටේ තොලේ නොගෑවී පවසන්නේ කෙසේදැයි ඔවුන් පුදුම වනවාට සැක නැත. එදා 2001 ප්‍රහාරයෙන් පසු බිල් ලාඩන් සොයා ඇමරිකාව ඇෆ්ගන් භූමිය බිමට සමතලා කර දැමූහ. එතැන් සිට ස්ථාපිත කළ ඇමරිකානු හිතවාදී පාලනය අද මෙතෙක් කල් තමා නැටවූ බළල් අත අහිමි වීමෙන් අසරණව සිටින්නේය.

කෙසේ වුවද ධවල මන්දිරය තවමත් ධනාත්මකව සිතමින් ඇෆ්ගන් හමුදා අගනුවර ආරක්ෂා කර ගැනීමට සමත් වෙතැයි විශ්වාස කරමින් සිටින බව පෙනේ. එහෙත් කන්දහාර් දක්වා පහසුවෙන් පැමිණි තලේබාන් සටන්කාමීන් ඉතිරි ටිකත් එසේම අත්පත් කර නොගනු ඇතැයි අවතක්සේරුවට ලක් කිරීම එතරම් යෝග්‍ය දෙයක් වන්නේ නැත.

Comments