දරුවන්ගේ දුක් කඳුළු අඩු ලංසුවකට විකුණන දකුණු ආසියාව | සිළුමිණ

දරුවන්ගේ දුක් කඳුළු අඩු ලංසුවකට විකුණන දකුණු ආසියාව

ඉක්බාල් මාෂි උපත ලැබුවේ 1983දීය. පකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ ලාහෝර් නගරය ඔහුගේ උපන් බිම විය. ඔහුට වයස අවුරුදු හතරක් වන විට ඔහුගේ දෙමවුපියෝ ඔහු පළාතේ ධනවතෙකුට ඔහු ළමා මෙහෙකරුවකු ලෙස අලෙවි කරන්නේ පකිස්තාන රුපියල් 600ක මුදලකටය. ඔවුන්ගේ දුගී බවේ තරම එතරම් විය. විකල්ප නොවීය. අවුරුදු හතරක් යනු ඉතාම හිරිමල් වයසක් බව අමුතුවෙන් කිව යුතු නොවන්නේය. එරතම් පැටි වියේ දරුවකුගේ දෑත් දෙපා කුඩාය. බිලිඳුය. ළපටිය. සවි ශක්තියෙන් තොරය.

එහෙත් මේ හිරිමල් දරුවාට සිදුවූයේ තම දුර්වල දෑත් දැඩි සේ වෙහෙසවමින් වටිනා බුමුතුරුණු නිපදවීමට සහය වන්නටය. ඉක්බාල් මාෂිගේ දෙමවුපියන් ඉක්බාල් මෙහෙකාර සේවයට ලබා දෙන්නේ ඔහුගේ සේවය ලබමින් රුපියල් හයසියයේ ණය මුදල ක්‍රමයෙන් අඩු කර ගන්නා බවට ධනවතා ලබා දෙන පොරොන්දුවට අනුකූලවය. වසර කිහිපයක් මේ ණය ගෙවීම වෙනුවෙන් ඉක්බාල් ධනවතාට මෙහෙ කරන්නේය. ඒ අතරතුර ක්‍රමයෙන් වයසින් වැඩෙන ඉක්බාල් වටහා ගන්නේ තමන් රුපියල් හයසියය මෙන් කිහිප ගුණයක වටිනාකමට මෙහෙය ලබා දී ඇති බවයි.

තම ධනවත් හාම්පුතා වෙත ගොස් ඒ බව විමසීමට ශක්තිය ලැබෙන විට ඉක්බාල්ගේ වයස අවුරුදු දහයක් විය. ඔහුගේ ප්‍රශ්න කිරීමෙන් කෝපයට පත් හාම්පුතා ඒ වන විටත් දස හැවිරිදි පැටි වියේ පසුවූ මේ කුඩා දරුවාට පහර දී යළි සේවයට යොමු කරන්නේය.

මේ සමඟින් ඉක්බාල් වටහා ගන්නේ තමාට කිසිදා මේ වහල් කඳවුරෙන් මිදීමට නොලැබෙන බවයි. ඔහු තීරණය කරන්නේ පලායාමටය. දිනක් ඉතා අසීරු වෑයමකින් පසු බුමුතුරුණු කම්හලෙන් ඉවතට පලා ගිය ඉක්බාල් නතර වූයේ ප්‍රාදේශීය පොලිස් ස්ථානයේය. එහෙත් පොලීසිය ඉක්බාල්ට පිහිට වෙනවා වෙනුවට ඔහුව යළිත් කම්හල් හිමිකරු වෙත ගෙනගොස් බාර දුන්නේ ගිවිසුම්ගත සේවකයකු සේවයෙන් පලා ගිය බවත් එවන් සේවකයන්ව යළි හාම්පුතුන් වෙත බාර දිය යුතු බවටත් වන නීති සිහිපත් කරමිනි.

තමන්ට ප්‍රාදේශීය පොලීසියෙන් පිහිටක් නොමැති බව වටහාගත් ඉක්බාල් මේ තම ඉරණම යනුවෙන් හිත හදාගනිමින් ජීවත් වෙනවා වෙනුවට තම ඉරණම වෙනස් කිරීමට සිතට ගත්තේය.

යළිත් වරක් බුමුතුරුණූ කම්හලෙන් පැන ගිය ඉක්බාල් පොලීසියේ හෝ තම දෙමාපියන්ගේ පිහිට පතනු වෙනුවට ළමා මෙහෙකාර සේවයට එරෙහිව කටයුතු කිරීමට තරම් ධෛර්ය සම්පන්න මිනිසුන් සොයා ගියේ ඉතා බුද්ධිමත් ලෙසිනි. එම මොහොතේ සැබවින්ම ඉක්බාල් වාසනාවන්ත වූයේය.

වයස අවුරුදු දහයේදී තම වහල් කඳවුරෙන් එසේ මිදුණු ඉක්බාල් මාෂි තමන්ට සහමුලින් අහිමි වී ගිය අධ්‍යාපනය යළි ආරම්භ කළේය. උපතින්ම ධෛර්යය දෝතින් ගෙන සිටි ඉක්බාල් වසර හතරක ප්‍රාථමික අධ්‍යාපනය වසර දෙකකින් අවසන් කරමින් ජීවිතයේ තවත් පියවරක් ඉදිරියට තැබුවේය. එහෙත් ඔහුගේ සිතට පීඩා දුන් දැඩි දුකක් විය. ඒ තමා මෙන්ම තවත් දහස් ගණන් කුඩා දරුවන් ඉතාම හිරිමල් වයසේ සිට මෙහෙකරුවන් ලෙස නිවෙස්වල, කම්හල්වල පීඩා විඳීමයි. එහි කටුකත්වය අත්දැකීමෙන් දැන සිටි ඉක්බාල් මාෂි තමන්ට හැකි උපරිමයෙන් පකිස්තානයේ ළමා මෙහෙකාර සේවයට විරුද්ධව, ළමා මෙහෙකාර සේවය අවසන් කිරීමට උත්සාහ ගත්තේය. ඔහු ළමා මෙහෙකරුවන් වෙනුවෙන් හඬ නැඟූ අතර ළමා මෙහෙකාර සේවය අවසන් කිරිමට නීති සම්පාදනය කිරීමට බලධාරින් දැනුම්වත් කිරීමට උත්සාහ ගත්තේය.

එහෙත් ඉක්බාල් මාෂිගේ හඬ හිරිහැරයක් වූ කිහිපදෙනෙකු ඒ හඬ නිහඬ කිරීමට ඒ වන විටත් තීරණය කර තිබිණි. ඉක්බාල් මාෂි නැති කරමින් සිටියේ අඩු වැටුපට ඉතා ලාභදායී ලෙස ඔවුන් ලබමින් සිටි ශ්‍රමයයි. ඉතින් තවදුරටත් ඔහුට ක්‍රියාත්මක වීමට ඉඩ දිය යුතුද?

ඒ වන විට ඉක්බාල් මාෂිගේ හඬ මහා හඬක්ව ලොව පුරා අවධානයට ලක් වෙමින් පැවතිණි. ඔහු ඒ අතරම තමන්ට අහිමිව තිබූ අධ්‍යාපනයද නොකඩවා ලබා ගනිමින් සිටියේය. දිනක් ඔහු පාසල් ගොස් එමින් සිටියදී දුරක සිට ඔහුගේ හිසටම එල්ල වූ වෙඩි පහරකින් මේ කුඩා එහෙත් ශක්තිමත් දරුවා මෙලොව හැර ගියේය. ඒ වන විට ඔහු මෙලොව ජිවත්ව තිබුණේ යන්තම් වසර දොළහක් පමණි.

ඉක්බාල්ගේ මරණින් පසු ඔහුගේ මව ලොවට පවසා සිටියේ තම දරුවා ‘බුමුතුරුණු මාෆියාවේ‘ ගොදුරක් බවට පත් වූ බවයි.

පකිස්තානයේ ඉක්බාල්ගේ කතාව එසේ වන විට ලංකාවේ ඉෂාලිනීගේ කතාවද මතුපිටට ගෙන ආ යුතුය. මේ සියල්ලෝම එකම බෝට්ටුවේ වන බැවිනි.

ඉෂාලිනීගේ සිදුවීමත් සමඟ හෙළිදරවු වූ තවත් එක් දරුණු, කටුක සත්‍යයක් වන්නේ වතුකරයේ කනගාටුදායක දරුවන්ගේ මෙහෙකාර ජීවිත පිළිබඳ කතාවයි.

හොඳම දේ දරුවන්ට දිය යුතුය යනුවෙන් පැවසුවේ මාක්ස් වාදය ලෝකයට ප්‍රායෝගික කර පෙන්වූ රුසියානු විප්ලවීය නායක ව්ලැඩිමීර් ඉවානවිච් ලෙනින්ය.

ඔහු එසේ පැවසුවේ දරුවන් අපගේ අනාගතය වන බැවිනි. හොඳම දේ ඔවුන්ට දී ඔවුන් මඟින් අපගේ අනාගතය ගොඩනැංවිය යුතු බව ඔහු එමඟින් ලෝකයට පැවසුවේය.

එහෙත් දැන් පෙනී යන්නේ හොඳම දේ නොව අප වැඩිහිටියන් ලෙස ඉසිලිය නොහැකි බොහෝ දේ දරුවන් මත පටවා අත පිහදාගෙන සිටින බවයි.

ලෝකයේ රටවල් බහුතරයක ළමා මෙහෙකාර සේවය නීතියෙන් තහනම්ය. එහෙත් අවනීතියෙන් ක්‍රියාත්මකය.

දකුණු ආසියාව සැලකූ විට මේ තත්ත්වය ඉතා බරපතළ වන අතර ලෝකයේ වැඩිම ළමා මෙහෙකාර සේවය ක්‍රියාත්මක වන්නේ ආසියානු සහ පැසිෆික් කලාපීය රටවල බව සංඛ්‍යා ලේඛන මඟින් තහවුරු වී තිබේ.

දකුණු ආසියාවේ රටවල් සැලකූ විට පමණක් දරුවන් මිලියන 30ක් ළමා මෙහෙකාර සේවයේ නිතර වන බවට සංඛ්‍යා ලේඛන පවතී. ඒ අතරින් මිලියන 17ක් දරුවන් ළමා ශ්‍රමිකයන් ලෙස රැකියාවන්හි යෙදී සිටින අතර තවත් විශාල පිරිසක් පාසල් හැර ගොස් සිටිති.

වැඩිම ළමා ශ්‍රමිකයන් ප්‍රතිශතයක් ඉන්දියාවෙන් වාර්තා වන අතර එය මිලියන 5.8ක් බවද ප්‍රකාශිතය. මේ මිලියන 5.8ට අයත් වන්නේ වයස අවුරුදු 5- 17ත් අතර දරුවන් වේ. බංග්ලාදේශයේදී මේ සංඛ්‍යාව මිලියන 5ක් වන අතර තුන්වැනි ස්ථානය දිනා සිටින පකිස්තානයේදී එය මිලියන 3.4ක් වේ. වාසනාවකට මෙන් මේ සංඛ්‍යා ලේඛන අතර ශ්‍රී ලංකාව සිටින්නේ පහළ ස්ථානයකය.

එහෙත් වයස අවුරුදු 15 - 17 අතර වයස් කාණ්ඩවලදී පාසල් හැර ගොස් ශ්‍රමිකයන් ලෙස කටයුතු කරන දරුවන් සැලකිය යුතු ප්‍රතිශතයක් ශ්‍රී ලංකාවේද සිටින බව අමතක කළ යුතු නැත.

විශේෂයෙන් පවුලේ ව්‍යපාර සඳහා මෙවැනි දරුවන්ගේ දායකත්වය විශාල වශයෙන් ලබා ගන්නා බවද, එය ශ්‍රමය සැපයීමක් ලෙස නොසැලකෙන බවද යුනිසෙෆ් සංවිධානයේ මතය වී තිබේ. එහෙත් අමතක නොකළ යුතු වන්නේ ඔවුන්ද අධ්‍යාපනය ලැබිය යුතු වයස් සීමාවට හසු වන බවයි.

ළමා මෙහෙකාර සේවය පිළිබඳව වන සංඛ්‍යා දත්ත වාර්තා හෙළිදරවු කරන තවත් එක් ඛේදවාචකයක් වේ. එනම් ලිංග බේදය අනුව දරුවන්ගේ ඉරණමයි. දරුවන් මෙහෙකාර සේවයේ නැතහොත් ශ්‍රමිකයන් ලෙස යෙදවීමේදී වැඩි ඉල්ලුම ලැබී ඇත්තේ ගැහැනු දරුවන්ටය.

පකිස්තානයේදී ළමා මෙහෙකාර සේවයේ යෙදීමේදී පිරිමි දරුවන් 82කට ගැහැනු දරුවන් 100ක් වශයෙන්ද, ඇෆ්ගනිස්ථානයේදී පිරිමි දරුවන් 71කට ගැහැනු දරුවන් 100ක් වශයෙන්ද, නේපාලයේදී එය පිරිමි දරුවන් 92කට ගැහැනු දරුවන් 100ක් වශයෙන්ද වේ. ළමා මෙහෙකාර සේවය අතින් ඉන්දියාවට පමණක් දෙවැනි වන බංග්ලාදේශයේදී එය පිරිමි දරුවන් 94කට ගැහැනු දරුවන් 100ක් ලෙස වෙනස් වේ.

දකුණු ආසියාවට අදාළ දත්ත වාර්තා මෙලෙස ගෙන හැර පෑවද පැවසිය යුතු වන්නේ ළමා මෙහෙකාර සේවය අතින් සමස්ත ලෝකයම සැනසිලි දායක තත්ත්වයක නොසිටින බවයි. දළ වශයෙන් දරුවන් මිලියන 160ක් පමණ මුළු ලෝකය පුරා මෙහෙකාර සේවයේ යෙදෙන බවත් එය මෑත කාලීන කොවිඩ් වසංගතය හේතුවෙන් වඩාත් අර්බුදකාරී වාතාවරණයකට පත්වී ඇති බවත් යුනිසෙෆ් සංවිධානයේ දත්ත වාර්තා ගෙන හැර දක්වා තිබේ.

එම සංවිධානයට යනු මේ වාතාවරණය අතිශයින් බැරූරුම් වන්නේ ලෝකයේ සමස්ත දරුවන් 10 දෙනෙක් අතරින් එක දරුවකු මේ අනුව මෙහෙකාර සේවයේ හෝ ශ්‍රමය සැපයීමේ යෙදී සිටින බැවිනි.

ලොව පුරා සිදුවීම් දත්ත ඇසුරෙන් සපයන ‘ද වර්ල්ඩ් කවුන්ට්ස්‘ වෙබ් අඩවියට අනුව මේ වසරේ අගෝස්තු මාසය වන විට ලොව පුරා දරුවන් 7,02,157ක් වහලුන් ලෙස අලෙවි කර තිබේ.

සැබවින්ම අප ප්‍රථමයෙන්ම කතා කළ ඉක්බාල් අයත් වන්නේද එවැනි ‘අලෙවි කළ දරුවන්‘ ගේ වර්ගයට බව සිහිපත් කළ යුතුය. එහිදී ඉක්බාල්ගේ මිල පකිස්තාන රුපියල් 600ක් විය.

අද බොහෝ බටහිර රටවල් ළමා මෙහෙකාර සේවය තුරන් කර දමා තිබුණද සැබවින්ම ළමා මෙහෙකාර සේවය ලොවට හඳුන්වා දෙනු ලැබුවේ එම රටවල් බවද අමතක කළ යුතු නැත.

වර්තමානයේදී වුවද ඇමරිකාව, බ්‍රිතාන්‍ය, ඉතාලිය ඇතුළු යුරෝපා රටවල් රැසක ළමා ශ්‍රමය යොදා ගන්නා අතර නාගරික ප්‍රදේශවලට වඩා ග්‍රාමීය ප්‍රදේශවල මේ තත්ත්වය සාමාන්‍ය ලෙස ක්‍රියාත්ම වනු දැකිය හැකිය.

බ්‍රිතාන්‍යයට අදාළව මේ කරුණ විමසා බලන විට වැඩි වශයෙන් ළමා මෙහෙකරුවන් ලෙස සේවයේ යෙදන්නේ සංක්‍රමණික දරුවන් බව පෙනී ගොස් තිබේ. මේ තත්ත්වය හඳුන්වා ඇත්තේ නූතන ළමා වහල් මෙහෙය යනුවෙනි. 2019 වසරේදී සිදුකරන ලද සංගණනයකට අනුව බ්‍රිතාන්‍ය තුළ නාගරික ප්‍රදේශ ආශ්‍රිතව ළමා මෙහෙකරුවන් 5421ක් හමුවී තිබේ.

මේ දරුවන් අතරින් බහුතරය ඇල්බේනියානු සහ වියට්නාම් ජාතික දරුවන් බව හෙළිවී තිබේ. මේ දරුවන් තම පවුල් වෙනුවෙන් දෙමවුපියන්ට මුදල් සෙවීමට සහය පිණිස නොයෙක් රැකියාවන්හි නිරත වෙමින් සිට ඇත. තම රටවල පවතින යුදමය වාතාවරණය මෙන්ම අස්ථාවර දේශපාලන තත්ත්වයන් මෙන්ම දරිද්‍රතාවය වැනි කරුණු මත විදේශ රටවලට සංක්‍රමණය වන පුද්ගලයන්ගේ දරුවන් යම් තරමකට තම ජිවිත ගොඩ නගා ගැනීමට පෙර මෙහෙකාරසේවයේ යෙදීම අපචාරයන්ට ලක්වීම ඇතුළු ජීවිතයේ විශාල කඩාවැටීම්වලට මුහුණ දෙන බව හෙළිදරවු වී තිබේ.

එහෙත් කොහොම කෙසේ සිදුවවුද ළමා මෙහෙකාර සේවය හෝ ළමා ශ්‍රමය යොදා ගැනීම සාධාරණීකරණය කළ නොහැකිය. දරුවන් යනු දරුවන්මය. ඔවුන්ට ළමා වියේ ඔවුන්ගේ අයිතිවාසිකම් ලබා දීම වැඩිහිටියන් වන අපගේ වගකීමය.

එමෙන්ම එම අයිතිවාසිකම් සමානව ලබා දීමටද උත්සාහ දැරිය යුතු වන්නේ දරුවන් යනු සමස්ත ලෝකයේම අනාගතය බාර ගන්නට ඉන්නා අනාගත පරපුර වන බැවිනි.

 

 

Comments