
- 3 වැනි රැල්ල ඇති කළ අලුත් අවුරුදු පොකුරේ ආසාදිතයන් 1,35,000 ඉක්මවයි
- ආසාදිතයන් සොයා සියලුම දිස්ත්‍රික්කවල අහඹු පී.සී.ආර්. පරීක්ෂණ
- ඉන්දියාවේ ඩෙල්ටා ප්‍රභේදයේ ආසාදිතයෝ කිහිපදෙනෙක් පළමුවරට කොළඹින්
- කොරෝනා රාජකාරි කරන සෞඛ්‍ය සේවකයන්ට 7,500ක මාසික දීමනාවක් ගෙවීමට කැබිනට් අනුමැතිය
- මෙතෙක් භූමදාන කර ඇති කොවිඩ් දේහ සංඛ්‍යාව 605යි
- එන්නත්කරණයේ අයථා කටයුතු ගැන දැනුම් දෙන්න දුරකතන අංක 2ක් 1999 (හදිසි ඇමතුම් ඒකකය) 011 7966 366 (ආපදා ඒකකය)
- සමස්ත මරණවලින් තුනෙන් එකක් ඉකුත් දෙසතිය තුළ
සමස්ත ලෝකයාටම ජීවිත ආශාව පිළිබඳ ඇල්මත් මරණය පිළිබඳ භීතිකාවත් ඇති කළ කොවිඩ් 19 වයිරසය විසින් මේ වන විට ලොව පුරා මිලියන 3.2කගේ ජීවිත බිලිගෙන, මිලියන 177ක් ආසාදිතයන් බවට පත්කර ඇත. ඒ, මෙම සතිය මැද එනම් 16 වැනිදා වාර්තා වූ දත්තය. කොරෝනා වසංගතයෙන් නිදහස් විය හැකි දිනක් ගැන අනාවැකි කිව නොහැකි අවදානම් වකවානුවක් තුළ මෙම සතිය මැද දී ශ්‍රී ලංකාවේ ආසාදිතයන් සංඛ්‍යාව දෙලක්ෂ විසිහය දහස ඉක්මවා ගියේ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 2,300 පසුකරමිනි.
මේ වන විට මෙරට ජනගහනය මිලියනයකට වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 10,470 ක් වන අතර මරණ සංඛ්‍යාව ජනගහනය මිලියනයකට 106ක් වේ. දකුණු ආසියානු කලාපයේ මරණ ප්‍රතිශතය ජනගහනය මිලියනයකට 224ක් වන අතර ආසාදිතයන් සංඛ්‍යාව ජනගහනය මිලියනයකට 16,539කි. එවැනි තත්ත්වයක් තුළ තවදුරටත් ශ්‍රී ලංකාව තුළ වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රජය සෞඛ්‍ය අංශ සමඟ විශාල උත්සාහයක යෙදී සිටී.
(මෙහි සඳහන් කර ඇත්තේ ජුනි 18 සවස 5 තෙක් වාර්තා වූ දත්ත වේ.)
කොවිඩ් මරණ අඩු වීමක් සිදුවේද? 
මෙරට කොව්ඩ් ආසාදිත මරණ සංඛ්‍යාවේ ඉහළ යෑමක් තිබුණද ආසාදිතයන් වාර්තා වීමේ පැහැදිලි අඩුවීමක් දක්නට ලැබෙන බව කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පැවසුවාය. පසුගියදා රාගම ශික්ෂණ රෝහලේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරිය වැඩිදුරටත් මෙසේ ද සඳහන් කළාය.
"සංචරණ සීමා දීර්ඝ කිරීම වෛද්‍ය විද්‍යාත්මක පැත්තෙන් බලපුවාම ඉතාමත්ම හොඳයි. රටේ බහුතරයක් අද නිවෙස්වලටම වෙලා ඉන්නවා. ප්‍රථමයෙන් රෝගීන් වැඩි වුණා. දැන් වෙනකොට රෝගීන් අඩුවෙලා. ඒ ආකාරයට මරණ අඩු වෙන්න තවත් සති 2ක් හෝ 3ක් යයි."
මේ අතර කොවිඩ් ආසාදිත මරණ වාර්තා කිරීමේ ක්‍රමවේදයේ වෙනසක් සිදු කරන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ඉකුත් 14 වැනිදා ප්‍රකාශ කළේය. ඒ අනුව එතෙක් කොවිඩ් ආසාදිත මරණ වාර්තා කළ ආකාරය වෙනස් කරමින් කොවිඩ් මරණයක් සිදුවී පැය 24-48ක් ඇතුළත තහවුරු කර වාර්තා කිරීමේ ක්‍රමවේදයක් මේ වන විට ක්‍රියාත්මක වේ.
රෝහල් රැසක ක්‍රියාත්මක වූ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග
ප්‍රධාන රෝහල් රැසක කනිෂ්ඨ කාර්ය මණ්ඩලය ඉකුත් 9 වැනිදා උදෑසන තම රාජකාරිවලින් ඉවත් වූහ. පෙරවරු 8.00 ආරම්භ වූ එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දහවල් 12.00 දක්වා ක්‍රියාත්මක වූ අතර, රිජ්වේ ආර්යා ළමා රෝහල, කාසල් වීදියේ කාන්තා රෝහල , මහරගම අපේක්ෂා රෝහල, මඩකලපුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් රෝහල්වල එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක නොවීය. අනියම්, ආදේශන සේවකයන් ස්ථිර කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය විසින් එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සංවිධානය කර තිබිණි.
වෛද්‍ය කාර්ය මණ්ඩලයට පමණක් අමතර සේවා දීමනාව නිර්දේශ කිරීමට එරෙහි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ද පසුගිය 11 වැනිදා උදෑසන 8- 12 දක්වා රට පුරා රෝහල්වල ක්‍රියාත්මක විය. වෛද්‍ය සේවාව සඳහා මසකට රුපියල් 41,220 සිට 78,120 දක්වා වූ සියයට 78ක අමතර දීමනා වැඩි කිරීමට සාපේක්ෂව වෛද්‍ය නොවන අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට සාධාරණ දීමනාවක් දීම, කොරෝනා මර්දනය කිරීමට බාධාවක් වී ඇති සෞඛ්‍ය කාර්ය මණ්ඩල පුරප්පාඩු පිරවීම සඳහා නිශ්චිත තීරණයක් නොගැනීම, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ දීමනා කප්පාදු කිරීම හා දීමනා විෂමතා ඉවත් කිරීම, කොරෝනා වසංගතයෙන් පීඩා විඳින සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා නොමිලේ ප්‍රවාහන පහසුකම් දීම යන කාරණා මුල් කර ගනිමින් එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ගත් බවයි.
ගුරුවරුන්ට හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයට ප්‍රමුඛත්වය
පාසල් දරුවන්ගේ සෞඛ්යාරක්ෂිත බවට ප්‍රමුඛතාව ලබා දෙමින් හැකි ඉක්මනින් පාසල් විවෘත කිරීම රජයේ අභිලාෂය වන අතර එහි ප්‍රථම පියවර එන්නත්කරණය බව අධ්‍යාපන අමාත්‍ය ජී. ඇල් පීරිස් පැවසීය.
පාසල් විවෘත කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම පිළිබඳ පසුගිය 16 වැනිදා අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී හෙතෙම ඒ බව පැවසීය.
විශේෂඥ වෛද්‍යවරුන්ගේ උපදෙස් සහ නිර්දේශ මත පමණක් පාසල් විවෘත කිරීම සිදු කළ යුතු බවට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණයක් ගෙන ඇති බවත් පාසල් විවෘත කිරීමේදී අධ්‍යයන සහ අනධ්‍යයන කාර්යමණ්ඩල එන්නත්කරණයට දළ වශයෙන් එන්නත් මාත්‍රා 2,79,020ක් පමණ අවශ්‍ය බවත් අධ්‍යාපන ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
අවදානම තවදුරටත්...
රට තුළ පවතින වසංගත තත්ත්වයේ ඇති භයානක තත්ත්වය තවමත් පහව ගොස් ඇතැයි සැලකිය නොහැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න පවසන්නීය.
"භයානක තත්ත්වය පහව ගියා කියලා අපිට කොහෙත්ම තාමත් කියන්න විදිහක් නැහැ. අපිට දැනට කියන්න පුළුවන් වෙන්නේ සෞඛ්‍ය ක්ෂේත්රයට යම් කිසි දරන්න පුළුවන් ප්‍රමාණයකට රෝහල්වල ඇඳන් ටිකක් ආවා කියන එක පමණයි.”
යනුවෙන් ද ඇය පැවසුවාය.
රට තුළට නව කොවිඩ් ප්‍රභේද ඇතුළු වීම වැළැක්වීමට සෑම ක්‍රියාමාර්ගයක්ම ගත යුතු බවද විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න පැවසුවාය. ඒ අනුව ඇය පෙන්වා දෙන්නේ නව කොවිඩ් ප්‍රභේදයක් රට තුළ ව්‍යාප්ත වුවහොත් එය බරපතළ තත්ත්වයක් විය හැකි බවය.
එබැවින් අලුත් කොවිඩ් ප්‍රභේද රට තුළට නොගැනීමට සියලු දෙනාටම වගකීමක් තිබෙන බව ද විශේෂඥ වෛද්‍යවරිය වැඩිදුරටත් අවධාරණය කළාය.
සේවා කාලය වයස 63 දක්වා දීර්ඝ කෙරේ විශ්‍රාමික හෙද හෙදියන් නැවත සේවයට විශ්‍රාමික හෙද හෙදියන් අවශ්‍යතාව අනුව කොන්ත්‍රාත් පදනම මත නැවත සේවයට බඳවා ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂයන් සෞඛ්‍ය අමාත්‍යවරියට උපදෙස් ලබා දී ඇත.
සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් එස්.එච්. මුණසිංහ එහිදී අනාවරණය කර ඇත්තේ හෙද හෙදියන්ගේ සේවා කාලය වසර 63ක් දක්වා දීර්ඝ කිරීමේ අමාත්‍ය මණ්ඩල සංදේශය මේ වනවිට කැබිනට් මණ්ඩලයේ අනුමැතියට යොමු කර ඇති බවයි. සංචරණ කාල සීමාව තුළ හෙද හෙදියන්ගේ ප්‍රවාහන පහසුකම් සැලසීමේ නිසි ක්‍රමවේදයක් සකස් කරන ලෙස ද එහිදී අග්‍රාමාත්‍යවරයා විසින් අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇත. හෙද හෙදියන්ගේ නිල ඇඳුම් දීමනාව වැඩි කරදෙන ලෙස මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇති අතර ඒ සම්බන්ධයෙන් පොදු තීන්දුවක් ගෙන ඉදිරි අය වැය තුළින් එය ඉටු කර දිය හැකි බව අග්‍රාමාත්‍යවරයා පවසා ඇත.
ඉදිරියේදී ශ්‍රී ලංකාවට ලැබෙන එන්නත්
මෙම මාසය තුළ චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් එන්නත් මිලියන 3ක් ශ්‍රී ලංකාවට ලැබෙන බව කොවිඩ් එන්නත ප්‍රසම්පාදනය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකායේ ප්‍රධානී, ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග පැවසීය.
මෙම වසර අවසන් වන විට එන්නත ලබාගැනීමට සුදුසුකම් ඇති මිලියන 13ක් වන ජනතාවගෙන් සියයට 65-70ක් වැනි සංඛ්‍යාවකට එන්නත් ලබාදීමට හැකිවනු ඇතැයි ද හෙතෙම විශ්වාසය පළ කළේය.
ස්පුට්නික් එන්නතේ දෙවැනි මාත්‍රාව ද නිසැකවම මෙරටට ගෙනෙන බව ද හෙතෙම සඳහන් කළේය.
තුන්වැනි මාත්‍රාවක් පිළිබඳ විශේෂඥ මතය විමසයි
සෞඛ්‍ය නිර්දේශ සහ ලෝක තත්ත්වය ද සලකා බලා කොවිඩ් මර්දන එන්නත්කරණය සඳහා තුන්වැනි මාත්‍රාවක් ද අවශ්‍ය නම්, එය කල් තියා ඇණවුම් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් පසුගිය දා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
ඒ අනුව කොවිඩ් 19 මර්දන එන්නත්කරණය සඳහා තුන්වන මාත්‍රාවක් ලබා දිය යුතු ද යන්න පිළිබඳව සොයා බැලීම කෙරෙහි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇත. රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කළේ මේ සම්බන්ධයෙන් විශේෂඥ මතය අමාත්‍යාංශයට දැනුම් දෙන ලෙස ජාතික ඖෂධ නියාමන අධිකාරියට උපදෙස් ලබාදී ඇති බවයි.
එකම පවුලේ සාමාජිකයන් රැසකට මරු කැඳවූ කොරෝනා 
කොටගල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයට අයත් කොටගල ෆොරස්ට්වික් වතුයායේ එකම පවුලකට අයත් 17 දෙනකු ඇතුළු 19 දෙනකු කොවිඩ් ආසාදිතයන් බවට පත්වීමේ පුවතක් ඉකුත් සතියේ කොටගල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයෙන් වාර්තා විය.
එමෙන්ම හේනේගම මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාසයේ ඉඹුල හන්දිය ප්‍රදේශයේ එකම නිවසේ 11 දෙනකුට ද කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා විය. එම නිවසේ ආච්චි, සීයා, මව, පියා ඇතුළු දරු මුනුපුරන් පිරිසක් එසේ ආසාදිතයන් වී ඇත.
මීට අමතරව දිවුලපිටිය නගරය ආසන්නයේ නිවසක දින 45ක දරුවකු ඇතුළු එකම පවුලේ හත් දෙනකු ද කොරෝනා ආසාදිතයන් බවට තහවුරු වී ඇතැයි දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පසුගිය දා වාර්තා කළේය. ඔවුන්ගේ ආශ්‍රිතයන් නිරෝධායනයට ලක් කර ආසාදිතයන් සියලු දෙනා ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යැවීමට පියවර ගෙන ඇත.