
ශ්‍රී ලංකාවේ නිදහස උදෙසා විවිධාකාරයේ ව්‍යාපාර ආරම්භ කිරීම, නිදහස ලබාගැනීම සහ සර්වජන, ඡන්ද බලය තුළින් නිදහස් පාර්ලිමේන්තුවක් පත්කිරීම ආදී දේශපාලන වෙනස්කම් මෙන් ම, භාෂා සාහිත්‍යය සහ සංස්කෘතික වෙනස්කම් වලට මුහුණදුන් සිළුමිණ දීර්ඝ ඉතිහාසයක් ඇති පුවත්පතකි.
ශ්‍රී ලංකාවේ ප්‍රකාශයට පත් කෙරෙන සතිඅන්ත පුවත්පත් අතර අඛණ්ඩව මේ දක්වා වැඩිම කාලයක් පවත්වාගෙන ආ එකම පුවත්පත ලෙස ‘සිළුමිණ’ හැඳින්විය හැකි ය. තවත් සමහර සති අන්ත පුවත්පත් පැවතුණ ද ඒවා අඛණ්ඩව පවත්වාගෙන යාමට නොහැකි වූ නිසා සිළුමිණ තරම් ඉතිහාසයක් ඒවාට නොමැත. 91 වසරක් අඛණ්ඩව සති අන්ත පුවත්පතක් ලෙස පවත්වා ගැනීමට හැකිවීම ශ්‍රී ලංකාවේ පුවත්පත් ක්ෂේත්‍රයේ ඓතිහාසික සිදුවීමකි.
මෙම කාල පරිච්ඡේදය තුළ ‘සිළුමිණ’ පුවත්පත විසින් ඉටුකරන ලද මෙහෙවර ලෙස ශාස්ත්‍රීය ලෝකයේ සහ පුවත්පත් කලාවේ නව ප්‍රවණතාවක් ඇති කළ බව සඳහන් කළ හැකි ය. ඊට හේතුව සිළුමිණ පුවත්පත ශ්‍රී ලංකාවේ පුවත්පත් කලාවේ විකාශය සඳහා නව මගක් පාදනු ලැබීමයි. අනෙක් අංශයෙන් බොහෝ ශාස්ත්‍රීය කරුණු පිළිබඳව පොදු පාඨකයාට වැටහීමක් ලැබෙන පරිදි සංවාද සාකච්ඡා සහ ශාස්ත්‍රීය විවාද පැවැත්වීමට හැකි වීමයි. ඒ නිසා ශ්‍රී ලංකාව තුළ විශිෂ්ට පුවත්පත් කලාවක් බිහි කිරීමේ මෙහෙවරට උරදුන් පුවත්පතක් ලෙස සිළුමිණ හැඳින්වීමට කැමැත්තෙමි.
වසර 91 ක කාල පරිච්ඡේදය තුළ සිළුමිණ පුවත්පත පළ කළ විශේෂාංග, ප්‍රවෘත්ති විමර්ශන, ශාස්ත්‍රීය ලිපි ආදිය වෙනස් මගක් ගනු ලැබීය.
ශ්‍රී ලංකාවේ නිදහස උදෙසා විවිධාකාරයේ ව්‍යාපාර ආරම්භ කිරීම, නිදහස ලබාගැනීම සහ සර්වජන, ඡන්ද බලය තුළින් නිදහස් පාර්ලිමේන්තුවක් පත්කිරීම ආදී දේශපාලන වෙනස්කම් මෙන් ම, භාෂා සාහිත්‍යය සහ සංස්කෘතික වෙනස්කම්වලට මුහුණදුන් සිළුමිණ දීර්ඝ ඉතිහාසයක් ඇති පුවත්පතකි.
මේ සියල්ල පිළිබඳව මහජනතාව ප්‍රබුද්ධ අයුරින් දැනුවත් කිරීම සඳහා සෑම අවස්ථාවකදීම ‘සිළුමිණ’ පුවත්පත කටයුතු කළේ ය. උදාහරණයක් ලෙස සිංහල නාට්‍ය කලාවේ සිදුවූ පරිවර්තනයන්ට අදාළව සිළුමිණ විසින් පළ කරන ලද ප්‍රවෘත්ති, විචාර සහ හැඳින්වීම්. එම නාට්‍ය රචකයන්ගේ නාට්‍ය අධ්‍යක්ෂවරුන්ගේ පැසසුමට ලක් විය. ප්‍රබුද්ධ ප්‍රේක්ෂක පිරිසක් බිහි කිරීමට හේතු විය. මෙම තත්ත්වය අධ්‍යාපන, සෞඛ්‍ය වැනි ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ද ක්‍රියාත්මක වූ බව මාගේ අදහසයි.
අන්තර්ජාලය, සමාජ මාධ්‍ය සහ නවීන තාක්ෂණය වර්තමානයේ මුද්‍රිත මාධ්‍ය කෙරෙහි විශාල බලපෑමක් ඇති කර තිබෙන බව පෙනේ. මෙය ශ්‍රී ලංකාව තුළ පමණක් නොව අනෙක් රටවල ද සිදුව ඇත. නව සහස්‍රයේදී ජනමාධ්‍ය කලාවේ සෑම ක්ෂේත්‍රයකටම මෙම බලපෑම එල්ල වී තිබේ. එසේ වුව ද සිනමාව වැනි මාධ්‍යයන් කෙරෙහි ඇති වූ බලපෑම හා සංසන්දනය කරන විට මුද්‍රිත මාධ්‍ය කෙරෙහි ඇති වූ බලපෑම එතරම් දරුණු නොවේ. එයට හේතුව මුද්‍රිත මාධ්‍යයේ පුවත්පත කිසිදු වෙනසක් නොකර ඒ ආකාරයෙන් ම නව තාක්ෂණය ඔස්සේ ද පාඨකයා වෙත ගෙන යාමට හැකිවීමයි. මුද්‍රිත මාධ්‍යයට තාක්ෂණික වෙනස්කම් සමඟ ගැළවීම් කිරීමට හැකි වුවත් ගැටලුව වන්නේ සමාජ මාධ්‍ය මඟින් ඒ කෙරෙහි ඇති කළ බලපෑමයි.
සමාජ මාධ්‍ය ප්‍රවෘත්ති ගෙන යෑම සම්බන්ධයෙන් ද යම් සිදුවීමක් විවිධ පැතිකඩ ඔස්සේ විග්‍රහ කිරීම සම්බන්ධයෙන් ද පාඨකයාට සජීවීව ඒවා සමඟ සම්බන්ධවීමට හැකියාව ලැබී තිබීමෙන් ද අනෙක් මාධ්‍යවලට සාපේක්ෂව ඉදිරියට ගමන් කර තිබේ. පුවත්පතක සාම්ප්‍රදායිකව පවතින විනය, වෘත්තීය වගකීම, නීතිමය බාධා ස්වයංවාරණය වැනි දේවලින් මිදී කටයුතු කිරීමට සමාජ මාධ්‍යයට ඉඩ ලැබී ඇත. එහි ප්‍රතිඵලය වන්නේ විකිලීක්ස් වැනි ලොවට නව තොරතුරු හෙළි කළ සමාජ මාධ්‍යයන් බිහිවන අතරම විශ්වසනීයත්වයෙන් තොර ඕපාදූපවලට බර වූ අපහාස හා අපවාදවලට යොදා ගත හැකි මාධ්‍යයන් බවට පත්ව තිබීමයි. එබැවින් ශික්ෂණයක් විනයක් සහ නිරවද්‍යතාවක් සහිත ප්‍රවෘත්ති කලාවක් සමාජ මාධ්‍ය තුළින් බිහි වන තුරු සාම්ප්‍රදායික මාධ්‍ය කලාව අඛණ්ඩව පවතිනු ඇතැයි සිතිය හැකි ය.
මේ වනවිට ශ්‍රී ලංකාවේ සති අන්ත පුවත්පත් දැඩි අභියෝගයකට මුහුණ දී සිටියි. ඊට හේතුව දැඩි තරගකාරිත්වයක් ඇතිවී තිබීමත් ප්‍රේක්ෂකයාගේ සති අන්ත පුවත්පතක් පිළිබඳ බලාපොරොත්තු සහ අපේක්ෂාවන් වෙනස් වී තිබීමත් ය. පාඨකයාට පුවත්පත් කියවීම සඳහා ලැබෙන කාලය ක්‍රමයෙන් කෙටිවෙමින් පවතින අතර පුවත්පත් විසින් එම කෙටි කාලය තුළ පාඨකයාට ලබාදිය හැකි රසවින්දනය වඩාත් කෙටිමගකින් ලබාදිය හැකි ආකාරය පිළිබඳවද අවධානය යොමුකර තිබේ.
එබැවින් පෙර පැවැති ආකාරයට ශාස්ත්‍රීය ලිපි සහ ශාස්ත්‍රීය සංවාද ආදිය සඳහා වැඩි ඉඩක් වෙන්කිරීම තුළින් පාඨක ප්‍රසාදය දිනාගත හැකි යැයි අපේක්ෂා කළ නොහැකි ය. එනිසා ම බොහෝ පුවත්පත් සංවේදී හෝ කුතුහලය දනවන විශේෂාංග තුළින් තරගයට මුහුණදීමට ඉදිරිපත් වී සිටියි. මෙම තත්ත්වය වෙනස් කර පාඨකයා දැනුම්වත් කරමින් පාඨකයාට නිවැරැදි පුවත් ලබාදෙන අතරම ඔහුගේ දැනුම පුළුල් කෙරෙන ඉහළ රසවින්දනයක් ලබාදෙන ආකාරයේ මාධ්‍ය කලාවක් බිහි කරගැනීම අවශ්‍ය වේ.