
‘කැලණි ගඟේ කුණු යනවා බලා වරෙන්’ මේ මා මීට වසර 10කට පමණ පෙර සිළුමිණ පුවත්පතට ලියූ ලිපියක ශීර්ෂ පාඨයකි. ඒ අනුව කැලණි ගඟත් අපේ රටේ ඇති ගංගා 103ක් පමණ පසුගිය වකවානුවේ බරපතළ ජල දූෂණයකට ලක්වී තිබිණි. ඒ පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රාදේශීය කාර්යාල මගින් පරිගණක යෙදවුමක් භාවිත කරමින් ගවේෂණයක් සිදු කළේ විශේෂඥයන්ගේ ද සහාය ඇතිවය. මේ පිළිබඳව කරුණු දක්වන පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා පවසන්නේ මේ ගවේෂණය මගින් අපේ ගංගා 103 හි ජලය අපිරිසිදු කිරීමට බලපාන මූලාශ්‍ර සහිත ස්ථාන 10401ක් පමණ පවතින බව අනාවරණය වූ බවයි.
එසේම කැලණි ගඟ අපේ රටේ දූෂිතම ගඟ බවත් කැලණි ගඟ ප්රමුඛ මේ සියලු ගංගා පවිත්‍ර කිරීමට හා ඉදිරියට අපවිත්‍ර කිරීම වැළැක්වීමට අද කටයුතු කිරීම කාලීන අවශ්‍යතාවක් වි ඇති බවත් ඇමැතිවරයාගේ අදහස වී තිබේ.
ෙම් ගැටලුවට පිළියමක් ලෙස මෙරට ගංගා සියල්ලම පවිත්‍ර කිරීමත්, ඉදිරියට එහි ජල දූෂණය වැළැක්වීමත් ප්‍රධාන අරමුණු කරගෙන මෙරට ප්‍රථම වරට ක්‍රියාත්මක වන ජලයට සම්බන්ධ සියලු අමාත්‍යාංශ ඒකාබද්ධ වූ සුවිශේෂ වැඩසටහන ලෙස ‘සුරකිමු ගංගා’ වැඩසටහන දැන් රජය ආරම්භ කර ඇත.
මේ යටතේ අපේ රටේ සෑම ගඟකම සියලු ගංඉවුරු හා ජලය සංරක්ෂණය ඒ ප්‍රදේශයට සුවිශේෂි විශේෂඥ හා බලධාරි නිලධාරි පිරිසකට බාර දෙනු ලැබේ. ඒ අනුව එම ගංගා පවිත්‍රව තබා ගැනීම ඔවුන් සතු වගකීමයි.
පරිසර ඇමැති මහින්ද අමරවීරයන් පවසන පරිදි මෙහි ප්‍රධාන අරමුණ ගංගා සංරක්ෂණය මගින් ජනතාවට පිරිසුදු පානීය ජලය ලබාදීම, පරිසර හා ජෛව සම්පත් සුරැකීම හා සංචාරක කටයුතු ප්රවර්ධනයයි.
ශ්‍රී ලංකාවේ පිහිටි ගංගා ද්‍රෝණි 103 පුනරුත්ථානය කර සුරකිම මඟින් වත්මන් හා අනාගත පරපුරට සුපිරිසුදු ජලය ලබාදීමට මෙය ක්‍රියාවට නංවයි.
දිය දෝතක් බීමට හැකි අයුරින් අපේ සියලු ගංගා සුපිරිසුදු කරමින් මෙරට ගංගා හා ඒ ආශ්රිත ජලධාර ප්‍රදේශ සංරක්ෂණය කිරීම මෙහි තවත් අරමුණක් වන බවද ඇමැතිවරයා පවසයි.
“සුරකිමු ගංගා” වැඩසටහනෙහි ප්‍රධාන සමාරම්භක උත්සවය කතරගම මැණික් ගඟ අසල ඓතිහාසික රුහුණු කතරගම පූජා භූමි පරිශ්‍රයේ දී මාර්තු මස 22 වැනි දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.
මීට සමගාමීව එදිනම ආණ්ඩුකාරවරුන්ගේ ප්‍රධානත්වයෙන් අනෙක් පළාත් අට නියෝජනය කරමින් “සුරකිමු ගංගා” වැඩසටහනෙහි පළාත් සමාරම්භක උත්සව පැවැත්වීම ද සිදුවිය. ඒ අනුව බස්නාහිර පළාත කැලණි ගඟ පහළ හංවැල්ල ස්ථානයේදී ද සබරගමුව පළාත කළු ගඟ රත්නපුර සමන් දේවාලය ආශ්‍රිතව ද නැගෙනහිර පළාත අම්පාර ගල්ඔය ආශ්‍රිතව ද මධ්‍යම පළාත මහනුවර ගන්නෝරුව මහවැලි ගඟ ආශ්‍රිතව ද වයඹ පළාත බිංගිරිය දැදුරු ඔය ආශ්‍රිතව ද උතුරු පළාත කිලිනොච්චිය කනගරායන් ආරු ආශ්‍රිතව ද දකුණු පළාත වළවේ ගඟ අම්බලන්තොට පාලම ආශ්‍රිතව ද උතුරුමැද පළාත අනුරාධපුර මල්වතු ඔය බන්ධනාගාර පරිශ්‍රය ආශ්‍රිතව ද සමාරම්භක උලෙළ සංවිධාන කර තිබිණි.
වත්මන් ආණ්ඩුවේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්රකාශනයේ දස වැදෑරුම් සංකල්පයෙහි අන්තර්ගත සංකල්පයක් වන “තිරසර පරිසර කළමනාකරණය” සඳහා ක්‍රියාත්මක කරනු ලබන වැඩසටන් අතරින් ප්‍රධාන වැඩසටහනක් ලෙස “සුරකිමු ගංගා” වැඩසටහන හඳුන්වාදිය හැකිය. මෙහිදී පරිසරයේ ප්‍රධාන අංගයක් වන ජලයේ ගුණාත්මක බව සුරැකීම මගින් ජල සම්පත සුරැකීම සඳහා කටයුතු කරයි.
ජනාධිපතිතුමා සහ අගමැතිතුමා පරිසරය සුරැකීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම සඳහා ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වූ ජනාධිපති කාර්ය සාධන බළකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂයන්ගේ ද සංකල්පයක් මත “සුරකිමු ගංගා” වැඩසටහන ක්‍රියාවට නැංවීම සඳහා අවශ්‍ය මූලික කටයුතු 2020 වර්ෂයේදී ආරම්භ කෙරිණි. පරිසර අමාත්‍යවරයා ලෙස මහින්ද අමරවීර අමාත්‍යතුමන් විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය හිමිවූ බව පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
පරිසර අමාත්‍යාංශය සහ මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව “සුරකිමු ගංගා” වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි. මෙම වැඩසටහන ප්‍රධාන වශයෙන් කමිටු තුනක් මගින් ක්‍රියාත්මක වේ. මාස දෙකකට වරක් රැස්වීමට නියමිත “සුරකිමු ගංගා” අන්තර් අමාත්‍යාංශ ජාතික මෙහෙයුම් කමිටුව මෙහි ප්‍රධාන කමිටුවයි. සෑම මසකට වරක්ම රැස්විමට නියමිත “සුරකිමු ගංගා” දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව සහ සෑම දෙසතියකට වරක්ම රැස්වීමට නියමිත “සුරකිමු ගංගා” ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව අනෙක් කමිටු ද්විත්වයයි.
වැඩසටහන ප්‍රධාන වශයෙන් “සුරකිමු ගංගා” අන්තර් අමාත්‍යාංශ ජාතික මෙහෙයුම් කමිටුවෙහි අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන අතර ඒ සඳහා අමාත්‍යාංශ ලෙස පරිසර අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අමාත්‍යාංශය, රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, වනජීවී හා වනසංරක්ෂණ අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය, වාරිමාර්ග අමාත්‍යාංශය, ඉඩම් අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ 14ක් එක්වෙයි. පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා අන්තර් අමාත්‍යාංශ ජාතික මෙහෙයුම් කමිටුවේ සභාපතිත්වය දරන අතර ලේකම් ලෙස කටයුතු කරන්නේ මධ්‍යම පරිසර අධිකාරියේ අධ්යක්ෂ ජනරාල්වරයාය. මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා අදාළ කමිටුවේ නියෝජිතයකු වේ.
මෙයට අමතරව සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි “සුරකිමු ගංගා” දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව ක්‍රියාත්මක වේ. දිස්ත්‍රික් ලේකම් / දිසාපති ගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක මෙම කමිටුවල ලේකම් ලෙස මධ්‍යම පරිසර අධිකාරියේ දිස්ත්‍රික් සහකාර අධ්යක්ෂවරයා ක්‍රියාකරයි.
“සුරකිමු ගංගා” වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ සෑම ගං ඉවුරකටම එක් එක් ප්‍රදේශයට අදාළව ප්‍රාදේශීය කමිටු සමීපව වගකියනු ලබන අතර මෙම වැඩසටහනේ ප්‍රධාන ක්‍රියාකාරකම් වන ගංගා ජලය පිරිසිදු කිරීම සහ ඉවුරු ශක්තිමත් කිරීම සඳහා කළ යුතු ක්‍රියාකාරකම් හඳුනාගැනීම ප්‍රාදේශීය කමිටු මඟින් සිදුකරනු ලබයි. මෙම හඳුනා ගැනීම සඳහා “සුරකිමු ගංගා” අන්තර් අමාත්‍යාංශ ජාතික මෙහෙයුම් කමිටුව මගින් මාර්ගෝපදේශ සපයනු ලැබේ. එලෙසම වැඩසටහන සම්බන්ධයෙන් ජාතික මට්ටමෙන් මාර්ගෝපදේශ ලබාදීමට විශේෂඥ කණ්ඩායමක සහය ලබා ගනී. ජලය ආශ්‍රිතව කටයුතු කරනු ලබන සියලුම රාජ්‍ය ආයතන ඒකාබද්ධ කරමින් මුළු දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක වන “සුරකිමු ගංගා” වැඩසටහන සඳහා 2001 අයවැය මගින් රුපියල් මිලියන 200ක මුදලක් වෙන්කර ඇති බව පරිසර අධිකාරියේ සභාපති සිරි අමරසිංහ මහතා පවසයි.
‘සුරකිමු ගංගා’ සමාරම්භක උලෙළ මාර්තු 22 වැනිදා පැවැත්වූයේ ජනපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ ප්‍රධානත්වයෙන් කතරගම මැණික් නදිය අසලදීය. මෙම උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වූ ජනාධිපතිතුමා පැවසුවේ ලෝකයේ සියලුම රටවල් ලෝක ජල දිනය සමරන මොහොතේ “සුරකිමු ගංගා’ ජාතික පාරිසරික වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ ඉතාමත් වැදගංංංංංංංත් අවස්ථාවක් බවයි.
“රට හදන “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්රකාශනයේ අඩංගු දස වැදෑරුම් ප්‍රතිපත්තිය තුළ එක් වැදගත් අංගයක් වන්නේ තිරසර පරිසර කළමනාකරණය බවද එහිදී ජනපති පැවසීය.
ජනාධිපතිවරයා එහිදී මෙසේ ද පැවසීය. රජ කාලයේ සිට අපේ වියළි කලාපය පුරා ක්‍රියාත්මක වන එල්ලංගා පද්ධතිය අද වාරි ඉංජිනේරුවන් පවා පුදුම කරවන්නක්. පරම්පරාවෙන් පරම්පරාවට පෝෂණය වූ ගංගා 103කින් සමන්විත ගංගා ද්‍රෝණි පද්ධතිය අප ලද වටිනාම දායාදයක්.
ජලය මානව යහපැවැත්මට මෙන්ම කෘෂි, ධීවර, සංචාරක කර්මාන්තවල වගේම අනෙකුත් කාර්මික අවශ්‍යතාවයන් ඉටුකර ගැනීමේදී ප්‍රධාන සාධකයක්. එමෙන්ම මිනිසාගේ පමණක් නොව අනෙක් සතුන්ගේ පැවැත්ම උදෙසා ද ජලය ඉතා වැදගත් වෙනවා.
අතීතයේ අපේ කොළඹ හා තදාසන්න නගරවල තිබූ අපිරිසුදු, පරිසර දූෂණ තත්ත්වයත් අද තිබෙන තත්ත්වයත් පිළිබඳව ජනාධිපතිතුමා එහිදී පහදා දුන්නේය.
විශේෂයෙන්ම කොළඹ ජීවත්වෙන ජනතාවට මතක ඇති එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා රට භාරගන්න වෙලාවේ කොහොමද කොළඹ කුණු කඳු ගොඩගැහිලා තිබුණේ කියලා. ඒවා ඉවත් කරන්න බැහැ කියලා සමහර අය කිව්වා. නමුත් එතුමාගේ පාලන කාලයේදී අපි මුළු කොළඹම තිබෙන කුණු ප්‍රශ්නයට විසඳුමක් දීලා කොළඹ අවට නගරය පරිසර හිතකාමී, ජනහිතකාමී, පිරිසිදු වාතය සහිත ජීවත්වීමට ඉතා සුදුසු පරිසරයක් ලෙස ගොඩනැඟුවා. ඒ යුද්ධයෙන් පසු අවුරුදු 04 ක් වැනි කෙටි කාලය තුළ. ඒවා අදත් ඒ ලෙසම පවතින්නේ තිරසාරව ඒ දේවල් කළ නිසා.
එම වැඩපිළිවෙළ නිසා කොළඹ නගරය ආසියාවේ තිබෙන ප්‍රධාන නගර අතුරින් සුන්දර ඒ වගේම පිරිසිදු නගරයක් බවට විවිධ රටවල පවා පුවත්පත්වල සඳහන් වුණා. එම හරිත නගරය අප නිර්මාණය කළේ ගස් සිටුවීමෙන් පමණක් නොවෙයි. ඇත්ත වශයෙන්ම අපි කොළඹ නගරය, කෝට්ටේ නගරය, නුගේගොඩ මේ නගරවල ගස් විශාල ප්‍රමාණයක් පැළ කළා. කුඹුක්, මී ආදී අද ඔය විශාල වෙලා තිබෙන ගස් සියල්ලම පැළ කළේ ඒ කාලයේදී. ඇත්තටම පැළ හොයාගත්තෙත් බොහොම අමාරුවෙන්. අපි එදා මේ කුඩා නගරවල අලංකාර උද්‍යාන සකස් කළා. විහාරමහාදේවී උද්‍යානය පවා නොයෙක් ඉදිකිරීම් නිසා අපිළිවෙළටයි තිබුණේ.
පරිසර සංවර්ධනය කියන්නේ පරිසරය ජනතාවට ජීවත් වීමට සුදුසු ස්ථානයක් බවට පත්කිරීම. තමුන්නාන්සේලාට මතක ඇති පැරණි තුරඟ තරග පිටිය හා නිදහස් චතුරස්‍රය අවට කොහොමද තිබුණේ කියලා. ගොඩනැඟිලි දිරාපත් වෙලා, කඩා වැටිලා අශෝභනයි. නමුත් අපි ඒ පැරණි ගෘහ නිර්මාණ ශිල්පයට හානියක් නොවන ආකාරයට ඒවා නැවත නිර්මාණය කරලා ඒ අවට ගස් ඉන්දලා පරිසරය ලස්සන කළා. 2009 ඒ ත්‍රස්තවාදී උවදුර අවසන් කිරීමෙන් පසු අපි කොළඹ නගරය විශාල උද්‍යාන නගරයක් ලෙස නිර්මාණය කළා.
එපමණක් නෙවෙයි අපේ පරිසරය ඉතාමත්ම වැදගත් තෙත්බිම්වලින් යුක්ත වෙනවා. කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල තෙත්බිම් විශාල වශයෙන් අපි කුඩා කාලයේදී තිබුණා. ඒවා පසුකාලයේදී ගොඩකලා. සමහර අවස්ථාවලදී මම මේ ගොඩකරපු ස්ථාන හාරලා නැවත ඒ තෙත්බිම් ආරක්ෂා කරන්න අපි කටයුතු කළා. දියත උයන ප්‍රදේශය විශාල වශයෙන් ගොඩකරලා තිබුණේ. එදා වැලි පාර්ක් ලෙස හඳුන්වපු ස්ථානය තෙත් බිම් උද්‍යානයක් බවට පත්කරළා තෙත්බිම් ආරක්ෂා ව න ආකාරයෙන් පරිසර හිතකාමී ලෙස නිර්මාණය කරන්න අපට පුළුවන් වුණා. නුගේගොඩ, පිළියන්දල, බෙල්ලන්විල මේ හැම පළාතකම ඒ ප්‍රදේශ සංවර්ධනය කළා. මේවට අද ගිහිල්ලා බැලුවොත් සාමාන්‍යයෙන් දකින්නේ නැති කුරුල්ලෝ පවා ඉන්නවා යැයි ජනාධිපතිතුමා පැවසීය.
එදා පොඩි වැස්සකට පවා එම ප්‍රදේශවලට ගංවතුර ගැලුවා. කොළඹත් යටවුණා. ඒ ඔය පහත්බිම් ගොඩ කිරීම නිසා. අපි ඒ වෙනුවට පොඩි වැව් රැසක් නිර්මාණය කළා. ඒ සියල්ලක්ම පරිසරය හා සම්බන්ධයි. පරිසරය ආරක්ෂා කරනවා කියන්නේ තිරසර පරිසර සංවර්ධනයක්.
ජනගහනය වැඩි වීමත් සමඟ තෙත් බිම් හා පහත් බිම් තමයි ගොඩකරන්නේ. නමුත් මේවායේ තමයි ජෛව විවිධත්වය තියෙන්නේ. පාර්ලිමේන්තුව පිටිපස්සේ මම සකස් කළ ස්ථානයට ගියාම සිංහරාජය වගේ. විශ්වාස කරන්නේ නෑ එවැනි ප්‍රදේශයක් කොළඹ තිබෙනවා කියලා.
“සුරකිමු ගංගා” වැඩසටහන දියත් කිරීමෙන් මධ්‍යම පරිසර අධිකාරිය කරන්නේ ඉතාමත් වැදගත් ජාතික මෙහෙවරක්. සියලුම පාර්ශ්වකරුවන් රාජ්‍ය හා රාජ්‍ය නොවන අංශයන්ගේ පූර්ණ සහයෝගය මේ සඳහා ලබා දෙන්න ඕන. අදින් ඇරඹෙන “සුරකිමු ගංගා” ජාතික පාරිසරික වැඩසටහන අනාගත පරපුර වෙත අපි සියලු දෙනා විසින් දෙනු ලබන මහඟු දායාදයක් බව විශ්වාස කරන බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් එහිදී පැවසුවේ අනාගත අපේක්ෂාවන් පෙරටු කරගෙනය.
මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරි අමරසිංහ මහතා විශේෂයෙන් අවධාරණය කරන්නේ මෙම ‘සුරකිමු ගංගා’ දීප ව්‍යාප්ත වැඩපිළිවෙළ ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂයන් තමාට ලබාදුන් උපදෙස් අනුව ක්‍රියාත්මක කළ බවයි.
මේ අනුව මෙම වැඩසටහන සාර්ථක වුවහොත් මා වසර 10 කට පෙර ලියූ ඉහත දැක්වූ කැලණි ගඟ පිළිබඳ ලිපියේ ශීර්ෂ පාඨය ‘කැලණි ගඟේ කුණු නැති බව බලා වරෙන්’ යනුවෙන් වෙනස් කිරීමට අපට හැකිවනු ඇතැයි මගේ විශ්වාසයයි.