ලංකාවේ පිහිටවන්නට යන බීජේපී ආණ්ඩු කතාව | සිළුමිණ

ලංකාවේ පිහිටවන්නට යන බීජේපී ආණ්ඩු කතාව

ඉන්දීය මධ්‍යම රජයේ නිවාස ඇමති අමිත් ෂා

  ශ්‍රී ලංකාවේ සහ නේපාලයේ බීජේපී ආණ්ඩු පිහිටවිය යුතුය යන ප්‍රකාශය අසන්නට‌ ලැබීමත් සමඟ බොහෝ දෙනා කලබලයට පත්ව තිබේ. එය ඉන්දියානු ව්‍යප්තවාදය යැයි ඇතැමෙක් කියන අතර තවත් අය පෙන්වා දීමට උත්සාහ කරන්නේ නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය තම අක්මුල් ආසියාව පුරා විහිදවීමට උත්සාහ දරමින් සිටින බවයි. එහෙත් ඇතැම් දෙනා පවසන්නේ මේ ප්‍රකාශය සිදු කර ඇති පුද්ගලයා සහ ඔහු පවසන මේ කතා කිසිවක් හරයක් නොමැති නිකම් විහිළු කතා සේ සැලකිය යුතු බවයි.

මේ කතාව පවසා සිටියේ ඉන්දියාවේ ඊසාන ප්‍රදේශයේ පිහිටා ඇති ත්‍රිපුර ප්‍රාන්තයේ ඇමතිවරයකු වන බිප්ලාප් ඩෙබ්ය. ඒ පසුගිය පෙබරවාරි 15වැනිදාය.

ඔහු භාරතීය ජනතා පක්ෂයේ රැස්වීමක් අමතමින් පවසා සිටියේ භාරතීය ජනතා පක්ෂය වඩාත් ව්‍යප්ත කිරීම සම්බන්ධව තමන් මධ්‍යම රජයේ නිවාස අමාත්‍ය අමිත් ෂා සමඟ අදහස් හුවමාරු කර ගත් බවයි. එහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටි අදහස් මෙසේය.

“රජයේ නිවාඩු නිකේතනයේ දී අපි අදහස් හුවමාරු කර ගනිමින් සිටියා. එහිදී අපේ ජම්වාල් ( භාරතීය ජනතා පක්ෂයේ ඊසාන දිග ප්‍රදේශයේ ලේකම්වරයා) පවසා සිටියේ භාරතීය ජනතා පක්ෂය තවත් රාජ්‍යයන්වලද බලය තහවුරු කර ගත යුතු බවයි. එයට පිළිතුරු ලෙස අමිත් ෂා පවසා සිටියේ ශ්‍රී ලංකාව සහ නේපාලය තවමත් ඉතිරිව ඇති බවයි. අපි එහිදීත් ජයග්‍රහණය කළ යුතුයි.”

ඔහු මේ අදහස් ප්‍රකාශ කිරීමත් සමඟම ලොව පුරා ඔහුගේ මේ ප්‍රකාශය පැතිරී යෑමට පටන් ගත් අතර, එයට ප්‍රතිචාරද හිමිවන්නට විය. මෙහිදී විශේෂත්වය වූයේ ඉන්දීය ජනතාවම බොහෝ සෙයින් මේ ප්‍රකාශය විහිළුවක් සේ දකිමින්, එය විහිළුවට ගැනීමට කටයුතු කිරීමයි.

ඇතැම් දෙනා පවසා සිටියේ දැන් ඉන්දීය රජයක් ශ්‍රී ලංකාවේ සහ නේපාලයේ පිහිටුවීමටත් පසුව එය ක්‍රමයෙන් මියන්මාරය, චීනය දක්වා ගෙන ගොස් එතනින් රුසියාවේ සහ ඇමරිකාවේද ඉන්දීය ආණ්ඩු පිහිටුවීමට කටයුතු කරනු ඇති බවයි. තවත් පුද්ගලයන් ප්‍රශ්න කර තිබුණේ බිප්ලාප්ට පකිස්තානය මග හැරුණේ ඇයිද යන්නයි?

ඇතැම් දෙනා සමාජ මාධ්‍යවල මේ ප්‍රකාශය උපුටා දක්වා තිබුණේ බිප්ලාබ් ඩෙබ්ගේ තවත් පිස්සු ප්‍රකාශයක් යනුවෙන් දක්වමිනි.

සැබවින්ම ඉන්දීය සමාජ මාධ්‍ය තුළ ත්‍රිපුර ප්‍රාන්ත ඇමතිරවයාගේ මේ ප්‍රකාශය විහිළුවට ලක් වනු දැක ගත හැකි විය. එයට ප්‍රධාන හේතුවක් වී තිබුණේ ඔහු මීට පෙරද මෙවන් විහිළු සහගත සේ පෙනන ප්‍රකාශ කර තිබීමයි.

වරක් ඔහු ප්‍රසිද්ධ වේදිකාවකදී පවසා තිබුණේ පන්ජාබිවරු ශරීර ශක්තියෙන් වැඩි වුවද බෙන්ගාලිවරුන්ට වඩා බුද්ධියෙන් අඩු බවයි. ඔහුගේ මේ ප්‍රකාශයද ඉන්දියාවක්ම හිනැස්සීමට සමත් විය. පසුව තවත් අවස්ථාවකදී ඔහු පවසා සිටියේ අන්තර්ජාලය සහ චන්ද්‍රිකා තාක්ෂණය ඉන්දියාවට කිසිසේත්ම අලුත් නොවන බවයි. ඒවා අදින් වසර 3000කට පෙර රාමාගේ පාලන සමයේ සිට ඉන්දියාවේ පැවති බවද ඔහු වැඩිදුරටත් පවසා සිටි අතර එවරද මුළු ඉන්දියාවම ඇති වන තුරු හිනාවුණේය.

දැන් ඉන්දියානුවන් පවසා සිටින්නේ බිප්ලාප් ඩෙබ් ඉන්දියාවේ සිතියම වැරදියට තේරුම් අරන් සිටින බවයි.

ඔහුගේ මේ ප්‍රකාශය විහිළුවක් සේ ඉන්දීය ජනතාව සලකන අතර ඉන්දීය විපක්ෂය නම් එය කිසිසේත් විහිළුවක් සේ නොසලකන බව පෙනී ගොස් ඇත්තේ ඔවුන් එයට ලබා දී ඇති ප්‍රතිචාර හේතුවෙනි.

ත්‍රිපුර ප්‍රාන්ත ඇමතිවරයාගේ මේ ප්‍රකාශය හොඳින් ග්‍රහණය කර ගත් විපක්ෂ කොංග්‍රසය එයින් බීජේපීයට හොඳහැටි තැලීමට පටන්ගෙන තිබේ. ත්‍රිපුර ප්‍රාන්තයේ විපක්ෂ මන්ත්‍රී තපාස් දේව් පවසා සිටියේ බිප්ලාප්ගෙ මේ ප්‍රකාශය ජාතික විරෝධී, ප්‍රජාතන්ත්‍ර විරෝධී බවයි. තමන් දේශපාලන පක්ෂයක් ලෙස අසල්වැසි රටවලට ගෞරව කරන බවත් එම රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීම කිසිසේත් සාධාරණීකරණය කළ නොහැකි බවත්ය.

කෙසේ වුවද බිප්ලාප්ගේ මේ ප්‍රකාශය විහිළුවක් සේ දිස් වුවද ඔහු තමා සමඟ සාකච්ඡාවට එක් වූ බවට නම් සඳහන් කළ අමිත් ෂා ඇතුළු සෙසු පිරිසද මේ දක්වා මුනිවත රකිමින් සිටීම ද නොසලකා හැරිය නොහැකිය.

ඉන්දියාව ලෝක බලවතකු ලෙස කලාපීය දේශපාලනයට සිදු කරන බලපෑම අතිමහත් බව අමුතුවෙන් කිව යුතු නොවේ. විශේෂයෙන්ම අසල්වැසි කුඩා රටවලට ඉන්දියාව නොයෙක් ආකාරයෙන් බලපෑම් කරමින් තමන්ට හිතවාදී පාලනයක් ඇති කර ගැනීමට කටයුතු කරන බව ඉතිහාසගත උදාහරණ බොහෝය.

පකිස්තානය ආර්ථික අතින් බිමටම පහත් වීමට පෙර ඉන්දියාව සතුවූ ප්‍රබලතම විරුද්ධවාදියා වූ අතර ඉන්දියාවට කරටකර තරගයක් ලබා දීමටද සමත්විය. අමතරව බංග්ලාදේශය, නේපාලය, භූතානය වැනි රටවල් ඉන්දීය පාලන පීඩනයෙන් නිතර පෙළුණුබව සිහිපත් කර දිය යුතුය.

මේ සියල්ලේ වඩාත් කනගාටුදායක සිදුවීම් වාර්තා වන්නේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සම්බන්ධයෙනි. එය කොතරම්ද යත් ශ්‍රී ලංකාවේ ගුවන් සීමාව උල්ලංඝනය කරමින් යාපනයේ ජනතාවට ආහාර ලබා දීමට තරම් එවකට සිටි ඉන්දීය පාලකයෝ හිතුවක්කාරී වූහ. ශ්‍රී ලංකාවේ වාසය කරන ඉන්දීය ද්‍රවිඩ ජනතාව සම්බන්ධ කර ගනිමින් ඉන්දීය පාලකයෝ ශ්‍රී ලංකාවේ පාලනයට නොයෙක් ආකාරයෙන් මැදිහත් වූ අවස්ථා ඕනෑ තරම්ය. ස්වකීය ද්‍රවිඩ ඥාතීන් අදාළ කරගනිමින් තමිල්නාඩුව ශ්‍රී ලංකාවේ පාලනයට ඇඟිලි ගැසීම් කළ අවස්ථා ගණනය කළ නොහැකි තරම්ය. ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදීව පත්වූ පාලකයන්ගේ ක්‍රියාවන්ට බලපෑම් කිරීමට තමිල්නාඩු පාලකයෝ උපවාස කළ අතර, මධ්‍යම රජයට බලපෑම් කරමින් ශ්‍රී ලංකා රජයට පීඩනය එල්ල කිරිමට කටයුතු කළ අවස්ථා ද රාශියකි.

ඉන්දීය දේශපාලනයේ මේ මැදිහත්වීම් සම්බන්ධව හිටපු ඉන්දීය දේශපාලනඥයකු වූ නට්වාර් සිං වරක් One Life is not Enough නම් වූ තම කෘතියෙන් පැහැදිලිව ප්‍රකාශ කර සිටියේය. ඔහු එහිදී තමා ලැබූ අමතකම නොවන අත්දැකීමක් වශයෙන් පවසා සිටියේ ගිනි ගෙන දැවෙන කොළඹ නගරයේදී පළාත් සභා ගිවිසුම අත්සන් කිරීමට රජීව් සමඟ පැමිණි අවස්ථාවයි.

මේ සියල්ල ඉන්දියාව ශ්‍රී ලංකාවේ පාලනයට මැදිහත් වූ අවස්ථාවන් මිස අන් කිසිවක් නොවේ. ඇතැම් විට යම් යම් මන්ත්‍රණ, කුමන්ත්‍රණ සමාජගත වූ අවස්ථාවේදී එය විහිළුවක් සේ පෙනී ගියද එය සැබෑවක් වන විට පුදුම වනු හැර විකල්ප ඉදිරි වී නොතිබෙනු ඇත.

මෙහිදී සාකච්ඡාවට බඳුන් වී ඇත්තේ අසල්වැසි රටවල පක්ෂ කාර්යාල පිහිටුවීම බවටද මතයක් සමාජ ගත වෙමින් තිබේ. එයට පිළිතුරු ලබා දී ඇති ශ්‍රී ලංකාවේ මැතිවරණ කොමසාරිස් නිමල් පුංචිහේවා පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ නීතිය අනුව වෙනත් රටවල දේශපාලන පක්ෂවලට රටතුළ ක්‍රියාත්මක වීමට අවසර නොලැබෙනු ඇති බවයි.

ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂවල සාමාජිකයන්ට වෙනත් රටවල සිට ක්‍රියාත්මක වීමේ අවසරය හිමි වුවද විදෙස් දේශපාලන පක්ෂවලට රටතුළ ක්‍රියාත්මක වීමේ අවසරයක් නොමැති බව මැතිවරණ කොමසාරිස්වරයා මාධ්‍ය හමුවේ පෙන්වා දී තිබේ.

මේ අන්දමින් නොයෙක් ආකාරයෙන් බිප්ලාප්ගෙ මේ ප්‍රකාශය අර්ථ ගන්වා ගත හැකි වුවද, තලියේ කිඹුලන් නොදැකිය යුතුවා වුවද ඉන්දීය බීජේපී පක්ෂය යනු කිසිසේත් සුළු කොට නොතැකිය යුතු පක්ෂයක් බව අපගේ වැටහීමය. එයට බලය ලබා ගැනීමට අවශ්‍ය වූ විට කුමන අන්දමේ නැටුමක් වුව නටන්නට පසුබට නොවන බව එහි අතීත උදාහරණවලින් පැහැදිලිය. අනික් අතට චීනය සමඟ කරටකර තරඟ වැදීමට සමත් ශක්තිමත් පක්ෂය බීජේපීය බව එය මේ වන විට එරට ජනතාවට ඉතා සූක්ෂ්මව, හෙමින් සීරුවේ තහවුරු කර ගනිමින් පවතින බව පැහැදිලිය. ඒ අනුව ඔවුන්ගේ යටිපෙළේ අසල්වැසි රටවල් සම්බන්ධව යම් යම් සැලසුම් පවතින බව ද නිශ්චල දිය සේ පැහැදිලිය.

අප රටේ ඉතිහාසය සලකන විට ඉන්දියාව දේශපාලනිකව අපට මැදිහත්වීම් සිදු කර ඇත්තේ වරක් හෝ දෙවරක් නොවන්නේය. ඉන්දියාව ගැසූ පළාත් සභා ගැටය තවමත් ලෙහා ගැනීමට අපට හැකියාව ලැබී නැත. වතුකරයේ රජුන් තනන්නන් බිහි කරවූයේ ඉන්දියාව බව දන්නෝ දන්නේය. අප රටේ සිවිල් යුද්ධයේ අවස්ථා කියකදී ඉන්දියාව මැදිහත් වූවාද යන්න බොහෝ දෙනාට දැන් මතක නැත.

අනික් අතට නේපාලයේ නමද මෙහිදී ගෑවීම සුළු කොට තැකිය නොහැකිය. නේපාලයේ දේශපාලන අවුල් ඇති වීමේදී චීනය මෙන්ම ඉන්දියාවද දෙපස සිට නූල් අදින බව සක්සුදක් සේ පැහැදිලිය.

මේ වන විටත් නේපාලය ඉදිරියට හෝ පසුපසට යෑමට නොහැකිව එකතැන සිරවී සිටීමට මේ දෙරට අතර දේශපාලන බර අරගලය සහ අසල්වැසි රාජ්‍යය තමන් වෙත නතු කර ගැනීමේ නවතම උත්සාහය ප්‍රබල හේතුවක් වී ඇත්තේය. එබැවින් ත්‍රිපුර ප්‍රාන්ත ඇමතිවරයාගේ මේ ප්‍රකාශය කිසිසේත් සුළු කොට තැකිය නොහැකි වන්නේය.

Comments