ඉන්දි­යාව අපිට තරහ කර­ගන්න බැහැ | සිළුමිණ

ඉන්දි­යාව අපිට තරහ කර­ගන්න බැහැ

වරාය වෘත්තීය සමිති සියල්ලම ඒකාබද්ධව රජයට විරෝධය පාමින් කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට ලබා නොදෙන ලෙසට රජයට බල කරනවා. රජය පවසන්නේ ඉන්දියාවට මෙය ලබා නොදෙන බවයි. ඔබ දකින විදියට කුමක්ද මේ ගැටලුව?

මේක දීර්ඝ කාලයක් තිස්සේ තිබුණු යම් යම් තීන්දු තීරණවල අවුල් සහගත තත්වය වැඩි දියුණු වීම නිසා මේ තත්වයට පත්වෙලා තිබෙනවා. විශේෂයෙන්ම කාලයක් තිස්සේ මෙරට නායකයන් ගෙන ගිය වැරදි විදේශ ප්‍රතිපත්තීන් රැසක්ම ක්‍රියාත්මක වුණා. ශ්‍රී ලංකාවට උචිත විදේශ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක නොවීම වරාය ගැටලුවට තවත් හේතුවක් කියන එක මගේ දැඩි මතයයි.

මහින්ද රාජපක්ෂ, රණසිංහ ප්‍රේමදාස, චන්ද්‍රිකා කුමාරතුංග, ජේ.ආර්. ජයවර්ධන ඇතුළු මෙරට ජනාධිපතිවරුන් රැසක්ම සිටියා. මේ කිසිම කෙනෙක් චීනයට මේ තරම් ළංවුණේ නැහැ. නමුත් අපි පරිස්සම් වෙන්න ඕන අ‍පේ අසල්වැසි රට ඉන්දියාව. මොන දේ වුණත් අපිට ඉන්දියාව තරහ කරගන්න බැහැ. මොකද අපිට ඉතා සමීප ඉතිහාසයක් තිබෙනවා. ඉන්දියාවයි චීනයයි ප්‍රශ්න තිබෙනවා. මේ රටවල් දෙකේ නොයෙක් ගැටුම් තිබෙනවා. අපි මේ රටවල් දෙක එක්කම ඉතාම සමබරව කටයුතු කළ යුතුයි. මේ රටවල් දෙකම ලෝකයේ සුපිරි බලවතුන් ලෙස ක්‍රියා කරන රටවල්. ඒ නිසා මෙහිදී එක පැත්තකට වැඩි නොවී රටවල් දෙකම තරහ කර ගන්නේ නැතිව වැඩ කටයුතු කළ යුතුයි. මොකද මම කළින් කීව නායකයන් කිසිම කෙනෙක් චීනයට මේ ආකාරයට ලංකාවට බලපෑම් එල්ල කරන්න ඉඩ තැබුවේ නැහැ. මේ වන විට අපගේ රටේ දේපළ කන්දරාවක් චීනයට දීලා ඉවරයි. පොට්සිටි එක දුන්නා, හම්බන්තොට වරාය දුන්නා. කොළඹ වරායෙන් කොටසක් දුන්නා. සින්නක්කර දුන්නා. මේ කරුණු නිසා ඉන්දියාව කියන්නේ රජය චීනයට මේ රටේ බොහෝ ස්ථාන ලබාදී තිබෙනවා. මේ නිසා අපිටත් යම් කොටසක් දෙන්න කියන කාරණාව. මේ නිසා අද රජයට සිදුවෙලා තිබෙනවා ඉන්දියාවට කොටසක් දෙන්න. නැගෙනහිර ජැටියේ සියයට හතළිස් නමයක් මේ රජය ඉන්දියාවට දෙන්න තීරණය කරලා ඉවරයි. ආයෝජනය කිරීම්, බදු දීම් කියලා කියන්නේ වෙනත් වචන. කෙළින්ම කියනවා නම් රජයට මෙය ඉන්දියාවට ලබා දෙන්න සිදු වෙනවා. අතීතයේ ඉඳලම මේ රටේ නායකයන් ක්‍රියා කළ විදේශ ප්‍රතිපත්තිවල ගැටලු මේ තත්වය උදාකර ඇති බව මගේ හැඟීමයි. අද ආණ්ඩුවක් නැති විදියට තමයි මේ අය ක්‍රියා කරන්නේ.

 

අද ආණ්ඩුවක් මේ රට තුළ නැහැ කියලා ඔබ කියන්නේ කොහොමද? මේ ආණ්ඩුවට තුනෙන් දෙකේ බලයක් තිබෙනවා?

තුනෙන් දෙකක් තිබුණු පළියට මේ ආණ්ඩුව මොනවද කරන්නේ. කිසිම නීතියක් නැහැ. කිසිම පාලනයක් නැහැ. අඩුම ගානේ පොල් ගෙඩියක මිල පාලනයක් කරගන්න බැරි වුණා. ආර්ථිකව ජනතාව ඉතා අන්ත අසරණ තත්වයක සිටින මේ මොහොතේ අත්‍යවශ්‍ය භාණ්ඩ වෙළෙඳුන් එක එක ගණන් වලට අලෙවි කරනවා. සීනි, පරිප්පු, හාල් මේ සියල්ලටම ආණ්ඩුව පාලන මිල ගෙනාවා. ඒක කඩදාසියකට විතරක් සීමා වෙලා. වෙළෙඳ ඇමති එක එක ඒවා කියලා ජනතාව තවදුරටත් අමාරුවේ දානවා.

තව පැත්තකින් තවමත් පාතාලය ක්‍රියාත්මකයි. මහදවල් පාතාල සාමාජිකයන් වෙඩිතියා ගන්නවා. මිනීමැරුම් මංකොල්ලකෑම් දින දින වැඩි වෙනවා. සමහර රාජ්‍ය ආයතනවල නීතිය ක්‍රියාත්මක වෙන්නේ එක පිරිසකට විතරයි. තවත් පැත්තකින් අධ්‍යාපනය, සෞඛ්‍ය ඇතුළු බොහෝ අංශ කඩාගෙන වැටිලා. කොරෝනා රැල්ල හොඳටම පාලනය කළා කියලා ලෝකයටම කිව්වා. ඒත් දෙවෙනි රැල්ල ඇවිත් මේ වන විට පන්දාහකට වැඩි පිරිසක් රෝගයට ගොදුරු වෙලා. සිය ගණනක් ජීවිත අහිමි වෙලා. මේ රජය මොනවද කරන්නේ. අද මේ රජයට කිසිම දෙයක් කරගන්න බැරි තත්ත්වයක් තිබෙන්නේ. ඒ නිසා තමයි අපි කියන්නේ ආණ්ඩුවක් නැහැ කියලා.

 

රජයේ ප්‍රබල ඇමතිවරු රැසක්ම මෙන්ම වරාය අධිකාරියේ සභාපති කියන්නේ නැගෙනහිර ජැටිය බදු දීමේ වගකීම යහපාලන කාලයේ ආරම්භ කළ එකක් බවයි?

ඒක මම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. ඔය සම්බන්ධව තිබෙන ලිපි ලේඛන කියවන්න කියලා මම ඔය ඇමතිවරුන්ටයි වරාය අධිකාරියේ සභාපති තුමන්ටයි කියන්න කැමතියි. අපේ කාලයේ සිදු වූ දේ මම පැහැදිලිව කියන්නම්. අපි සිදු කළේ වරාය විකුණන එක නොවෙයි. අපි මැනේජ්මන්ට් කොම්පැනි එකක් හැදුවා. මේක පාලනය කිරීම සඳහා එය සමාගමක්. ඒ සමාගමේ 52% තිබ්බේ අපිට. ඉතිරි 49% තිබුණේ ඉන්දියාවටයි ජපානයටයි. ජපානය අපිට සල්ලි දෙන්නම් කිව්ව මේක දියුණු කරන්න. අවුරුදු 40 කින් ගෙවන්න. ඉන්දියාව පොරොන්දු වුණා බිස්නස් එවන්න. අපි සිදු කළේ අන්න ඒ අයුරින්. අපි කිසිම විටෙක සින්නක්කර මේක දුන්නේ නැහැ. අපි යහපාලන ආණ්ඩුව ඇති කරලා රජය භාර ගන්නකොට හම්බන්තොට වරාය ‘පෝට්සිටි’ එක සින්නක්කර දෙන්න පිඹුරුපත් සකස් කරලා තිබ්බේ. අපි තමයි ඇවිල්ලා මේවා බදු ක්‍රමයට පරිවර්තනය කළේ. ඒ අනුව අදාළ කාල සීමාවෙන් පසු මේවා ශ්‍රී ලංකාවට අයිති වෙනවා. ඒ නිසා අපිට ‍චෝදනා කරන අයට අපි කියනවා පැහැදිලිව අදාළ තොරතුරු අධ්‍යයනය කරන්න කියලා.

 

කො‍රෝනා දෙවැනි රැල්ල පාලනය කර ගැනීමට රජයට නොහැකි වූ බව ඔබ සඳහන් කළා. ඇත්තටම කොතනින්ද එය සිදු වුණේ?

කොරෝනා දෙවැනි රැල්ල ආරම්භ වන විටම ගුවන් තොටුපොළ වැහැව්වේ නැහැ. එය මුලින්ම සිදු කළා නම් අද මේ තරම් ගැටලුවක් වෙන්නේ නැහැ. මේ පිළිබඳව ඉතා උනන්දුවෙන් කතා කරමින් දැඩි අවධානයකට ලක්කරන්නට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එදා කටයුතු කළා. අපි පාර්ලිමේන්තුවේදි මෙන්ම ඉන් පිටතදී රජයට ජනාධිපතිවරයාට දැඩිව අවධාරණයෙන් කියා සිටියා ගුවන් තොටුපොළ වසා දමන්න කියලා. ජනවාරි 24 පෙබරවාරි 23 දිගින් දිගටම කිව්වා. රජය එය සිදු කළේ නැහැ. අනෙක් කාරණය තමයි අපි දූපතක්. දූපතක් මෙහිදී බේරගන්න ලේසියි. මොකදට රටට පිටින් එන පුද්ගලයන්ගෙන් මේ රෝගය ව්‍යාප්ත වෙන එක වැඩියි. ලෝකය පිළිබඳව හොයලා බලන්න. අද ලෝකයේ දූපත් රටවල් කීයක් කොරෝනා වසංගතය මැනවින් පාලනය කළාද කියන එක. තායිවානය චීනය ළඟම තිබෙන්නේ. නමුත් ඒ රටින් වාර්තා වෙලා තිබෙන කොරෝනා රෝගින් ගණන ඉතා සුළු සංඛ්‍යාවක්. ඉකුත් මාස 9ටම මේ රටින් කොරෝනා ‍රෝගීන් නමදෙනෙක් විතරයි වාර්තා වෙලා තිබෙන්නේ.

වර්තමානයේ පාර්ලිමේන්තුව තුළ පැවැත්වෙන වාද විවාද වලදි ඊට අදාළ කරුණු ගැන සාකච්ඡා නොකර මඩගසා ගැනීම් සිදු කරනවා. විනය පිරිහිලා. ඇයි මෙහෙම වෙන්නේ?

නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවෙන් තිබුණා වැඩමුළුවක්. මමත් එහිදී කතා කළා. මන්ත්‍රීවරුන්ට මම අවදානයෙන් කියා සිටියා පෞද්ගලික මඩ ගැසීම් සිදුකරන්න එපා පාර්ලිමේන්තු සම්ප්‍රදායන් රකිමින් කටයුතු කරන්න කියන කාරණය. නමුත් අද එය සිද්ධ වෙන්නේ නැහැ. දෙපැත්තේම මන්ත්‍රීවරුන් මෙන්ම රජයේ සමහරක් ඇමතිවරුන් ඉතා අප්‍රසන්න ලෙස පාර්ලිමේන්තුව තුළ හැසිරෙන්නේ. ප්‍රාදේශීය සභාවල සිට පැමිණි අය මෙහි සිටිනවා. ඒ වගේම අධ්‍යාපනයක් හරියට නොලබපු පිරිසක් ද මේ අතර සිටිනවා. මා දකින්නේ නිසි අධ්‍යාපනය නොලබු පිරිස මේ ආකාරයට කටයුතු කරනවා කියන එක. මේ අතර ඉතා බුද්ධිමත්ව විනය ගරුකව ක්‍රියා කරන මන්ත්‍රීවරුන් ඇමතිවරුන් සිටිනවා. අප්‍රසන්නව හැසිරෙන පිරිස පිළිබඳව කථානායක තුමා යම් යම් ක්‍රියාමාර්ග ගතයුතුව තිබෙනවා.

 

සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ ප්‍රථම රැස්වීම ඉකුත්දා පැවතුණා. මෙහිදී තනතුරු ලබාදීම් ඇතුළු තවත් කරුණු කිහිපයක්ම ගැටුම් සහගත වූ බව මාධ්‍ය වාර්තා කර තිබුණා නේද?

නැහැ. ඒවා ඔක්කොම බොරු. රජයට හිතවත් මාධ්‍ය තමයි එවැනි ප්‍රවෘත්ති මවන්නේ. පක්ෂයක් හැටියට අපගේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ පළමු හමුව ඉතා සාර්ථකයි. පක්ෂයක් වසරක කාලයක් තුළදී මෙවැනි තත්වයකට ජනතා හිතකාමි අයුරින් ක්‍රියා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රි ධුර පනහකට වැඩි ප්‍රමාණයක් ලබා ගත්තා. අනෙක් කාරණය තමයි මේ වන විට ඕනෑම මැතිවරණයකට සූදානම් වූ අපගේ පක්ෂය ඉදිරියේදී ඕනෑම මැතිවරණයක් ජයග්‍රහණය කිරිම සඳහා සූදානම් වෙලා ඉන්නේ.

 

පක්ෂයේ තනතුරු ලබාදීම් සම්බන්ධව ගැටලුවක් ඇත්තේම නැද්ද?

කිසිසේත්ම නැහැ. මොකද සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු වගකීම් දැරිය හැකි වගකීම් දරා ඇති ඉතා දක්ෂ නිලධාරි මණ්ඩලයක් තමයි අපි පත්කරලා තිබෙන්නේ. කිසිම ගැටලුවක් නැතිව අපිට ඉදිරියේදී අපගේ කටයුතු කරගෙන යා හැකියි.

 

සමගි ජනබලවේගයේ ප්‍රබල ක්‍රියාකාරී සාමාජිකයෙකු වූ පාඨලි චම්පික රණවක මහතාට තනතුරක් ලැබුණේ නැහැ නේද?

ඇත්තටම තනතුරු ගැන නොවෙයි ඔහු අප සමඟ කතා කළේ. ඔහු කතා කළේ සමගි ජනබලවේගයේ පක්ෂ සාමාජිකත්වය ලබා ගැනීම පිළිබඳවයි. ඔහු ඇතුළු තවත් අ‍පගේ පක්ෂයෙන් අපේක්ෂකත්වයට ඉදිරිපත් වූ විශාල පිරිසක් අපගේ සාමාජිකත්වය ඉල්ලා සිටියා. අපි එය ලබාදිමට කටයුතු කළා. ඉදිරියේදි ඔහු අපගේ සියලු ක්‍රියාකාරිත්වය සමග වැඩකටයුතු කරගෙන යන බව කියා සිටියා.

 

සමගි ජනබලවේගය සමඟ සම්බන්ධ වී සිටින මුස්ලිම් සහ දෙමළ දේශපාලන පක්ෂ තමන්ට ගැටුලු ඇති වී තිබෙන බවත් පක්ෂය තුළ අර්බුදයක් ඇති බවටත් ජනමාධ්‍ය වාර්තා කර තිබෙනවා?

ඉදිරියේදි මෙවැනි අර්බුද ඇති වෙන්නේ නැහැ. මොකද අපි සමගි ජනබලවේගය නියෝජනය කරන පුද්ගලයන් උතුරු නැගෙනහිර පළාත් වලට මින් ඉදිරියේදි ඉදිරිපත් කරනවා. විශේෂයෙන්ම දෙමළ සහ මුස්ලිම් ජාතිකයන් විශාල පිරිසක් මේ වන විට උතුරු සහ නැගෙනහිර පළාත් වලින් අපගේ පක්ෂය සමඟ සම්බන්ධ වී සාමාජිකත්වය ලබාගෙන ඒ ප්‍රදේශවල ක්‍රියාත්මක වී සිටිනවා. එක්සත් ජාතික පෙරමුණ වශයෙන් අපි සිටින අවස්ථාවේ මුස්ලිම් පක්ෂවලට අපි අවස්ථාව ලබා දුන්නා ඒ පැතිවලින් තරග කරන්න. ඒ නිසා මුස්ලිම් දෙමළ පක්ෂවලට බලය ගියා. ඉදිරියේදි මේ තත්වය අපි වෙනස් කරනවා.

Comments