සෞම්‍යගේ ගැට­ලුව කියන තරම් සෞම්‍ය ද? | සිළුමිණ

සෞම්‍යගේ ගැට­ලුව කියන තරම් සෞම්‍ය ද?

සෞන්දර්ය විශ්ව ­වි­ද්‍යා­ලයේ සේවය කළ ප්‍රවීණ රංග­ධ­ර­යකු වන සෞම්‍ය ලිය­නගේ සම්බ­න්ධ­යෙන් විශ්ව­වි­ද්‍යාල පාල­නා­ධි­කා­රිය විසින් ගණු ලැබූ තීර­ණය පිළි­බ­ඳව නොයෙක් පාර්ශ්ව විසින් මේ වන විට විවිධ මත පළ කර­මින් තිබේ. මෙම ලිපි­යෙහි අර­මුණ වන්නේ එකී ප්‍රශ්නය පිළි­බ­ඳව තුළ­නා­ත්ම­කව විමසා බැලී­මය.

සෞන්දර්ය විශ්ව­වි­ද්‍යා­ල­යීය අධ්‍ය­යන ආය­ත­නයේ නියෝජ්‍ය ලේඛ­කා­ධි­කාරී ජි. එස්. පී. නානා­ය­ක්කාර විසින් ලිඛි­තව දක්වා ඇති පරිදි සිද්ධිය සංක්ෂිප්ත වශ­යෙන් මෙසේය.

“සෞම්‍ය ලිය­නගේ විශ්ව­වි­ද්‍යාල ප්‍රති­පා­දන කොමි­ෂන් සභා අනු­මැ­තිය සහි­තව ආධු­නික කථි­කා­චා­ර්ය­ව­ර­යකු ලෙස තන­තු­රට පත් වන්නේ වර්ෂ 2007 02.02 දිනය. ඔහුට ඒ වන­විට තිබුණේ 1998.09.01 දින සිට වලංගු වන කැලණි සර­ස­වියේ සාමාන්‍ය සාමා­ර්ථ­යක් සහි­තව ලබා ගන්නා ශාස්ත්‍ර­වේදී උපා­ධිය සහ ඕස්ට්‍රේ­ලි­යාවේ ෆිලි­න්ඩර් සර­ස­වි­යෙන් ලබා ගත් ශ්‍රාස්ත්‍ර­පති උපා­ධි­යත්ය. මෙරට රජයේ විශ්ව විද්‍යා­ල­ය­යක ආධු­නික කථි­කා­චා­ර්ය­ව­ර­යකු වීමට අවශ්‍ය මූලික සුදු­සු­කමක් වන්නේ මූලික උපා­ධිය සඳහා ලබන පන්ති සාමා­ර්ථ­යකි. එහෙත් සෞම්‍ය ට ප්‍රථම උපා­ධිය සඳහා සම්මාන සාමා­ර්ථ­යක් නැති බැවින් ඔස්ට්‍රෙ­ලි­යාවේ ෆිලි­න්ඩර් සර­ස­වි­යෙන් වර්ෂ 2003.06.10 දින ලබා ගත් ශාස්ත්‍ර­පති උපාධි සලකා බලා ආධු­නික කථි­කා­චාර්ය තන­තුර සඳහා බඳ­වා­ගෙන තිබේ. ඒ තන­තුර ස්ථිර කිරී­මට පශ්චාත් උපා­ධි­යක් සම්පූර්ණ කිරීමේ පරි­වාස කාල­ය­කට යට­ත්වය. ආධු­නික කථි­කා­චා­ර්ය­ව­ර­යකු ලෙස බඳවා ගත් සෞම්‍ය ලිය­නගේ එම තන­තු­රෙහි ස්ථිර කිරී­මට තවත් පශ්චාත් උපා­ධි­යක් හැදෑ­රිය යුතුව තිබිණි. එකී අව­ශ්‍ය­තාව සම්පූර්ණ කිරීම සඳහා ඕස්ට්‍රෙ­ලි­යාවේ La Trobe සර­ස­වියේ ආචාර්ය උපා­ධි­යක් හැදෑ­රී­මට වර්ෂ 2010.06.01 දින සිට 2013.08.31 දක්වා වැටුප් සහිත වසර තුනක අධ්‍ය­යන නිවා­ඩු­ව­කුත්, වර්ෂ 2013.09.01 දින සිට වර්ෂ 2014.08.24 තෙක් වැටුප් රහිත අධ්‍ය­යන නිවා­ඩු­ව­කුත් ලෙස වසර හත­රක් නිවා­ඩු­වක් ඔහුට සෞන්දර්ය විශ්ව­වි­ද්‍යා­ලය විසින් ලබා දී ඇත. එහෙත් ඉහත කාලය තුළ ඔහු එම ආචාර්ය උපා­ධිය සම්පූර්ණ කර නොමැති බව සෞන්දර්ය විශ්ව­වි­ද්‍යා­ල­යයේ නියෝජ්‍ය ලේඛ­කා­ධි­කා­රී­ව­රයා සඳ­හන් කරයි.

ආන්දෝලනයට ලක්වූ සෞම්‍ය ලියනගේ

සෞම්‍ය ලිය­නගේ සිය ආචාර්ය උපා­ධිය සම්පූර්ණ කර පශ්චාත් උපාධි සුදු­සු­කම තහ­වුරු කරනු ලබන්නේ වර්ෂ 2015.08.12 වැනි දිනය. ඔහු විසින් ඉදි­රි­පත් කර ඇති උපාධි සහ­ති­කය සත්‍යා­ප­නය කිරී­මෙන් පසු වර්ෂ 2015.10.01 සේවය ස්ථිර කිරීමේ සම්මුඛ පරී­ක්ෂ­ණය පැවැ­ත්වූයේ ය. එකී පරී­ක්ෂණ මණ්ඩ­ලයේ තීර­ණය පහත පරි­දිය.

“ සෞම්‍ය ලිය­නගේ විසින් වර්ෂ 2015.02.02 දිනට ආධු­නික කථි­කා­චාර්ය ධුරයේ වසර 08ක පරි­වාස කාල­යක් සම්පූර්ණ කර ඇත. නමුත් ඒ දින වන­විට ඔහු ආධු­නික කථි­කා­චාර්ය ධුරයේ තහ­වුරු කිරී­මට අවශ්‍ය සුදු­සු­කම් සපුරා නැත. එබැ­වින් එදින සිට තාව­කා­ලික කථි­කා­චාර්ය ධුර­යට පත් කර ඇත. ආධු­නික කථි­කා­චාර්ය ධුරයේ ස්ථිර කිරී­මට ඔහු සුදු­සු­කම සපුරා ඇත්තේ එම තන­තුරේ වසර 08කුත් සම්පූර්ණ කර තවත් තවත් මාස 6 කුත් දින 10කට පසුය. එනම් 2015.08.12 දිනය. එහෙත් ඔහුට ආචාර්ය උපා­ධිය ලබා ගැනීම වෙනු­වෙන් සර­ස­විය විසින් ලබා­දුන් වැටුප් සහිත තෙව­සර ඇතුළු නිවාඩු සිව් වස­රත්, ශාස්ත්‍ර­පති උපා­ධි­යක් වෙනු­වට දර්ශන ශූරී උපා­ධි­යක් ලබා ගැනී­මත්, සුදු­සු­කම් හා දක්ෂ­තාත් සැල­කි­ල්ලට ගෙන ඔහු නර්තන හා නාට්‍ය කලා පීඨයේ නාට්‍ය, මුද්‍රා­නාට්‍ය, නූතන නර්තන අධ්‍ය­යන අංශයේ ආධු­නික කථි­කා­චාර්ය තන­තුරේ ස්ථිර කිරී­මට නිර්දේශ කළේය. ඒ අනුව ඔහු මේ තන­තුරේ ස්ථිර ‍කෙරෙන්නේ 2015 සිට නොව 2007 වසරේ සිට ක්‍රියා­ත්මක වන ආකා­ර­යෙනි. තවද ඔහු විසින් පශ්චාත් උපාධි සුදු­සු­කම සම්පූර්ණ කරන ලද දිනය වන වර්ෂ 2015.08.12 දින සිට ජ්‍යෙෂ්ඨ කථි­කා­චාර්ය (II) තන­තු­රට උසස් කිරී­ම­ටද නිර්දේශ විය. ඉහත නිර්දේශ සහි­තව සෞම්‍ය ලිය­නගේ නැවත සේවය පිහි­ටු­වීම පිළි­බ­ඳව සිහි කැඳ­වීමේ පත්‍රි­කා­වක් වර්ෂ 2015.12.14 දින පැවති 127 වැනි පාලක සභාවේ අනු­මැ­ති­යට දැමිණි. ඔවුන්ගේ තීර­ණය වූයේ නිය­මිත වසර 08ක කාලය තුළ පශ්චාත් උපාධි සුදු­සු­කම සපුරා නැති බැවින් ඔහුව නිර්දේශ කළ දින සිට එනම් 2007.02 02 දින සිට තාව­කා­ලික කථි­කා­චාර්ය ධුරයේ ස්ථිර කළ නොහැකි බවය. එසේ වුවද ඔහු පශ්චාත් උපා­ධිය සම්පූර්ණ කළේ වසර අටක පරි­වාස කාල­යක් ගතවී මාස 6යි දින 10ක් ගත­වී­මෙන් බැවින් ඒ කාලය මාස 07ක් සේ සලකා මුල් පත්වීම් කාල­යෙන් එම මාස 07 අඩු කර 2007.09.02 දින සිට සේවයේ ස්ථිර කර ඔහු තන­තු­රට අදාළ සියලු සුදු­සු­කම් සම්පූර්ණ කළ වර්ෂ 2015. 08. 12 දින සිට ජ්‍යෙෂ්ඨ කථි­කා­චාර්ය (11 ශ්‍රේණිය)ට උසස් කරන ලෙසය. ඒ අනුව සිදුව ඇත්තේ තාව­කා­ලික කථි­කා­චාර්ය මට්ට­මට ඇද දැමූ සෞම්‍ය ලිය­නගේ ආධු­නික කථි­කා­චාර්ය තන­තුරේ පිහි­ටු­වන්නේ නැතිව සේවයේ ස්ථිර කිරීම හා වර්ෂ 2015.12.18 සිට ජ්‍යෙෂ්ඨ කථි­කා­චාර්ය (11 ශ්‍රේණිය) ට උසස් කිරී­මය. එසේ වුවත් ඉහත පාලක සභා තීර­ණය අනුව ආධු­නික කථි­කා­චාර්ය ධුර­යට පත් වූ දිනය සංශෝ­ධ­නය කර නැවත පත්වීමේ ලිපි­යක් නිකුත් වී නොති­බුනි.

මෙම පත්වීම සම්බ­න්ධව වර්ෂ 2015 සිට වර්ෂ 2019 දක්වා අභ්‍ය­න්තර හා රජයේ විග­ණන අංශ විම­සුම් කර තිබිණි. වර්ෂ 2019 දී රජයේ විග­ණන අංශ විසින් කර තිබූ විම­සීම 169 වැනි පාලක සභා­ව­ටත් යොමු කර තිබිණි. මෙම කාර­ණාව වර්ෂ 2018.03.22 දින පැවති කෝප් කමිටු සභා­වා­රය වෙතත් යොමු විය.

මේ අතර මේ කරුණ ගැන වර්ෂ 2019.09.09 දින විශ්ව විද්‍යාල ප්‍රති­පා­දන කොමි­ෂන් සභාව ද UGC/HR/4/15/19/2 දරන ලිපි­යෙන් විශ්ව­වි­ද්‍යාල පාලක සභාව විම­සු­වේය.

වර්ෂ 2019.12.06 දින 169 වැනි පාලක සභාව රැස් විණි. එම පාලක සභා වාර්තාව සෞම්‍ය ලිය­නගේ ගේ පත්වීම සම්බන්ධ කළ විග­ණන විම­සුමේ සඳ­හන් කරුණු ගැන සෞන්දර්ය විශ්ව විද්‍යා­ල­යීය අධ්‍ය­යන ආය­තන අංශ­යෙන් වාර්තා­වක් කැඳ­වූ­යේය. එම වාර්තාව වර්ෂ 2020.02.20 දින පැවති 170 වැනි පාලක සභාව වෙත ඉදි­රි­පත් විය. 170 වැනි පාලක සභා­වා­ර­යට වර්ෂ 2020.02.13 දින පැවැත්වූ විශ්ව­වි­ද්‍යාල ප්‍රති­පා­දන කොමි­සමේ 1026වන කොමි­ෂන් සභා වාරයේ ගත් තීන්දු­වක් දන්වා තිබිණි. එහි පැහැ­දි­ලිව දක්වා තිබුණේ සෞම්‍ය ලිය­නගේ ආධු­නික කථි­කා­චා­ර්ය­ව­ර­යෙක් ලෙස සේවය ස්ථිර කිරීම සහ ජ්‍යෙෂ්ඨ කථි­කා­චාර්ය ධුරයේ ස්ථිර කිරීම සම්බ­න්ධව පාලක සභාව ගත් තීර­ණය 1978 අංක 16 දරණ පන­තෙහි ප්‍රති­පා­ද­න­ව­ලට පට­හැනි බවය. එය වහාම නිවැ­රදි කළ යුතු බවය. ඒ අනුව පවත්නා නීති රීති උල්ලං­ඝ­නය කර­මින් මෙම පත්වීම ලබා දී ඇති නිසා මේ සම්බ­න්ධව නීති­පති උප­දෙස් ගැනී­මට 170 වැනි පාලක සභා­ව ඒ අනුව නිර්දේශ කළේය. වර්ෂ 2020.07.22 දිනැති ලිපි­යෙන් නීති­පති දෙපා­ර්ත­මේ­න්තුව පාලක සභා­වට දන්වා ඇත්තේ විශ්ව විද්‍යාල ප්‍රති­පා­දන කොමි­සම මෙම තීර­ණ­යට එළඹ ඇත්තේ කොමි­ෂන් සභා­වට ලැබී ඇති නීති ප්‍රති­පා­දන ප්‍රකා­රව බැවින් නැවත නීති­පති උප­දෙස් විම­සීම අන­වශ්‍ය බවය. සෞම්‍ය ලිය­නගේ සම්බ­න්ධව මෙම තීන්දුව ගත්තේ එවැනි වට­පි­ටා­වක් තුළ බව සෞන්දර්ය විශ්ව­වි­ද්‍යා­ලය යේ නිසි බල­ධා­රියා ලෙස කට­යුතු කරන සම්මා­නිත මහා­චාර්ය අබේ­රත්ත බණ්ඩාර පැව­සීය.

“සෞම්‍ය ලිය­නගේ, තමන්ට වූ අග­තිය සම්බ­න්ධ­යෙන් පෙනී සිටින ලෙස අප වෘත්තීය සංග­ම­යෙන් ඉල්ලී­මක් කර කර තිබුණි. ඒ අනුව අප ආචා­ර්ය­ව­රුන්ගේ විධා­යක සංග­මය රැස්වී මෙම කාර­ණය සම්බ­න්ධ­යෙන් මූලික අධ්‍ය­න­යක් කළ යුතු බවට තීර­ණය කළේය. සෞම්‍ය ලිය­නගේ මහතා ඔහුට සිදු වී තිබෙන අග­තිය සම්බ­න්ධ­යෙන් අපට ලිඛි­තව දන්වා ඇති මුත් මේ සම්බ­න්ධ­යෙන් තීර­ණ­යක් ගැනී­මට එය පම­ණක් සලකා බැලීම ප්‍රමා­ණ­වත් නොවේ. ඒ අනුව අප ආචාර්ය සංග­මය ලිඛි­තව ලිපි­යක් ඉදි­රි­පත් කර­මින්, එතුමා සම්බ­න්ධ­යෙන් ලබා දී ඇති කෝප් කමිටු වාර්තාව,විග­ණන වාර්තාව, පත්වීම් ලිපිය, උපාධි සහ­ති­කය ඇතුළු මේ සඳහා පද­නම් වූ සියලු ලේඛ­න­වල පිට­පත් විශ්ව­වි­ද්‍යාල පරි­පා­ල­න­යෙන් ඉල්ලා තිබේ. අදාල ලේඛන ලබා­ගත් පසු ආචාර්ය සංග­මයේ විධා­යක සභාව සහ මහ සභාව රැස්වී එම ලේඛන අධ්‍ය­ය­නය කර මේ ක්‍රියා­මා­ර්ගය නිවැ­රදි ද නැති ද යන්න ෆුටා එකට ලිඛි­තව ඉදි­රි­පත් කිරී­මට සැළ­සුම් කර තිබෙන බව” මේ සම්බ­න්ධ­යෙන් අද­හස් දක්ව­මින් සෞදර්ය විශ්ව­වි­ද්‍යා­ලයේ නර්ථන හා නාට්‍ය කලා පීඨ ආචා­ර්ය­ව­රුන්ගේ සංග­මයේ ලේකම් ජ්‍යෙෂ්ඨ කථි­කා­චාර්ය ජනක කොට්ටේ­ගොඩ කියා සිටි­යේය.

“මෙය සමා­ජය තුළ කති­කා­වට බඳුන් වී ඇති බව අප දැන සිටියත්, මේ සම්බ­න්ධ­යෙන් සෞදර්ය විශ්ව­වි­ද්‍යා­ලයේ ආචාර්ය සංග­මය නිල­ව­ශ­යෙන් ඊට මැදි­හත් වන ලෙස ෆුටා එකට දැනුම් දී නැහැ. ආසන්න වශ­යෙන් මෙකී සිදු වීම සිදු වුවද මෙවැනි අවස්ථා නෛතික වශ­යෙන් විශ්ව­වි­ද්‍යාල පද්ධ­තිය තුළ සිදු වේ. එනිසා ෆුටා හී සභා­ප­ති­ව­රයා වශ­යෙන් නිල ප්‍රකා­ශ­යක් කිරී­මට හැකි­යා­වක් නැති බව” මේ සම්බ­න්ධ­යෙන් අප කළ විම­සී­ම­කදී මහා­චාර්ය ශ්‍යාම් බන්නැ­හක කියා සිටි­යේය.

මිය­න්මා­රයේ ශ්‍රී ලංකා තානා­පති ලෙස කට­යුතු කරන මහා­චාර්ය නලින්ද සිල්වා මෙසේ පැව­සීය. “සෞම්‍යගේ පරී­ක්‍ෂ­ක­යන් තීර­ණ­යක් දීමට කල් අර­ගෙන. සුළු නිවැ­රදි කිරීම් කර­න්නත් කියල. ඔහු ඒ සියල්ල කර උපා­ධිය ලබා­ගෙන තියෙන්නෙ 2015 අගෝස්තු 12 වැනි දා. එවිට අවු­රුදු අට පැනලා. මෙවැනි අව­ස්ථා­වල් ඇති වෙනවා. විශ්ව­වි­ද්‍යා­ලය එවිට කරන්නෙ අවු­රුදු අට සම්පූර්ණ වූ දිනයේ සිට තාව­කා­ලික කථි­කා­චාර්ය ධුර­ය­කට පත් කිරීම. ඉන්පසු උපා­ධිය ලැබුණු පසු නිබ­න්ධය බාර දුන් දින සිට බල­පාන පරිදි උසස් කිරීම හා බඳවා ගත් දිනයේ සිට සේවය ස්ථිර කිරීම. එසේ කරන්නේ නිබ­න්ධනය බාර දුන් පසු පරී­ක්‍ෂ­ක­ව­රුන් පත් කිරීම, පරී­ක්‍ෂ­ණය පැවැ­ත්වීම වාර්තාව සැප­යීම වැරදි ඇත්නම් නිවැ­රදි කිරීම නැවත නිබ­න්ධන බාර දීම විශ්ව­වි­ද්‍යා­ලය එය අනු­මත කිරීම ආදි­යට කල් ගත වෙන නිසා. ඒ සියල්ල අවු­රුදු අටක් ඇතු­ළත සිදු­වෙ­නවා නම් ප්‍රශ්න­යක් නැහැ. කල් ගියොත් එයට වරද කරුවා පරි­පා­ල­නය පරී­ක්‍ෂ­ක­ව­රුන් මිස උපාධි අපේ­ක්‍ෂ­කයා නොවන බැවින් ඔහුට අවැ­ඩක් සිදු නොවන අයු­රින් ක්‍රම­යක් සකසා තිබිය යුතුයි. අවු­රුදු අටෙන් පසු ඔහුට පරි­වාස කථි­කා­චා­ර්ය­ව­ර­යකු ලෙස සේවය කරන්න බැරි නමුත් විශ්ව­වි­ද්‍යා­ල­යට ඔහු අස් නොකර විශ්ව­වි­ද්‍යාල සේවයේ තබා­ගන්න පුළු­වන්. මෙහි ඊනියා සඵල දින (effective date) කතා­වක් නැහැ.

විශ්ව­වි­ද්‍යා­ලය ඒ අනුව ක්‍රියා කර­මින් පරි­වාස කාල­යට අවු­රුදු අට පිරුණු 2015 පෙබ­ර­වාරි 02 සිට බල­පාන පරිදි සෞම්‍ය තාව­කා­ලික කථි­කා­චා­ර්ය­ව­ර­යකු ලෙස පත් කරලා. එය නිවැ­ර­දියි. එහෙත් ඉන් පසු 2015 දෙසැ­ම්බර් 14 වැනි දින පැවති පාලක සභා රැස්වී­මක දී සෞම්‍ය අවු­රුදු අටට වඩා මාස 6 දින 10ක් වැඩි පුර අර­ගෙන ඇති බව නිරී­ක්‍ෂ­ණය කර එය මාස 7ක් ලෙස සල­ක­මින් සෞම්‍යගේ ස්ථිර කිරීම ඔහු පත් වූ 2007 පෙබ­ර­වාරි 02 සිට නොව 2007 සැප්තැ­ම්බර් 02 දින සිට කෙරෙන බව­ටත් උස­ස්වීම 2005 අගෝස්තු 12 සිට කෙරෙන බටත් තීර­ණය කරල. මෙය වැරදි තීර­ණ­යක්. මාස 6 දින 10 මාස 7 ලෙස සැල­කුවේ කෙසේ ද යන්න පැහැ­දිලි නැහැ. සෞම්‍ය ස්ථිර කිරී­මට තිබුණේ 2007 පෙබ­ර­වාරි 02 සිට. එය කෙසේ­වත් 2007 සැප්තැ­ම්බර් 02 වෙන්න බැහැ. අනෙක් අතට විශ්ව­වි­ද්‍යාල පරි­පා­ල­නයේ පරී­ක්‍ෂ­ක­ව­රුන්ගේ පමා­වී­ම්ව­ලට අපේ­ක්‍ෂ­ක­යාට වන්දි ගෙවන්න කියන්නෙ නැහැ. සෞම්‍ය උසස් කළ යුතු ව තිබුණේ ඔහු නිබ­න්ධය භාර දුන් 2014 සැප්තැ­ම්බර් 30 සිට. මේ තීරණ ගෙන ඇත්තේ යහ­පා­ලන ආණ්ඩු කාලයේ පැවති පාලක සභා රැස්වී­මක (2015 දෙසැ­ම්බර් 14). මට ප්‍රශ්නය සෞම්‍ය ඒ දින­වලම එයට විරු­ද්ධ­ත්වය ප්‍රකාශ නොකළේ ඇයි ද යන්නයි. එදා ම විරුද්ධ වුණා නම් අද කරන්න දෙයක් නැති වන බව (මෙය මහාචාර්ය නලීන්ගේ බ්ලොග් අඩ­වියේ සට­හ­නකින් උපුටා ගනු ලැබූවකි). මෙවැනි කාර­ණ­යක් සම්බ­න්ධ­යෙන් කට­යුතු කිරී­මෙදී විශ්ව­වි­ද්‍යාල වැනි ආය­තන මීට වඩා නම්‍ය­ශීලී විය යුතුය. වසර අට­කට ප්‍රථම පශ්චාත් උපා­ධිය සම්පූර්ණ කළ යුතු බවට දක්වා තිබුණ ද එය නම්‍ය­ශීලී නෛතික රාමු­වකි. සෞම්‍ය සිය උපාධි නිබ­න්ධ­නය අදාළ කාල­යට ප්‍රථම නිම­කර දී තිබු­ණද උපා­ධිය හිමි­වන්නේ ඉන් වස­ර­කට පමණ පසු­වය. ඒය සාමාන්‍ය තත්ත්­ව­යකි. සාමා­න්‍ය­යෙන් උපා­ධිය සමත් වුවද උපා­ධි­ ප්‍ර­දා­නෝ­ත්ස­ව­යක් පවත්වා උපා­ධිය ලබා දෙන විට කාල­යක් ගතවේ. සෞම්‍යට සිදුව ඇත්තේද එවැනි දෙයකි. නිය­මිත කාල­සී­මාව තුළ දී එය ලබා­දිය ගත හැකි වූවා නම් මෙවැනි තත්ත්ව­යක් ඇති නොවේ හොඳය. නමුත් එසේ නොවූවා කියා ආචා­ර්ය­ව­ර­ය­කුට මේ ආකා­ර­යට සැල­කීම සුදුසු නැත. මින් පෙරත් මෙවැනි අවස්ථා ඕනෑත­රම් සිදුව තිබෙන අතර, මෙහි තිබෙන ගැට­ලුව වන්නේ පත් වීම් ලැබූ දිනය ඉදි­රි­යට ගැනී­මට එවක සෞදර්ය විශ්ව­වි­ද්‍යාල පාල­නා­ධි­කා­රිය කට­යුතු කිරී­මය. ඔවුන් එය සිදු කර ඇත්තේ මේ තාක්ෂ­ණික කාර­ණාව පිළි­බඳ බැරෑ­රුම්ව ගෙන නොවන බව පැහැ­දි­ලිය. සම­හ­රුන් මෙය ලබැ­ඳි­යන් කෙරෙහි විශේ­ෂ­ත්වය දැක්වී­මක් ලෙස පෙන්වී­මට උත්සාහ ගෙන තිබේ. මාස හෝ දින කිහි­ප­යක ගැට­ලු­වක් ඉස්ම­ත්තට ගෙන සුදු­සු­කම් පිරූ ආචාර්යවර­ය­කුට මේ ආකා­ර­යෙන් සැල­කීම ආය­ත­නි­කව හෝ ශිෂ්ට­ස­ම්පන්න ජන­ස­මා­ජ­යක් ලෙස ගෙන බැලුව ද කෙත­රම් යුක්ති සහ­ග­තද යන්න නැවත සිතා­බැ­ලිය යුතු බව කොළඹ විශ්ව­වි­ද්‍යා­ලයේ ඉති­හාස අධ්‍ය­ය­නාං­ශයේ මහා­චාර්ය නිර්මාල් රංජිත් දේව­සිරි අප සමඟ කියා සිටි­යේය.

ප්‍රවීණ චිත්‍ර­පට අධ්‍යක්ෂ අශෝක හඳ­ගම කියා සිටින්නේ, “මහා­චාර්ය සෞම්‍ය ලිය­නගේ කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යා­ලයේ ඔහු දැරූ පීඨා­ධි­පති, මහා­චාර්ය ආදී තන­තුරු වලින් ඉවත් කර තිබෙයි. එයට හේතුව ලෙස විශ්ව විද්‍යාල පාලක සභාව ගෙන­හැර දක්වන්නේ, කථි­කා­චාර්ය වර­යෙකු ලෙස තම පරි­වාස කාලය නිම­ව­න්නට පෙර සපු­රා­ලිය යුතු පශ්චාත් (ආචාර්ය?) උපාධි සුදු­සු­කම ඔහු සපුරා නොමැති බවයි. විශ්ව විද්‍යාල පාලක සභාව ට මෙය සොයා ගැනී­මට වසර හයක් ගත වී ඇත. ඒ කාලය තුළ ඔහු පීඨා­ධි­පති සහ මහා­චාර්ය තන­තු­රු­ව­ලට උසස් කර ඇත. සෞම්‍ය තමාගේ ආචාර්ය උපා­ධිය නිසි පරිදි නිය­මිත කාල­යට සපුරා ඇත්ද නැද්ද යන්න සොයා බලා සුදුසු පරිදි කට­යුතු කිරීම පාලක සභාව සතු වග­කී­මකි. එම කට­යුත්ත නිසි ක්‍රම­වේ­ද­ය­කට අනුව සිදු කිරී­මද ඔවුන් සතු වග­කී­මකි. එසේ වී ද නැද්ද යනු අප දන්නේ නැත. අප දන්නා පරිදි සෞම්‍ය සිය ආචාර්ය උපාධි සුදුසු කම සපුරා ඇත්තෙකි. ඔහු ක්‍රියා­කාරී අචාර්යවර­යෙකි. සර­ත්චන්ද්‍ර යුග­යෙන් පසු සර­ස­විය තුළ පර්යේ­ෂණ සංස්කෘ­ති­යක් ඇති කිරී­මට තරම් ශක්‍ය­තා­වක් ඇති අයෙකි. විදේ­ශීය විශ්ව­වි­ද්‍යාල සහ පර්යේ­ෂණ ආය­තන සමඟ බුද්ධි­මය ගනු දෙනු කිරී­මට සම්බ­න්ධතා ගොඩ­නගා ගත්තෙකි. සෞන්දර්ය විශ්ව­වි­ද්‍යා­ලය මෙතෙක් පැවති කලා­ය­තන මට්ට­මින් ඉහ­ළට ඔසවා තැබී­මට තරම් විභ­ව­යක් ඇත්තෙකි. ලංකාවේ විශ්වවිද්‍යාල තුළින් මෙවැනි ආචාර්ය වරුන් හමු වන්නේ කලා­තු­ර­කිනි. එවැනි උගත් ක්‍රියා­කාරී බුද්ධි­මත් ආචාර්ය වරුන් විශ්ව විද්‍යාල තුළ රඳවා ගන්නට කට­යුතු කිරීම වග­කිව යුත්තන් ගේ වග­කී­මකි. සෞම්‍ය විශ්වි­ද්‍යා­ල­යට සම්ප­තකි. එවන් අයෙකු විශ්ව විද්‍යා­ල­යෙන් නෙර­පී­මට තාක්ෂ­ණික කරුණු සෙවී­මට සමත් විශ්ව­වි­ද්‍යාල පාලක සභාව කළ යුත්තේ සැබෑ පර්යේ­ෂණ මහා­චාර්ය වර­යෙකු සේවයේ තබා­ගෙන ඔහු­ගෙන් වැඩක් ගැනී­මට කට­යුතු කිරී­මය.”

ප්‍රවීණ රංග­ධර සෞම්‍ය ලිය­න­ගේ­ගෙන් මේ සම්බ­න්ධ­යෙන් විම­සී­මක් කළ අතර, ඔහු කියා සිටියේ “මේ සම්බ­න්ධ­යෙන් නීති­මය කට­යුතු සිදු­වන බැවින් අද­හස් දැක්වී­මෙන් වැළකෙන බවය“.

Comments