
පාසල් අධ්‍යාපනය නිමා කිරීමෙන් අනතුරුව බොහෝ දෙනෙක් අපේක්ෂාවෙන් පසුවන්නේ සරසවි වරම් ලබා ගැනීමටය. එහෙත් රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට ඇතුළත් වීමට නොහැකිව අපේක්ෂා භංගත්වයෙන් පසු වූ බොහෝ දෙනෙක් ඉන් අනතුරුව පිවිසෙන්නේ බාහිර උපාධි ලබා ගැනීමේ අපේක්ෂාවෙනි. රජයේ පිළිගත් ඉහළ වැටුප් තලයක උසස් රැකියාවකට යාමට මේ බාහිර උපාධියෙන් විශාල පිටිවහලක් ලැබෙන්නේය. කෙසේ වෙතත් මෙම බාහිර උපාධිධාරින්ගේ අපේක්ෂා යම් පමණකට භංග වෙමින් බාහිර උපාධියේ තත්ත්වය මේ වන විට විවිධ ගැටලු සහගත තත්ත්වයන් මතු කරමින් සිටියි. බාහිර උපාධිධාරීන් මේ වන විටත් චෝදනා කරන්නේ තමන්ට නිදහස් අධ්‍යාපනයෙන් උරුම වූ උපාධිය විවිධ කප්පාදු කිරිම් වලට ලක්ව ඇති බවකි. මේ පිරිස චෝදනා කරන්නේ බාහිර උපාධි ලියාපදිංචියේ සිට විභාග ප්‍රතිඵල පැමිණීම දක්වාම මේ කප්පාදු කිරිම් වලින් දැඩි ලෙස බාහිර උපාධිධාරීන් පීඩා විඳින බවකි.
මේ වන විට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් කලා උපාධිධාරීන්ගේ ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවා විශ්වවිද්‍යාල ප්‍රතිපත්තිමය තීන්දුවකට පිවිස ඇත්තේ එක් වසරකට අභ්‍යන්තර පාඨමාලා හදාරා උපාධිධාරීන් බවට පත් වන සංඛ්‍යාවට සමාන බාහිර උපාධිධාරීන් සංඛ්‍යාවක් බාහිර උපාධිධාරීන් ලෙස බඳවා ගැනීමය. තවත් පැත්තකින් බාහිර උපාධියේ ගුණාත්මක බව වැඩි දියුණු කිරිමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් විෂයමාලා සංශෝධනයක් කිරීමට සැලසුම් කර ඇත. කෙසේ වෙතත් නිදහස් අධ්‍යාපනය ලැබීමේ අයිතිය තහවුරු කරමින් බාහිර උපාධිධාරීන් මෙන්ම අපේක්ෂකයෝ මේ වන විට මුහුණ පා ඇති ගැටලු විවිධ පැතිකඩ හරහා සිළුමිණ විශේෂ සටහනක් කරන්නේ මේ ප්‍රශ්නය හැකි ඉක්මනින් නිරාකරණය කිරීමට අවධානය යොමු කිරීමටය.
“බාහිර උපාධිය ආරම්භ කළේ තරුණ පිරිස අධ්‍යාපනගත කරන්නයි. ඒත් මේ වන විට මේ බාහිර උපාධියට විවිධ ප්‍රශ්න මතුවෙලා. සමහර විශ්වවිද්‍යාලවලට වසර ගණනාවකින් බාහිර සිසුන් බඳවා ගෙන නැහැ. කැලණිය විශ්වවිද්‍යාලය තමයි බාහිර උපාධියට වැඩි සිසුන් පිරිසක් බඳවා ගන්නේ. ඒත් වසර ගණනාවකින් එහි ලියාපදිංචියක් සිදු වී නැහැ. රුහුණු විශ්වවිද්‍යාලයත් එහෙමයි. ඊට හේතුව තමයි සෑම රජයක්ම බාහිර උපාධිය වදයක් කොට සැලකීම. මේ වන විට බාහිර උපාධිය සම්බන්ධයෙන් විශාල ප්‍රශ්න ගණනාවක් මතු වෙලා. සාමාන්‍යයෙන් බාහිර උපාධි පළමු වසරේ හොඳම ප්‍රතිඵල ගන්නා සිසුන් කිහිප දෙනෙක් අභ්‍යන්තර උපාධි පාඨමාලාවේ දෙවැනි වසර ශිෂ්‍යයකු ලෙස බඳවා ගන්නවා. නමුත් වසර 10-15 ක සිට මේ අයිතිය නොකියාම අත්හිටුවා තියෙනවා. ඒ වගේම විශ්වවිද්‍යාල බාහිර උපාධි උගන්වන අයට ඒ පිළිබඳ ඇත්තේ අඩු අවබෝධයක්. මේ නිසා අපේ සිසුන් විවිධ අවස්ථාවල අපහසුතාවලට පත් වෙනවා. ඒ වගේම 2006/13 නමින් චක්‍රලේඛයක් ගෙනාවා. එයින් සඳහන් වුණේ, අභ්‍යන්තර සිසුන්ට සමාන ප්‍රමාණයක් බාහිර සිසුන් බඳවා ගත යුතු බවයි. නමුත් එසේ සමාන කිරිම වැරදියි. සෑම විශ්වවිද්‍යාලයකින්ම බාහිර උපාධි හදාරන්න බැහැ. ඒ වගේම සෑම වසරකම බාහිර උපාධි ලියාපදිංචිය කරන්නෙත් නැහැ. ජ'පුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ විෂය හැරුණු කොට 2016 වසරේ සිට මේ දක්වා කිසිම විශ්වවිද්‍යාලයකට මේ බාහිර උපාධි සඳහා බඳවා ගැනීම් කර නැහැ. ......මේ නිසා බාහිර උපාධි කප්පාදුවක් තමයි මේ සිදුවෙලා තියෙන්නේ “බාහිර උපාධි සුරුකීමේ සංවිධානයේ කැඳවුම්කරු මහේෂ් අඹේපිටිය පවසයි.
මේ වන විට මෙම ප්‍රශ්නය වැඩිවශයෙන් මතුවී ඇත්තේ කැලණිය , ජයවර්ධනපුර මෙන්ම රුහුණු, පේරාදෙණි විශ්වවිද්‍යාල සඳහාය. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසන්නේ ලියාපදිංචිය තාවකාලිකව අත් හිටුවා ඇත්තේ කලා සිසුන්ගේ පමණක් බවය. ඒ එහි විෂය මාලා රැකියා වෙළෙඳ පොළට සිරිලන පරිදි සංශෝධනය කරන්නට ගත් තීරණය නිසාය.
“විෂය මාලා වෙනස් කිරීම අපි කිසිසේත් එපා කියන්නේ නැහැ. එය අනිවාර්යයෙන්ම සිදුවිය යුත්තක්. නමුත් අපි කියන්නේ මෙය බාහිර අභ්‍යන්තර උපාධි දෙකටම සිදුවිය යුතුයි කියා. මොකද මේ විෂය මාලා දෙකම සමානයි. වෙනස් විය යුතුනම් ඒ දෙකේම වෙනස්කම් සංශෝධන සිදුවිය යුතුයි. ඒත් මේ ප්‍රතිසංස්කරණ හරහා අධ්‍යාපනය ලැබීමට තියෙන අවස්ථා අහිමි නොකළ යුතුයි. 1996 අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ උසස් පෙළ විෂය 4 විෂයයන් තුනකට අඩු කළා. මේ නිසා දරුවන්ට උසස් අධ්‍යාපනයට පිවිසීමට තිබූ ඉඩ ප්‍රස්ථා අහිමි වුණා. අද රටේ විවිධ පුද්ගලික උසස් අධ්‍යාපන ආයතන බිහි වෙලා. එසේ නම් හතු පිපෙන්නාක් මෙන් බිහිවෙන ආයතනත් නියාමනය හා නවීකරණය විය යුතුයි".
කැලණිය විශ්වවිද්‍යාලයේ 2016 වසරේ සිට මේ දක්වා බාහිර උපාධි ලියාපදිංචිය කර නැහැ. රුහුණ විශ්වවිද්‍යාලයේ කොටසකගෙන් ලියාපදිංචියට මුදල් ගත්තා. ඒත් අද මේ සියල්ල නතර වෙලා. ඒ වගේම මෙහි ඇති ලොකුම ගැටලුව තමයි එසේ බඳවා ගත් අයටත් වසර දෙකකින් විභාග පවත්වා නැහැ. මේ නිසා කැලණිය විශ්වවිද්‍යාලයෙන් බාහිර උපාධි ලබා ගෙන පිටවීමට වසර 7-8 ක් පමණ යනවා. “ඒ බාහිර උපාධි ආචාර්ය සංසදයේ කැඳවුම්කරු මනෝජ් සංජීවය.
ඔවුන්ගේ චෝදනාවක් වන්නේ මෙම බාහිර උපාධි සඳහා අය කර ගන්නා මුදල් සම්බන්ධයෙනි. පසුගිය පාලන සමයේ රුපියල් 15,000 කින් පමණ ආරම්භ වූ මේ උපාධි මුදල නොදැනුවත්වම රුපියල් 65,000 දක්වා ඉහළ දමා ඇති බවකි. මේ වන විට එය රුපියල් 80,000 ක් දක්වා ඉහළ දමා ඇති බවත් එයින් බාහිර උපාධි ලබා ගැනීමට පැමිණෙන අඩු ආදායම්ලාභි පවුල්වල දරුවන්ට විශාල අගතියක් වන බවත් ඔවුන්ගේ චෝදනාවකි. බාහිර උපාධි ලියාපදිංචිය අපේක්ෂාවෙන් වසරකට 50,000- 60,000 ක් අතර සිසුන් පිරිසක් සිටින බවත් ඔවුන්ගේ අපේක්ෂා සියල්ල මේ වන විට නැතිවි ඇති බවත් ඔවුහු චෝදනා කරති. කෙසේ වෙතත් පසුගියදා උපාධිධාරීන්ට රැකියා ලබා දීමේදි මේ බාහිර උපාධිධාරින්ට විශේෂ සැලකිල්ලක් ලබා දී ඇති බවත් එය මේ සටනේ එක් ජයග්‍රහණයක් වු බවත් ඔවුහු පැවසූහ.
බාහිර උපාධි ලියාපදිංචිය සම්බන්ධයෙන් පනවා ඇති මේ බාධක පිළිබඳ විශ්වවිද්‍යාල උපකුලපතිවරු දැක්වූයේ මෙවන් අදහසකි. “විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මඟින් අපට ලිඛිතව දැන්වූ පසුවයි, බාහිර උපාධි ලියාපදිංචිය තාවකාලිකව නැවැත්වූයේ. පසුගියදා උපාධිධාරීන් 50,000 කට රැකියා ලබා දීමේදී ඉන් විශාල ප්‍රමාණයක් ලැබුණේ බාහිර උපාධිධාරීන්ට. නමුත් ඔවුන්ට රැකියා ලබා දිමේදි නිපුණතා පිළිබඳ ප්‍රශ්නයක් මතු වුණා. මේ නිසා කලා බාහිර උපාධිධාරීන්ගේ උපාධියේ ගුණාත්මක බව ඇති කිරීමටත් ඉංග්‍රීසි හා තොරතුරු තාක්ෂණ දැනුම ලබා දීමේ අරමුණින් ඒ විෂය මාලා සංශෝධනය කිරීමේ අරමුණ ඇතිව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මේ තීරණයට පිවිසියේ. ඒ වගේම අපේ විශ්වවිද්‍යාලයටත් තවත් ගැටලුවක් තියෙනවා. අපි වසර 3 කින් බාහිර උපාධි ලියාපදිංචි කර නැහැ. මේ වසරේ ඒ ප්‍රශ්නය විසඳමින් සිටියේ. ඒත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නියෝගය පරිදි මේ කටයුතු තාවකාලිකව නවත්වා තියෙනවා. බාහිර උපාධිධාරීන්ගේ ගැටලුවේදී රජය මතුකරන තර්කය ඉතා සාධාරණයි. “රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජිව අමරසේන මෙසේ සඳහන් කරයි.
මේ වන විට බාහිර උපාධි බොහෝමයක් පිරිනමන කැළණිය විශ්වවිද්‍යාලයේද මතුව ඇති මේ ප්‍රශ්නයට හැකි ඉක්මනින් විසඳුම් දීමට එම පාලනාධිකාරිය කටයුතු සකස් කරමින් සිටියි.
“පසුගිය කාලයේ බාහිර උපාධි සඳහා සිසුන් විශාල පිරිසක් බඳවා ගත්තා. මෙයින් එක් අතකට විශාල ගැටලු රාශියක් මතු වුණා. ප්‍රශ්න පත්‍ර පරීක්ෂා කිරීම් මෙන්ම ප්‍රතිපල දීම් පවා ප්‍රමාද වුණා. මේ නිසා අවස්ථා කිහිපයකදීම ලියාපදිංචි ප්‍රමාණය අඩු කරන්න උත්සහ ගත්තත් විවිධ බලවේග නිසා එය කළ නොහැකි වුණා. මේ අතර කැලණිය විශ්වවිද්‍යාලය තීරණය කළා, මේ පාඨමාලා සඳහා ඉංග්‍රීසි හා තොරතුරු තාක්ෂණ විෂයන් අනිවාර්යය කරන්න. පසුගිය මාසවල අපි විභාග ප්‍රතිඵල කිහිපයක් නිකුත් කළා. ඒ අනුව සිසුන් 25,000 ක් පමණ පෙනී සිටි විභාගවලින් සමත් වී සිටියේ සියයට 10 යි. මේ නිසා සිසුන් විශාල පිරිසක් බඳවා ගැනීමේදි ප්‍රමිතිය අත්‍යවශ්‍යයි. දැන් අපේ විශ්වවිද්‍යාලයේ වසරකට මානව හා ශාස්ත්‍ර පීඨයට සිසුන් බඳවා ගන්නේ අභ්‍යන්තර සිසුන් මෙන් දෙගුණයක්. ඒ 2600 කට ආසන්න පිරිසක්. අඩු පිරිසක් බඳවා ගැනීමෙන් උපාධියේ ගුණාත්මක බව වැඩි කරන්න පුළුවන්. කෙසේ වෙතත් කැලණි විශ්වවිද්‍යාලයේ මතුව ඇති ප්‍රශ්න වහා විසඳන්නට මේ වන විට කටයුතු යොදා තියෙනවා...“ ඒ කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිනි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා ගේ අදහසයි. කෙසේ වෙතත් බාහිර උපාධිධාරීන්ගේ ගැටලු පිළිබඳ මතු කරන තර්කයන්ට සාධාරණ මඟ පෙන්විමක් ලබා දිමට මේ වන විටත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව කටයුතු යොදමින් පවතියි.
“අපි කිසිම විටක බාහිර උපාධි ලියාපදිංචිය නවත්වලා නැහැ. දැනට සියලුම කලමනාකරණ, තොරතුරු තාක්ෂණ මෙන්ම ශාස්ත්‍ර පීඨ සියලුම බාහිර උපාධි ක්‍රියාත්මකයි. තාවකාලිකව නවත්වා ඇත්තේ කලා බාහිර උපාධි පමණයි. අද රැකියා විරහිත උපාධිධාරීන්ගේන් තුනෙන් දෙකක් පමණ ශාස්ත්‍ර පීඨයේ උපාධිධාරීන්. මේ අයගෙනුත් බහුතරයක් බාහිර උපාධිධාරීන්. මේ අය අමාරුවෙන් උපාධි ලබා ගත්තත් රැකියාවක් නැතිනම් වැඩක් නැහැ.
ඒ නිසා මෙතැන යම් ප්‍රශ්නයක් තියෙනවා. මේ නිසා අපි නැවතත් ලංකාවේ සියලුම ශාස්ත්‍ර පීඨ උපාධිධාරින් පිළිබඳ සලකා බැලීමක් කරනවා. ඒ වගේම කැළණිය විශ්වවිද්‍යාලයේත් යම් ප්‍රශ්නයක් තියෙනවා. මෙහි එක වසරකට 20000 කට අධික ප්‍රමාණයක් ලියාපදිංචි වෙලා තියෙනවා. නමුත් අපි රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියටම එදා වසරකට බඳවා ගත්තේ සිසුන් 25000 ක්. වැඩිපුර බඳවා ගැනීමෙන් ආචාර්යවරුන්ගේ ගැටලු මතු වෙනවා.
ප්‍රශ්න පත්‍ර පරීක්ෂා කිරීමේ ගැටලු මතු වෙනවා. මේ නිසා අපි බාහිර උපාධි ලියාපදිංචි වීම් ප්‍රමාණය අඩු කළා. කෙසේ වෙතත් තාවකාලිකව ලියාපදිංචිය අත්හිටුවා ඇති කලා උපාධිධාරීන් ලියාපදිංචි කිරීම් කටයුතු නැවතත් හැකි ඉක්මනින් ආරම්භ කෙරෙනවා.“ ඒ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංගය. කෙසේ වෙතත් බාහිර උපාධිධාරීන් වෙනුවෙන් කතා කරන සංවිධාන වල ඉල්ලීම් වන්නේ බාහිර උපාධි අපේක්ෂකයන්ට හැකි ඉක්මනින් සාධාරණයක් ඉටු කරන ලෙසයි.