
ඒ හරියටම අදින් වසර පනස් එකකට පෙර ජූලි විසි වැනිදාවකි. පෘථිවියෙන් නික්මුණු යානාවක් සෙමෙන් සෙමෙන් වායුගෝලය විනිවිද ගොස් අභ්‍යවකාශයට පිවිස ක්‍රමයෙන් චන්ද්‍රයා වෙත ළඟා වෙමින් තිබිණි. මේ යානයේ අභ්‍යවකාශගාමීන් තිදෙනෙකු වූ අතර ඔවුන් අතරින් දෙදෙනෙක් තවත් පැය කිහිපයකින් මානව ඉතිහාසයේ දැවැන්ත ඉදිරි පියවරක් තැබීමට සූදානමින් පසු වූහ. ඒ පියවර සැබැවින්ම තැබීමට නියමිතව තිබුණේ මිහිමත නොව සඳමතය.
අතිතයේ එක් වකවානුවක අමෙරිකාව සහ රුසියාව ලෝකයේ ප්‍රධාන දෙපාර්ශ්වය නියෝජනය කළ බලවතුන් දෙදෙනා වූහ. එම දෙපාර්ශ්වය වූයේ ධනවාදී කඳවුර සහ සමාජවාදී කඳවුරයි. මේ කඳවුරු දෙක අතර බලය පමණක් නොව සෑම දෙයක් වෙනුවෙන්ම තරගයක් පැවතුණු බව කීම නිවැරදිය. ඒ අනුව අභ්‍යවකාශය ජය ගැනීම වෙනුවෙන්ද දෙපාර්ශ්වය අතර පැවතියේ තියුණු තරගයකි. තරගයේ ආරම්භයේ ජය සනිටුහන් කරමින් රුසියාව ප්‍රථමයෙන් මිනිසෙක් අභ්‍යවකාශයට යැවූ අතර අමෙරිකාව එයට වඩා දැවැන්ත ජයග්‍රහණයක් තම නම ඉදිරියේ සටහන් කර තැබීමට දැඩි අධිෂ්ඨානශීලී විය.
ඒ අනුව නාසා අයතනය තම වැඩපිළිවෙළ වේගවත් කිරීමට සිදුවූ අතර මේ සියල්ලේ අතුරු ප්‍රතිඵලයක් ලෙස ඉහත කී අභ්‍යවකාශගාමීන් තිදෙනා රැගත් ඇපලෝ 11 යානය චන්ද්‍රයා කරා වේගයෙන් ගමන් කරමින් තිබිණි. අමෙරිකාවේ නාසා ආයතනය විසින් සැලසුම් කර නිපදවන ලද ඇපලෝ 11 යානය කොටස් තුනකින් සමන්විත විය.
පළමු කොටස පාලක මැදිරියයි. එහි අභ්‍යවකාශගාමීන් තිදෙනා සඳහා වූ කුටි පැවති අතර ගමන අවසානයේ යළි පෘථිවිය කරා පැමිණීමට නියමිතව තිබුණේ මේ කොටස පමණකි. දෙවැනි කොටස සේවා මොඩියුලය වූ අතර අභ්යවකාශගාමීන්ගෙ අත්‍යවශ්‍ය සේවා සඳහා මේ කොටස වෙන් කර තිබිණි. යානයට අවශ්‍ය විදුලි බලය ලබා දෙන යන්ත්‍ර සූත්‍ර සහ අභ්‍යවකාශගාමීන්ට අවශ්‍ය ආහාර සහ ජලය ගබඩා කර තිබුණේ මේ කොටසේය. යානයේ තුන්වැනි කොටස වූයේ සඳ මතට මිනිසා ගෙන යෑම වෙනුවෙන් නිපදවා සූදානම් කර තිබූ කොටසයි. මේ කොටස තවත් කොටස් දෙකකින් සමන්විත වූ අතර එක් කොටසක් අභ්‍යවකාශගාමීන් සඳ මතුපිටට ගෙන යෑමටත්, දෙවැනි කොටස යළිත් ඔවුන් ඇපලෝ 11 යානය වෙත ගෙන ඒමටත් වෙන් කර තිබිණි.
මෙහෙයුමේ සම්පූර්ණ කාලය දින අටකුත් පැය තුනක්, විනාඩි දහ අටක් සහ තත්ත්පර තිස් පහක් ලෙස ගණනය කර තිබිණි. 1969 ජූලි මස 16 වැනිදා අමෙරිකානු වේලාවෙන් දහවල් එකයි තිස් දෙකට යානය චන්ද්‍රයා කරා පියැසැරිය ඇරඹීය. ඒ යානය තුළ නීල් ආම්ස්ට්‍රොන්ග්, මයිකල් කොලින්ස් සහ එඩ්වින් ඔල්ඩ්‍රින් සිටියදීය. මේ වීරයන් තිදෙනා පෘථිවියෙන් බැහැරට යමින් සිටියේ මිනිස් වර්ගයාගේ තානාපතිවරුන් වශයෙනි.
එදින ෆ්ලොරිඩාවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයට රැස්වූ පිරිස නෙතු දල්වා බලා සිටියේ මේ අභ්‍යවකාශගාමීන්ට සඳ මත දී කුමක් හමුවනු ඇතිද යන කුතුහලය සිත්හි දරා ගනිමිනි. ජූලි 16 වැනි දින ගමන ඇරඹුවද සඳේ කක්ෂය කරා ගමන් කිරීමට අභ්‍යවකාශ යානයට දින තුනක් ගත විය. සඳේ කක්ෂයට ළඟා වූ පසු යානයේ අදාළ කොටස වෙන්ව ගොස් සඳ මතුපිට දක්වා ගමන් කිරීමට නියමිත කොටස ක්‍රමයෙන් සඳ මතුපිටට පැමිණීමට නියමිතව තිබිණි. මේ දක්වා සියල්ල පෘථිවියේදී සැලසුම් කළ පරිද්දෙන්ම සිදුවෙමින් පැවති අතර යානය පහත් වීමට නියමිතව තිබුණේ ‘නිසල මුහුද’ ලෙස ඔවුන් පෙර නම් කරන ලද ප්‍රදේශය වෙතය. මයිකල් කොලින්ස් යානයේ නියමු මැදිරියේ රැඳී සිටි අතර සඳ ආසන්නයටම පැමිණියද සඳ මතුපිට පය තැබීමේ වාසනාව ඔහුට හිමි වූයේ නැත. නීල් ආම්ස්ට්‍රෝන් සහ එඩ්වින් ඔල්ඩ්‍රින් රැගත් යානය සඳ කරා ගමන් කිරීම අරඹන විට පෘථිවිය මත හරියටම ජූලි 20වැනිදාව උදාවෙමින් පැවතිණි.
ප්‍රධාන යානයෙන් සඳ වෙත යෑමට නියමිත වූ කුඩා යානය නම් කර තිබුණේ ඊගල් යනුවෙනි. ඊගල් සඳ වෙත පදවාගෙන යෑමේ ප්‍රධාන වගකීම පැවරී තිබුණේ යානයේ ප්‍රධාන නියමු නීල් ආම්ස්ට්‍රෝන්ටය. ඔහු සහ ඔල්ඩ්‍රින් එකතුව ඊගල් සඳ මතුපිටට ගෙන එන විට පෘථිවියේ වේලාවෙන් රාත්‍රී 8ට ආසන්න විය. හරියටම රාත්‍රී 8.17 ඊගල් යානය සඳ මත ආරක්ෂිතව පතිත කිරීමට අභ්‍යවකාශගාමීන්ට හැකි විය.
සඳ මත පතිත වූ පසුව අභ්‍යවාකාශගාමීන්ට නියමිතව තිබුණේ පැය පහක නින්දකි. එහෙත් ඔවුන් පසුව ප්‍රකාශ කර තිබුණේ ඔවුන්ට කිසිසේත් නින්ද නොගිය බවයි. ඔවුන් තවත් සුළු මොහොතකින් උදාවන ඒ අද්විතීය අවස්ථාව ගැන සිතමින් කාලය ගෙවා දැමූහ. ඉන් පසුව සඳ මත පා තැබීමේ අවස්ථාව උදා වූ අතර ඒ සඳහා ඔවුන්ට ලැබී තිබුණේ පැය දෙකක කාලයකි. එහෙත් පසුව ඔවුන් ඒ සඳහා පැය තුනහමාරක් ගත කළ බව අනාවරණය විය.
ඒ අනුව ඊගල් යානය සඳ මත පතිත වී පැය හය හමාරක් ගත වූ පසු යානයේ දොරටුව විවෘත කරමින් පිටතට පැමිණි වීර අභ්‍යවකාශගාමීන් දෙදෙනා ප්‍රථම මිනිස් පියවර සඳ මත සලකුණු කළහ. හරියටම ඒ අදින් වසර පනස් එකකට පෙරදීය.
සඳ මතට පා තැබීම පෘථිවියේදී සූදානම් කරන ලද මොහොතටම සිදු කිරීමට නොහැකි වූයේ මතුපිටට රැගෙන යා යුතු වූ ද්‍රව්‍ය යානයෙන් ඉවතට ගැනීම සිතූ තරම් පහසු නොවූ බැවිණි. සඳේ වායු ගෝලයෙන් තොර මතුපිට දී පෘථිවියේදී මෙන් ක්ෂණිකව ක්‍රියා කළ නොහැකි විය. යානයේ වූ කැමරා මගින් ඔවුන් සඳ මත තැබි ප්‍රථම පියවර රූ ගත කෙරුණු අතර ඒවා ප්‍රධාන යානයටත්, එතැනින් පෘථිවියටත් විකාශය විය. අමතරව නීල් ආම්ස්ට්‍රෝන්ද කැමරාවක් සඳ වෙත රැගෙන ගිය අතර එය ඔල්ඩ්‍රින්ට ලබා දුන්නේ විනාඩි කිහිපයකට පමණක් වූ නිසා එහි ආම්ස්ට්‍රෝන්ගේ ඡායාරූප සටහන් වූයේ කිහිපයක් පමණක් විය. සඳ මත පා තැබූ නීල් ආම්ස්ට්‍රෝන් මේ තැබුවේ කුඩා පියවරක් වුවද එය සමස්ත මිනිස් වර්ගයා තබන ලද යෝධ ඉදිරි පියවරක්ය’ යන ඓතිහාසික ප්‍රකාශය ද සිදුකළේය.
අමෙරිකාව මේ ජයග්‍රහණයෙන් උදම් වූ අතර ජනාධිපති රිචඩ් නික්සන් ප්‍රීතියෙන් උද්දාමයට පත්විය. පෙරළා පෘථිවියට පැමිණි අභ්‍යවකාශගාමීන් මහත් හරසරින් පිළිගනු ලැබූ අතර නිශ්චිත දින ගණනක් නිරෝධායනය වීමෙන් පසු ඔවුන් ලොව පුරා සැමරුම් උලෙළවලට සහභාගී වීමට සිදුවිය. මෙලෙස මිනිසාගේ ප්‍රථම සඳ ගමන සිදුවී වසර පනස් එකක් ගතවී ගියද තවමත් එය ප්‍රථම සහ එකම සඳ ගමන බවට පත්ව තිබීම කනගාටුවට කරුණකි. එබැවින්ම මේ සඳගමන අමෙරිකාව තරගයෙන් ජයග්‍රහණය කිරීම සඳහා සිදු කරන ලද වංචාවක් ලෙස සැලකීමටද ඇතැමුන් කටයුතු කර තිබේ. සැබවින්ම මේ දක්වා අමෙරිකාව පමණක් නොව අනෙක් කිසියම් හෝ රටක් සඳ මතට මිනිසකු යැවීමට සමත්වී නැත. එහෙත් මිනිසා මේ වන විට සඳෙන් බොහෝ ඈත පිහිටා ඇති අඟහරු වෙත යෑමට සැලසුම් කරමින් සිටිති.