ව්‍යාජ නම්වලින් පෙනී සිට සල්ලි ගැරූ වංචනිකයා ඇල්ලූ මෙහෙයුම | සිළුමිණ

ව්‍යාජ නම්වලින් පෙනී සිට සල්ලි ගැරූ වංචනිකයා ඇල්ලූ මෙහෙයුම

 

ප්‍රභූන් ලෙස පෙනී සිටිමින් පුද්ගලයින් රවටා මුදල් වංචා කරන්නේ අප සමාජයේ බහුලය. මල්වතු මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ලෙස වසර අටක පමණ කාලයක් පෙනී සිටිමින් දේශපාලනඥයින්,වෘත්තිකයින් ඇතුළු පුද්ගලයින් සිය ගණනක් රවටා රුපියල් කෝටි ගණනක මුදල් වංචා කළ පුද්ගලයෙකු මහනුවරදී පසුගියදා පොලිස් අත්අඩංගුවට පත්වීය. මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ මධ්‍යම දිසා අපරාධ හා මෙහෙයුම් ඒකකය මගින් අත්අඩංගුවට ගන්නා ලද සැකකරු අටවන ශ්‍රේණිය දක්වා පමණක් අධ්‍යාපනය ලැබ තිබුණද ඔහු පොලිස් ඇසට වැලි ගසමින් වසර පහක පමණ කාලයක් මුදල් වංචා සිදුකර තිබෙන්නේ විටෙක විශ්වවිද්‍යාල ආචාර්යවරයකු ලෙස ද පෙනී සිටිමිනි.

හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහතාටත් ‘යහපාලන‘ ආණ්ඩුවේ ඇමැතිවරු ගණනාවකටත් මොහු මල්වතු මහනාහිමියන් බව පවසා ඇමතුම් ලබා ගෙන තිබිණි. යුරෝපීය රටවල් වලට හා බෞද්ධ රටවල් වලට යාම සඳහා ශිෂ්‍යත්ව ලබාදෙන බව පවසමින් සැකකරු මල්වතු මහනාහිමියන් ලෙස දුරතකන ඇමැතුම් ලබා ගනිමින් පුද්ගලයින් ගණනාවක් රවටා තිබෙන්නේ ඔවුන්ගේ ලක්ෂ ගණන් මුදල් වලට තට්ටු කරමිනි.නම් ගණනාවකින් පෙනී සිටි ඇති මෙම පුද්ගලයා අනුරාධපුර, ගාල්ල, මාතර, මහනුවර, මහරගම, කඩවත, වත්තේගම, තෙල්දෙණිය ආදි ප්‍රදේශ ගණනාවක පුද්ගලයන්ගෙන් මුදල් ලබාගෙන තිබෙන බවත් මොහු 2012 සිට පදිංචි ප්‍රදේශ වෙනස් කරමින් අදාළ වංචාව සිදුකර තිබෙන බවත් පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ. වරක අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයකු ලෙසද මොහු පෙනීසිට ඇති බව පොලීසිය පවසයි.මෙම වංචාව දිගින් දිගටම සිදුවෙත්දී ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ලෙස මල්වතු මහනාහිමියන් අවස්ථා ගණනාවකදී පොලීසියට දැනුම් දී තිබුණත් සැකකරු අත්අඩංගුවට ගැනීමට නොහැකි වී තිබිණි.සැකකරු ඉතා සූක්ෂම වීමත් පොලීසියේ දුර්වලතාවත් යන දෙකම මෙයට බලපා තිබෙන බව මේ පිළිබඳ විමර්ශනය කිරීමේදී පැහැදිලි වෙයි.

අදාළ පුද්ගලයාගේ වංචාවන්ට ගොදුරු වන පුද්ගලයින් අතරින් මල්වතු මහ විහාරය හා සුළු හෝ සම්බන්ධයක් ඇති අය ඒ බව මහනාහිමියන්ට භික්ෂුන් වහන්සේලා මගින් දැනුම් දී තිබේ. ඊට අමතරව මල්වතු මහනාහිමියන්ගේ ආරක්ෂක අංශ නිලධාරීන්ටද විටින් විට මේ සම්බන්ධ තොරතුරු ලැබී ඇත. පදිංචිය මාරු කරමින් විවිධ දුරකතන අංක භාවිත කරමින් සිදුකරන මෙම වංචාව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර ක්‍රියාත්මක වන ලෙස මහනාහිමියන් මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති ඩී.කේ රණවීරට දැනුම් දී තිබෙන්නේ මෙයට මාස කිහිපයකට පෙරය. මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ ක්‍රියාත්මක මධ්‍යම දිසා අපරාධ හා මෙහෙයුම් ඒකකයට සැකකරු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම බාරවන්නේ ඒ අනුවය. විදේශගත වීමට අවශ්‍ය බව කියමින් පොලිස් නිලධාරීන් අවස්ථා කිහිපයකදී සැකකරු හා සම්බන්ධ වීමට උත්සහ කළත් ඒ සියල්ල ව්‍යර්ථ වී තිබෙන්නේ ඔහු පොලීසියට වඩා සූක්ෂම වීම හේතුවෙනි. සැකකරු ඇමැතුම් ලබාගන්නා දුරකතන අංක පරීක්ෂා කිරීමේදී ඒවා ඔහුට මුදල් ලබාදුන් පුද්ගලයින්ගේ නම් වලට ලියාපදිංචි වී තිබීමෙන් පොලීසිය පත්වූයේ තවත් අවුලකටය. විදේශ රටක ශිෂ්‍යත්වක් ලබා ගැනීමට ලියාපදිංචි වීම පිණිස සැකකරු එක් එක් පුද්ගලයින්ගෙන් ජාතික හැඳුනුම්පත් හා විදේශ ගමන් බපපත්‍ර ඡයා පිටපත් ගෙන්වාගෙන ඇත්තේ ඒ වෙනුවෙන් සම්පූර්ණ කළ යුතු පෝරමයක්ද සමඟිනි. විද්‍යුත් ලිපිනයකට මේවා ගෙන්වා ගැනීමෙන් පසු අත්තිකාරම් මුදල් නොදෙන පුද්ගලයින්ගේ ජාතික හැඳුනුම්පත් වල ඡායා පිටපත් භාවිත කරමින් සැකකරු ඔවුන්ගේ නමට සිම්කාඩ් පත් ලබාගෙන තිබේ. මොහු තම වංචාවට අසුකර ගැනීම සඳහා විවිධ පුද්ගලයන්ට ඇමැතුම් ලබාගෙන ඇත්තේ මෙම සිම් කාඩ්පත් භාවිත කරමිනි. මුදල් බැර කිරීමට සැකකරු ලබාදී බොහෝ ගිණුම් මියගිය පුද්ගලයන්ගේ වීමද විශේෂත්වයකි.

මාස ගණනාවක් තිස්සේ පරීක්ෂණ පැවැත්වූ පොලීසිය සැකකරුට සුළු හෝ අතපසුවීමක් කරන තුරු බලා සිටියේය. විදේශ රැකියාවක් ලබා ගැනීම සඳහා සැකකරු ලබාදුන් ගිණුමකට මුදල් බැරකර පුද්ගලයකු කළ පැමිණිල්ලක් අනුව අදාළ ගිණුම් අංකය පරීක්ෂා කිරීමේදී එය කාන්තාවකගේ බව පොලීසියට පැහැදිලි විය. හොරණ ප්‍රදේශයේ පදිංචි අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී සැකකරු සම්බන්ධ තවත් හෝඩුවාවන් කිහිපයක් පොලීසියට ලැබිණි. එම කාන්තාව සැකකරු හා සම්බන්ධතා පැවැත්වූ දුරකත අංකය අතර ඇමැතුම් හුවමාරුවූ දුරකතන කුලුනු ආධාරයෙන් පරීක්ෂණ පැවැත්වූ පොලීසිය පේරාදෙණිය විශ්වවිද්‍යාලයට නුදුරු ස්ථානයකදී ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ සුඛෝපභෝගි මෝටර් රථයක්ද සමඟිනි. සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලින් පසු ජංගම දුරකතන 08 ක් හා සිම් කාඩ්පත් 22 ක් පොලීසිය සොයාගනු ලැබීය. ඒ වනවිටත් දිවයිනේ ප්‍රදේශ රැසක පොලිස් ස්ථාන වලට ලැබී තිබුණු පැමිණිලි අනුව රුපියල් ලක්ෂ 100 කට වැඩි මුදලක් වංචාකර තිබිණි. පැමිණිලි නොකළ තවත් විශාල පිරිසක් සිටින බව පොලීසිය පවසයි.

මෙම පුද්ගලයා 1972 වසරේදී කොට්ටාවේ උපත ලැබුවෙකි. ඔහු තම උපන් නම වෙනස් කරමින් 1979 වසරේ උපන් බවට වෙනත් නමකින් හැඳුනුම්පතක් සකස්කර තිබෙන්නේ හිනිදුම පදිංචි අයෙකු ලෙසිනි. ප්‍රදේශයේ ග්‍රාම නිලධාරියාද නොමඟ යවමින් මෙලෙස වංචාවට මූලික පදනම දමාගෙන තිබෙන සැකකරු අනතුරුව දික්කසාද හෝ වැන්දඹු කාන්තාවන් හිතවත් කරගනිමින් ඔවුන්ගේ ගිණුම් අංක වලට මුදල් ගෙන්වා ගෙන තිබේ. හොරණදී අත්අඩංගුවට පත්වූ කාන්තාවද එවැන්නියකි. මොහු සමඟ සම්බන්ධතා පැවැත්වූ සෙසු කාන්තාවන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය විශේෂ මෙහෙයුමක් ආරම්භකර තිබේ. දිවයිනේ නමගිය අක්ෂි ශල්‍ය වෛද්‍යවරයකු ලෙසත් මල්වතු පාර්ශවයේ අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා ලෙසත් පෙනි සිටිමින් මොහු පුද්ගලයන් රැසක් තම වංචාවේ ගොදුරු බවට පත්කරගෙන තිබෙන බව පොලීසිය පවසයි.

අධි සුඛෝපභෝගි ජීවිතයක් ගතකර තිබෙන සැකකරු වරක් හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතාට මල්වතු මහනාහිමියන් ලෙස දුරකතනයෙන් කතාකර ජපානයේ විදේශ ශිෂ්‍යත්ව 10 ක් සඳහා පුද්ගලයින් කිහිපදෙනකු නිර්දේශ කර එවන ලෙස දැනුම් දී තිබේ. එම අවස්ථාවේ ඇමැතිවරයා මල්වතු මහනාහිමියන්ගේ ආරක්ෂක අංශයයට ඒ බව දැනුම් දී ඇත.ඒ ඔස්සේ විමර්ශන කළත් සැකකරු අත්අඩංගුවට ගැනීමට නොහැකිවී ඇත. හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට අපරාධ විමර්ශන අංශ ප්‍රධානියාටත් සැකකරුවකු මුදා ගැනීම සඳහා මල්වතු මහනාහිමියන් ලෙස මොහු කතාකර තිබෙන බව පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.

 

ඡායාරූප- රුවන් මීගම්මන

 

Comments