
විසි වන සියවසේ මුල් අර්ධයේ මෙරට සිටි සමාජ-දේශපාලන ක්රියාධරයන්ගෙන් වැඩි පිරිස පරිණත සමාජ-දේශපාලන දැක්මකින් මෙන්ම අද්විතීය පාණ්ඩිත්‍යයකින් යුතු චින්තකයන් වීම විශේෂත්වයකි. හැඟීම් මත පදනම් වූ ජනප්‍රිය දේශපාලනය වෙනුවට විදුහුරු තකුහුරු ඉදිරි දැක්මක් සහිත සමාජ, දේශපාලන ක්‍රියා මාර්ගවල ඔවුහු නිමග්න වූහ. සමාජ, දේශපාලන දැක්ම පාණ්ඩිත්‍යයෙන් පිරිපහදු වූ අතර පාණ්ඩිත්‍යය සමාජ, දේශපාලන දැක්ම නිසා ප්‍රභාෂ්වර විය. වර්තමානයේ එබඳු චරිත කළුනික හා සම බැවින් ඒ චරිත පිළිබඳ පුනරාවර්ජනය අනාගගතය ගොඩ නැංවීමෙහි ලා උපකාරී වනු ඇත.
දොන් බාරොන් ජයතිලක 1868 පෙබරවාරි 13 දින කැලණිය වරාගොඩ දී මෙලොව එළිය දුටුවේ දොන් ඩැනියෙල් ජයතිලක සේනානායක ලියනආරච්චි සහ දෝන ඇසිලියානා වීරසිංහ යුවළගේ දෙවනි දරුවා ලෙසිනි. 1875 දී සත් හැවිරිදි ජයතිලක දරුවා අකුරු කිරීම සඳහා මුලින්ම යොමු කෙරුණේ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙණේ රත්මලානේ ධර්මකීර්ති ශ්‍රී ධර්මාලෝක හිමියන් වෙතය. විද්‍යාලංකාර පිරිවෙන ගොඩනැංවීමට ජයතිලක පවුල ද ප්‍රබල දායකත්වයක් සපයා ඇති බැවින් පිරිවෙන සමඟ විශේෂ බැඳීමක් ඔවුන්ට තිබිණ. ජයතිලක ළමා වියේ දී ම සිංහල, පාලි, සංස්කෘත භාෂා පිළිබඳ පරිචය ලබා ගත්තේ ධර්මාරාම හිමියන් වෙතිනි. පසු කලෙක ශාස්ත්‍ර පාරගතභාවයට පැමිණි දොන් බාරොන් ජයතිලක රත්මලානේ ධර්මකීර්ති ශ්‍රී ධර්මාලෝක හිමියන් වෙත සිදත් සඟරා ව්‍යාඛ්‍යානයක් සම්පාදනය කරන මෙන් කළ ඇරයුමෙහි ඵල ලෙසින් 1887 දී ජයතිලක පඬිතුමන්ගේ කර්තෘත්වයෙන් පළ වුණු ‘සත්‍යසමුච්චය’ සඟරාවෙහි ධර්මාරාම හිමියන්ගේ ‘සිදත් සඟරා විස්තර සන්නයේ’ පූර්වාර්ධය ප්‍රකාශයට පත් කෙරිණ.
ෂෂ්ඨම වර්ෂ කාලයක් පිරිවෙණේ ශාස්ත්‍ර හදාළ බාරොන් ජයතිලක 1881 වර්ෂයේ දී පිටකොටුවේ වෙස්ලි විද්‍යාලයට ඇතුළත් කෙරිණ. පාසල් අධ්‍යාපනය නිම වන විට විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා අවශ්‍ය සියලු සුදුසුකම් සපුරා සිටියද ඒ වන විට හෙන්රි ස්ටීල් ඕල්කට්ගේ පුරෝගාමිත්වයෙන් ඇරඹී තිබුණු පරම විඥාර්ථවාදී සංමයේ කටයුතුවලට සක්‍රීය ලෙස දායක වීමට ජයතිලක තරුණයා තීරණය කර තිබිණ. පරම විඥාර්වාදී සංගමය මගින් බෞද්ධ පාසල් ආරම්භ කිරීමේ ප්රයත්නයට උර දුන් බාරොන් ජයතිලක මහනුවර ධර්මරාජ විද්‍යාලය ආරම්භ කොට පවත්වාගෙන යාමට ඉදිරිපත් විය. 1890 දී ධර්මරාජ විද්‍යාලයේ ප්‍රධානාචාර්ය තනතුරට ජයතිලක පත් කෙරිණ. ධර්මරාජ විදුහලේ සාර්ථක ප්‍රගතිය දුටු පරම විඥාර්ථ සංගමයේ බලධාරීන් විසින් 1898 වර්ෂයේ දී බාරොන් ජයතිලක කොළඹ ආනන්ද විද්‍යාලයේ උප ප්‍රධානාචාර්ය තනතුරට පත් කෙරිණ. ඒ වර්ෂයේ දී ම බටුවන්තුඩාවේ දේවරක්ෂිත පඬිතුමාගේ දියණියක වූ මල්ලිකා බටුවන්තුඩාව සමඟ බාරොන් ජයතිලක විවාහ දිවියට පිවිසිණ. 1900 වර්ෂයේ දී බාරොන් ජයතිලක ආනන්ද විද්‍යාලයේ විදුහල්පති තනතුරට පත් විය. එවක කොලඹ තිබුණු සෙසු මිෂනාරි පාසල් හා සම තත්ත්වයකට, ඇතැම් අංශවලින් ඒ පාසල්වලට වඩා උසස් තත්ත්වයකට ආනන්ද විද්‍යාලය ගෙන ඒමට බාරොන් ජයතිලක සමත් විය. මේ සාර්ථකත්වය නිසා පරම විඥාර්ථ සංගමයේ සාමාන්‍යාධිකාරී තනතුරට ඔහු පත් කෙරිණ.
විශ්වවිද්‍යාල අධ්‍යාපනය පසෙකලා පරම විඥාර්ථ සංගමයේ කටයුතු සාර්ථකත්වට පත් කිරීමට පූර්ණ වශයෙන් කැප වුණු බාරොන් ජයතිලක තම පෞද්ගලික ධනය වැය කොට උසස් අධ්‍යාපනය ලැබීම සඳහා 1910 වර්ෂයේ දී ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට ඇතුළත් විය. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 42 කි. 1913 දී නීති උපාධි අධ්‍යයන කටයුතු සාර්ථක ලෙස නිම කළ ජයතිලක ඒ වර්ෂයේ දී ම ලන්ඩනයේ ලින්කන් ඉන් ආයතනයේ බැරිස්ටර්වරයකු ලෙස සේවයට බැඳිණ. කෙටි කලකින් නැවත ලංකාවට පැමිණි ජයතිලක ජාතික නිදහස සාක්ෂ්‍යාත් කර ගැනීමේ ප්රයත්නයට සක්‍රීය දායකත්වය සැපයීමට ඉදිරිපත් විය. මේ අතරවාරයේ 1915 වර්ෂයේ සිදු වූ සිංහල මුස්ලිම් කෝලහලයේ චූදිතයන් ලෙස නම් කොට ජාතික ව්‍යාපාරයේ නායකයන් සිරභාරයට ගැනීමට බ්‍රිතාන්‍ය පාලකයෝ කටයුතු කළහ. 1919 පමණ වන විට ජාතික සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයකු ලෙස කටයුතු කළ ජයතිලක 1924 ආරම්භ කෙරුණු ව්‍යවස්ථා දායක සභාවේ සාමාජිකයකු ලෙස පත් කෙරිණ.
1931 වර්ෂයේ කැලණිය ආසනයේ මන්ත්‍රීවරයා ලෙස නිතරගයෙන් පත් වූ ජයතිලක ස්වදේශකටයුතු ඇමති සහ සභානායක තනතරු සඳහා තෝරා ගැනිණ. නැවත වතාවක් 1936 වර්ෂයේ දී රාජ්‍ය මන්ත්‍රණ සභාවට ජයතිලක නිතරගයෙන් පත් වූ අතර ඒ වතාවේ ද ස්වදේශ කටයුතු ඇමති සහ සභානායක තනතුරු එතුමන්ට පිරිනැමිණ.
සමාජ දේශපාල කටයුතු නොපිරිහෙලා ඉටු කළ බාරොන් ජයතිලක අතින් සිංහල භාෂා සාහිත්‍යයට ද ඉටු වූයේ අපරිමිත මෙහෙයකි. ක්‍රි. ව. 10 වන සහ 15 සියවස්වලට අයත් සම්භාව්‍ය සිංහල ගද්‍ය සහ පද්‍ය කෘති හතක් එතුමන් අතින් සංස්කරණයට පත් විය. බුදුගුණාලංකාරය (1894), සිඛවළඳ සහ සිඛවළඳ විනිස (1924), සද්ධර්ම රත්නාවලිය (1928), පන්සිය පණස් ජාතක පොත (1932), ධම්පියා අටුවා ගැටපදය (1933), තිසර සන්දේශය (1935), ජාතක අටුවා ගැටපදය (1943), එසේ සංස්කරණය කෙරුණු කෘතිය.
මීට අමතරව කතිකාවත් සඟරා (1922) සහ සාහිත්‍ය ලිපි (1940) යන කෘති ද එතුමන් අතින් සම්පාදිත අතර මේ අතුරින් වැඩි ප්‍රමාණයක් පිරිවෙන්වල සහ විශ්වවිද්‍යාලවල සම්භාව්‍ය සිංහල භාෂා සාහිත්‍ය පාඨමාලා සඳහා නිර්දේශිත කෘති වීම ද විශේෂත්වයකි. ලංකා විශ්වවිද්‍යාලයේ ප්‍රථම උපාධි ප්‍රදානෝත්සවයේ දී නීති සූරි සම්මාන ආචාර්ය උපාධියක් එතුමන් වෙත සමර්පණය කෙරුණ ද ඉහත සඳහන් ග්‍රන්ථ සම්පාදනය උදෙසා ඊට අතරව සාහිත්‍ය සූරි සම්මාන ආචාර්ය උපාධියක් සමර්පණය කිරීමේ යෝග්‍යතාව මහාචාර්ය කේ එන්. ඕ. ධර්මදාස පෙන්වා දී තිබේ. මේ සියල්ලටම වඩා අද්විතීය සේවයක් සිංහල භාෂාවට ඩී. බී. ජයතිකල අතින් ඉටු වූයේ සිංහල ශබ්ද කෝෂය ආරම්භ කිරීමේ ප්රයත්නයට උර දී එහි ප්‍රථම සංස්කාරක ලෙස කටයුතු කිරීම නිසාය. 1927 වර්ෂයේ රාජකීය ආසියාතික සමිතිය මගින් අරඹන ලද ශබ්ද කෝෂ ව්‍යාපෘතිය පසු කලෙක ලංකා විශ්වවිද්‍යාලයේ සහ අනතුරුව සංස්කෘතික අමාත්‍යාංශයේ වගකීමක් බවට පත් වී මල් පල දැරුවේ ඩී. බී. ජයතිලක විද්වතාණන්ගේ පුරෝගාමී මග පෙන්වීම නිසා ය. ශබ්ද කෝෂ සම්පාදනයක් තබා එවැන්නක් කර්ණ පරම්පරාවෙන්වත් අසා නොමැති දේශපාලකයන් බහුල මෙසමයෙහි අපට ශේෂව තිබෙන්නේ ඩී. බී. ජයතිලක වැනි ප්‍රාඥ රාජ්‍ය තාන්ත්‍රිකයන් ස්මරණය කිරීමේ සොම්නස පමණි. 1944 මැයි මස 29 වැනි දින ඩී. බී. ජයතිලක විද්වත් රාජ්‍යතාන්ත්‍රිකයාගේ අභාවය සිදු විය.