පාණ්ඩි­ත්‍යයේ සහ රාජ්‍ය තාන්ත්‍රි­ක­ත්වයේ ප්‍රමු­ද්‍රාව | Page 2 | සිළුමිණ

පාණ්ඩි­ත්‍යයේ සහ රාජ්‍ය තාන්ත්‍රි­ක­ත්වයේ ප්‍රමු­ද්‍රාව

විසි වන සිය­වසේ මුල් අර්ධයේ මෙරට සිටි සමාජ-දේශ­පා­ලන ක්‍රියා­ධ­ර­ය­න්ගෙන් වැඩි පිරිස පරි­ණත සමාජ-දේශ­පා­ලන දැක්ම­කින් මෙන්ම අද්වි­තීය පාණ්ඩි­ත්‍ය­ය­කින් යුතු චින්ත­ක­යන් වීම විශේ­ෂ­ත්ව­යකි. හැඟීම් මත පද­නම් වූ ජන­ප්‍රිය දේශ­පා­ල­නය වෙනු­වට විදු­හුරු තකු­හුරු ඉදිරි දැක්මක් සහිත සමාජ, දේශ­පා­ලන ක්‍රියා මාර්ග­වල ඔවුහු නිමග්න වූහ. සමාජ, දේශ­පා­ලන දැක්ම පාණ්ඩි­ත්‍ය­යෙන් පිරි­ප­හදු වූ අතර පාණ්ඩි­ත්‍යය සමාජ, දේශ­පා­ලන දැක්ම නිසා ප්‍රභා­ෂ්වර විය. වර්ත­මා­නයේ එබඳු චරිත කළු­නික හා සම බැවින් ඒ චරිත පිළි­බඳ පුන­රා­ව­ර්ජ­නය අනා­ග­ග­තය ගොඩ නැංවී­මෙහි ලා උප­කාරී වනු ඇත.

දොන් බාරොන් ජය­ති­ලක 1868 පෙබ­ර­වාරි 13 දින කැල­ණිය වරා­ගොඩ දී මෙලොව එළිය දුටුවේ දොන් ඩැනි­යෙල් ජය­ති­ලක සේනා­නා­යක ලිය­න­ආ­රච්චි සහ දෝන ඇසි­ලි­යානා වීර­සිංහ යුව­ළගේ දෙවනි දරුවා ලෙසිනි. 1875 දී සත් හැවි­රිදි ජය­ති­ලක දරුවා අකුරු කිරීම සඳහා මුලින්ම යොමු කෙරුණේ පෑලි­ය­ගොඩ විද්‍යා­ලං­කාර පිරි­වෙණේ රත්ම­ලානේ ධර්ම­කීර්ති ශ්‍රී ධර්මා­ලෝක හිමි­යන් වෙතය. විද්‍යා­ලං­කාර පිරි­වෙන ගොඩ­නැං­වී­මට ජය­ති­ලක පවුල ද ප්‍රබල දාය­ක­ත්ව­යක් සපයා ඇති බැවින් පිරි­වෙන සමඟ විශේෂ බැඳී­මක් ඔවුන්ට තිබිණ. ජය­ති­ලක ළමා වියේ දී ම සිංහල, පාලි, සංස්කෘත භාෂා පිළි­බඳ පරි­චය ලබා ගත්තේ ධර්මා­රාම හිමි­යන් වෙතිනි. පසු කලෙක ශාස්ත්‍ර පාර­ග­ත­භා­ව­යට පැමිණි දොන් බාරොන් ජය­ති­ලක රත්ම­ලානේ ධර්ම­කීර්ති ශ්‍රී ධර්මා­ලෝක හිමි­යන් වෙත සිදත් සඟරා ව්‍යාඛ්‍යා­න­යක් සම්පා­ද­නය කරන මෙන් කළ ඇර­යු­මෙහි ඵල ලෙසින් 1887 දී ජය­ති­ලක පඬි­තු­මන්ගේ කර්තෘ­ත්ව­යෙන් පළ වුණු ‘සත්‍ය­ස­මු­ච්චය’ සඟ­රා­වෙහි ධර්මා­රාම හිමි­යන්ගේ ‘සිදත් සඟරා විස්තර සන්නයේ’ පූර්වා­ර්ධය ප්‍රකා­ශ­යට පත් කෙරිණ.

ෂෂ්ඨම වර්ෂ කාල­යක් පිරි­වෙණේ ශාස්ත්‍ර හදාළ බාරොන් ජය­ති­ලක 1881 වර්ෂයේ දී පිට­කො­ටුවේ වෙස්ලි විද්‍යා­ල­යට ඇතු­ළත් කෙරිණ. පාසල් අධ්‍යා­ප­නය නිම වන විට විශ්ව­වි­ද්‍යාල අධ්‍යා­ප­නය සඳහා අවශ්‍ය සියලු සුදු­සු­කම් සපුරා සිටි­යද ඒ වන විට හෙන්රි ස්ටීල් ඕල්කට්ගේ පුරෝ­ගා­මි­ත්ව­යෙන් ඇරඹී තිබුණු පරම විඥා­ර්ථ­වාදී සංමයේ කට­යු­තු­ව­ලට සක්‍රීය ලෙස දායක වීමට ජය­ති­ලක තරු­ණයා තීර­ණය කර තිබිණ. පරම විඥා­ර්වාදී සංග­මය මගින් බෞද්ධ පාසල් ආරම්භ කිරීමේ ප්‍රයත්න­යට උර දුන් බාරොන් ජය­ති­ලක මහ­නු­වර ධර්ම­රාජ විද්‍යා­ලය ආරම්භ කොට පව­ත්වා­ගෙන යාමට ඉදි­රි­පත් විය. 1890 දී ධර්ම­රාජ විද්‍යා­ලයේ ප්‍රධා­නා­චාර්ය තන­තු­රට ජය­ති­ලක පත් කෙරිණ. ධර්ම­රාජ විදු­හලේ සාර්ථක ප්‍රග­තිය දුටු පරම විඥාර්ථ සංග­මයේ බල­ධා­රීන් විසින් 1898 වර්ෂයේ දී බාරොන් ජය­ති­ලක කොළඹ ආනන්ද විද්‍යා­ලයේ උප ප්‍රධා­නා­චාර්ය තන­තු­රට පත් කෙරිණ. ඒ වර්ෂයේ දී ම බටු­ව­න්තු­ඩාවේ දේව­ර­ක්ෂිත පඬි­තු­මාගේ දිය­ණි­යක වූ මල්ලිකා බටු­ව­න්තු­ඩාව සමඟ බාරොන් ජය­ති­ලක විවාහ දිවි­යට පිවි­සිණ. 1900 වර්ෂයේ දී බාරොන් ජය­ති­ලක ආනන්ද විද්‍යා­ලයේ විදු­හ­ල්පති තන­තු­රට පත් විය. එවක කොලඹ තිබුණු සෙසු මිෂ­නාරි පාසල් හා සම තත්ත්ව­ය­කට, ඇතැම් අංශ­ව­ලින් ඒ පාස­ල්ව­ලට වඩා උසස් තත්ත්ව­ය­කට ආනන්ද විද්‍යා­ලය ගෙන ඒමට බාරොන් ජය­ති­ලක සමත් විය. මේ සාර්ථ­ක­ත්වය නිසා පරම විඥාර්ථ සංග­මයේ සාමා­න්‍යා­ධි­කාරී තන­තු­රට ඔහු පත් කෙරිණ.

විශ්ව­වි­ද්‍යාල අධ්‍යා­ප­නය පසෙ­කලා පරම විඥාර්ථ සංග­මයේ කට­යුතු සාර්ථ­ක­ත්වට පත් කිරී­මට පූර්ණ වශ­යෙන් කැප වුණු බාරොන් ජය­ති­ලක තම පෞද්ග­ලික ධනය වැය කොට උසස් අධ්‍යා­ප­නය ලැබීම සඳහා 1910 වර්ෂයේ දී ඔක්ස්ෆර්ඩ් විශ්ව­වි­ද්‍යා­ල­යට ඇතු­ළත් විය. ඒ වන විට ඔහුගේ වයස අවු­රුදු 42 කි. 1913 දී නීති උපාධි අධ්‍ය­යන කට­යුතු සාර්ථක ලෙස නිම කළ ජය­ති­ලක ඒ වර්ෂයේ දී ම ලන්ඩ­නයේ ලින්කන් ඉන් ආය­ත­නයේ බැරි­ස්ට­ර්ව­ර­යකු ලෙස සේව­යට බැඳිණ. කෙටි කල­කින් නැවත ලංකා­වට පැමිණි ජය­ති­ලක ජාතික නිද­හස සාක්ෂ්‍යාත් කර ගැනීමේ ප්‍රය­ත්න­යට සක්‍රීය දාය­ක­ත්වය සැප­යී­මට ඉදි­රි­පත් විය. මේ අත­ර­වා­රයේ 1915 වර්ෂයේ සිදු වූ සිංහල මුස්ලිම් කෝල­හ­ලයේ චූදි­ත­යන් ලෙස නම් කොට ජාතික ව්‍යාපා­රයේ නාය­ක­යන් සිර­භා­ර­යට ගැනී­මට බ්‍රිතාන්‍ය පාල­කයෝ කට­යුතු කළහ. 1919 පමණ වන විට ජාතික සංග­මයේ ක්‍රියා­කාරී සාමා­ජි­ක­යකු ලෙස කට­යුතු කළ ජය­ති­ලක 1924 ආරම්භ කෙරුණු ව්‍යවස්ථා දායක සභාවේ සාමා­ජි­ක­යකු ලෙස පත් කෙරිණ.

1931 වර්ෂයේ කැල­ණිය ආස­නයේ මන්ත්‍රී­ව­රයා ලෙස නිත­ර­ගයෙන් පත් වූ ජය­ති­ලක ස්වදේ­ශ­ක­ට­යුතු ඇමති සහ සභා­නා­යක තන­තරු සඳහා තෝරා ගැනිණ. නැවත වතා­වක් 1936 වර්ෂයේ දී රාජ්‍ය මන්ත්‍රණ සභා­වට ජය­ති­ලක නිත­රග­යෙන් පත් වූ අතර ඒ වතාවේ ද ස්වදේශ කට­යුතු ඇමති සහ සභා­නා­යක තන­තුරු එතු­මන්ට පිරි­නැ­මිණ.

සමාජ දේශ­පාල කට­යුතු නොපි­රි­හෙලා ඉටු කළ බාරොන් ජය­ති­ලක අතින් සිංහල භාෂා සාහි­ත්‍ය­යට ද ඉටු වූයේ අප­රි­මිත මෙහෙ­යකි. ක්‍රි. ව. 10 වන සහ 15 සිය­ව­ස්ව­ලට අයත් සම්භාව්‍ය සිංහල ගද්‍ය සහ පද්‍ය කෘති හතක් එතු­මන් අතින් සංස්ක­ර­ණ­යට පත් විය. බුදු­ගු­ණා­ලං­කා­රය (1894), සිඛ­ව­ළඳ සහ සිඛ­ව­ළඳ විනිස (1924), සද්ධර්ම රත්නා­ව­ලිය (1928), පන්සිය පණස් ජාතක පොත (1932), ධම්පියා අටුවා ගැට­ප­දය (1933), තිසර සන්දේ­ශය (1935), ජාතක අටුවා ගැට­ප­දය (1943), එසේ සංස්ක­ර­ණය කෙරුණු කෘතිය.

මීට අම­ත­රව කති­කා­වත් සඟරා (1922) සහ සාහිත්‍ය ලිපි (1940) යන කෘති ද එතු­මන් අතින් සම්පා­දිත අතර මේ අතු­රින් වැඩි ප්‍රමා­ණ­යක් පිරි­වෙ­න්වල සහ විශ්ව­වි­ද්‍යා­ල­වල සම්භාව්‍ය සිංහල භාෂා සාහිත්‍ය පාඨ­මාලා සඳහා නිර්දේ­ශිත කෘති වීම ද විශේ­ෂ­ත්ව­යකි. ලංකා විශ්ව­වි­ද්‍යා­ලයේ ප්‍රථම උපාධි ප්‍රදා­නෝ­ත්ස­වයේ දී නීති සූරි සම්මාන ආචාර්ය උපා­ධි­යක් එතු­මන් වෙත සම­ර්ප­ණය කෙරුණ ද ඉහත සඳ­හන් ග්‍රන්ථ සම්පා­ද­නය උදෙසා ඊට අත­රව සාහිත්‍ය සූරි සම්මාන ආචාර්ය උපා­ධි­යක් සම­ර්ප­ණය කිරීමේ යෝග්‍ය­තාව මහා­චාර්ය කේ එන්. ඕ. ධර්ම­දාස පෙන්වා දී තිබේ. මේ සිය­ල්ල­ටම වඩා අද්වි­තීය සේව­යක් සිංහල භාෂා­වට ඩී. බී. ජය­ති­කල අතින් ඉටු වූයේ සිංහල ශබ්ද කෝෂය ආරම්භ කිරීමේ ප්‍රය­ත්න­යට උර දී එහි ප්‍රථම සංස්කා­රක ලෙස කට­යුතු කිරීම නිසාය. 1927 වර්ෂයේ රාජ­කීය ආසි­යා­තික සමි­තිය මගින් අර­ඹන ලද ශබ්ද කෝෂ ව්‍යාපෘ­තිය පසු කලෙක ලංකා විශ්ව­වි­ද්‍යා­ලයේ සහ අන­තු­රුව සංස්කෘ­තික අමා­ත්‍යාං­ශයේ වග­කී­මක් බවට පත් වී මල් පල දැරුවේ ඩී. බී. ජය­ති­ලක විද්ව­තා­ණන්ගේ පුරෝ­ගාමී මග පෙන්වීම නිසා ය. ශබ්ද කෝෂ සම්පා­ද­න­යක් තබා එවැ­න්නක් කර්ණ පර­ම්ප­රා­වෙ­න්වත් අසා නොමැති දේශ­පා­ල­ක­යන් බහුල මෙස­ම­යෙහි අපට ශේෂව තිබෙන්නේ ඩී. බී. ජය­ති­ලක වැනි ප්‍රාඥ රාජ්‍ය තාන්­ත්‍රි­ක­යන් ස්මර­ණය කිරීමේ සොම්නස පමණි. 1944 මැයි මස 29 වැනි දින ඩී. බී. ජය­ති­ලක විද්වත් රාජ්‍ය­තා­න්ත්‍රි­ක­යාගේ අභා­වය සිදු විය.

Comments