
ස්විට්සර්ලන්තය, නෝර්වේ, ඔස්ට්‍රේලියාව, අමෙරිකාව, ජපානය ජීවන වියදම් අධික රටවල් අතරට
ජීවන වියදම යනු කාටත් හිසරදයකි. තම ආදායම සමග වියදම ගළපා ගැනීම වැඩි දෙනෙකුට අසීරුය. අප රටේ පමණක් නොව මුළු ලෝකයම සැලකූ විටත් එය එසේය. මේ කියන්නට යන්නේ එවන් වූ ජීවන වියදම අධිකතම රටවල් ගැනය.
අප කවුරුත් අසා ඇති අන්දමට ජපානයේ ජීවිතය අසීරුය. ඉතා දියුණු තාක්ෂණය භාවිත කරන ප්‍රජාතන්ත්‍රවාදය තිතටම ක්‍රියාත්මක වන රටක් වුවද ජපානය යනු ජීවත් වීමට අධික මිලක් ගෙවිය යුතු රටකි. ඒ රටේ ජනතාවට ආදායම් ලෙස සැලකිය යුතු වැටුප් හිමිවුවද බොහෝ දෙනාට ජීවත් වීම සඳහා එයින් බහුතරය කැපකිරීමට සිදුවේ. දැන් අපි ජපානය ඊජිප්තුව සමග සසඳා බලමු. ඊජිප්තුවේ පුරවැසියකුගේ මධ්‍ය ආදායම අමෙරිකානු ඩොලර් 2,200කි. ජපාන වැසියකුගේ මධ්‍ය ආදායම අමෙරිකානු ඩොලර් 31,000කි. ඒ අනුව ජපාන වැසියකුගේ ජීවන මට්ටම ඊජිප්තු වැසියකුගේ ජීවන මට්ටමට වඩා 14 ගුණයකින් පමණ ඉහළ මට්ටමක පැවතිය යුතුය. එහෙත් එය එසේ වන්නේ නැත. ජපාන වැසියකුගේ ජීවන මට්ටම ඊජිප්තු වැසියකුගේ ජීවන මට්ටමට වඩා වෙනස් වන්නේ නම් ඒ සුළු වශයෙනි. ඊට හේතුව ජපානයේදී පුද්ගලයකු උපයන මුදලින් වැඩි කොටස ජීවන වියදම සරි කර ගැනීම සඳහා වැය කිරීමට සිදුවී තිබීමය.
ලෝකයේ රටින් රටට ජීවන වියදම වෙනස්ය. ඇතැම් රටවල මෙය අධික වන අතර ඇතැම් රටවල ජනතාවට පහසු ජීවිතයක් අත් කරකර දීමට තරම් ජීවන වියදම නම්‍යශීලීය. මේ සම්බන්ධව එක්සත් ජාතීන්ගේ සංවිධානය සෑම වසර හයකටම වරක් දත්ත ඉදිරිපත් කරන අතර ඒ සඳහා සිදු කරන දත්ත රැස් කිරීම ලොව ලොකුම දත්ත රැස් කිරීමද වේ. මෙහිදී රටවල් 200ක ජීවන වියදම ගණනය කෙරේ. රටින් රට ජනතාවගෙ ජීවන තත්ත්වය විමසා බැලෙන්නේ ඒ අනුවය. දැනට අවසන් වරට මේ වාර්තාව ඉදරිපත් කර ඇත්තේ 2017දී වන අතර ඒ දත්ත වාර්තාව අනුව දැනට ලොව ජීවන වියදම අධිකම රටවල් ද දක්වා ඇත.
ජීවන වියදම සොයා බැලීමේදී සිදුකෙරෙන්නේ කිසියම් කාල පරාසයක් තුළ, උදාහරණයක් ලෙස සතියක කාලයක් තුළ කිසියම් රටක ජනතාවට ජීවත් වීම සඳහා අත්‍යවශ්‍ය වියදම් මොනවදැයි සලකා බැලීමය. එම වියදම ජනතාවගේ මධ්‍ය අදායම සමග ගැළපීමෙන් ජීවන වියදම් ප්‍රතිශතය ගණනය කෙරේ. මෙහිදී ජීවත් වීම සඳහා අත්‍යවශ්‍ය වන නිවාස, ආහාර, ජලය, බලශක්තිය, ඇඳුම් පැළඳුම් සහ වාහන යනාදිය සඳහා යන වියදම ගණනය කෙරේ.
කිසියම් රටක ජනතාවගේ ජීවන මට්ටම සලකා බැලෙන්නේද ඒ රටේ ජීවිතය වියදම් අධිකද නැතිද යන්න තීරණය වන්නේද ඒ අනුවය.
ජපානය ජීවන වියදම අධික රටක් බව කවුරුත් දන්නා දෙයකි. එහෙත් කවුරුත් නොදන්නා කරුණ වන්නේ ජපානයට වඩා අධික ජීවන වියදම් සහිත රටවල් රාශියක්ම ඇති බවයි.
2017 වාර්තාව අනුව ලෝකයේ ජීවන වියදම අධිකම රට ලෙස දක්වා ඇත්තේ කැරිබියානු කලාපයේ ඇති කුඩා රාජ්‍යයක් වන බර්මියුඩා දූපත් සමූහයයි. එහි ජීවන වියදම සඳහන් වන්නේ 138.22ක් වශයෙනි. එහි ජනගහනය 2018දී සඳහන් වී ඇත්තේ 71000කට මදක් වැඩි වශයෙනි. එම සුළුතර ජනතාවට වුවද ජීවත් වීම සඳහා විශාල සටනක් කිරීමට සිදු වී ඇති බව නම් නිසැකය. බර්මියුඩා දූපතේ හැමිල්ටන් අගනුවර වර්ග අඩි 900ක මහල් නිවසක් සඳහා මාසික වියදම ලෙස අමෙරිකානු ඩොලර් 4,058ක් වැය කළ යුතුව තිබේ.
ජීවන වියදම් ලැයිස්තුවේ දෙවැනි ස්ථානය දිනා සිටින්නේ ලෝකයේ රටවල් අතරින් සුන්දරම රටක ලෙස විරුදාවලි ලබා ඇති ස්විට්සර්ලන්තයයි. අවසන් වරට නිකුත් කරන ලද ලැයිස්තුව අනුව එරට ජීවන වියදම ඒකක ඒකක 122.67කි. එරට ජීවන වියදම ඉහළ යෑමට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ අධික ආහාර මිල ගණන්ය. ඒ අනුව ස්විට්සර්ලන්තයේ ජීවත් වීමට පෙරුම් පුරමින් සිටින පිරිස මේ තොරතුරු සම්බන්ධව දැනුම්වත් වීම ඉතා වැදගත්ය.
මීට අමතරව පිළිවෙලින් අයිස්ලන්තය, නෝර්වේ, ඔස්ට්‍රේලියාව, ඩෙන්මාර්කය, ඊශ්‍රායෙලය, නවසීලන්තය, අමෙරිකාව, ජපානය, යනාදී රටවල් අධික ජීවන වියදම් ලැයිස්තුවේ ඉදිරියෙන්ම සිටින්නේය.
එමෙන්ම මේ ජීවන වියදම් සකස් කිරීමේදී රටින් රටට සලකා බැලෙන භාන්ඩ හා සේවාද වෙනස් බව පැවසිය යුතුය. උදාහරණයක් ලෙස චීනය සලකා බලමු. චීනයේ ඌරු මස් සඳහා අධික ඉල්ලුමක් ඇති අතර ජනතාවගේ ආදායමෙන් සැලකිය යුතු මුදලක් ඌරු මස් සඳහා වැය වේ. ඒ හේතුවෙන් චීනයේ ජීවන වියදම සැකසීමේදී ඌරු මස් මිල අනිවාර්යයෙන් සලකා බැලේ. බ්‍රිතාන්‍ය තුළ ප්‍රවාහනය සඳහා අධික වියදමක් දැරීමට සිදුවන නමුත් ආහාරපාන සඳහා දැරීමට සිදුවන්නේ ඉතා අවම මිලකි. බ්‍රිතාතන්‍ය වැසියකුගෙ ආදායමෙන් සියයට 39ක් ප්‍රවාහනය සඳහා යෙදවිය යුතු වන අතර ආහාරපාන සඳහා වැය කළ යුතු වන්නේ සියයට 7ක් පමණි.
මේ අනුව ලෝකයේ උසස් ජීවන මට්ටමක් ඇතැයි පැවසෙන බොහෝ රටවල ජීවත් වීමට විශාල පිරිවැයක් දැරිය යුතු බව ඔබට අවබෝධ වනවා ඇත. ඒ අනුව රටක ජීවත් වීමේදී දියුණුව හෝ සුන්දරත්වය හෝ පමණක්ම නොව තවත් සලකා බැලිය යුතු බොහෝ පවතින බව සිතට ගැනීම වැදගත්ය.