
පසුගිය මාර්තු මාසයේදී චීනයේ වූහාන් ප්‍රදේශයේ කොවිඩ් පැතිරීම මර්දනය කළ පසු මේ වන විට චීනය ප්‍රබල දෙවැනි කොවිඩ් රැල්ලකට මුහුණ දෙමින් සිටී. මීට පෙර චීනයේ තවත් ප්‍රදේශ දෙකකින් රෝගීන් වාර්තා වීමෙන් පසු එම ප්‍රදේශ වසා දමමින් වයිරසයේ පැතිරීම මර්දනය කළද මෙවර චීනයේ අගනුවරම වයිරස ප්‍රහාරයට ලක්වීම සැලකිය යුතු තර්ජනයක් බව චීන බලධාරීන් පවසා තිබේ.
මීට දින කිහිපයකට පෙර චීනයේ අගනුවර වන බෙයිජිං නගරයෙන් රෝගීන් වාර්තා වීම ආරම්භ වී තිබේ. බෙයිජිං නගරයෙන් වාර්තා වූ මුල්ම රෝගීන් ගැවසුණු ප්‍රදේශ පිළිබඳ විමසීමේදී වාර්තා වී ඇත්තේ ඔවුන් අගනුවර ප්‍රධාන එළවලු සහ පලතුරු වෙළෙඳ පොළෙහි කටයුතු කර ඇති බවයි. ඒ අනුව එම වෙළෙඳ පොළෙහි සේවකයන් සහ පාරිභෝගිකයන් පරීක්ෂාවන්ට ලක් කෙරුණු අතර එහිදී තහවුරු වූයේ වෙළෙඳ පොළ ආශ්‍රිතව කොවිඩ් වයිරසය වේගයෙන් පැතිර යමින් ඇති බවයි. ඒ සමගම වෙළඳපොළ වසා දැමීමට බෙයිජිං බලධාරීන් කටයුතු යෙදීය. එහෙත් මේ දක්වා අඛණ්ඩව රෝගීන් වාර්තා වෙමින් තිබීම බරපතල තත්ත්වයක් බව චීන බලධාරීන්ගේ මතය වී තිබේ. පසුගිය ඉරිදා දිනයේදී පමණක් චීනයේ රෝගීන් 86ක් වාර්තා වූ අතර ඒ අතරින් ඇතැම් රෝගීන් විදේශයන්හි සිට පැමිණි චීන ජාතිකයන් වේ.
මේ වන විට බෙයිජිං එළවලු වෙළෙඳ පොළ ආශ්‍රිතව වාර්තා වී ඇති සම්පූර්ණ රෝගීන් සංඛ්‍යාව සියය ඉක්මවා තිබේ. මේ තත්ත්වය කිසිසේත් අවතක්සේරු නොකළ චීන බලධාරීහු මේ වන විටත් බෙයිජිං නගරයේ නිවාස සිසාරා යමින් වෙළෙඳ පොළ සමග කටයුතු කළ පුද්ගලයන් සිටී දැයි තොරතුරු සොයමින් සිටිති. එසේ වෙළෙඳ පොළෙහි කටයුතු කළ පිරිස් සොයා බලමින් ඔවුන් කොවිඩ් පරීක්ෂණවලට ලක් කරමින් වයිරසය හැකිතාක් පැතිරීම අවම කිරීම ඔවුන්ගෙ අරමුණ වී තිබේ. මෙය බොහෝ බැරූරුම් කරුණක් වන්නේ මේ වෙළෙඳ පොළ සමස්ත බෙයිජිං නගරයේ එළවලු සහ පලතුරු අවශ්‍යතාවන්ගෙන් සියයට අනූවක් සපුරාලන ප්‍රධානතම වෙළෙඳපොළ වන බැවිනි. දිනපතා මේ වෙළෙඳපොළ සමග කටයුතු කරන සංඛ්‍යාව අති විශාලය.
සඳුදා දිනය වන විට ප්‍රධාන වෙළෙඳ පොළ ආසන්නේ තවත් වෙළෙඳ පොළකින් රෝගීන් වාර්තා වූ බැවින් ඒ සමග වන නිවාස සහ මහල් නිවාස ඒකක විස්සකට අධික සංඛ්‍යාවක් වසා දැමීමට චීන බලධාරීන්ට සිදු විය. එමෙන්ම බෙයිජිං නගරයේ පාසල් වසා දැමීමටද සිසුන්ට නිවෙස්වල සිට අධ්‍යාපන කටයුතු කිරීමටද උපදෙස් ලබා දී තිබේ.
චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කර සිටි පරිදි බෙයිජිං හි උප මහඇමතිවරයා පවසා ඇත්තේ වයිරසයේ පැතිරීම ඉතා භයානක මට්ටමක පවතින බවයි.
කෙසේ වුවද මීට පෙර වයිරසය පැතිරී ගිය වූහාන් ප්‍රදේශය මෙන් නොව බෙයිජිං නගරයේ වයිරසය පැතිරීම චීනයට ඉතාම හානිකර වනු ඇත. වූහාන් යනු චීනයේ ප්‍රධාන පෙළේ නගරයක් නොවේ. එහිදී හානියට පත්වූයේ මිනිස් ජීවිත සහ නගරයේ සාමානය ජනජීවිතය පමණක් වුවද බෙයිජිං යනු චීනයේ හදවතය. එරට දේශපාලන, සමාජයීය සහ සංස්කෘතික කේන්ද්‍රස්ථානය වන්නේ බෙයිජිං අගනුවරයි. වූහාන්හි වයිරසය පැතිර ගිය අවස්ථාවේ කිසිම අන්දමකින් බෙයිජිං වසා දැමීමට චීන බලධාරින් කටයුතු කළෙ නැත. එබැවින් එතරම් විශාල වූ ව්‍යසනයක් හමුවේ වුවද ආර්ථික වශයෙන් නොසැලී සිටීමේ හැකියාව චීනයට හිමි විය. එහෙත් මෙවර වයිරසයේ දෙවැනි රැල්ල චීනයේ හදවතටම එල්ල වීම එතරම් සුභදායී නැත.
මේ වන විට බෙයිජිං හි පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වෙමින් පැවතියද බෙයිජිං හරහා රටේ සෙසු ප්‍රාන්තවලට කෙරෙන ඍජු ප්‍රවාහන සේවා නවතා තිබේ. එමගින් වයිරසය රටේ සෙසු ප්‍රකේශවලට පැතිරීම අරමුණු කර තිබේ.
මේ වන විට ලොව පුරා සමස් ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව මිලිය 8 ඉක්මවූ අතර මරණ සංඛ්‍යාව ලක්ෂ හතර හමාරක් ද ඉක්මවා තිබේ. චීනයට අමතරව දකුණු කොරියාව, ජපානය ඇතුළු රටවල් රැසක්ම වයිරසයේ දෙවැනි රැළිවලට මුහුණ දෙමින් සිටිති. අමෙරිකාවේ තත්ත්වයද අතිශයින් අසුබදායකය.
කෙසේ වුවද පළමුවැනි රැල්ලට මුහුණ දුන් අවස්ථාවේ දී මෙන් නොව වයිරසය සමග ක්‍රියා කළ යුත්තේ කෙසේද යන්න සම්බන්ධව ජනතාවට කිසියම් අත්දැකීම් පවතින බැවින් තත්ත්වය පාලනය කර ගැනීමට මිනිසාට හැකිවනු ඇතැයි සුබවාදී බලාපොරොත්තු තබා ගත හැකිය.