
මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින සියලු ප්‍රධාන දේශපාලන පක්ෂ මේ වන විට මැතිවරණ ප්‍රචාරක රැලි ආරම්භ කරමින් පවතී. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රචාරක කටයුතු අද (21) කුරුණෑගලින් ආරම්භ කෙරේ. අගමැති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ සියලු දේශපාලන පක්ෂ නායකයින් හා විද්වතුන් මෙම ජන හමුවට සහභාගි වේ. සෞඛ්‍යය උපදෙස් අනුගමනය කරමින් ජන හමු පැවැත්වෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රකාශකයෙක් සිළුමිණට කීය.
එසේම දිවයින පුරා ආසන මට්ටමින් කුඩා ජන හමු සංවිධානය කීරිමටද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇති අතර ඒ සෑම ජන හමුවකටම අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහභාගි වීමට නියමිතය.
සමඟි ජන බලවේගයද සිය ප්‍රචාරක කටයුතු පසුගිය 20 වැනිදා ආසන මට්ටමින් ආරම්භ කරන ලද්දේ සජිත් ප්‍රේමදාස මහතා ගේ සහභාගිත්වයෙනි. ආසන බල මණ්ඩල පිහිටුවීමද එකම වේලාවකට ආරම්භ කරන්නට ඔවුන් කටයුතු කර තිබුණි.
සමඟි ජන බලවේගයද ආසන මට්ටමින් ජන හමු සංවිධානය කරන අතර ඒ සෑම ජනහමුවකටම සජිත් ප්‍රේමදාස මහතා සහභාගි වීමට නියමිතය. එක්සත් ජාතික පක්ෂයද සිය ප්‍රචාරක කටයුතු මේ වන විට ආරම්භ කර ඇත. එහෙත් ආසන හා දිස්ත්‍රික්ක මට්ටමින් ජනහමු පැවැත්වීම පිළිබඳ සැලැස්ම සකස් කර අවසන් නැති බව එම පක්ෂයේ ප්‍රචාරක කමිටුවේ සාමාජිකයෙක් වන මහාචාර්ය ආංශු මාරසිංහ පවසයි.
ජනතා විමුක්ති පෙරමුණද ප්‍රචාරක කටයුතු ආරම්භ කර ඇති අතර ඔවුන් දිස්ත්‍රික්ක හා ආසන මට්ටමේ සම්මන්ත්‍රණ මාලා සුදානම් කර තිබේ.