කොරෝනාවෙන් ඇද නොවැටී ව්‍යාපාර ගොඩ එන්නේ මෙ‍ෙහමයි | සිළුමිණ

කොරෝනාවෙන් ඇද නොවැටී ව්‍යාපාර ගොඩ එන්නේ මෙ‍ෙහමයි

මේ වන විට විට ලෝකයේ බොහෝ රටවල් කොවිඩ් 19 නව කොරෝනා වයිරසය නිසා පීඩාවට පත්ව තිබේ. ලෝකයේ සුපිරි බලවතුන් ලෙස පිළිගැනෙන ඇමෙරිකාව,චීනය, ප්‍රංශය,බ්‍රිතාන්‍ය,ඉන්දියාව වැනි රටවල් රැසක සාමාන්‍ය ජන ජීවිතය හා ආර්ථික සංවර්ධනය බිමටම සමතලා කර දැමූ මේ මාරාන්තික කොරෝනා වයිරසය අප රටේ ආර්ථිකයටද දැනටමත් මාරාන්තික ප්‍රහාර එල්ල කර ඇත.

කොවිඩ් 19 නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය කෙතරම් ප්‍රබල වීද යත් ඉන් ජන ජීවිතය ආරක්ෂා කර ගැනීම සඳහා ලොකු, කුඩා, දියුණු, නොදියුණු රටවල් සියල්ලටම ඉතා ආරක්ෂාකාරී පියවර අනුගමනය කිරීමට සිදු විය. ශ්‍රී ලංකා රජය, සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ද ජනතාවගේ ජීවිත මේ මාරාන්තික වයිරසයෙන් ආරක්ෂා කර ගැනීමේ අරමුණෙන් ජනප්‍රිය නොවන ඉතා දැඩි තීන්දු තීරණ රැසක් ගත් අතර රටපුරා ඇදිරි නීතිය ක්‍රියාත්මක කිරීමද ඒ අතරින් ඉතා දුෂ්කර තීරණයක් විය. කොරෝනා වයිරසයෙන් ආරක්ෂා වීම සඳහා මේ වනතෙක්ම නිශ්චිත එන්නතක් හෝ වෙනයම් ඖෂධයක් සොයාගෙන නොමැති අතර; රෝගයෙන් වැළකී සිටීම සඳහා සංචරණය සීමා කර සමාජ දුරස්ථභාවය තබා ගත යුතු බව ඒ සඳහා වෛද්‍ය විශ්ලේෂකයන් ලබා දෙන එකම උපදේශයයි.ඒ අනුව මෙරට ජනතාවගේ ද සංචරණය සීමාකර සමාජ දුරස්ථ භාවය තහවුරු කිරීම සඳහා ඇඳිරි නීතිය පැනවීමට සිදුවුනු අතර ඒ සමඟම තවමත් රටේ බොහෝ අංශ අකර්මණ්‍ය වී ගොස් තිබේ.

කොරෝනා වයිරසයේ බලපෑම හමුවේ ක්ෂේත්‍ර ගණනාවක ව්‍යාපාර කටයුතු මේ මොහොත වන විටත් එක්කෝ සම්පූර්ණයෙන්ම අඩපණ වී ඇත; නැත්නම් මන්දගාමී වී ඇත.වයිරසයට එරෙහිව රජය ගත් ක්‍රියාමාර්ග වල ප්‍රතිඵලය ලෙස ඉතා කෙටි කලක් තුළ එකී වයිරස ව්‍යාප්තිය පරදා නැඟී සිටින්නට අප රටට හැකියාව ලැබෙනු ඇතැයි අපේක්ෂා වී තිබුණ ද තවත් බොහෝ කලකට මෙරට ආර්ථික වර්ධනය වේගය ප්‍රකෘති තත්ත්වයකට පැමිණේ යැයි සිතිය නොහැකිය. ඊට ප්‍රධානම හේතුව වන්නේ ලංකාවේ ආර්ථිකය පමණක් නොව ලෝකයේ බොහෝ රටවල ආර්ථිකය මේ වයිරසයේ ව්‍යාප්තිය හමුවේ වේගයෙන් කඩා වැටීමට ලක් වී ඇති නිසාය.

මේ තත්ත්වය පිළිබදව අප රටේ ව්‍යාපාරික ප්‍රජාවගේ අදහස් කෙබදුද? ඔවුන් ඒ පිළිබදව දක්වන්නේ කවර නම් අදහසක්ද? අභියෝග ජයගත් ජාතියක් ලෙස කොරෝනා වයිරසයෙන් ආරක්ෂා වීම සඳහා සියලු අංශ එකතු වී,එකාවන්ව කටයුතු කළ අයුරින්ම රටේ ආර්ථික වර්ධන වේගය ද සුබදායී දිශාවක් වෙත අවතීර්ණ කර ගැනීමට අපට හැකියාවක් ලැබේවිද? සුළු හා විශේෂ වැදගත්කමක් ඇති ක්ෂේත්‍රයන්හි ව්‍යවසායයන් පිරිසක් වත්මන් තත්ත්වය හමුවේ සිය ඉදිරි ගමන්මඟ පිළිබඳ අපේක්ෂා සහගතව අවධානය යොමු කර ඇති අන්දම මේ ලිපියෙන් මෙසේ දිග හැරෙයි.

 

අපේ දෑතින් - අපේ පොළොවෙන් වැඩ ගන්නා යුගයක් නිර්මාණය කිරීමට අදිටන් කර ගනිමු!

කර්මාන්ත හා සැපයුම් කළමණාකරණ අමාත්‍ය

විමල් වීරවංශ

 

 

සිංහල බෞද්ධ සහ දමිළ හින්දු ජනතාව පමණක් නොව මුළුමහත් ලාංකේය ජාතියම ඒකාත්මික කරවන අලුත් අවුරුදු උළෙලක් මෙවර සමරන්නට සිදු වූයේ ඉමහත් ව්‍යසනකාරී තත්ත්වයකට සියලු ලෝකවාසීන් පත්ව සිටින තත්වයක් තුළ ය. ජාතියක් ලෙස සැමදා අප මෙම උළෙලට සැරසෙන්නේ; ගෙවී ගිය අවුරුද්ද දෙස ගැඹුරින් සලකා බලමින් එහිදී සිදුව ඇති අඩු ලුහුඬුකම් එළඹෙන අලුත් අවුරුද්දේ නිවැරදි කරගැනීමට අදිටන් කර ගනිමිනි. ඊට මානසිකව සූදානම් වෙමිනි. අලුත් අවුරුද්ද හා බැඳුණු එම හර පද්ධතීන් ඉතාමත් ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමේ වැදගත්කම කොවිඩ් 19 නව කොරෝනා වයිරසය රටම විපතට පත් මෙම ව්‍යසනකාරී මොහොතේදී වඩවඩාත් අප හමුවේ අවධාරණය කර සිටියි.

කොවිඩ් 19 නව කොරෝනා වසංගතයෙන් මිදීම සඳහා ගත හැකි සියලු පියවරයන්ට සමාජයක් ලෙස උපරිම සහයෝගය දක්වමින් ඉන්පසු එළැඹෙන යුගයට සාර්ථකව මුහුණදීමට අප මේ මොහොතේ දී මානසිකව සූදානම් විය යුතුය. විශේෂයෙන් ලෝක ආර්ථිකය බරපතල ලෙස බිඳ වැටෙන විට, ලෝක පරිමාණයේ බරපතළ ආහාර අර්බුදයක් මතුව ඇති විට ඊට සාර්ථකව මුහුණදීමේ අභියෝගය එළැඹෙන අවුරුද්දේ අප ඉදිරියේ පවතී. ඊට අදාළව අපගේ අවධානය ප්‍රධාන කරුණු දෙකක් වෙත යොමුවිය යුතුය. වෙළෙඳපොළ විකෘතීන් නිවැරදි කර ගනිමින් දේශීය නිෂ්පාදන පද්ධතිය ශක්තිමත් කරගැනීම පළමුවැන්න ය. එහිදී ආනයනය දෙස පමණක් නෙත් යොමු කරමින් ගත කළ කාලයට ජාතියක් ලෙස තිත තැබිය යුතුය.

මෙහිදී එලෙසම අපගේ අවධානය යොමුවිය යුත්තේ ආනයනික ආහාර සංස්කෘතියෙන් මිදී දේශීය ආහාර සංස්කෘතියට යොමු වීම කෙරෙහි ය. එහිදී කෘෂි ව්‍යවසායකයන් බිහි කිරීම, ගෙවතු වගා විප්ලවයකට රටම සූදානම් වීම අපට ඇති පිළිතුරු ය. දේශීය ආහාර සංස්කෘතියකට රටම හුරු කරවීම පාසලෙන් ඇරඹිය යුතුය. ඒ පිළිබඳ කරුණු පාසල් විෂය මාලාවට එක් විය යුතුව තිබේ. එසේම ආහාර සුරක්ෂිතතා පනතක් සම්පාදනය කිරීම ද ඒ හා බැඳී තිබේ.

සුනාමි ව්‍යසනයෙන් මිදී නැගී සිටියා සේ, තිස් අවුරුදු යුද්ධය ජය ගත්තා සේ, ශ්‍රී ලාංකිකයින් වන අපට මෙම කොරෝනා වසංගතයෙන් ද ජයගැනීමේ නිසඟ හැකියාව තිබේ. අප ජාතිය සතු සභ්‍යත්ව උරුමයන් තුළින් එකී අභ්‍යන්තර ශක්තිය අපට සපයා දෙනු ලබයි. එබැවින් මෙරට සුජාත දූ පුතුන් තම දෑතින් - මේ පොළොවෙන් වැඩ ගන්නා යුගය අරඹනු නිසැක ය. එවැනි ඇරඹුමකට මානසිකව සූදානම් වන ලෙසත් මෙම දැවැන්ත අභියෝගය ජය ගැනීම වෙනුවෙන් කැපවීමට අදිටන් කරගන්නා ලෙසත් ඉල්ලා සිටිමි.

 

-----------------------

ආයුර්වේදයේ වටිනාකම පිළිබඳව ජනතාව හරි අවබෝධයක් ලබාගත්තා

ඕෂන් ආයුර්වේදික් හර්බල් ප්‍රොඩක්ට්ස්

ආයතනයේ හිමිකාරිණී පාරම්පරික වෛද්‍යාචාරිනී

ගංගා හංසකුමාරි නාඔටුන්න

 

පසුගිය කාලය පුරා ආයුර්වේද ක්ෂේත්‍රය තුළ මගේ නිෂ්පාදන ගොඩනඟා ගන්න මම විශාල කැප කිරීමක් කළා. නමුත් කොරෝනා වයිරසය හමුවේ ඇතිවූ තත්ත්වය නිසා පුංචි පසුබෑමකට ලක්වුණා. ඒ කොහොම වුණත් කොරෝනා හී අතුරු ප්‍රතිඵලයක් විධියට අපේ රටේ සම්පත්වල වටිනාකම පිළිබඳව විශේෂයෙන්ම ආයුර්වේද ක්ෂේත්‍රයේ වටිනාකම පිළිබඳව ජනතාවට හරි අවබෝධයක් ලබාගන්න විශේෂිත අවස්ථාවක් හා වාතාවරණයක් නිර්මාණය වුණා.ආයුර්වේද ක්ෂේත්‍රය අවුරුදු දහස් ගණනක් පුරා විවිධ වයිරස රෝගයන්ගෙන් ජනතාවගේ ජීවිත ආරක්ෂා කර දීමට ආයුර්වේදය එහෙමත් නැත්නම් හෙළ වෙද හෙද කම කටයුතු කළේ කොහොමද කියන කාරණය පිළිබදව මේ වයිරස් රෝගයේ ව්‍යාප්තියත් සමඟ ජනතාවට හොද හැටි තේරුම් ගැනීමට හැකි වුණා.ඒ ඇති වූ සංවාදයේ ප්‍රතිඵල ලෙස වයිරස් රෝග හැදෙන්නට පෙර වළක්වා ගැනීම සදහා සිය ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි දියුණු කර ගැනීමට ජනතාව විශාල වශයෙන් ආයුර්වේද ක්ෂේත්‍රයේ පිහිට පතා තිබෙනවා.

ඒ නිසා මේ පිළිබඳව අති ගරු ජනාධිපතිතුමා, රජය හා සෞඛ්‍ය අංශ තවදුරටත් කරුණු අධ්‍යයනය කර ජනතාවගේ නීරෝගී භාවය ආරක්ෂා කරදීම වෙනුවෙන් දේශීය ආයුර්වේද ක්ෂේත්‍රයේ උන්නතිය සදහා ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම අඩු නැතුව ගනු ඇතැයි යන්න අපගේ පරම විශ්වාසයයි.

----------------------------------------------

ඇගළුම් ක්ෂේත්‍රයට රජයේ අනුග්‍රහය හා සහය අත්‍යාවශ්‍යම අවස්ථාවක්.

ඒකාබද්ධ ඇගලුම් සංගම් සංසදයේ

ටියුලි කුරේ

 

මෙම අවස්ථාවෙහිදී අපගේ මූලික අවධානය යොමු වී ඇත්තේ සියලු සේවකයින්ගේ සෞඛ්‍යය හා යහපැවැත්මයි. ඒ අනුව නිරෝධායන නීති රීති හා රෙගුලාසි වලටද ගරු කරමින් ඇගළුම් ක්ෂේත්‍රයේ සියලු නිෂ්පාදන හා මෙහෙයුම් මේ වන විට නතර කර තිබෙනවා.

කෙසේ වුවත් පසුගිය දශක කීපය පුරාම ශ්‍රී ලංකාවට වැඩිම අපනයන ආදායමක් උපයා දුන් ඉතාම සුවිශේෂී ක්ෂේත්‍රයක් ලෙස ඇගළුම් ක්ෂේත්‍රය හදුන්වා දීමට පුළුවන්. මේ වන විට ශ්‍රී ලංකාවේ ඇගළුම් කර්මාන්තය සෘජු සේවකයින් 400,000 කට අධික සංඛ්‍යාවක් සිටින අතර මිලියන දෙකකට වැඩි තවත් සුවිශාල පිරිසක් මේ ක්ෂේත්‍රය හා වක්‍ර ලෙස බැදී සිය ආදායම් මාර්ග නිර්මාණය කර ගෙන තිබීමත් විශේෂත්වයක්. පසුගිය මූල්‍ය වර්ෂයේදී ඩොලර් බිලියන 5.6 ක අපනයන ආදායමක් ඇගළුම් ක්ෂේත්‍රය මගින් රට වෙනුවෙන් අප උපයා දී තිබෙනවා.

අවාසනාවන්තම කාරණය තමයි කොරෝනා නිසා අපගේ මෙම ඇගළුම් කර්මාන්ත ක්ෂේත්‍රයට ඉතා බරපතළ හානි රැසක් පැමිණ තිබෙනවා. සූදානම් කර තිබූ ඇණවුම් පවා අවලංගු වීම තුළ ලොකු, කුඩා ඇගළුම් කර්මාන්ත හිමියන් රැසක් ඉතිහාසයේ කවර දා හෝ අත් නොවිදි අති දරුණු ව්‍යසනයක් අත් විඳිනවා. කොරෝනා බලපෑම හමුවේ අප රටේ ව්‍යාපාර කටයුතු බොහොමයක් මේ වන විට අඩපණ වී තිබුණත් අපගේ ප්‍රධාන තරගකරුවන් වන වියට්නාමය, කාම්බෝජය සහ ඉන්දුනීසියාව වැනි රටවල් සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වීම නිසා මෙතෙක් අපට ලැබුණු ඇගළුම් ඇණවුම් රැසක් එම රටවලට ලැබේවිදෝ යන සැකය මත අපට ඉදිරිය ගැන හිතන්න සිදු වෙලා.

කොරෝනා බලපෑම හමුවේ ඇගළුම් ක්ෂේත්‍රය සම්බන්ධව ඉදිරියේදී ඇතිවිය හැකි ව්‍යසනය වළක්වා ගැනීම සඳහා අප රජයෙන් විශේෂ සහන බලාපොරොත්තු වෙනවා. පැහැදිලිවම ඇගළුම් ක්ෂේත්‍රයට මේ රජයේ අනුග්‍රහය හා සහය අත්‍යාවශ්‍යම අවස්ථාවක්. එහිදී අප බලාපොරොත්තු වන ආකාරයේ අනුග්‍රහයක්, සහායක් සහ මැදිහත් වීමක් නැති නම් මෙම ඇගළුම් කෂේත්‍රය තවත් ලොකු අර්බුදයකට තල්ලු වීම වැළැක්විය නොහැකියි. අර්බුද අස්සේ පවා බොහෝ සමාගම් සිය සේවකයින්ගේ මාර්තු වැටුප් ගෙවීමට කටයුතු කළ අතර, කර්මාන්ත හිමියන් අතිමහත් බහුතරයක් අප්‍රේල් මස අග සිට සේවක වැටුප් ගෙවිය යුතු ආකාරය පිළිබදව ගෙවීමට අරගලයක නිරත වෙනවා. එහිදී අකමැත්තෙන් වුවත් වැටුප් කප්පාදුව වැනි ක්‍රියාමාර්ගවලට යාමටත් සිදු වනු ඇති.

ඇති වී ඇති අනපේක්ෂිත තත්ත්වය හමුවේ රටේ සමස්ත ව්‍යාපාර ඉදිරියේදී අකර්මණ්‍ය නොවී ස්ථාවරව පවත්වා ගෙන යාම සදහා රජය විශේෂිත ආර්ථික සහන යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. මහ බැංකුවේ චක්‍රලේඛ අංක 4 සහ 5 මගින් ලබා දී ඇති සහනදායී කාරක ප්‍රාග්ධන ණය සහ වෙනත් සහන ලබා ගැනීම සඳහා රජය සමඟ කටයුතු කිරීමේදී ඒකාබද්ධ ඇගලුම් සංගම් සංසදයේ අප නියෝජිතයින් ඉතා විශාල මාහැගි කාර්යභාරයක් ඉටු කළා. ඒ අනුව මෙම චක්‍රලේඛණ මගින් ලබා දී ඇති ආර්ථික සහන පැකේජයන් පිළිබඳවද අපගේ ස්තූතිය රජය වෙත පළ කර සිටිය යුතුයි.

කෙසේ වුවත් අප මේ අවස්ථාවේදී රජයෙන් හා තීන්දු,තීරණ ගන්නා සෑම බලධාරියකුගෙන්ම ඉතා ඕනෑකමින් යුතුව ඉල්ලා සිටින්නේ කොරෝනා ව්‍යාප්තිය හමුවේ කඩා වැටුණු රට,රටේ ආර්ථිකය හා ලෝක ආර්ථිකය යම් තරමකට ස්ථාවර වන තුරු හෝ ඔවුන් මැදිහත්ව අප ක්ෂේත්‍රයේ ඉදිරි දියුණුව,අභිවෘද්ධිය හා ප්‍රගමනය වෙනුවෙන් ලබා දිය යුතු සෑම, සියලු සහයක්ම අඩු නැතිව හා නොපැකිළිව ලබා දීමට කටයුතු යොදන ලෙසයි.

 

-------------------------------------

දේශීය දේට තැනක් ලැබෙන ආර්ථිකයක් දැන්වත් ඇති කර ගත යුතුයි.

කිංග්ස්ෆුඩ් මැනුෆැක්ටර්ස් ඇන්ඩ්

ඩිස්ටිබියුටර්ස් සහල් පිටි නිෂ්පාදන හිමිකරු

අතුල ප්‍රනාන්දු

 

ලොකු ව්‍යසනයක් තමයි. ඒත් ඒ හරහා සමාජයේ ජීවත් වන සෑම තරාතිරමකම අය බොහෝ දෑ ඉගෙන ගත්තා. විශේෂයෙන්ම දේශීය දේට තැනක් ලැබෙන ආර්ථිකයක් අප දැන් වත් ඇති කර ගත යුතු බව කොරෝනා වසංගතය අපට තේරුම් කර දී තිබෙනවා.

ඒ නිසා දේශීය ශක්තිමත් ආර්ථිකයක් ගොඩ නගා ගැනීම සදහා දැන් රට තුළ ඇති වී ඇති තත්ත්වය ඉතා හොඳ හැරවුම් ලක්ෂයක් වෙයි කියලා දේශීය ව්‍යාපාරිකයෙකු ලෙස මා හිතනවා. සහල් පිටි නිෂ්පාදන ආයතනයක් ලෙස අපි අපේ නිෂ්පාදන සිදු කරන්නේ දේශීය සහල් යොදා ගෙනයි. ඉදිරියේදී අප වැනි ව්‍යාපාර ශක්තිමත් නොකර මෙවැනි ව්‍යසනයකට හෝ අභියෝගාත්මක ලෙස මුහුණ දිය නොහැකි බව රජය හා පාලකයින් තේරුම් ගත යුතුයි. ඉතාම සතුටුදායක කාරණය තමයි; මේ වන විටත් වත්මන් රජය මේ කියන කාරණා නිසි ලෙස අවබෝධ කර ගෙන ඇති බව අපට තහවුරු වෙනවා.

ඒ සිද්ධිය වූ අවස්ථාවේම රජය මගින් ලබා දුන් ආර්ථික සහන පැකේජයත් කඩා වැටීමකට ලක්ව අසරණව සිටි සෑම ක්ෂේත්‍රයකම ව්‍යාපාරිකයින්ට යම් අස්වැසිල්ලක් ගෙන දුන්නා යැයි මා අවංකව කල්පනා කරනවා. ඉදිරියේදීත් රජය අපට ලබා දිය හැකි සෑම සහයෝගයක්ම ලබා දෙනු ඇතැයි යන්න අපගේ විශ්වාසයයි.

පසුගිය කාලය පුරාත් දේශීයව නිෂ්පාදනය වන බොහෝ උසස් නිෂ්පාදන අපි පිටරටට අපනයනය කළා. මේ තත්ත්වය තවත් දියුණු කර ගත්තොතින් ඉදිරියේදී පිටරටින් මෙරටට ආනයනය කෙරෙන බොහෝ දෑ නතර කිරීමටද හැකියාව ලැබේවී.

 

---------------------------

කොරෝනා වයිරසය ඉදිකිරීම් ක්ෂේත්‍රයටත් දරුණු ප්‍රහාරයක්

ශ්‍රීපාලි කන්ස්ට්‍රක්සන් සභාපති

රුවන් ඩි සිල්වා

විවිධ අවස්ථාවල සිදු වූ ආණ්ඩු මාරු සමඟ පසුගිය වසර පහ,හයක කාලය තුළ තුළ විවිධ හැලහැප්පීම්වලට ලක්වූ ක්ෂේත්‍රයක් ලෙස ඉදිකිරීම් ක්ෂේත්‍රය හඳුන්වා දීමට පුළුවන්. ඒ වගේම විවිධාකාරයෙන් මැදිහත් වෙමින් රටේ ආර්ථික සංවර්ධනය වගේම භෞතික සංවර්ධනයත් මෙම ඉදිකිරීම් කරුවන් විසින් වේගවත් කළා.

එහෙත් අවාසනාවන්ත ලෙස කොරෝනා වයිරසය අප ඉදිකිරීම් ක්ෂේත්‍රය වෙතද දරුණු ප්‍රතිඵල අත් කර දී තිබෙනවා.ඇතිවූ තත්ත්වය නිසා ගඩොල් සපයන්නන්, යකඩ, ටයිල්, ඇලුමිනියම්,වඩු කාර්මිකයන් ආදී ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කටයුතු කරන සෑම තරාතිරමකම පිරිස් සදහා මෙහි බලපෑම දරුණුවටම එල්ල වී තිබෙනවා. රටක් ලෙස අප යළි ගොඩනැගීමේදීත් ඉදිකිරීම් ක්ෂේත්‍රය අත්‍යාවශ්‍යම වෙනවා. ඒ නිසා ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ ව්‍යාපාර කරන හා රැකියා කරන සියලු පිරිස් වෙත රජය මගින් ලබා දෙන සහන නොඅඩුව ලැබිය යුතු බවට මා යෝජනා කරනවා.

ඒ විතරක් නෙවෙයි කොරෝනා වසංගතය රට තුළ වේගයෙන් පැතිර යෑම වළක්වන්න රජය මැදිහත්ව ඉටු කළ මෙහෙවර ඉදිකිරීම්කරුවන් වන අප අගය කරනවා. විශේෂයෙන්ම රජයේ එම කාර්යභාරය ජාත්‍යන්තරයේ පවා පැසසුම් වලට ලක්ව තිබෙනවා. එලෙසම කටයුතු කරමින් ඉදිරියේදී ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ගැටලු විසදීමට රජය හා බලධාරීන් කටයුතු කරයි යන්න අපගේ දැඩි විශ්වාසයයි.

 

--------------------------

නැවත ගෙවීමේ පදනම මත රජයෙන් සහන ණය ලබා දිය යුතුයි.

සාගා ගෘප් සභාපති

සාගර ගුණවර්ධන

 

විවිධ දේශීය හා ජ්‍යාත්‍යන්තර ප්‍රදර්ශන හා උත්සව සංවිධාන තමයි අප සිදු කරන්නේ. ඇත්තටම අපිට තමයි ගොඩක්ම මේ නිසා බලපෑම් ඇති වෙලා තියෙන්නේ. දැනට පවතින තත්ත්වයත් එක්ක මෙම ක්ෂේත්‍රයට ඉතා අපහසු,අමාරු කාලයක් උදා වී තිබෙනවා.ඉදිරියට ගමන් කිරීම ගොඩක් අසීරුයි. මූල්‍යමය වශයෙන් විශාල කඩාවැටීමකට ලක්වෙලා තියෙනවා. නැවත ගෙවීමේ පදනම මත රජයෙන් යම් සහන ණයක් ලබා දීලා කටයුතු කරන්න පුළුවන් නම් හොඳයි.

--------------------------

ව්‍යසනයේදී ලැබූ නව අත්දැකීම් හා පාඩම්රටේ ඉදිරි දියුණුවට යොදා ගත යුතුයි.

BCAS කැම්පස්හි සාමාන්‍යාධිකාරී

මොහොමඩ් ඉස්තිකාර්

 

 

කොවිඩ් 19 නව කොරෝනා වයිරසය නිසා බොහෝ ක්ෂේත්‍ර වලට බාධා ඇති වුණා. අධ්‍යාපන ක්ෂේත්‍රයත් ඒ අතරින් ප්‍රධානයි. නමුත් මේ වන විට අප පාඨමාලා හදාරන දරුවන්ට ගැටලුවක් මතු නොවන ලෙස අප බොහෝ දෑ කළමණාකරණය කර තිබෙනවා. ඒ සදහා අප ඩිජිටල් තාක්ෂණයේ පිහිට ලබා ගත්තා. ඒ අනුව එම ඩිජිටල් තාක්ෂණය භාවිතයෙන් බොහොමයක් අප පාඨමාලා ඉතා සාර්ථක ලෙස පැවැත්වෙන අතර; නිවසේ සිටම දරුවන් දේශන හා අධ්‍යයන කටයුතු සදහා නිති පතා සම්බන්ධ වෙනවා.

පසුගිය කාලය තුළද අපේ රටේ ඩිජිටල් තාක්ෂණය තිබුණත් එය මෙවැනි ආකාරයකට අප යොදා ගෙන නැහැ. විදේශ රටවල බොහෝ විශ්වවිද්‍යාල වල නම් මෙවැනි හදිසි අවස්ථාවලදී පමණක් නෙවෙයි; හැකි සෑම අවස්ථාවකම ඩිජිටල් තාක්ෂණය භාවිතයෙන් දේශන හා අධ්‍යයන කටයුතු සිදු වෙනවා. කොහොම හරි දැන් අපටත් එලෙස ඩිජිටල් දේශන පැවැත්වීමටත්,එම දේශන සඳහා සහභාගී වීමට හැකි වටාපිටාවකුත් නිර්මාණය වී තිබෙනවා. හැම කළු වලාවකම රිදී රේඛාවක් සැඟවිලා ඇති බවට කියමනක් ඇත්තා සේ අප මෙම ව්‍යසනයේදී ලැබූ මෙවැනි නව අත් දැකීම් හා පාඩම් අප රටේ ඉදිරි දියුණුව වෙනුවෙනුත් නොපැකිළව යොදා ගත යුතුයි.

 

------------------------------

කොරෝනා මැදත් අපි රට වෙනුවෙන් යුතුකම් ඉටු කළා.

කුරුණෑගල වැවිලි සමාගමේ

ප්‍රධාන විධායක නිළධාරී

එස්. එම්.එම්. සමරකෝන්

 

අපගේ වැවිලි සමාගම සම්පූර්ණයෙන්ම රජයට අනුබද්ධ වැවිලි සමාගමක්. අප ප්‍රධාන වශයෙන්ම නිෂ්පාදනය කරන්නේත්, අලෙවි කරන්නේ පොල් හා පොල් ආශ්‍රිත නිෂ්පාදනයි.

කොරෝනා වසංගතය පටන් ගත්ත ගමන් අපි මේ මෙම ව්‍යාපාරය වහල දැම්මා නම් අපේ අටසීයක් දාහක් පමණ වන සේවකයන් විශාල බලපෑමකට ලක් වෙලා ඔවුන්ට ජීවත් වෙන්න හැකියාවක් නොමැතිව අසරණ වෙනවා. ඒ විතරක් නෙවෙයි අපි විශාල පොල් ප්‍රමාණයක් නිෂ්පාදනය කරලා රටට ඒ පොල් නිෂ්පාදන අලෙවි කර ගැනීමට නොහැකි වුණා නම් වෙළෙඳ පොළේ මිල ශීඝ්‍රයෙන් වැඩි වෙන්නත් ඉඩ තිබේ තිබුණා. මේ කාරණා දෙක නිසාම අපගේ වැවිලි සමාගම තීරණය කළා; පොල් ආශ්‍රිත රැකියා කරන සියලුම දෙනාට ආදායම අහිමි අයින් කරන්නේ නැතුව කර්මාන්තය ඉදිරියට පවත්වා ගෙන යාමට. එහිදී රජයෙන් අපට සහය හා අවසරයද ලබා දුන්නා. මෙය අප රට වෙනුවෙන් ඉටු කළ මා හැගි කාර්ය භාරයක්.

මේ නිසා අද වන විට අපට අද පුළුවන් වෙලා තිබෙනවා පොල් විතරක් නෙවෙයි ඒ ආශ්‍රිත අතුරු බෝගත් හොදින් රැක බලා ගන්නට. ඒ වගේම ඉදිරියේදී රජයේ වගා සංග්‍රාමය වැඩසටහන සමගත් සක්‍රීය ලෙස සම්බන්ධව රටට,රටේ ජනතාවගේ එදිනෙදා පරිභෝජනය සදහා අත්‍යාවශ්‍ය එළවළු ඇතුළු අනෙකුත් ආහාර වර්ග නිෂ්පාදනය කිරීමටත් අප බලාපොරොත්තු වෙනවා.

---------------------

ව්‍යාපාරිකයින් අධෛර්ය නොකරීම ගැන රජයට ස්තූතියි

පැරඩයිස් ටොයිස් හි සාමාන්‍යාධිකාරී හා

කලවුඩ් නයින් රිසෝර්ට් හි සභාපති

නීල් ප්‍රනාන්දු

 

පැරඩයිස් ටෝයිස් ආයතනය යුරෝපා රටවල් සදහා අවශ්‍ය විවිධ සෙල්ලම් බඩු නිෂ්පාදනය කළ ප්‍රමුඛ පෙළේ ආයතනයක්. කොරෝනා පැතිරීමට පෙර අප චීනය සමඟ හොඳ තරගයක යෙදී සිටියා. එම කාලය පුරා අපේ සෙල්ලම් බඩු වලට හොඳ ඉල්ලුමක් වගේම ඉහළම පිළිගැනීමකුත් තිබුණා.

ව්‍යවසායකයෙකු ලෙස මට පෙනෙන විදියට වගේම මා දකින විදිහටත් තවම අපේ කර්මාන්ත ක්ෂේත්‍රය බරපතළ විදියට කඩා වැටිලා නෑ. නමුත් යම් යම් බාධා ඇති වෙලා තිබෙනවා. ඒ නිසාම අපට තරමක් නැවතී සිදු වන්නේ කුමක්ද?ඊට මුහුණ දෙන්නේ කෙසේද?රජය හා වගකිවයුතු පාර්ශ්ව වෙතින් මේ අවස්ථාවේ අපට ලැබෙන සහන මොනවාද යනාදී කරුණු පිළිබදව කල්පනා කරමින් කාලය ගත කිරීමට සිදු වී තිබෙනවා.

අනෙකුත් රටවල් සමග තරග කරමින් මේ සෙල්ලම් භාණ්ඩ නිෂ්පාදන කටයුතු ඉතා ඉක්මනින් ආරම්භ කිරීම අතිශය වැදගත්.ඒ සදහා ඉඩ කඩ ලබා දෙමින් කොරෝනා පාලනය සදහා රජය අනුගමනය කරන වැඩපිළිවල අපිත් ප්‍රශංසාවට ලක් කරනවා.ඒ විතරක් නෙවෙයි ව්‍යාපාරිකයින් අධෛර්ය නොකර ඔවුන් රැක ගැනීම සදහා මේ වන විට ලබා දී ඇති සහන පැකේජයන් පිළිබදවද අපි රජයට ස්තූති කළ යුතුයි.කෙසේ වුවත් ඉදිරියේදීද අවශ්‍ය සියළු සහයන් අප වෙත ලැබෙනු ඇතිය යන්න අප විශ්වාස කරනවා.අපගේ කර්මාන්ත ඉතා ඉක්මනින් විවෘත කිරීමට නොහැකි වුවහොත් අප වැනි ව්‍යාපාර සදහා ලංකාවට තිබෙන අපනයන වෙළෙදපොළ අපට නැති වෙන්න පුළුවන්.

මාගේ අනෙකුත් ව්‍යාපාරය වන ක්ලවුඩ් නයින් රිසෝර්ට් හා සමස්ත සංචාරක ක්ෂේත්‍රය පිළිබදව අවධානය යොමු කර බැලුවොතින් ලෝකයේම පවතින තත්ත්වයත් එක්ක සංචාරක ක්ෂේත්‍රයට තව කොයි තරම් කාලයකට නැගී සිටීමට සිදු වේ දැයි පූර්ව අනාවැකි පළ කිරීම හරි අපහසුයි.නමුත් එසේ කියා අපට වැටෙන්නට බැහැ.එහෙම වුණොත් ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ ජීවනෝපායන් පවා අහිමි වෙනවා.ඉදිරියේදී යම් සැලසුමකට අනුව කටයුතු කළොත් මේ ව්‍යසනයෙන් ගොඩ ඇවිත් සංචාරක කර්මාන්තයද දියුණු කරගන්න හැකියාව පවතිනවා

 

Comments