අත්කම් නිමැවුමෙන් දස්කම් දක්වන දිල්හානි | සිළුමිණ

අත්කම් නිමැවුමෙන් දස්කම් දක්වන දිල්හානි

අතින් හෝ සරල මෙවලම් යොදාගනිමින් අලංකාර ලෙස සිදු කෙරෙන නිර්මාණ අත්කම් ලෙස හැඳින්වේ. පාරම්පරික වටිනාකමක් ඇති භාණ්ඩ නිර්මාණය සඳහා භාවිත කෙරෙන්නේ මේ අත්කම් ශිල්පීය ක්‍රියාවලියයි. අප රටේ මේ වන විට අත්කම් සඳහා ඉතා ඉහළ පිළිගැනීමක් හා වටිනාකමක් හිමිව තිබේ. විශේෂයෙන් මෙහි එන විදේශිකයෝ අපේ අත්කම් මිලට ගෙන තම රටට රැගෙන යෑමට දක්වන්නේ මහත් අභිරුචියකි. 

අත්කම්වලින් බොහෝ දස්කම් පෙන්වූ ඕ නමින් දිල්හානි බෝපිටියයි. රත්නපුර දිස්ත්‍රික්කයේ ඇලපාත පදිංචිකාරියක වන ඇය අත්කම් කලාවට ප්‍රවේශය ගත්තේ පාසල් අධ්‍යාපනය හදාරන කාලයේදීමය. පසුගිය කලෙක ඉතාලියේද රැකියාව කර නැවත මවුරටට පැමිණි දිල්හානි තමාගේම ව්‍යාපාරයක් සඳහා මුල පුරමින් මේ අත්කම් නිර්මාණ ව්‍යාපාරයට යොමු වූ අතර එමඟින් ළදරු ඇඳුම්, විවිධ හිස් පලඳනා, පාවහන්, බ්ලවුස්, සාරි ජැකට්, ගවුම් ස්කර්ට්, කලිසම්, ඇඳ ඇතිරිලි හා කුෂන් කවර ආදි සුවිශේෂ නිර්මාණ රැසක්ම සිදු කිරීමට සමත් වූවාය.

ව්‍යවසායිකාවක ලෙස තමා ආ ගමන්මඟ ආවර්ජනය කරමින් සිළුමිණ “සවියට සවිය“ ව්‍යාපාරික අතිරේකය සමග අදහස් දැක්වීමට එක් වූ දිල්හානි සඳහන් කළේ තමා මේ ව්‍යාපාරය සඳහා අන්තර්ජාලයද සම්බන්ධ කරගත් බවයි.

සිය නිර්මාණ සිදු කිරීමේදී උසස් අමුද්‍රව්‍ය යොදාගැනීමට සිදු වන බවත් තමා ඉතාලියේ සිට මෙරට එද්දී රැගෙන ආ එවැනි අමුද්‍රව්‍ය යොදාගනිමින් වෙනස් අපූරු නිර්මාණ සිදු කිරීමට හැකි වූ බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

මේ ව්‍යාපාරය සඳහා විශාල ප්‍රාග්ධනයක් යෙදවීමට සිදු වන බවත් එයට අමතරව මිනිස් ශ්‍රමය, කාලය, විශාල වශයෙන් වැය වන බවත් සඳහන් කළ දිල්හානි ඒ නිසා ඉවසීමෙන් යුතුව නිරත විය යුතු රැකියාවක් ලෙසද මෙය හැඳින්විය හැකි අතරම මනා නිමාව අනිවාර්යෙන්ම තිබිය යුතු වන බවත් නැත හොත් වෙළෙඳපොළෙන් නිර්මාණ ප්‍රතික්ෂේප වන බවත් පැවසුවාය.

අප හා අදහස් දක්වමින් ඇය කියා සිටියේ තමාගේම උත්සාහයෙන් හා ධෛර්යයෙන් ඉදිරියට යෑමට රුචිකත්වයක් දක්වන බොහෝ කාන්තාවන් මෙවැනි අත්කම් ව්‍යාපාර සිදු කරන බැවින් මෙවැනි ව්‍යාපාර දිරි දිරිගැන්වීම සඳහා රජය හා බලධාරීන් කටයුතු කල යුතු අතරම උසස් ප්‍රමිතියෙන් යුතු නිර්මාණ සිදු කිරීමට අවැසි අමුද්‍රව්‍ය සහන මිලකට ලබාගත හැකි ව්‍යාපාරික වටපිටාවක් නිර්මාණය කිරීම වගකිවයුත්තන් කටයුතු කළ යුතු බවයි.

මෙම අත්කම් නිර්මාණ සිදු කිරීමට අමතරව මේ ක්ෂේත්‍රයේ තමා සතු දැනුම තරුණ පිරිස් හට බෙදා දී නව ගෝල පරපුරක් බිහිකිරීමටද දිල්හානි බෝපිටිය කටයුතු කරන්නීය. මේ වන විට ඇය රට පුරා ඒ සම්බන්ධ පන්ති පවත්වමින් සිටින්නීය. මේ පන්ති මහරගම, මොරටුව, ගාල්ල, මාතර, මීගමුව, ගම්පහ ප්‍රදේශවල ඉතා සාර්ථක ලෙස පැවැත්වෙන අතර අත්කම් නිර්මාණ සිදු කිරීමට අවැසි නව දැනුම ලබාගැනීමට බලාපොරොත්තු වන සිසු-සිසුවියන්ට ඒ සඳහා සහභාගි වන්නැයි දිල්හානි ඉල්ලීමක්ද කළාය. මේ අත්කම් නිර්මාණ හා පන්ති පිළිබඳ වැඩි විස්තර 0761858883 දුරකතන අංකය ඇමතීමෙන් ලබාගත හැකි බවද ඇය සඳහන් කළාය.

Comments