
රටක් ලෙස දියුණු වීමට නම් ආර්ථික වශයෙන් බල ගැන්විය යුතුම ය. ඊට ප්‍රබල දායකත්වයක් සංචාරක කර්මාන්තය ලබාදෙයි. පසුගිය කාල වකවානුව තුළ රටේ ඇති වූ අශිෂ්ට සිදුවීම් ගණනාවක් සංචාරක ව්‍යාපාරයට අහිතකර ලෙස බලපෑවේය. පාස්කු ඉරිදා ප්‍රහාරය ආසන්නම උදාහරණය ය. රට අනාරක්ෂිත බව දිගින් දිගටම කියැවිණි. මේ පසුබිම තුළ ශ්‍රී ලංකාව ආරක්ෂිත සේම, සුවදායී පරිසරයකින් හෙබි සංචරණයට සුදුසු රටක් යන පණිවිඩය යළිත් ලෝකයට සන්නිවේදනය කරන්නට අපට අමතර ආයාසයක් දැරීමට සිදු විය.
එවැනි පසුබිමක් තුළ ඉන්දීය සුපිරි බොලිවුඩ් සිනමා නිළි මධුරි ඩික්සිත් මහත්මිය තම පවුලේ සාමාජිකයන් සමඟ පෞද්ගලික සංචාරයකට ලංකාවට ආවාය. රට තුළ කළ සංචාරය අතරතුර ඇය රත්නපුර ප්‍රදේශයටත් පැමිණියාය. ඇය රත්නපුර උඩවලව පිහිටි ග්‍රෑන්ඩ් උඩවලව හෝටලයට පැමිණෙන්නේ ඇත් අතුරු සෙවණ නැරඹීමට ය. අලි පැටවුන්ට කිරි පොවන අවස්ථාව නැරඹීම අරමුණු කරගත් ගමනේ නියමිත වේලාව එළඹෙන තෙක් ගත කිරීම හෝටලයට පැමිණීමේ නිමිත්ත විය. එහි පැමිණ පැය කීපයක් ගත වන තෙක් ඇය කවුරුන්දැයි කිසිවෙකු දැන සිට නැත.
එහෙත් ඇය දැකීමෙන් ඇති වූ කුකුස නිසා හෝටලයේ මෙහෙයුම් කළමනාකාර අධ්යක්ෂ චන්දන පත්මකුමාර ඇය වෙත ගියේය. “ සමාවෙන්න ඔබතුමිය මධුරි ඩික්සිත් නේද?” ඔහු සුදුසු මොහොතක ඉතාම විනීතව විමසුවේය.
ඇය සිනාසුණා ය. අසල රටේ ඈත ගම්බිම්වල වෙසෙන ළෙන්ගතු මිනිසුන් මධුරී ඩික්සිත් නැමැති ගැහැනියට ආදරය කරන බව දැනීමෙන් උපන් සියුම් ආශ්වාදනීය වේශයක් ඒ සිනාවේ ගැබ් වී තිබිණි.
“ඔව් ඒ මම තමයි.” ඇය ආචාරශීලීව පිළිවදන් දුන්නාය. අනතුරුව සිය පෞද්ගලික හැඳුනුම්පත චන්දන වෙත දිගු කළාය. ඇයගේ පැමිණීම සිය ආයතනයට වගේම මේ රටටත් විශාල ගෞරවයක් බව ඇයට කී චන්දන මේ රට සම්බන්ධව ඇය දක්වන අදහස් සමඟ සංවාදයක යෙදුණේය.
පසුව ඇය වැඩිපුරම වේලාවක් ගත කලේ හෝටලයේ පිහිටි Gen luck මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනාගාරය නැරඹීමටය. එක් එක් මැණික් වර්ග හඳුනාගැනීමට ඇය මහත් උනන්දුවක් දැක්වූවාය. එම අවස්ථා ඡායාරූප හා වීඩියෝගත කරගත්තා ය.
ඇය එක් එක් මැණික් වර්ග හඳුනාගනිමින් ඒවායේ මිල ගණන් මෙන්ම ලැබෙන ප්‍රදේශ පිළිබඳ ද අවබෝධයක් ලබාගැනීමට වැඩි කාලයක් වැය කළාය.
ග්‍රෑන්ඩ් උඩවලව හෝටලයේ කළමනාකාර චන්දන පද්ම කුමාර කී කතාව සිත් ගන්නාසුලුය.
“පසුගිය 17 වැනි දා උදේ දහයට විතර ඉන්දියන් ටීම් එකක් ආවා. අපි කාටවත් විශේෂයක් තිබුණෙ නෑ. ඒත් මට ඒ කාන්තාව හොඳට දැකලා හුරුයි. මධුරි ඩික්සිත් ද?. ඒත් එයා එක පාරටම මෙහෙම එන්න පුළුවන් ද?. මම කෙළින්ම ඇයත් එක්ක කතා කරන්න හිතලා ගිහින් ඇයව ඇමතුවා. ඔව්... ඒ මධුරි තමයි. ඇය ඇවිත් තිබුණෙ ඇයගේ මවුපියන්, දරු දෙදෙනා හා සැමියා එක්ක. ”
“ඇය කලාකරුවෙකුට තියෙන්න අවශ්‍ය උපරිම සංයමය, නිහතමානීකම මෙන්ම දැක්මක් තිබුණු කාන්තාවක්. ඇය වැඩි වශයෙන් කාලය ගත කළේ අවට පරිසරය විඳින්න. ඇය තේ කර්මාන්ත ශාලාවක් නරඹන්නත් ගියා. මට අවශ්‍ය වෙලා තිබුණෙ එක දෙයයි. මධුරි කියන්නෙ ඉන්දියාවේ පමණක් නොවේ, මුළු ලෝකය තුළම විශාල ජන මතයක් ගොඩ නැඟිය හැකි කලාකාරිනියක්. ඇය අපේ රට ගැන දරන ආකල්පය සම්බන්ධව අදහසක් මට අවශ්‍ය වුණා. එය මා රැකියාව කරන සංචාරක ක්ෂේත්රයට ඉතාම වැදගත් තොරතුරක්. මොකද පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරය සමඟ සංචාරක ව්‍යාපාරය බිංදුවටම ඇදවැටුණා. මේ එය යළි නැඟිටිමින් සිටින මොහොත.”
මා ඇය ප්‍රශ්න කරලා මේ ක්ෂේත්රයේ ආචාරධර්ම බිඳින්නට උත්සාහ කළේ නැහැ. ඔවුන්ගේ නිදහස අහිමි කරන්නට උත්සාහ කළෙත් නැහැ. ශීලාචාරව සහ ඉතා කුලුපගව සංවාදය ගොඩ නඟාගත්තා. එහිදී තමයි මට වැටහුණේ ඇය පේ රට ගැන පිබිදුණු හැඟීම් සහිතව සිටින බව. ඇය ලංකාව පිළිබඳ දක්වන අදහස් අපටත් වඩා වැදගත් වෙන්නෙ ලෝකයට. එය ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට ආලෝකයක් වේවි කියලා මට හිතුණා. ශ්‍රී ලංකාවේ මැණික් පිළිබඳ මධුරි ඩික්සිත් සහ පවුලේ සියලු දෙනාම දැක්වූයේ දැඩි උනන්දුවක්. මම ඒක දැක්කා. උදේ පැමිණි වේලාවේ සිට වැඩි කාලයක් ඔවුන් වෙන් කළේ අපේ මැණික් ප්‍රදර්ශනාගාරය තුළයි. ඇත් අතුරු සෙවණ නැරඹීමට ගොස් ආපසු දිවා ආහාරය ගැනීමත් සමඟ නැවත ඒ අය ගියේ මැණික් බැලීමටයි. ලද අවසරයකින් ඇය එක්ක යළිත් සංවාදයට එක් වුණා. ඇය අපේ රට ගැන අවංකව ඇයගේ අදහස් මා ඉදිරියේ කියා සිටියා.
"මම ශ්‍රී ලංකාවට ආවේ තුන් වැනි වතාවටයි. පසුගිය කාලයේ ලංකාව ගැන ඇසූ කතාවලට වඩා ඉතාම සුබදායක දේවල් දැන් අහන්න ලැබෙනවා. මම ලංකාවට ගොඩක් ආදරෙයි. ලංකාවේ හැම තැනකම පරිසරය හරිම සුන්දරයි. ඒ වගේම ලංකාවේ මිනිස්සු හරි ම කාරුණිකයි."
මධුරිගේ සැමියා ද ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ, තේ නිෂ්පාදන මෙන්ම ඇත් අතුරු සෙවණ පිළිබඳ විශේෂ උනන්දුවක් දක්වනු දුටුවා.
මධුරි ඩික්සිත් වැනි ලෝ ප්‍රකට චරිත ශ්‍රී ලංකාවේ කෙරෙන සංචාරය මැණික් ව්‍යාපාරය කෙරෙහි සුබවාදීව බලපෑ හැකි ආකාරය මැණික් ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති සම්පත් සමරසේකරගේ අදහස මෙසේය.
"පසුගිය කාලය පුරාම සංචාරකයන් හිඟ වීම නිසා මැණික් විකිණීම පහළ බැස්සා. සංචාරක ව්‍යාපාරය දියුණු වෙනවා කියන්නෙ මැණික් කර්මාන්තයට හොඳ කලදසාවක් කියන එකයි. මධුරි ඩික්සිත් ලංකාවට අරන් ආවේ සුබ පණිවුඩයක්. ඇය රත්නපුට පැමිණ මැණික් ගැන දැක්වූ ප්‍රතිචාරය අපිට ඉමහත් බලාපොරොත්තු ඇති කරනවා. ඒ කියන්නෙ සංචාරක ව්‍යාපාරය පිළිබඳ ලෝක සුබවාදී අකල්පයක් අපේ රට පිළිබඳ ගොඩනැඟෙමින් තිබෙනවා කියන එකයි.
ඇමෙරිකාවේ USA TODAY පුවත් පත ප්‍රකාශයට පත් කර තිබෙනවා උණුසුම් කාලයේ දී සංචරණයට අංක එකේ සුදුසු ම රට ශ්‍රී ලංකාව බවට. ඒ විතරක් නෙවෙයි LONLEY PLANET වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ " වෙරළට ආදරය කරන්නන්ගේ පාරාදීසය ශ්‍රී ලංකාව බවයි. මොවුන් ලෝකයේ විශාලතම සංචාරක මඟපෙන්වන පොත් ප්‍රකාශයන්. සංචාරක ගමනාන්ත පිළිබඳ පොත් මිලියන එකසිය විස්සක් ඔවුන් අලෙවි කර තිබෙනවා. ඔවුන් පවසා සිටින පරිදි 2019 අවසානය වන විට ලෝකයේ සංචාරයට හොඳම රට ශ්‍රී ලංකාව බවට පෙන්වා දී තිබෙනවා. අපි රත්නපුර ජෙම් සිටි ව්‍යාපෘතිය ලෝක ආකාර්ෂණය දිනාගත හැකි ප්‍රබල චරිතවල පැමණීම අපේක්ෂා කළා. එය ප්රකටව හෝ අප්රකටව සිදු වෙමින් පවතිනවා.” ඔහු කියයි.
මධුරිගේ ලංකා ගමන සිදු වන්නේ රහසිගතවය. ඇය ලංකාවට පැමිණි බව මාධ්‍යන්ට නිරාවරණය නොවූයේ පෞද්ගලික ගමනක් නිසාය. එහෙත් ඒ අහම්බය අපට ඵලදායී ලෙස සංචාරක ව්‍යාපාරයේ උන්නතිය වෙනුවෙන් භාවිත කළ හැකිව තිබිණි. ලෝකය දිනූ ඉන්දියාවේ සුපිරි නළු නිළියන් ලංකාවේ මැණික්වලට පෙම් කළ බව දැක්වූ මුල්ම අවස්ථාව මෙය පමණක් නොවේ. වරෙක ඓශ්චර්යා රායි රතනපුරෙන් මැණික් සාරියක් නිර්මාණය කරගත්තාය. ඇයට මැණික් සාරිය නිර්මාණය කර දුන්නේ කුමාරසිරි රත්නායක ය. ඔහුට අනුව මැණික් කර්මාන්තය ක්‍රමවත්ව දියුණු වන්නේ නම් රටේ සංචාරක කර්මාන්තය වෙනත්ම දිශානතියකට යොමු කළ හැකිය. ලෝකය අප වෙත එන්නට සූදානම් සහිත පෙලඹුමක සිටී. ඒ පෙඹුමේ පල නෙළා ගන්නට අපේ සැලසුමක් තිබුණා නම් රටේ අනාගතය සෑම අතින්ම යහපත් එකක් වනු ඇත.