• මොකක්ද මේ ව්‍යාපාරයෙන් කෙරෙන්නේ....
පොලිතීන් ඇට අමුද්‍රව්‍ය වශයෙන් ගෙනැවිත්, ‘පොලිබෑග්’ නිෂ්පාදනයකොට අපනයනය කිරීම. ලංකාවේ ප්‍රධාන තේ අපනයනකරුවන්, තේ කොළ ඇසුරුම් කරන ‘බල්ක් තේ’ බෑගය තමයි අපි නිපදවන්නේ.
• පොලිතින් භාවිතයෙන් ලොවම ඉවත් වෙමින් සිටින කාලයක ඔබ ඇයි මෙහෙම ව්‍යාපාරයක් තෝරා ගත්තේ...
ආහාර ඇසුරුම්කරණය සඳහා, මිනිස් සිරුරට අහිතකර නොවන පොලිතීන් ඇසුරුම් ලෝකෙට තවම අවශ්‍යයි. ‘ලොට්රින්’ සහ ‘සැබික්’ කියන්නෙ එහෙම නිපැයුම් සඳහා භාවිත වන ලොව හොඳම අමුද්‍රව්‍ය. සන්නාම හදන්නෙ කටාර් රාජ්‍යයේ. අපි ගෙන්වන්නෙ ඒ අමුද්‍රව්‍ය පමණයි. අනික, මං මේ ව්‍යාපාරය මත පමණක්ම රැඳී නැහැ. චීන හවුල් පාර්ශ්වයක් සමඟ එක්ව මෙරට, ඕනෑම කර්මාන්තයක් සඳහා අවශ්‍ය කරන මැෂින් ලංකාවට ගෙන්වා අලෙවි කරනවා.
• මොන තරම් රටවල් ප්‍රමාණයකට ඔබේ නිෂ්පාදන යනවද...
ඇත්තටම මේක වක්‍ර අපනයනයක්. කොම්පැනි අසූවක් හරහා, ඔවුන්ගේ තේ ඇසුරුම් විදියට ප්‍රංශය, චීනය, රුසියාව, තුර්කිය, ඉරානය, ඉරාකය ඇතුළු රටවල් තිහකට පමණ අපේ නිෂ්පාදන යැවෙනවා. අපේ මාසික නිෂ්පාදනය ටොන් 45 – 50 ක් අතර ප්‍රමාණයක්.
• මේ පරිසර හානිකරන ව්‍යාපාරයක් නෙවෙයිද....
ඕනෑම දෙයක්, පරිසරයට හානි වෙන්නෙ මිනිස්සු ක්‍රියා කරන ආකාරය අනුවයි. මේ හැම දෙයක්ම ප්‍රතිචක්‍රියකරණය කරන්න පුළුවන් දේ. එහෙම නොකර පරිසරයට මුදා හැරියම පරිසරය විනාශයි තමයි. අපි ව්‍යාපාරයක් විදියට අපේ අපද්‍රව්‍ය ප්රතිචක්රීයකරණය කරනවා. දැන් තාක්ෂණය මොන තරම් දියුණු ද... අපි පාවිච්චි කරන පොලිතීන් ඇට, ඇතුළෙදී රත්වෙලා දියරයක් බවට පත්වෙනවා.
ඒ දියරය එළියට එන්නෙ වාතය පිරුණු බටයක් විදියට. ඒ කියන්නේ රත්වීමත් එක්ක ප්‍රසාරණය වෙනවා. ඊළඟට අවශ්‍ය ඝණත්වයට අනුව කැපෙනවා. මේකෙ දුමක් නැහැ. ඒ නිසා වාතයට කාබන් මුසුවීමක් නැහැ. කැපිලා වුණත් අපේ පොලිතින් කොටස් ඉතිරි වෙන්නේ ඉතාම සුළු ප්‍රමාණයක්. ඒ ටික ප්‍රතිචක්‍රියකරණයට අරන් යන්න බලාගෙනම වෙනම පිරිසක් ඉන්නවා. මධ්‍යම පරිසර අධිකාරියෙන් පිරිනැමෙන EPL සහතිකයට අනුකූලවයි මේ හැම ක්‍රියාකාරකමක්ම අපි කරන්නේ.
• මෙහෙම ව්‍යාපාරයක් තෝරා ගන්න බලපෑ පසුබිමක් තිබුණාද...
ඔව්. කොරියන් ස්පා, කියන්නෙ මං මුලින්ම වැඩකළ ආයතනය. 1997 අවුරුද්දේ ‘සේල්ස් රෙප්’ කෙනෙක් විදියට ඒ ආයතනයට ගිය මං අවුරුදු 16කට පස්සෙ එතැනින් අයින් වුණේ, ‘මාකටින් මැනේජර්’ වෙලා. ඒ කාලය තුළ මං හදා ගත් වෙළෙඳ ජාලය, හදාගත් සබඳතා අති විශාලයි. මං අලෙවි කළේ කාඩ් බෝඩ් ඇසුරුම් පෙට්ටි සහ පොලිතීන් බෑග්. ෆීල්ඩ් එකේ මං හොඳ ඉල්ලුමක් හදා ගත්තා. ‘ඔයා තනියම පටන් ගන්න... අපි උදව් කරන්නම්...’ මගේ ගැණුම්කරුවෝ කියන තැනට ඒ සබඳතා ජාලය ගොඩ නැඟුණා. මට උත්තේජනයක් ලැබුණේ එතැනින්.
• තමන්ගෙම ව්‍යාපාරයක් අරඹන්න, සබඳතා .. කියන කාරණය විතරක් සෑහෙනවද....
නැහැ. ඒ සඳහා තමන්ගෙ ක්ෂේත්රය පිළිබඳ හොඳ ගැඹුරු තියෙන්න අවබෝධයක් ඕෙන. මං ඒ අවබෝධය ලබා ගත්තේ කොරියන් ස්පා ආයතනයේ හැම අංශයකම වැඩ කරලා. හැම අහුමුල්ලක්ම අධ්‍යයනය කරලා. වෙන මැනේජර්ස්ලා ඕෆ් වෙලා ගෙදර යද්දී, මං ගියේ ෆැක්ටරියට. ඕඩර්ස් ගන්න එළියට ගෙන යා යුතු මගේ සාම්පල් වැඩකරන අය එක්ක එකතු වෙලා මමම හදාගත්තා. ෆෝක් ලිෆ්ට් එකෙන් බඩු එහා මෙහා අරන් ගියා. මට අදාළ වන හෝ නොවන හැම දේම අත්හදා බැලුවා. ඉගෙන ගත්තා.
• ව්‍යාපාර, ඔබට පවුල් පසුබිමෙන් ආ දෙයක් ද...
මගේ තාත්තට පොලීසියේ රස්සාව නැති කාලේ, තාත්තා ගල් වලක් අරන් කළා. ගෙදර ගල් ගොඩවල් ගොඩ ගැහිලා. ලොරිවලින් පටවාගෙන අරන් යද්දී, පොඩි වුණාට මමත් පැටෙව්වා. ලොරිවලට ගල් හැබැයි තාත්තා හැම වෙලාවෙම කිව්වෙ, ‘ මේවා මෙහෙම කරන්න බැහැ. හරි අමාරුයි...’ කියලා. මොනතරම් අමාරු ව්‍යාපාරයක් වුණත් තාත්තා අත්හැරියෙත් නැහැ. අවුරුදු පහළොව දහසය වෙද්දි මටත් ආසා හිතුණා මගේම දෙයක් කරන්න. කොටින්ම ගල් වලක අයිතිකාරයෙක් වෙන්න.
• ඉතින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වුණාද...
ආසාව තිබුණාට ගල් වලක් අරන් කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. තාත්තා කැමැති වුණෙත් නැහැ. ඒ වුණත් මං සිමෙන්ති වැඩ කළා. මල් පෝච්චි හැදුවා. ඒවා විකුණලා පොකට් මනි සොයාගත්තා. මං ඉගෙන ගත්තේ පානදුර සුමංගලයේ. ගණිතය මගේ ප්‍රියතම විෂය. මොන දේ කළත් මං විභාග සමත් වුණා.
• ජීවිතේ පදං වෙන්නෙ ප්‍රතික්ෂේප වීම් වැඩි තරමට ඔබටත් එහෙමද...
ඔව්. උසස් පෙළ ලියලා අනුරුද්ධ අබේරත්න මහත්මයාගේ කොරියන් ස්පා ආයතනයට මං ගියේ, සේල්ස් රෙප් කෙනෙක් විදියට. බියගම වෙළෙඳ කලාපය තමයි මගේ ප්‍රදේශය වුණේ. මං ගිහින් ඕඩර්ස් ගන්න ඕනෙ. ලොරිය කලාපය ඇතුළට ගන්න දෙන්නෙ නැහැ. ඉතින්, ගේට්ටුව ළඟ ඉඳන් අක්කර ගාණක් දිග කලාපයට ඇවිද ගෙන යන්න ඕනෙ.
ඒ ගිහින් ආයතනවලට ඇතුළු වෙන්න දෙන්නෙ නැහැ. ඒ නිසා, සෙකියුරිටි එකෙන් නොම්මරේ ඉල්ලා ගන්නවා. ඒ අරගෙන ඇවිත් ආයෙ කෝල් කරලා, වෙලාවක් ඉල්ලනවා. ඒ ගියත් වරු ගණන් රස්තියාදු වෙනවා. සමහර වෙලාවට එකම කොම්පැනියට දහපාරක් යන්න වුණ අවස්ථා තිබුණා. ඒත් මං අත්හැරියෙ නැහැ. මොන තරම් රස්තියාදු වෙලා, කට්ට අව්වෙ හැරිලා එන්න වුණත්, මං ආපහු ගියා. අවශ්‍ය නිලධාරියා මුණ ගැහෙනකල්ම ගියා. අවුරුදු දෙකක් යද්දි, මුළු බියගම කලාපෙම තිබුණේ අපේ කොරියන් ස්පා ලොරි . මං හැම කර්මාන්ත ශාලාවක්ම අල්ලා ගත්තා. සියයට අසූවක්ම මං කලාපෙ සැපයුම්කරු වුණා. මේ අත්නොහරින ගතිය මං මගේ මුළු ජීවිතයටම කා වද්දා ගත්තා. මගේම බිස්නස් එකක් පටන් ගනිද්දීත් දියුණු කරද්දීත් මේ පදංවිල්ල බොහොම සාධනීයව බලපෑවා.
• අද ඔබේ ව්‍යාපාරයට තිබෙන තැන කුමක්ද...
කේ.එන්. ඩී. පැකේජින් කියලා පටන් ගත්තු පළමු ව්‍යාපාරයට අමතරව, කේ. එන්. ඩී. හෝල්ඩිංග්ස් කියන අලුත් ව්‍යාපාරයටත් මං අත ගැහුවා. ඉතා ඉහළ තත්ත්වයේ ප්‍රින්ටඩ් පොලි බෑග්ස් සහ පොලිතින් අපනයනය කරන ගමන්, ලෝ ප්‍රකට පොලිතින් මැෂින් සහ උපාංග චීනයෙන් ලංකාවට ගෙන්වන්න ගත්තා. ලංකාවේ තේ අපනයන වෙළෙඳපොළට අවශ්‍ය කරන පොලිතින් බෑග් සැපයුම්කරුවන් අතර ලොකු ගමනක් එන්න මට හැකියාව ලැබුණේ. ව්‍යාපාර ආයතන අසූවකට වඩා වැඩි ප්‍රමාණයක් අද මගේ නිෂ්පාදන මිලදී ගන්න එකම තමයි, මට තිබෙන තැන.
• ජීවිතයේ ගත් ලොකුම අවදානම කුමක්ද...
2011 අවුරුද්දේ මං රස්සාවෙන් අයින් වුණේ අලෙවි කළමනාකරු විදියට පඩිය ලක්ෂ දෙකහමාරක් ගනිද්දී. වාහනයට අන්ලිමිටඩ් පෙට්‍රල් ලැබෙද්දී. මගේ අම්මා, තාත්තා, මගේ බිරිඳ හැමෝම අයින් වෙන්න එපා කියද්දි. මං මේ බිස්නස් එක පටන් ගත්තෙ රුපියල් ලක්ෂ දහයක ප්‍රාග්ධනයකින්. සේවකයො දෙන්නෙකුගෙන්. ඒ වෙලාවෙ මට තිබුණේ ඉලක්කය හඹා යෑමේ උවමනාව විතරයි.
• පුංචි කාලෙන් ඔබ එහෙම චරිතයක්ද...
මගේ තාත්තා පොලිස් නිලධාරියෙක්. උදේ වැඩට යද්දි තාත්තා මට ඉස්කෝලෙ ඇරිලා ඇවිත් කරන්න වැඩ පවරලා යනවා. ඒ කාලෙ අපේ ගේ වටේ ලොකු තාප්පයක් ගහන්න තාත්තට ඕනෙ වුණා. තාත්තා මට ලී අච්චුවක් හදා දීලා. ‘අද ඔයා ඉස්කෝලෙ ඇරිලා ඇවිත් සිමෙන්ති ගල් මෙච්චරක් ගහන්න ඕනෙ..’ කියලා පවරලා යනවා. මං කරන්නෙ සෙල්ලම් කරන්න බලාගෙන ඉන්න යාළුවො ටිකක් අල්ලාගෙන ඉක්මනට ගල් ටික ගහලා ඉවර කරන එක. කොහොම හරි තාත්තා හිතුවටත් වඩා ඉක්මනට මුළු තාප්පෙම හදන්න ඕනෙ කරන ගල් ටික මමයි යාළුවොයි එකතු වෙලා හැදුවා. අපි පොඩි වුණාට ඒ වෙලාවෙ වැඩකළෙත් ඉලක්කයක් හදාගෙන ඒ වගේම, කොහොම හරි අපි ඒ ඉලක්කයට ගියා. ඇත්තටම තාත්තා තමයි මගේ ලෝකයේ වීරයා. ‘වැඩක් පටන් ගත්තොත් ඉවර කරන්නම ඕනෙ...’ තාත්තා කිව්වෙ එහෙමයි.
• අම්මා තාත්තාගෙන් ජීවිතයට ලැබුණු ලොකුම දේ කුමක්ද...
ආදරණීය ජීවිතයක්. එකම පුතා වුණත් තාත්තාගෙන් මං ගුටි කාලත් ඇති. ඒ වුණත්, තාත්තා හවස ගෙදර ආවම, එයාගෙ මේස් දෙක ගලවන්න අක්කයි මායි පොර කාපු දවසුත් තිබුණා. ඉස්සර තාත්තා පඩි ගන්න කල් අපි දෙන්නා බලාගෙන ඉන්නවා. මොකද, පඩි අරන් එනකොට තාත්තා හැමදාම ගේන නිකම් පාන් වෙනුවට සැන්ඩ්විච් පාන් ගෙඩියකුයි, ඇන්කර් බටර් කාලකුයි අරන් එනවා.
ඒක ගේන පරක්කුවෙන් පෙති කපලා බටර් ගාලා අම්මයි තාත්තයි අක්කයි මායි හරි සතුටින් බෙදාගෙන කනවා. හිතන්න අද අපේ ළමයි කන බොන දේත් එක්ක, බටරුයි පානුයි කියන්නෙ මොන කෑමක්ද... ඒත් ඒ තමයි මගේ ළමා කාලෙ මට ලැබුණු රසම කෑම. ඒ සතුට මතක් කරන්න මං අදත් ආසයි. මොකද, අපි හතර දෙනාම ඒක විඳපු විදිය, ඒ ආදරය මට කවදාවත් අමතක කරන්න බැහැ.
• ඔබේ ජීවිතයට බලපෑම් කළ පුද්ගලයින් කවුද....
ප්‍රධානකොට, මගේ අම්මා සහ තාත්තා. ඊළඟට, කොරියන් ස්පා හිමිකරු, අනුරුද්ධ අබේරත්න මහත්මා. අවුරුදු16ක් ඔහු විතරයි, මගේ එකම බොස්. මං වෙන කා යටතේ වත් වැඩ කරලා නැහැ. ඔහුගෙන් මගේ ජීවිතයට ගත් හොඳම දේ තමයි, ඕනෑම ප්‍රශ්නයකට උත්තර, ඒ ප්‍රශ්නෙ ඇතුළෙම තියෙනවා අපිම ඒක සොයාගත යුතුයි. කියන, ජීවිත පාඩම. අපි ප්‍රශ්නයක් අරන් ඔහු වෙත ගියාම අපිට ඔහුගෙන් උත්තරයක් ලැබුණේ නැහැ. හැබැයි අපිටම ඒ උත්තරය සොයා ගත හැකි මඟක් ඔහු අපිට පෙන්වා දුන්නා. එච්චරයි. මං ඔහුගෙ ඒ ගතියට කැමැතියි.
• පොලිතීන්, සදහටම තුරන් කළොත්, ඔබ මොනවද කරන්නේ...
මං කඩදාසි බෑග් හදනවා. දැනටමත් මං ඒ සඳහා වැඩපිළිවෙළක් හදමින් ඉන්නේ. ඒ වගේම, නගර සභාවලින් එකතු කරන කුණු ප්රතිචක්රීයකරණය කරලා නැවත භාවිතයට ගත හැකි වැඩපිළිවෙළක් හදන්න, සෑම ප්‍රාදේශීය සභාවකටම අපෙන් රී සයිකල් මැෂින් මිලදී ගත හැකි යෝජනාවක් ඉදිරිපත් කරමින් සිටිනවා. රජය ඒ සඳහා ක්‍රියාත්මක වුණොත් හැම ප්‍රදේශීය සභාවකටම පොලිතින් ප්රතිචක්රීයකරණයෙන් අමතර මුදලක් උපයා ගත හැකි වේවි.
මොකද ලෝකෙ තවම අපේ පොලිතින් නිෂ්පාදනය සඳහා විකල්පයක් නැහැ. ඒ නිසා අපේ නිෂ්පාදනය සඳහා තවම තිබෙන්නේ ඉහළ ඉල්ලුමක්. එහෙම පසුබිමක වුණත් මං කඩදාසි බෑග් ව්‍යාපෘතියට අත ගැහුවේ අනාගතය ගැන හිතලම තමයි.
• මේ පවුලේ ව්‍යාපාරයක්ද...
ඔව්, මගේ බිරිය නිසංසලාත් මේ ව්‍යාපාරයේ අධ්යක්ෂවරියක්. ආයතනයේ නමට KND තියෙන්නෙ, කිසල්, නිසංසලා, දුල්වන්... කියන මගේ පුතාලා දෙන්නගෙත් බිරියගේත් නම් වල ඉංග්‍රීසි මුලකුරු වලින්.
• ඔබේ ජීවිතයෙන් කෙනෙක් ගන්නවට කැමැති හොඳම දේ කුමක්ද..
මං අද කරන්න තියෙන දේ අදම කරන කෙනෙක්. ඒ වගේම, පටන් ගත්තු දේ අවසන් කරන තෙක්ම අත් නොහරින කෙනෙක්. ලබන මාර්තු වෙනකොට මිල්ලෑව කර්මාන්ත පුරයේ මං මගේ අලුත් කර්මාන්තශාලාව විවෘත කරනවා. එතකොට මට තවත් දෙසීයකට විතර රස්සා දෙන්න පුළුවන්. අධිෂ්ඨානයෙන්. යුතුව මේ ඉලක්ක සපුරාගත්තා වගේ, මං ඒ ඊළඟ ඉලක්කයටත් යනවා. කවුරු හරි මගේ ජීවිතය දිහා බලලා මේ නොසැලෙන ගුණය ඉගෙන ගන්නවා නම් මං හරි කැමැතියි.
• එච්චරද....
නැහැ. සේවකයො දෙන්නෙකුගෙන්, මගේම ඉඩමක පටන්ගත්තු මේ ව්‍යාපාරය අද වෙන කොට පවුල් තිහ හතළිහක් ජීවත් කරවන කර්මාන්තශාලාවක් දක්වා ව්‍යාප්ත කරන්න මට පුළුවන් වුණා. ඒ වෙනුවෙන් මං හුඟක් දුක් වින්දා. සමහර දවස්වල පැය 24 ම මං ගත කළේ ෆැක්ටරියේ. මැෂින් එක්ක ඔට්ටු වෙමින්, සේවකයන් එක්ක හරි හරියට වැඩ කරමින් මං මගේ හොඳම තරුණ කාලෙ හුඟක් කැපවීම් කළා. ලබන මාර්තුවේ මිල්ලෑව කර්මාන්ත පුරයේ මං මගේ අලුත් කර්මාන්තශාලාව විවෘත කරන්නෙත් එහි ප්‍රතිඵලයක් විදියට.
මේ කැපවීම සහ දරාගැනීම තමයි මාව මේ තැනට ගෙනාවේ. තරුණ කාලෙම අනාගතය වෙනුවෙන් කැපවෙන්න. ඒක තමයි මං කාටහරි කියන්න කැමැතිම දේ.
ඡායාරූප - සුදත් නිශාන්ත