නෙළුම්විල | සිළුමිණ

නෙළුම්විල

පරණ බඩු වෙළෙන්දා

පාර පැත්තෙන් සද්දයක් ආවෙන් මම ගේට්ටුව හැර බැලුවෙමි. මැදි වයසට කිට්ටු කෙනෙක් ගේට්ටුව ඇරෙන හඬට ආපසු හැරී මදෙස බැලුවේ ය. කොට කලිසමක් හැඳ සිටි ඔහු අතේ ගෝණියක් ද විය.

“ආ මහත්තය, මෙහෙද ඉන්නෙ?” කියමින් ඔහු මා ද සමග අපේ වත්තට ඇතුළු විය.

මදෙස ළෙන්ගතුකමක් දැක්වූ ඔහු “මහත්තය තාමත් ඉන්නෙ චණ්ඩිය වගේ නේ” යි කීවේ ය. මට හිනා ගියේ ය. ඔහු මට අමතකව ගිය පරණ දන්නා කෙනෙකු විය හැකි යැයි එවිට මට සිතිණ.

“මහත්තය මාව දන්නවනෙ?”

මම පිළිතුරක් සොයාගත නොහැකිව ළෙන්ගතු සිනාවක් පමණක් පෑවෙමි.

“එළවළු මාකට්ටෙකේ.......... මුදලාලි අපේ තාත්තනෙ. දන්නවනෙ අර යකෙක් වගේ බයනැති මනුස්සය...”

මගේ මනස අවුල් විය.

“මහත්තය පොල්කටු තියනවනං මෙහාට ගන්ඩකො”

“ඔයාට මොකටද පොල්කටු? පුච්චල අඟුරුවලට ගන්ඩද?”

“ඇයි දන්නැද්ද පොල්කටුවලින් කාබන් හදනව කියල? ගන්ඩකො තියෙනවනං පොල්කටු”

පොල්කටු සොයමින් එන වෙළඳුන්ට විකිණීමට පරණ සහල් උරවලට දමන ලද පොල්කටු තොගයක් කුස්සිය පිටුපස විය. මම ඔහු එතැනට කැඳවාගෙන ගොස් ඒවා පෙන්වීමි.

“මේක අල්ලන්ඩකො” යි කී ඔහු සිය ලොකු ගෝණි කටේ පැත්තකින් මට අල්ලන්නට කියා අර පොල්කටු උර කිහිපයක් එහි හැලුවේ ය.

“මං මේක දාල එන්නං” කී ඔහු එය කරගසාගෙන පාරට ගියේ ය. ඒ වන විට ලොරි බට්ටෙක් එහි විය. ගෝණිය ලොරිය තුළට හැලූ ඔහු එය ආපසු රැගෙන විත් ඉතිරි පොල්කටු ද රැගෙන ගියේ ය.

ඔහු හිස් ගෝණිය ද රැගෙන යළි ආවේ ය. සල්ලි දෙන්නට එනවා ඇතැයි මම සිතුවෙමි. ගේ පිටුපස නොතෙමෙන තැනක ගොඩ ගසා තිබූ පරණ ප්ලාස්ටික් බඩු ගොඩ ළඟ ඔහු නතර විය. එතැන වූ අබලි දෑ අතර ප්ලාස්ටික් හාන්සි පුටුවක් ද බේසම් කිහිපයක් ද විය.

“අපරාදෙ මෙතන හැඩි වෙනව. මේකත් ගන්නං”

මා යමක් කීමට පෙර ඔහු ඒවා සිය ගෝණියට දාගන්නට පටන්ගත්තේ ය.

“ඕව ඔය ඉල්ලපු කෙනෙකුටයි ගොඩ ගහල තියෙන්නෙ” මා බිරිය කීවා ය.

“ඉතිං එයත් සල්ලි දෙන්නෙ. මාත් සල්ලි දෙන්නෙ” ඔහු කී ය.

ඔහු මට මුහුණ නොදී වත්තේ අහුමුලුවල ඇවිදිමින් යම් යම් දේ අහුලන්නට වූයේ ය. පරණ යකඩ කැබැලි ද, මුණින් හරවා තිබූ ටින් කබල් ද, කම්බි වැනි දෑ ද ඔහුගේ ගෝණියට වැටිණ.

තාප්පයට හේත්තු කර තිබූ යකඩ රවුමක් ගන්නට හදන විට ම මම හරස් වූයෙමි.

“ඕක ගන්ඩ එපා! වැඩකට ඕනැ එකක්” මම කීවෙමි. ඒ වන විටත් එය නවා දිගහැර කඩා දැමූ ඔහු ඒ කැබැලි ගෝණිය තුළට දමා ගත්තේ “වැඩක් නෑ දිරල” යි කියමිනි.

මසිත තුළ සැඟවුණු කෝපය දැනුණු නිසාදෝ කූඩුවේ සිටි බල්ලා ආගන්තුකයාට ගොරවන්නටත් බුරන්නටත් වූයේ ය.

බල්ලා දෙස මොහොතක් බලා සිටි ඔහු මදෙස බලා හිනාවක් පෑවේය.

“මං ගාව ඉන්නව රජ බඩුවක්. බොක්සර් කෙනෙක්. ඌ මට විතරයි කොන්ට්‍රෝල්. පැනපං කිව්වොත් අර ගේට්ටුවෙනුත් ඉහළට පනී!” එතැන් සිට ඔහු බල්ලන් හැදීම ගැන මට උපදෙස් දෙන්නට වූයේ ය.

යකඩ කැබැලි ආදියෙන් තරමක් බර වූ ගෝණිය යළි උර මතට ගත් ඔහු එය ද රිය තුළට හලා හිස් අතින් ආපසු ආවේ සිය ජංගම දුරකතනයෙන් රිය­ැදුරුට බණිමිනි.

“බලන්ඩ මහත්තය, මේ කොල්ලව මං අඬගහගෙන ආවෙ ඔ‍හෙ නිකම්ම කාලෙ ගෙවන හින්ද. මූට තියෙන්නෙ මේක එළවන්ඩ විතරයි. ගෙදරට වෙලා සල්ලි නෑ සල්ලි නෑ කිය කිය හිටියට හරියනවයැ. හැන්දෑවට ඌට මගෙං ගාණ හම්වවෙන බව දන්නවනෙ. ඔන්න ලෝකෙ හැටි. මං යන්නං මහත්තය.” කියමින් ඔහු ගේට්ටුවෙන් පිටතට ගියේ ය. ඒ සමඟ ඔහු යළි ආපසු ආවේ “තව පොඩ්ඩෙං ඒකත් අමතක වෙනව” යි කියමිනි.

මා ඉදිරියේ නැවතී සිය කොට කලිසම් සාක්කුවෙන් මාරු කාසි කීපයක් ගෙන එය තවත් සක්කුවකට මාරුකළ ඔහු වෙනත් සාක්කුවකින් හතරට පහට නවන ලද නෝට්ටුවක් අතට ගත්තේ ය.

“මහත්තය මේක තියාගන්ඩකො”

ඒ සමග ම ඔහු දිගු අඩි තබමින් නොපෙනී ගියේ ය.

මම නෝට්ටුව දිගහළෙමි. රුපියල් විස්සකි.

“කෝ කීයක්ද දුන්නෙ?” බිරිය විමසුවා ය. මම ඇයට නොපෙනෙන්නට නෝට්ටුව සඟවා ගතිමි.

“අඩුම තරමෙ රුපියල් දෙසීයක්වත් හම්බවෙන්ඩ ඕනැ. එකසිය පනහක්වත් දුන්නද?”

මට ලජ්ජාවක් දැනිණ. මා එදා වේල සරිකරගන්නා කපටියෙකුට රැවටී ඇත.

“වැඩේ පාඩුයි” මට කියැවිණ.

 

අනන්‍යතාව සඟවා සිටීමට කැමති සිළුමිණ පාඨකයෙකු විසින්

යොමුකරන ලද ලිපියක් ඇසුරෙනි.

නෙළුම්විල සිළුමිණ,

ලේක්හවුස්,

කොළඹ 10.

Comments