
මොන දේ කෑවත් පොහොර....මොන දේ කෑවත් වස.... හැමෝම කියන්නෙ එකම කතාවක්.
පොහොර මිටි ගණන් හළලා වගා කරන එළවුළු කන්න වුණාම මුළු රටකටම වස කැවෙන එක අරුමයකුත් නෙවෙයි.
මේ විනාශකාරි ක්‍රමයෙන් මිදෙන්න දැන් කාලෙ හරි. කාගිල්ස් සමාගම ඒ වෙනුවෙන් අලුත් පියවරක් තබලා. ඕනෑම කෙනකුට පුළුවන් මේ පූර්වදර්ශය ගන්න. අරගෙන හැදෙන්න.
සමාගමට අයිති සංකල්පයක්, රහසක්ව රැකගත හැකිව තිබුණත් මිනිසුන්ට වස විස නොකවා වගා කරන හැටි කියා දෙන්න, ඔවුන් දෙපාරක් හිතුවෙ නැහැ. මේ පියවර ඔවුන් තබපු ජාතික මෙහෙවරක් වෙන්නෙ ඒ නිසා.
ඒ පුර්වාදර්ශය නිසාම තමයි, සමහර එළවුළු දැන් ඔවුන් හුඟක් ලාබෙට දෙන්නෙත්.
සමාගමක් කොහොමද එහෙම කරන්නෙ...එහෙනම් ගොවියාගෙන් අඩු කරනවා ඇති....
ඔබට එහෙමත් හිතේවි.
ඒත් ඇත්ත ඒක නෙවෙයි.
කාගිල්ස් වටා ඉන්න ගොවි මහත්තුරු මේ ක්‍රමයට තම තමන්ගේ වගාව පටන් අරන්. අලුත් තාක්ෂණය නිසා නිෂ්පාදන වියදම අඩුයි. ඵලදාව ඉහළයි. ඉතින් තමන්ගේ වගාව අපතේ නොයනවා වගේම, නියමිත මිල ගොවින්ට ලැබෙනවා. පාරිභෝගිකයා අතට ගණන් අඩුවට පත්වන මේ සමහර එළවළු ඒ අලුත් තාක්ෂණයේ ප්‍රතිඵල කීවත් වැරැදි නැහැ.
Drip irrigation system හෙවත් ‘බින්දු වාරි’ ක්‍රමය තමයි, මේ අලුත් තාක්ෂණය.
මූලික වියදම අක්කරයකට ලක්ෂ පහක් වගේ වූණාට අවුරුදු දහයක් යනකල්ම ඒ ආම්පන්න භාවිත කරන්න පුළුවන්. ඵලදාව ආරක්ෂිතයි.
ඒ විතරක් නෙවෙයි, සම්ප්‍රදායෙන් මිදුණු මේ ක්‍රමයෙන් ‘පුර්ණ සුරක්ෂිත ආහාර වගාවක්’ කියන සංකල්පය සුරැකෙනවා.
![]() |
පියල් කුමාර සිය ගොවි බිමේ |
හරියටම කිව්වොත් බින්දු කිහිපය බැගින් හැමදාමත් ගහට වතුර සහ පොහොර වැටෙන මේ ක්‍රමය නිසා, ගස් මුල්වලට කොළවලට ගෙඩිවලට පොහොර මිටි ගණන් හැලු යුගය දැන් අවසන්.
ඒ අනුව, පොහොර සහ කෘෂි රසායන භාවිතය 65%කින් අඩු වෙලා විතරක් නෙවෙයි, ෙගාවීන්ගේ අස්වැන්න නොසිතූ ලෙස ඉහළ යන්න පටන් අරන්.
කාගිල්ස් වටා සිටින පන්දහසක් තරම් වූ මෙරට එළවුළු ගොවීන් සියලු දෙනාම ක්‍රම ක්‍රමයෙන්, මේ නවීන තාක්ෂණය භාවිතයට හුරු කිරීම සිය ආයතනික ඉලක්කය බවයි, සමාගමේ සමූහ කළමනාකරු/ කෘෂි ව්‍යාපාර, හරිදාස් ප්‍රනාන්දු මහත්මයා පවසන්නේ.
“ගොවියා සහ කාගිල්ස් අතර තිබෙන්නේ ගනුදෙනුවක් පමණක් නොවෙයි. ඉන් ඔබ්බට ගිය බැඳීමක්. ජාතික මෙහෙවරකට අපි දෙගොල්ලොම හදවතින් බැඳී හිඳිනවා. ඒ නිසා තවදුරටත් කෘෂි රසායන ගෝණි ගණන් හළන මේ වගා ක්‍රමය තුළ අපේ ගොවීන් සිර වී නැහැ.
මේ තාක්ෂණය අපි ඉගැන්නුවේ තෝරාගත් ගොවීන් කණ්ඩායමක් ආයතනික වියදමින් ඉන්දියාවට අරන් ගිහින් පෙන්වලා. අත්දැකීම් ලබන්න සලස්වලා. ගොවීන් විතරක් නෙවෙයි. ඔවුන්ගේ දෙවැනි පරම්පරාවේ නියෝජනයකුත් මේ ගමනට සහභාගී කරවා ගත්තා. කියන්න බැරි තරම් සතුටුයි. දැන් මේ ගොවි පුතුන් එක්කෙනා දෙන්නා වගාවට එන්න අරන්. ඔවුන් වගා කරන්නේ මේ අලුත් තාක්ෂණයට අනුවයි.
ගොවිතැන් අත්හැර දමන බහුතර දෙවැනි පරම්පරාව යළි වගාවට පොලඹවා ගන්නට ලැබීම රටක් හැටියට මොන තරම් වටිනවද...”
හරිදාස් මහත්මයා පවසන්නේ අලුත් වගා ක්‍රමය තුළ ක්ෂේත්රයේ ඇති වී තිබෙන පිබිදීම ගැන.
තඹුත්තේගම - මකුලෑව ගමේ සුනිල් අබේසේකර කියන්නෙ, මේ අත්දැකීම සිය වගා ජීවිතයට ඈඳා ගත් 52 හැවිරිදි කාගිල්ස් ගොවි මහතෙක්.
“අවුරුදු 16ක් තිස්සේ එළවුළු වවන මං, ඒ කාලෙ දුන්නෙ ආර්ථික මධ්‍යස්ථානයට. ඒ කාලෙ අපි හරියට මහන්සි වුණා. කාගිල්ස් සමාගමට එළවුළු දෙන්න අරන් අවුරුදු 14ක්. ඉස්සර අපි වැව්වේ ලියැදි ක්‍රමයට. වතුර හුඟක් ඕනේ. මහන්සියත් ඒ වගේ. ඔහොම ඉන්නකොට තමයි, කාගිල්ස් මහත්තුරු දැනට මාස කිහිපයකට කලින් රැස්වීමක් තියලා අපිට කිව්වේ දැන් සම්ප්‍රදායික විදියට වැව්වා ඇති. අලුත් ක්‍රමයක් තියෙනවා ඉන්දියාවේ, මේ මධ්‍යස්ථානයෙනුත් ගොවීන් දෙන්නෙක් යවනවා ඉගෙන ගෙන එන්න කියලා. මටත් ඒ වටිනා අවස්ථාව ලැබුණා.
අපි සතියක් ඒ වගාබිම්වල හිටියා. අත්දැකිම් ලැබුවා. ඉගෙන ගත්තා. එතකොට තමයි දැනුණෙ අපි මොන තරම් වියදම් දරාගෙන, මොනතරම් දුක් විඳින ක්‍රමයකට ද මේ එළවුළු වවන්නෙ කියලා. ඒ දවස්වල වතුර නැති එකත් ප්‍රශ්නයක්. දැන් නියං කාලෙදී වුණත් මේ බින්දු ජල ක්‍රමය නිසා, වතුර ටික පිරිමහ ගන්න පුළුවන්.
වෙනදා අක්කරයක් වගා කරලා අස්වනු ගනිද්දී සේවක වියදම, තෙල් පොහොර වියදම දරාගන්න බැහැ. කිලෝ දාහක් කැඩුවොත් හොඳ ඵලදාව කිලෝ පන් - හයසීයයි.පසු අස්වනු නාස්තිය වැඩියි. අද මං කිලෝ 1600 ක් පිපිඤ්ඤා කැඩුවා. කිලෝ හතළිහයි. අයින් වුණේ. පොලිතින් ආවරණය උඩ වැල යනකොට ගෙඩි බිම ගෑවෙන්නෙ නැහැ. ඇදක් පළුද්දක් නැහැ. මාස තුනෙන් අස්වැන්න ගන්නවා. වතුරත් ටිකයි. පොහොරත් ටිකයි. වටේටම උස සුදු දැල නිසා කෘමීන් - මැස්සො එන්නෙ නැහැ. ඒ විතරක් නෙවෙයි පොළොව හාරාගෙන ඌරො, ඉත්තෑවො එන්නේ නැහැ. අක්කර බාගෙක පිපිඤ්ඤා වවලා කිලෝ හය හත්දාහක මුර හය හතක් කඩන්නත් පුළුවන්. හරියට බැලුවොත් ලක්ෂ තුනක විතර ආදායමක්. පළවෙනි දෙවැනි මුරවලින්ම අපි මූලික මුදල හොයලත් ඉවරයි. ආයේ කඩන හැම මුරයක්ම ලාබේ.
![]() |
හරිදාස් ප්‍රනාන්දු (දකුණේ) සහ කාගිල්ස් කෘෂි නිලධාරි නිලන්ත මහත්වරු ගොවි බිමක |
ඇත්තටම රුපියල් ලක්ෂ දෙකහමාරක ආධාර මුදලක් සහ තවත් ලක්ෂ දෙකහමාරක ණය මුදලක් සමාගමෙන් අපිට දීලා තමයි මේ වැඩේට අපිව උනන්දු කළේ. දැන් හිතෙනවා, අපේ ගංවල අනෙක් ගොවියන්ටත් මේ ඩ්‍රිප් ඉරිගේෂන් ක්‍රමයට යන්න ආණ්ඩුව හරි උදව් කරනවා නම් මොන තරම් හොඳද කියලා.
එතකොට, ගොවින්ගේ අස්වනු අපතේ යන්නෙ නැහැ. අඩුම මුදලකින් හොඳ අස්වැන්නක් ගන්නත් පුළුවන්. මහන්සියත් අවමයි. ගොවිතැන අත්හැර දමන්න හිතෙන්නෙත් නැහැ. මම දැන් වැඩ කරන්නෙ හුඟක් සතුටින්. මගේ දරුවොත් දැන් ගොවිතැනට ආසයි. මඩ නාගෙන ලියැදි කොටාගෙන, වතුර ඇදගෙන දහ දුක් විඳින්න දෙයක් නැහැ.”
ඉතින්, ඕනෑකම තිබේ නම් කෘෂි කර්මාන්තය නඟා සිටුවන්නට ක්‍රම තිබෙනවා යැයි කියන කාගිල්ස් පූර්වාදර්ශයයි, ඔවුන් මේ දී තිබෙන්නේ.
තඹුත්තේගම කළුන්දැගමදී අපට හමු වූ නන්දන ප්‍රේමතිලක ද මේ ඩ්‍රිප් ඉරිෙග්ෂන් ක්‍රමයට වගාව අරඹා ‘ගුඩ් හාවස්ට්’ ව්‍යාපෘතියේ ඉදිරියෙන්ම සිටින අතමිට සරු ගොවි මහතෙක්.
“වගා ළිඳේ වතුර ටික ටික උනලා දැන් පැයක් වතුර තිබුණත් ඇති. මේ ක්‍රමයේදී 75% ක් වතුර අවශ්‍යතාව අඩුයි. දීග පාත්ති වගේ උසට පස් පුරවලා, ඒවා විශේෂ පොලිතින් වැස්මකින් වහලා, ඒ වැස්ම මත දුරින් දුර ඇති කළ සිදුරු මතයි පැළ සිටුවන්නේ.
ඒ විශේෂ පොලිතින් වැස්මට යටින් වතුර සහ පොහොර බට දිගටම දාල තියෙන්නේ. ඒවායින් පැළයට වතුර සහ පොහොර ලැබෙන්නේ බින්දුව බැගින්. මේ බට අවුරුදු 10ක් පවතිනවා. ආරක්ෂාවට වටේට තිබෙන දැලත් ඒ වගේ. හුළඟත් එක්ක එන කෘමි උවදුරු එහෙම පිටින්ම නැවතිලා. ඒ වගේම, අද අක්කරයක අස්වනු නෙළන්න තුන් දෙනෙක් හොඳටෝම ඇති.
මේ වගේ වටිනා ගොවිතැන් ක්‍රමයක් රටටම හඳුන්වා දී තියෙද්දීත් හැම ගොවියෙකුටම මේ ක්‍රමය හඳා ගන්න රජය වුණත් උදව් කරන එකයි, කරන්න ඕන. එතකොට ඒ මිනිස්සුන්ගේ ජීවිතත් අපේ වගේ එළිය වැටේවී.
දෙවැනි පරම්පරාවේ උනන්දුවට අත දෙමින් කාගිල්ස් සමාගම මගේ පුතාට අවස්ථාව දුන්නා, ඉන්දියාවට ගිහින් ඉගෙන ගන්න. දැන් එයා අනෙක් කාගිල්ස් ගොවීන්ටත් ඒ දැනුම දෙනවා. මගේ පුතත් දැන් අලුත් පරපුරේ නවීන ගොවියෙක්. ඒ ගැන මං ආඩම්බරයි....”
ප්‍රේමතිලක වගේම තඹුත්තේගම දී අපට හමු වූ විමල් දයාරත්න ලා, ජී. ජයසේන ලා, ප්‍රසන්නලා එලෙස එළවුළු වවා රුපියල් ලක්ෂ ගණනින් මුදල් උපයා ගත් සාඩම්බර කාර ගොවි මහතුන් අතරේ කිහිප දෙනෙක්.
![]() |
සුනිල් අබේසේකර |
ඇත්තටම, රජය දැන් ගොවීන්ට දිය යුත්තේ, පොහොර සහනාධාරය නොවේ. මේ බිඳිති වාරි පද්ධතිය සාදා ගැනීමට අවශ්‍ය සහනාධාරයයි.
අනෙක් අතට ත්‍රීවීල් රස්සාවටම ඇදී යන බහුතර තරුණ ශ්‍රමය කෘෂිකර්මාන්තය වෙත යළි අද්දවා ගැනීමට හොඳම අවස්ථාවක් අප ඉදිරියේ තිබියදී එය අත්හළ යුතු ද...
අක්කරයක කරවිල වවා, වාර දාහතකදී කිලෝ හාර දහසක් අස්වැන්න නෙළා ගත් පියල් තුසිත කුමාරත් කාගිල්ස් සමඟ ජීවිතය ජය ගත්තේ මේ අලුත් තාක්ෂණයෙන්. ඒ, විතරකුත් නෙවෙයි, තමන්ට ලැබුණු අලුත් තාක්ෂණයට, ස්වයං අධ්‍යයනයෙන් සොයාගත් අලුත් දේත් එකතු කරමින්.
“ඉස්සර අපි වගා කළේ යල, මහ දෙකන්නෙට. දැන් එහෙම එකක් නැහැ. අපි හැමදාම වවනවා. වැල් එළවුළු මං වවන්නෙ පරණ මාළු දැල් දිගේ ඉහළට යවලා. ගෙඩි බිම ගෑවෙන්නෙ නැහැ. හැඩය විකෘති නැහැ. පිපිඤ්ඤා, කරවිල, මෑ, වැටකොළු, ඕන දෙයක් එහෙම වවන්න පුළුවන්. ඒවා විතරක් නෙවෙයි, බණ්ඩක්කා, ඉඟුරුත් මං හැදුවා.
මේවා කොයිතරම් වැව්වත් අපිට දෙන්න තැනක් තියෙනවා. අපිට මාකට් එක බලාගෙන වවන්න දෙයක් නැහැ. අපි වවන්නෙ කාගිල්ස් දිහා බලාගෙන. අපි දන්නවා එතැනට අවශ්‍ය කොලිටිය. ඒ කොලිටියට හැදුවොත් විකිණීම ගැන අපිට කරදර වෙන්න දෙයක් නැහැ.
සමාගමේ කෘෂිකර්ම මහත්තයත් අපේ වගාබිම්වලමයි. අපේ වගා ප්‍රශ්න ගැටලු ඕනෑ දෙයකට මේ අය විසඳුම් දෙනවා. මේක බොහොම බැඳීමකින් යන ගමනක්. ඒ ගමනෙ, කොලිටිය තමයි අංක එක.
පැළ හිටවපු දා පටන් ගෙඩි කරල් කඩා ගන්න දා දක්වා, ගහට දමපු පොහොර, වතුර මැනගෙන, ඒවා පොත්වල ලියාගෙන, චාට් හදාගෙන, කොලිටිය නඩත්තු කරන්නෙ, කාගිල්ස් අපිට ඒ කොලිටිය වෙනුවෙන් ගෙවන හින්දා. ඇත්තටම අපි ගෙවල් දොරවල් හැදුවෙ යාන වාහන ගත්තෙ, කාගිල්ස් නිසා.
ඔවුන් අපි වවන දේ අරගෙන නිකම් හිටියෙ නැහැ. හැම අතින් ම අපිව ගොඩනැඟුවා. ඉහළට ඔසවලා තැබුවා. ඉස්සර වවපු ක්‍රමයට නම් මේ වෙද්දි රුපියල් හැටදාහකවත් තෙල් ගහන්න ඕනෙ. කෘමි හානි නැති නිසා දැන් තෙල් වියදමක් ඇත්තෙම නැහැ. හැම අතින් ම අපේ නිෂ්පාදන වියදම අඩුවෙලා.
![]() |
‘ගුඩ් හාවස්ට්’ එළවළු |
ඉස්සර මාකට් එකට බඩු දාපු කාලේ ගෙදර ආවේ හිස් අතින්. බාගයක් තැලිලා පොඩිවෙලා. දෙන්නෙ දෙක පහට. හිතේ සතුටක් නැහැ. අතේ ඉතිරියක් නැහැ. ට්‍රැක්ටර් ගාස්තුවත් ගෙවලා ගෙදර එනකොට ගෙදරට ඕන අඩුම කුඩුම ටිකවත් ගන්න සල්ලි මදි.
දැන් අපි, අද බඩු දැම්මා නම්, අපේ සල්ලි ටික හෙට කාගිල්ස් බැංකුවට වැටෙනවා. අපි මුදල් ගන්නෙ අවශ්‍ය ප්‍රමාණයක් විතරයි. ඒ නිසා, නිකම්ම ඉතිරිවෙනවා. බැංකුවෙ මහත්තයා අපේ මධ්‍යස්ථානයට එනවා. ඒ නැතත් ළඟම ATM එකෙන් සල්ලි ගන්නත් පුළුවන්. දැන් අෙප් ජීවිත එහෙම පිටින් ම වෙනස් වෙලා. මගේ ලොකු පුතාට වයස 24 යි. එයා මේ ගොවිතැනට හුඟක් සම්බන්ධයි. දවසක එයා මේ දේවල් කරගෙන යාවි. මගෙන් පස්සෙ ගොවිතැන අත්හැරෙන්නෙ නැති බව දැන් මං දන්නවා. ඒ, කාගිල්ස් පෙන්වා දුන්නු අලුත් ගොවිතැන් ක්‍රමේ නිසා.
රටේ හැම ගොවියෙකුටම මේ ක්‍රමය උගන්වලා සහනාධාර දීලා, ප්‍රචලිත කරන්න කියන එකයි මං කියන්නෙ. මොකද මේ වෙනකොටත් ‘යහපත් කෘෂි පිළිවෙත්’ අනුව වවන මම, GAP සහතිකය ලබා ජාත්‍යන්තරයට වුණත් වවන්න සුදුසුකම් තියෙන ගොවියෙක්.
අපේ ගොවින් හැම කෙනාවම ඔසවා තබන්න ඕනෙ ඒ තැනට.”
මේ අපේ රටේ ගොවියකුගේ තවත් එක් සාධනීය කතාවක්.
ඉතින්, අදත් ගෙදර යන ගමන් ඔබ කාගිල්ස් වෙත ගොඩ වේවි. ඔබ අතට ගන්නා හැම එළවළුවක් ගානේ ඒ පිටුපස තිබෙන මේ කතාවත් ඔබට මතක් වේවි.
ඔබ ගෙවන මුදල්, කාගිල්ස් හරහා ඒ ගොවි ගම්මානවලට, ගොවි ගෙවල්වලට යන හැටි මොහොතක් හිතන්න...
ඔබේ අත දීමෙන්, දෙවැනි පරපුරක් ඒ ගොවිතැන බාර ගන්නා හැටි ඔබට පෙනේවි. ඒ සතුටින් ඔබේ හිත පිරී යාවි.
ඉතින් ඔබ දන්නවද... කාගිල්ස් දෙවැනි පරපුරත් ඒ මඟටම ප්‍රවිෂ්ට වී ඇති බව.
තම පවුලේ ව්‍යාපාරය තුළ බාරගන්නට බොහෝ අංශ ඕනෑ තරම් තිබියදී දෙවැනි පරපුරේ ආදර්ශය කියාපාමින් විදේශයක උගත් රායා පේජ්, කාගිල්ස් උපසභාපති රංජිත් පේජ් මහතාගේ දියණී, ඇප කැපව සිටින්නී, හරිදාස් මහතා මෙන් ම ‘සරු බිම’ නඟාසිටුවීම වෙනුවෙන්.
ගමේ ආර්ථිකය හැදෙන ගමන්, ඒ ගොවීන්ගේ දරුවන්ගේ අධ්‍යාපනයට අතදෙන ‘සරු බිම’ අරමුදල තර වෙන්නෙත් ඔබ ඒ මිල දී ගන්නා එළවළුවලින්. කිරි ලීටරයෙන්.
ඉතින්, තවදුරටත් ඔබ ඔවුන්ට පාරිභෝගිකයෙක් පමණක් නෙවෙයි.
අපේ ගොවියා, අපේ ගම සහ අපේ රට නඟා සිටුවන්නට කාගිල්ස් සමඟ අත්වැල් අල්ලා ගත් මිනිස් දම්වැලේ ශක්තිමත් ම දම්වැල් පුරුක ඔබයි.
ඡායාරූප - තලාව සමූහ
බී.ඩබ්.ඩී. ධර්මකීර්ති