* පාරම්පරික හේන් ගොවියන් ගොවිතැන් කරන්නේ පරිසරයත් රැකගෙන
* අපට තහනම් රක්ෂිතය මැද ලොකු ලොක්කෝ අක්කර සිය ගණන් වගා කරනවා
හම්බන්තොට, සූරියවැව, මීගහජඳුර, මත්තල, එළල්ල, ගොන්නොරුව, ලුණුගම්වෙහෙර හා තණමල්විල, හම්බෙගමුව ඇතුළු අවට සියලු ප්‍රදේශවල ජීවත් වන්නේ පාරම්පරික ගොවි ජනතාවකි. ඈත අතීතයේ පටන් මේ පෙදෙස්වල වෙසෙන ගැමි ජනතාවගෙන් සියයට අනූවක් පමණකගේ ප්‍රධාන ජීවනෝපාය වූයේ හේන් ගොවිතැනයි. වී ගොවිතැන මෙන්ම හේන් ගොවිතැනද මෙහි ජනතාවගේ අටු-කොටු මුං, කවුපි, රටකජු, තල, කුරහන්, මෙනේරි, බඩඉරිඟු ඇතුළු ධාන්‍යවලින් පිරී පැවතිණි. එනිසා එදා ඔවුනට එක් වේලක්වත් කුසගින්නේ සිටීමට සිදු නොවිණි.
එහෙත් අද තත්වය ඊට හාත්පසින්ම වෙනස්ය. එදා දිනකට වේලක් තල, කුරහන්, මෙනේරි අහරට ගත් ගැමියන්ට අද ඒ වෙනුවට පාන්පිටි ගිලින්නට සිදුව ඇත්තේ හේන් ගොවිතැන අභාවයට යෑමත් සමඟයි. කලින් කලට විවිධ නීති-රීති හා තහංචි පැනවීම හේතුවෙන් පාරම්පරික ඉබේටම ඉවත් වීමට හේන් ගොවියාට සිදු වී තිබේ.
ඔවුන්ගේ ජීවන තත්ත්වය දෑසින්ම දැක විමසා බලා ලොවට කියන්නට ඉකුත්දා මත්තල ප්‍රදේශයේ අප කළ සංචාරයේදී උඩමත්තල හේන් ගොවියන් කිහිප දෙනකුම තමන්ගේ දුක කියා සිටින්නට වූයේ මේ අයුරිනි:
“මගේ වයස දැන් අවුරුදු 59යි. මගේ උපන් ගම මේක. දරුවො හය දෙනයි. මගේ අම්ම-තාත්තා කළෙත් හෙන් ගොවිතැන. ඉස්සර මේ පළාත්වල මහ ලඳු කැලෑ. අපි මේ ප්‍රදේශවලට ඇවිත් පදිංචි වෙලා මේ අවට තියෙන ලඳු කැලෑ සුද්ධ කරලා හේන් හදාගෙන තමයි ජීවත් වුණේ. අලි කොටි වලස්සු හිටිය මහ කැලෑ වුණත් අපට උන්ගෙන් කිසි කරදරයක් තිබුණේ නැ. හිටි ගමන් හේන්වලට අලි පැනලා කාලා යනවා විතරයි. ඒත් ඒකෙන් අපට මහ පාඩුවක් වුණේ නෑ.
අනික තමයි මත්තල කියන්නේ පාරම්පරික ගොවි ගම්මානයක්. ඒත් දැන් අවුරුදු කීපයක ඉඳන් ගොවිතැනට යම් යම් බාධක එනවා. අද වන විට එය දැඩි ලෙස උග්‍ර වෙලා. ඉස්සර අපි මේ වෙන කොට බැද්ද කපලා පුච්චලා බෝග හිටවන්න බිම් සකස් කරලා ඉවරයි. පළමු ‘බෙලිතෝර වැස්ස’ එන කොට අපි ඇට හිටවන්න පටන් ගන්නවා. එත් මේ වසරේ අපට හේන් කරන්න අවස්ථාව ලැබුණේ නෑ.”
ගැමියා පවසන්නේ දෑසේ කඳුළු පුරවාගෙනය. පරිපාලන නිලධරයකු ලෙස කටයුතු කරමින් මෙපෙදෙස්හි ගැමි ජීවිතය පිරිසිඳ දුටු සුදු ජාතික ලේඛක ලෙනාඩ් වුල්ෆ්ගේ කෘතිවලද එකල මේ ප්‍රදේශයේ පැවති හේන් ගොවිතැන මෙන්ම ගැමියන් ගෙවූ දුෂ්කර ජීවිත පිළිබඳ තොරතුරු සඳහන්ව ඇත. කාලය වෙනස් වී ඇත. විවිධ අණ-පනත් හේතුවෙන් දැන් මේ ගැමියෝ බොහෝ පීඩාවට පත්ව සිටිති.
“දැන් කැලෑවලට ඇතුළු වෙන්න අවසරයක් නෑ. හැම තැනම බෝඩ් ගහලා කැලෑ ‘රක්ෂිත’ විදියට නම් කරලා. ඒ නිසා හේන් කරන්න නෙමෙයි, දර කෑල්ලක් කඩන්නවත් කැලයට යන්න හැටියක් නෑ. කැලෑ මහත්තුරු ඇවිත් කුදලගෙන ගිහින් උසාවි දානවා. ගිය අවුරුද්දෙත් අපි හේන් කරන්න කැලේ කැපුව වෙලාවේ කැලෑ මහත්තුරු ඇවිත් අපට නඩු දැම්මා. එක්කෙනාට රුපියල් පනස් දාහෙ දඩ ගැහුවා. අපි හේන් ගොවිතැන නොකර වෙන මොනවා කරන්නද? අපි අවසර ඉල්ලුවා අපට හේන් ගොවිතැන් කරන්න ඉඩ දෙන්න කියලා. තවම නම් අපට අවසර ලැබුණේ නැහැ. අපට යැපෙන්න තියෙන්නේ ගෙදර ඉඩමේ හදාගත් දෙයක් විතරයි. පාරම්පරිකව හේන් ගොවිතැන් කරගෙන ආව අපට තහනම් කරපු කැලෑවල ලොකු-ලොකු මුදලාලිලා කිසි කරදරයක් නැතිව අක්කර පනහ-සීය වට කරගෙන කරගෙන යනවා!” තවත් ගැමියකු පැවැසුවේ දිගු සුසුමක් හෙළමිනි.
මත්තල ගමේදී අපට හමු වූ හේන් ගොවිතැනේ නිරතව සිටි තවත් ගොවි මහතකු අපට පැවසුවේ මෙවන් අදහසකි:
“ඒ කාලේ ඉඳලා අපි හේන් කරපු කැලෑවලින් කොටසක් දැන් ‘අලි කළමනාකරණ රක්ෂිතය’ කියලා වෙන් කරලා; තවත් කොටස් කිහිපයක් ‘රක්ෂිත’ හැටියට නම් කරලා. එදා අපි හේන් කල කැලය අද ‘මල්අස්නාගල රක්ෂිතය’ ලෙස නම් කරලා. ඉතින් මේ කැලයට නිකම් හරි ඇතුළු වුණොත් වන සංරක්ෂණයේ මහත්තුරු ඇවිත් අපිව කුදලගෙන ගිහින් උසාවි දමනවා. ඉතින් එහෙම වුණාම රුපියල් පනස්දාහ, හැටදාහ වගේ ලොකු ගණන් දඩ ගහනවා. ඒ නිසා මේ අවුරුද්දේ අපි හේන් කපන්න ගියේ නෑ. ඔය නීති-රීති ගේන බලධාරීන් දන්නෙ නෑ හේන් ගොවිතැනේ තියෙන වටිනාකම. හේන් ගොවිතැනේ ඉන්න ගොවියෙක් කවදාවත් කැලේ විනාශ කරන්නේ නෑ; පරිසරය විනාශ කරන්නේ නෑ. ඒ සියල්ල ආරක්ෂා කරගෙන තමයි හේන් ගොවිතැන කරන්නේ. පුදුමෙ කියන්නේ මේ ප්‍රදේශවල ගොවි ජනතාවට නීති-රීති දාපු බලධාරීන්ට අමතක වෙලා මේ මත්තල, උඩ මත්තල කියන්නේ පාරම්පරික ගොවි ගම්මාන බව. සිලිඳුලාගේ පරපුරෙන් ආ ඥාතීන් තවමත් මේ මත්තල ඉන්නවා. ඒ තරමටම මේ ප්‍රදේශයේ හේන් ගොවිතැන පරණයි.”
අතීතයේ හේන් ගොවිතැන් කරද්දී පැරණියන් ඉවක්-බවක් නැතිව කැලෑ විනාශ කළේ නැත. මහ ගස් ඉතිරිව තිබියදී යටි වගාව කපා-දමා එළි-පෙහෙළි කොට, මල් පැලක් තනා පහන් දල්වා, අඬහැර නඟා සතා සීපාවා පලවා-හැර, වියළි අතු-ඉති ගිනි තබා දඬුවැට බැඳ බිම සකස් කළේය. මෙසේ සැකසූ වගා බිම ‘නවදැලි හේන’ නමින් හැඳින්වේ. මුං, කවුපි, මෙනේරි, බඩඉරිඟු, කුරක්කන් වැනි ධාන්‍ය වර්ග මෙන්ම මෑ, කරවිල, පතෝල, වැටකොළු ආදි එළවුළු වර්ගද හේනේ වගා කෙරිණි. එදා ගම්වැසියන් කඩපිලෙන් මිල දී ගත්තේ මිරිස් කුඩු හා තුනපහ ටික පමණකි. එහෙත් අද වන විට පාරම්පරික හේන් ගොවියාට පවා කුරක්කන් ටික, තල මෙනේරි ටික මෙන්ම එළවළු ටික පවා මුදලට ගැනීමට සිදුව ඇත්තේ හේන් ගොවිතැනට කණකොකා හැඬීම නිසාය.
මාස හතරක පමණ කාලයක් සිදු වන හේන් ගොවිතැනින් ලැබෙන අස්වැන්නෙන් ගමේ ජනතාව වසරේ මාස 12ම ජීවත් වීමට පුරුදුව සිටිති. සුපුරුදු පරිදි මෙවරද ‘බෙලිතෝර වැසි’ ඇද-හැලුණද හේන් ගොවීයන්ට වෙන වසරවල මෙන් මෙවර කැලේ කපා පුච්චා හේන් සකස් කිරීමට අවස්ථාව නොලැබිණි. හේන් කැපූ ඇතැම් ගොවීන්ට සිදු වූයේ කැපූ හේන්වල බීජ සිටුවීම වෙනුවට උසාවි ගොස් දඩ කන්නටය. වගා සඳහා සූදානම් කෙරුණු හේන් බිම් එහෙම්මමය. ගොවියෝ අධිකරණයට ගොස් දඩ කා විත් ගේ මුල්ලට වී සුසුම්ලති.
“හේන් ගොවියා හේන් කරන්නේ අවුරුද්දකට මාස හතරයි. ඒ මාස හතරෙදි නෙළාගන්න අස්වැන්නෙන් තමයි මුළු අවුරුද්දම ජීවත් වෙන්නේ. දැන් හැමදේම කඩෙන් ගෙනත් කන්න වෙලා තියෙන්නේ අපට. හේන් ගොවියා කියන්නේ සැපවත් ජීවිතයක් ගත කරන කෙනෙක් නෙමෙයි. හේන් ගොවියා පංච මහා දුකක් විඳිනවා මේ මාස හතරෙදි. ‘පංච මහ දුක’ මොකද්ද කියලා ඇහුවට කැලෑ මහත්තුරු තියා හේන් ගොවියාට නීති හදන මහත්වරුවත් දන්නේ නැතිව ඇති! කැලේ හේන් සුද්ද කරන්න යද්දී පටස්ස කියන අත්ත මුහුණෙ වැදීම, එරමිණිය අත්ත කනේ හරි නහයේ හරි පැටලීම. අන්දර කටුවක් අතේ ඇඟිලි පුරුකක් උඩ ඇනීම, ඇමටිල්ල අත්තක් මුහුණේ වැදීම හා අතේ දියපට්ටයක් ඇවිත් ඒ වෙලාවෙම වැඩ කරද්දිම ඒක කැඩි යෑම කියන මේ පංච මහා දුක දන්නේ හේන් ගොවියම විතරයි. මොකද, හේන් ගොවියා මේවා අත්විඳලා තියෙනවා. ඒ තරම් දුකක් විඳිනවා ගොවියා...” මේ ගැමි ගැහැනිය පවසන්නේ නිකටේ අත රුවාගෙනය.
ගැමියන්ගේ මේ දුක-වේදනාවට පිළියම් නැද්දැයි අසන්නට අප වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වන නිලධාරියකුගෙන් විමසා සිටි කල්හි ඔහු පැවසුවේ මෙවන් අදහසකි:
“05/2017 චක්‍ර ලේඛයට අනුව රජයට අයත් කැලෑ කැපීම්, ගිනි තැබීම් හෝ ඉඩම් අල්ලාගැනීම් තහනම් වෙනවා. ඒ නිසා හේන් කරන අයට කියලා කැලෑ කපන්න දෙන්න පුළුවන්කමක් නෑ. යම් හෙයකින් එවැනි කටයුතු සඳහා අවස්ථාව දුන්නොත් ඒකට ප්‍රදේශයේ ඉන්න වගකිව යුත්තන් ලෙස අපි වගකියන්න ඕනෑ. හේන් කරන්න කියලා තරමක හෝ අවසරයක් ලබා දීමට දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවෙ නිර්දේශ අනුව ඉතා දුප්පත් අයට අවස්ථාව දීලා තියෙනවා. දුප්පත් අය කියන්නේ ඔවුන් සතුව ගොඩ මඩ ඉඩ-කඩම් නැති, වෙනත් ජීවනෝපායක් නැති අයයි. ඒ අය සඳහා හේන් කරන්න කැලයක් කපාගැනීමට යම් සහනයක් දීලා තියෙනවා. මේ පැතිවල ඉන්නේ පාරම්පරික හේන් ගොවියෝ තමයි. ඒත් දැන් තියෙන නීති-රීතිත් එක්ක හේන් කරන්න කැලෑ කපන්න දෙන්න පුළුවන්කමක් නෑ.හේන් ගොවිතැන සඳහා කපපු සියලු රජයේ ඉඩම් මේ වන විට තහනම් කර තියෙනවා. කිසිදු හේතුවක් නිසා ඒ ප්‍රදේශවල වගා කරන්න දෙන්න පුළුවන්කමක් නෑ. මේ ගැටළුවට බිම් මට්ටමේ අපට විසඳුමක් දෙන්න පුළුවන්කමක් නෑ. මේ සඳහා ඉහළින්ම පිළිතුරක් ලැබිය යුතුයි.”
ඒ ඔහුගේ පිළිතුරය. අනේ ඉතින් ඒ පිළිතුර කවරදා නම් ලැබෙයිද?
මේ අවනඩුවට මෙතෙක් කිසිදු සාධාරණ විසඳුමක් ලැබී නැති නිසාම වැහි පිට වැහි ඇද වැටෙද්දිත් කිසිත් කරකියාගත නොහැකිව ඒ දෙස බලා හූල්ලමින් සිටින හේන් ගොවීන්ගෙන් ඇතැමෙක් කොළඹ හා වෙනත් ප්‍රදේශවල ඉදිකිරීම් සමාගම්වලට ගොස් දෛනික වැටුපට කම්කරු රැකියාවේ නිරත වෙති. මේ අහිමිව යන්නේ පැරණි ගොවිපවුල්වල අවසන් පුරුක්ය.
එක් පසෙකින් හේන් ගොවියා එබඳු ඉරණමකට මුහුණ දී සිටියදී රටක් හැටියට අප පත්ව ඇති තත්ත්වයද ශෝචනීයය. ඒ අපේ භූමියේම සරු-සාරෙට වැවුණු මේ භෝග වර්ග අද වන විට විශාල පිරිවැයක් දරමින් පිටරටවලින් මහා පරිමාණයෙන් ආනයනය කිරීමට සිදු වීම හේතුවෙනි.
එබැවින් මෙය හුදෙක් එක් ජන කණ්ඩායමකට, ගම්මානයකට බලපා ඇති ප්‍රශ්නයක් සේ සලකා සැහැල්ලුවෙන් සිටින්නට කිසිදු පාලකයකුට අවසරයක් නැත. හෙට-අනිද්දා රටේ අනාගතය බාර ගන්නට සටන් වැදීමට මාන බලා සිටිනා අපේ නායකයන්ගේ අවධානය හෝ මේ කෙරෙහි යොමු වනු ඇතැයි අපි උදක්ම බලාපොරොත්තු සහගතව සිටිමු. හැබැයි රටට සෙතක් වන්නේ ඒ අවධානයද ඡන්ද පොරොන්දුවලට පමණක් සීමා නොවී, ඇස්බැන්දුමක් නොවුණු යථාර්ථවාදි විසඳුමක් ලැබෙත හොත් පමණි.
සේයාරූ - සූරියවැව විශේෂ