“ඔයා ආයෙමත් සැරයක් අපේ ගෙදර හැංගෙනවද?” | Page 2 | සිළුමිණ

“ඔයා ආයෙමත් සැරයක් අපේ ගෙදර හැංගෙනවද?”

හැකි ඉක්මනින් සිරිමාන්න සහ සුනන්දා හමුවී විවාහ යෝජනාව ඉදිරිපත් කළ යුතු යැයි ඔහුට සිතිණ. අෂේන්ට ආදරය කරන මේ යුවතිය අහිමි කර ගත නොහැක. එක් දරු පියෙකු වන තමා බෑනණුවන් ලෙස පිළිගන්නට ඒ දරදඬු විදුහල්පතිවරයා කැමති වන එකක් නැත.

“අමා ලයිෂන් ගත්තනෙ නලින්. මම නැත්තං ඉතිං ගන්න හම්බ වෙන්නෙ නෑ කවදාවත් මෙයාට ලයිෂන්”

අමාලි දිව දිගු කළා විනා කිසිවක් නොපැවසුවාය. මේ දඟකාර යුවතිය තමාගේ නිවසේ සැඟවී සිටියේ දැයි නලින් තුළ සැකයක් පවා පහළ විය. ඇය තමා වැලඳගනිමින් හඬා වැලපුණු අන්දම ඔහු කොතෙකුත් දකියි. ඒ මතකයෙන් ගැලවී ගත නොහැකිව වේදනා විඳින වග රහසක් ලෙස රැක ගනියි.

අමාලි හා අෂේන් පිළිබඳව කරදර වෙමින් වුව හෙතෙම මෝටර් රිය පණ ගන්වා ගත්තේය. බ්‍රයන් සමඟ තනිවෙන්නට ඉඩ ලැබීමද වඩා හොඳ බව ඔහුට සිතිණ.

“ඉතිං බ්‍රයන්... තාමත් කියන්නෙ ඔයයි අමාලියි හොඳ යා‍ළුවෝ කියලද?”

බ්‍රයන් හඬ නඟා හිනැහුණේය.

“ඇත්තට ම තාමත් එහෙම තමා. හැබැයි දැන්නම් මට හිතෙනවා මේ යාළුකම නවත්තන්න..”

“ඒ මොකද? අමාලි හොඳ යාළුවෙක් නෙමේද?”

තරුණයාගේ මුව’ග සිනාව වියැකිණ.

“එයා හොඳ පෙම්වතියක් හොඳ බිරිඳක් වෙයි කියලත් මට හිතෙනවා නලින් කවදා හරි..”

සසලව ගියද නලින් මඳ සිනාවක් පාන්නට සමත් විය.

“කාට හරිද? නැත්තං බ්‍රයන්ටද?”

“ඇත්තටම නලින් ඔයාට බැරිද මට උදව් කරන්න?”

හදිසියේ හටගත් ප්‍රබෝධයෙන් බ්‍රයන් ප්‍රශ්න ක‍ළේය.

“ෂුවර්.. කියන්න ඕන දෙයක්..” යි වහා පොරොන්දු වුවද නලින්ගේ හද ගැහෙන්නට විය. බ්‍රයන් ඉල්ලා සිටින උපකාරය කුමක් විය හැකිද? කුමක් හෝ වේවා එය අමාලි සමඟ බැඳී තිබෙන බවට සැක කළේය.

“අමාගේ ගෙදරිනුයි අපේ ගෙදරිනුයි අපේ මැරේජ් එක ගැන කතා කළා. අපි දෙන්නම කැමති වුණේ නෑ. ඒත් දැන්නම් හිතෙනවා නලින් මම අමා එක්ක ජීවිතේ බෙදා ගත්තොත් හොඳයි කියලා..”

දුර්වර්ණවී ගිය මුහුණින් වුවද නලින් “ඉතිං මොකක්ද මම කරන්න ඕන උදව්ව?” යි ඇසුවේය.

“ඔයාට පුළුවන්නෙ අමා එක්ක මේ ගැන කතා කරන්න...”

“ඒ වගේ දෙයක් ඔයාම කතා කරන එකනෙ හොඳ බ්‍රයන්. මං හිතන්නෙ හොඳම ක්‍රමය තමා ඒක. අතරමැදියෙක් තුන්වෙනියෙක් ඕන වෙන්නෙ නෑ.”

තමාද මේ යුවතිය පිළිබඳ සිහින මවන බව හෙළි නොකළ නලින් සන්සුන් සරින් තෙපලුවේය. ඒ සඳහා දරන ලද ආයාසය සුළු පටු නොවීය.

“ඒක නම් ඇත්ත. ඒත් ඉතිං අමා මොනවා කියයිද මංදා. සමහර විට මට ගහන්නත් බැරි නෑ.”

ඒ කතාව නලින්ගේ ළතැවුල තුනී කර දමයි. එහෙත් පාර අද්දර කුඩා පොල් අතු පියස්සක් යට තැඹිලි පානය කරන කල ඔහුගේ සිත යළිත් බරව ගියේය.

“ඔන්න මං දැං මේ ලොකු මහත්තුරු දෙන්නටයි පුංචි මහත්තයටයි කියන්න යන්නෙ සුබ ආරංචියක්..”

අමාලි ප්‍රීතිමත් හඬින් දැනුම් දුන් විට නලින් කුහුලින් හා විමතියෙන් ඇලළුණේය. ඇය පවසන්නට තැත් කරන්නේ කුමක් විය හැකිද? බ්‍රයන් සමඟ විවාහ වන්නට තීරණය කළ බවද? එවැන්ක් අන් කොයි කාට කෙසේ වෙතත් තමාට සුබ පණිවිඩයක් නොවන බව ඔහුට සිතිණ.

“සුබ ආරංචියක්?”

අෂේන් උඩ පැන්නේය.

“හ්ම්..”

“ඔයා ආයෙමත් සැරයක් අපේ ගෙදර හැංගෙනවද?”

උස්ව නැඟි සිනා හඬින් තැඹිලි වෙළෙන්දා පවා ප්‍රමුදිත විය. දහදියෙන් තෙමුණු කෙසඟ මුහුණ මඳකට ආලෝකවත් විය.

“නෑ පැටි‍යෝ... ඔන්න ඔයාගේ ඒන්ජල්ට ජොබ් එකක් ලැබිලා. සෙල්ලම් සේරම නවත්තලා හෙට ඉඳන් වැඩට යන්න ඕන.”

එය බ්‍රයන්ටද අලුත්ම ආරංචියක් වූ වග විස්මිත බැල්ම කියා පෑවේය.

“මොකක්ද ජොබ් එක?”

සුබ පතන්නට පවා අමතක වූ බව බ්‍රයන්ට මෙන්ම නලින්ටද නොහැඟිණ. ඔවුන් විමතියෙන් බලා සිටියා පමණි.

“ඒක මේ පුංචිම පුංචි රස්සාවක්”

“පුංචි හරි ලොකු හරි කියන්නකො බලන්න..”

නලින් බැරෑරුම් හඬින් ඉල්ලා සිටියේය.

“මේ ෂොප් එකක”

ඇගේ ස්වරයෙහි වූයේ රැකියාව පිළිබඳව තවදුරටත් වංහුං නොවිමසන්නයි ඉල්ලීමකි.

“ඔයාගෙ ප්‍රින්සිපල් තාත්තා කැමතිද එකම දුව ෂොප් එකක වැඩ කරනවට?”

සිතට වධ දුන් ප්‍රශ්නය බ්‍රයන් නොපැකිළව ඉදිරිපත් කළේය.

“මම ටොයිලට් හේදුවත් තාත්තට වැඩක් නෑ. මගේ ජොබ් එකෙන් කොහොමද මගේ කෙනෙකුට නම්බුවක් හරි අවනම්බුවක් හරි ඇති වෙන්නෙ?”

ඒ පිළිබඳව ඕනැ තරම් වේලාවක් වාද කරන්නට තමා සූදානම් බව හඟවන බැල්ම නොතැකූ බ්‍රයන් “මේක ලංකාව හලෝ” යි කීවේය.

“ලංකාව නෙමේ මොකක් වුණත් කෙනෙක් ජීවත් වෙන්න ඕන තමුන්ට ඕන විදියට. එක එක්කෙනාට ඕන විදියට ජීවත් වෙනව නම් එතන ජීවිතයක් කොහින්ද..?”

මේ වාද විවාද නොරිස්සූ අෂේන් “අනේ ඇති ඇති” යි කෑගෑවේය.

“ඇති නම් තැඹිලි ගෙඩිය පැත්තකින් තියන්න”

නලින් සිය පුතුට තරවටු කළේය.

“තැඹිලි ගෙඩිය නෙමේ..”

“එහෙනං..?”

“ඔය කතාව ඇති. ඇයි මා එක්ක කතා කරන්නෙ නැත්තෙ..?”

සැණින් රිදුම් දුන්නේ අමාලිගේ සිතය. ඇය කොලුවා වඩා ගත්තාය.

“හරි.. අපි කතා කරමු. කෝ දැං ඔයාගෙ බිග් බොස්?”

“බිග් බොස්?” යි නලින්ද බ්‍රයන්ද විස්මයෙන් තොල් මතුළෝය.

“එයත් ඇහුවා ඔයා කවදද එන්නෙ කියලා..”

“එයා කොහොමද මා ගැන දන්නෙ? එයා මාව දැක්කෙ නෑනේ”

අමාලි ප්‍රශ්න කළේ නෙත’ගින් නලින් දෙස බලමිනි. ඒ නෙත’ග බැල්ම ඔහුග් හද සසල කළේය. හැකි ඉක්මනින් සිරිමාන්න සහ සුනන්දා හමුවී විවාහ යෝජනාව ඉදිරිපත්කළ යුතු යැයි ඔහුට සිතිණ. අෂේන්ට ආදරය කරන මේ යුවතිය අහිමි කර ගත නොහැක. එක් දරු පියෙකු වන තමා බෑනණුවන් ලෙස පිළිගන්නට ඒ දරදඬු විදුහල්පතිවරයා කැමති වන එකක් නැත්තේය. එහෙත් සුන්දර නි‍ෙවසත් සුඛෝපභෝගි වාහනයත් උසස් රැකියාවත් ඒ පළුද්ද අකා මකා දමනවා නිසැකය. ඔහු‍ගේ සිතැඟි නොදත් අමාලි “අනේ කියන්නකෝ අෂේන්... ඔයාගෙ බිග් බොස් කොහොමද දන්නෙ මා ගැන” යි ඇසුවාය.

“තාත්ති තමා කීවෙ.. එයා එන්න බෑ කීවනේ භූතයෙක් ඉන්නවා කියලා. එතකොට තාත්ති කීවා”

බිග් බොස් කවුරුන්දැයි වැටහී ගියෙන් නලින් මඳ සිනාවක් පෑවේය.

“ඔයාට පරක්කු වෙනවද බ්‍රයන්?”

තැඹිලි වෙළෙන්දා සූරා දෙන ලොඳ මහත් කෑදරකමින් ගිල දමමින් බ්‍රයන් හිස දෙපසට සැලුවේය.

“එහෙනම් ඔයා තාත්ති එක්ක යන්නකෝ. අපිත් එන්නම්” යි ඇය අෂේන් බිම තබමින් කීවාය.

“බෑ බෑ.. ඔයා එන්න ඕන අපිත් එක්ක කා එකේ”

ඇය බ්‍රයන් දෙස බැලුවාය.

“හරි හරි ඔයා කා එකේ යන්න. ඔය පුංචි පෝරිසාදයාගෙන් බේරෙන්න බෑනෙ කොහොමටත්” යි ඔහු පැවසුවේ නොමනාපයෙනි.

“එන්න එපා දන්නවද මගේ පුංචි යාළුවාට පෝරිසාදයා කියන්න” යි රවා බලමින් ඇය මෝටර් රියට නැංගාය.

“අමා ඉස්සරහට එන්න” යි නලින් ඉල්ලා සිටියේය.

“බෑ බෑ.. ඒන්ජල් මා එක්ක” පිටිපස අසුනේ හිඳ ගත් අෂේන් කෑගැසුවේය.

“ඔයා කැමති නැද්ද අෂේන් ඔයාගෙ ඒන්ජල්ව හැමදාම අපිත් එක්ක ඉන්නවට..”

වාහනය පණ ගන්වමින් නලින් ඇසූ කල අෂේන් කෙසේ වෙතත් අමාලි කෝපයට පත්වූවාය.

“නවත්තන්න කා එක” යි ඇය දැඩි හඬින් අණ කළාය.

ලබන සතියට‍...

Comments