පොත් සාප්පුව
නගරයේ දී ඔහු මට හමුවුයේ අහම්බෙනි.
‘කොහොමද? කාලෙකිං?‘
ඔහු මගේ අත අල්ලා ගත්තේ ය.
අපි හෙවණකට වී මොහොතක් කතා කළෙමු.
‘මට දරුවට පොතක් ගන්ඩ තියෙනව. යංද පොත් සාප්පුව පැත්තෙ‘ මම කීමි.
‘යං ‘ඔහු කීවේ ය.
අපි කතාබහේ යෙදෙමින් ම පොත් සාප්පුව දෙසට ගියෙමු. සාප්පු දොරකඩ ඔහු නතර විය.
‘මම මෙහෙම ඉන්නං..ඔයා ගිහිං එන්ඩ“ ඔහු කීවේ ය.
ඔහු වෙතින් පළවූයේ පොත් සාප්පුව තුළට යෑමේ අකැමැත්තකි. ළමාපොත් රචකයෙකු ද වන ඔහු ගේ ප්‍රතිචාරය මා තුළ තරමක පුදුමයක් ජනිත කළේ ය.
‘හොඳයි මං ඉක්මනට එන්නං‘ කියමින් මම සාප්පුව තුළට වැදුණෙමි. මා බලාපොරොත්තුව සිටියේ දරුවා ගේ පොත මිල දී ගත් පසු විනාඩි කිහිපයක් පොත් අතර ගත කර මට කියැවීමට ද හොඳ පොතක් තෝරා ගැනීමට ය. එහෙත් ඔහු එළියේ සිටිද්දී එය කළ නොහැකි ය. එබැවින් දරුවා ගේ පොත මිල දී ගත් හැටියේ ම මම එළියට ආවෙමි.
‘කෝ මොකක්ද ගත්ත පොත?‘ ආපසු යන ගමන් ම ඔහු මා ඇමතුවේ ය. මම එය ඔහු අත තැබීමි. ඒ වූ කලී සම්භාව්‍ය ඉංග්‍රීසි සාහිත්‍ය කෘතියක් අනුව ලියන ලද ලුහුඬු ප්‍රබන්ධයකි..
‘මේ පොත හොඳයි‘
ඔහු එය ආපසු දෙන ගමන් කීවේ ය. ‘ඔය වගේ ම අපිත් හොඳ සිංහල පොතුත් දරුවන්ට කියවන්ඩ දෙන්ඩ ඕනැ. එතකොට තමයි දරුවන්ගෙ රසවින්දනය පුළුල් වෙන්නෙ. විදේශ සාහිත්‍යයයි දේශීය සාහිත්‍යයයි හරියට කෙනෙකුගෙ අත්දෙක වගේ‘ ඔහු කෙටි විග්‍රහයක්ද කළේ ය.
‘අපි කාලෙකින්නෙ හමු වුණේ. මතකද අපි ඉස්කෝලෙදි එහා වත්තෙ වැටිච්ච පොල් ගෙඩි අහුලගෙන ඇවිත් ලෙලි ගහල පාංගෙඩියකුත් ගෙනත් පොලුයි පානුයි හොරෙං කාපු හැටි‘ ඔහු මා ඈත අතීතයට ගෙන ගියේ ය. ‘ඔව් , මතක්වෙන කොටත් ඒ කිරි රහ කටට දැනෙනව වගේ‘ මම කීමි.
‘එහෙනං අද ඔයාට සලකන්ඩ මට ඉඩ දෙන්ඩ. පානුයි පොලුයි නැති හින්ද අපි වෙන දෙයක් කමු. කේක් කෑල්ලක් කාල කූල් එකක් බොනවද? බනිසයක් කාල ටී එකක් බොනවද? වඩයක් කාල ප්ලේන්ටියක් ගහනව ද?‘ ඔහු අප ඉදිරියේ වූ හෝටල කිහිපය දක්වමින් විහිළුවක් ද කළේ ය.
පාර පැන ගත් අප සයිවර් කඩේට ඇදුණේ ඉබේ ම ය.
වඩයක් හපමින් කතාවේ යෙදෙන අතර ම මම ඔහු පොත් කඩයට ගොඩ නොවූ හේතුව විමසීමි. ඔහු ඊට හේතුව පැහැදිලි කළේ ය. ඒ මෙසේ ය.
දිනක් උදෑසන ඔහු අලුත නිකුත් වූ සිය ළමා පොතේ පිටපත් දහයක් ද රැගෙන ගෙදරින් එළියට බැස්සේ එහි ප්‍රචාරක කටයුතු පිණිස මාධ්‍ය ආයතන කිහිපයකට ලබා දීමට ය. නගරයේ දී ඔහුට අහම්බෙන් අද මා හමු වූවා මෙන් එදින ද වෙනත් මිතුරකු මුණගැසී තිබිණ.
‘උඹේ පොත මේ සාප්පුවට දැම්මෙ නැද්ද?‘ මිතුරා අදාළ පොත් සාප්පුව පෙන්නා විමසුවේ ය. මමිතුරා නැතැයි කීවේ ය. එහි හිමිකරු තමාගේ මිතුරකු බව කී හෙතෙමේ මමිතුරා ද ඇදගෙන එහි ගියේ ය. ඔවුන් ගොස් තිබුණේ පොත් සාප්පුවට අල්ලපු සාප්පු බඩු සාප්පුවකට ය. ඒ දෙකේම හිමිකරු එක ම පුද්ගලයා විය. ඒ වන විට සාප්පුකරු සිට ඇත්තේ බුදුන් වඳිමිනි. දෙදෙනා දුටු ඔහු මදක් රැඳී සිටින ලෙස ඉඟියෙන් පවසා සිය කාර්යයෙහි යෙදුණේ ය.
ටිකකින් සාප්පු හිමියා ඔවුන් වෙත ආවේ සිනා වතිනි. මිතුරා සාප්පුකරුට පොතක් දී අවශ්‍යතාව කී විට ඔහු එය පෙරළා බැලුවේ ය.
‘මේක හොඳ පොතක්නෙ . මේකෙං පිටපත් දහයක් සාප්පුවට දීල සල්ලි ඉල්ල ගන්ඩ ‘ යැයි සාප්පු කරු කීවේ පොතද ආපසු දෙමිනි. ඔහුට ස්තුති කළ දෙමිතුරෝ පොත් සාප්පුවට ඇතුළු වූහ. එහි මුල් පුටුවේ හිඳ සිටියේ මැදිවියේ මහතෙකි. ඔහු මිතුරන් කී කතාව අසා පිටපත් දහය ගෙන වෙළද වට්ටම අඩු කොට මිල ගෙව්වේ ය.
ඉන් හරියට ම දෙසතියකට පසු අර මැදිවියේ මහතාගෙන් ම මිතුරාට දුරකථන ඇමතුමක් ආවේ ය.
‘මහත්තය, අර පොත හොඳයි. පිටපත් සේරම විකිණුණා. මහත්තයට පුළුවන්ද තව පිටපත් විසිපහක් ගෙනත් දෙන්ඩ?‘
මමිතුරා පසු දා ම සතුටින් ඒ කටයුත්ත ඉටු කළේ ය.
‘හරි මහත්තය. මේක විකිණිච්චහම මං මහත්තයට කෝල් එකක් දෙන්නං. එතකොට ඇවිත් සල්ලි ගන්ඩ පුළුවන්නෙ‘
‘හොඳයි. මට බිලක් දෙන්ඩ!‘
‘මේ වගේ පුංචි වැඩකට බිලක් ඕනැ නෑ. මේක මොකක්ද? අපි අපිනෙ!‘
ඉන් හාරපස් මසකට පසු මමිතුරා පොත් සාප්පුවට ගොඩ වැදී පොතෙහි තත්වය විමසුවේ ය.වැඩ කරමින් සිටි සේවිකාව කීවේ පොත් සියල්ල විකිණී අවසන් බව ය. සතුටට පත් මමිතුරා මැදිවියේ මහතා වෙත ගොස් පොත් විකිණී ඇති බැවින් මුදල් දෙන්නැයි ඉල්ලා සිටියේ ය.
‘හොඳයි මං සල්ලි දෙන්නං. බිල දෙන්ඩකො!‘
‘ඔයා මට බිලක් දුන්නෙ නෑනෙ. ඒ හින්ද මා ළඟ බිලක් නෑ‘
‘එහෙම වෙන්ඩ බෑ මහත්තය!‘
‘නොදුන්න බිල් කොහෙන්ද ගෙදරට? මං ඉල්ලද්දිත් ඔයා බිලක් දුන්නෙ නෑ‘
‘බිල් නැතුව කොහොමද මේ වගේ ව්‍යාපාර කරන්නෙ? ඔයා බිල ගේන්ඩ. ගෙනාවම සල්ලි දෙන්නං‘
මමිතුරා කේන්තියෙන් දැවුණේ ය. එහෙත් කලබල කිරීම තමාට නොගැළපෙන බව තේරුම් ගත් ඔහු හිත හදාගෙන එළියට බැස්සේ ය.
අපි සයිවර් කඩයෙන් එළියට ආවෙමු.
‘මේ වගේ දේවල් හිතේ තියාගෙන ඉන්ඩ හොඳ නෑ. එතකොට සංසාරෙ දික්වෙනව. කොච්චර අමතක කරන්ඩ හැදුවත් මට කරපු ඒ අවමානෙ අමතක කරන්ඩ තාමත් මට බැරි වුණා‘ මමිතුරා කීවේ ය.
අනන්‍යතාව සඟවා සිටීමට කැමැති සිළුමිණ පඨකයෙකු විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.
නෙළුම්විල
සිළුමිණ,
ලේක්හවුස්,
කොළඹ 10.