ගෘහ සේවයෙන් පටන්ගෙන පුදුමාකාර ලෙස ජීවිතය ජයගත් “වොන්ඩර්ෆුල් ලේඩි” | Page 2 | සිළුමිණ

ගෘහ සේවයෙන් පටන්ගෙන පුදුමාකාර ලෙස ජීවිතය ජයගත් “වොන්ඩර්ෆුල් ලේඩි”

මඟතොට යන විට හන්දියක් හන්දියක් ගානේ අපට හමුවන්නේ “බියුටි සැලුන්ය”. මේ රූපලාවණ්‍යාගාර කොතෙක් දුරට නියමිත ප්‍රමිතියන්ගෙන් යුක්තද යන්න තක්සේරු කිරීම අසීරුය. ආවාට ගියාට රූපලාවණ්‍ය කිරීමට නොදැන වෙදකම් කීරිමක් බදුය. මීට කලකට පෙර මෙන් ම මෑත කාලයේදි රූපලාවණ්‍යාගාරවලට යෑමෙන් විවිධ අනතුරුවලට මෙන්ම ජීවිත හානිවලට පත් සිද්ධීන් අසන්නට ලැබිණි. කෙසේ වෙතත් අද වන විට රූපලාවාණ්‍යාගාර ආරම්භ කිරීම සුලබව දක්නට ලැබුණ ද මීට කලකට පෙර එය ආවාට ගියාට කළ වෘත්තියක් නොවිණි. හොඳ හැදෑරීමකින් පසුව රූපලාවණ්‍ය ක‍්ෂේත්‍රයට පිවිසි ඇත්තෝ තවමත් මේ ක්ෂේත්‍රයේ නම රඳවාගෙන සිටිති. එවන් වූ පරිසරයක් තුළ අපට හමු වන ඇය රූපලාවණ්‍ය ශිලිපිනියක පමණක් නොව ගුරුවරියක ලෙසින් ද කටයුතු කරන්නියකි.

ඇය පැමිණි ගමන රෝසමල් ඇතිරූ මාවතක් නොවේ. ජීවිතේ බොහෝ දුක් කම්කටොලු විඳිමින් ඉදිරියට පැමිණි ඇය ශීලා පෙරේරාය. නව දෙනෙකුගෙන් යුත් පවුලේ පස්වැන්නා වූ ශීලා බාල වියේදි නිදහස් ජීවිතයක් ගත නොකළාය. ගැහැනියක වුවද නොපසුබට උත්සාහයෙන් ඇය සිය ඉලක්කය කරා පැමිණියාය. දුක දිනා ජීවිත ජය ගත් ඇය අතීතය සිහි කරන්නේ මෙලෙසිනි.

“මම උපන්නෙ පාණදුරේ. මගේ අම්මා තාත්තා දෙන්නගෙම ගම පාණදුරේ වුණත් අපි හැදුණේ වැඩුණේ කඩවත. පවුලේ දරුවන් ඔක්කොම නව දෙනෙක්. පිරිමි මම පවුලේ පස්වැනියා. මගේ අම්මා ගුරුවරියක්. තාත්තා පොලිස් නිලධාරියෙක්. පවුලේ දරුවන් වැඩි නිසා බාල කාලයේ පටන්ම පවුල වෙනුවෙන් මටයි මගේ වැඩිමල් සොහොයුරියටයි වැඩි වගකීමක් දරන්න සිදු වුණා. එනිසා මගේ ළමා කාලය දුෂ්කර එකක් වුණා. අම්මා පාසලට යන නිසා බාල සහෝදරයන් බලා ගත්තේ අපි. මගේ අක්කා ගෙදර ඉවුම් පිහුම් වැඩවලට යොමු වුණා. මම ගෙවල් දොරවල් අස්පස් කරලා අතුපතු ගාලා පිළිවෙළට තියා ගන්නත් සහෝදරයන්ව බලා ගන්නත් පුරුදු වුණා. ගෙදර වැඩ කළා කියලා මම ඉගෙනීම මඟහැරියේ නැහැ. බොහෝම කැප වීමෙන් අධ්‍යාපන කටයුතු කළ නිසා මම සාමාන්‍ය පෙළ හොඳින් සමත් වුණා.”

ශීලා තම බාල කාලය ගැන පවසන්නේ සතුටිනි. වගකීම් නැමැති අභියෝගය නිසා බාල වියේ සිටම ජීවිතයට මුහුණ දෙන්නට ඇයට හුරු වූ බැවිනි.

“ කුඩා කාලයේදී අපට අම්මාගෙන් තාත්තාගෙන් ලැබුණු සෙනෙහස අඩුයි. අම්මත් තාත්තත් කාර්යය බහුල ජීවිත ගත කළ නිසා. මගේ තාත්තා පොලීසියේ සේවය කළ නිසා නිතර ම ගෙදර රැඳුණේ නැහැ. හැම සෙනසුරාදාම උදේ හත වෙනකොට ගෙදර හැමෝගෙම රෙදි අරගෙන මම ළිඳට යනවා. රෙදි කන්ද හෝදලා ගෙදර එනකොට දවල් එකත් පහු වෙනවා. ගෙදර පරිසරයට පමණක් සීමා වී සිටි නිසා සමාජයේ ජීවත් වෙන්නේ කොහොමද කියලා අත්දැකීමක් මට තිබුණේ නැහැ. ඒ වුණත් මම හැමදේම අභියෝගයක් විදියට බාරගත්තා. මගේ හිතේ හීනයක් තිබුණා. ඒ තමයි ඉහළට යන්න ඕන, හොඳට දියුණු වෙන්න ඕන කියලා. ඒ හීනය සැබෑ කරගන්න තමයි මම හැම විටම උත්සාහ දැරුවේ. මගේ අම්මට මුදල් අඩුපාඩුකම් තිබුණා. අම්මට සල්ලි සොයා දෙන්න පුංචි මමත් උදව් වුණා.

අපිට තිබුණා ඒ කාලෙ සීනි සලාකයක්. පොතට සීනි ලැබුණා. අපි ඒවා විකුණා මුදල් කරගත්තා. මම තමයි සීනි විකුණන්න යන්නේ. මම සීනි අරන් එනකොට සෙනඟ කියනවා අන්න පොඩි ළමයා එනවා. එයාගෙන් සීනි ගන්න කියලා. මම පොඩි ළමයා වුණාට කවදාවත් අඩු මුදලට සීනි විකුණුවේ නෑ. මම මගේ ගානට ආවාම තමයි සීනි විකුණුවේ. ඒ ලැබෙන සල්ලි දුන්නේ අම්මගේ අතට” ළමා විය එසේ ගෙවුණ දඇය මුල් තැන දුන්නේ අධ්‍යාපනයටය. දිරිය තරුණියක වන ශීලා සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු තම නැන්දනිය ගේ මඟ පෙන්වීම මත රූපලාවණ්‍ය කලාවට යොමුවන්නීය.

“මගේ නැන්දා ඒ වන විට එෆ්.ආර්. සේනානායක මහතාගේ නිවෙසේ සේවය කරමින් සිටියේ. ඇය මටත් කතා කරලා කිව්වා රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට යොමුවෙන්න. ඔයාට හොඳ අනාගතයක් හදාගන්න පුළුවන් කියලා. නැන්දාගේ උනන්දු කිරීම නිසාම මම ඒ ක්ෂේත්‍රයට සම්බන්ධ වණා. ඒ අතරම මම නැන්දා සමඟ සේනානායක මහතාගේ නිවෙසට ගියා. නැන්දාගේ වැඩවලට උදව් වුණා. අපේ නැන්දා තමයි ඒ නිවසේ හිටිය තරුණ ළමයින්ට රූපලාවණ්‍ය කළේ. මම ඒවා දිහා බලාගෙන හිටියා. අත්උදව් දුන්නා. ඒ වන විට මට හැඟීමක් ඇතිව තිබුණා රූපලාවණ්‍ය ක‍්ෂේත්‍රයෙන් ඉහළට යන්න පුළුවන් කියලා. මම රූපලාවණ්‍ය කළා. දවසින් දවස අහල පහල අය මා සොයාගෙන ආවා. ක්‍රමයෙන් මගේ රැකියාව දියුණු වුණා.

ඒ කාලේ මගේ වයස අවුරුදු 16 ක් විතර ඇති. එෆ්.ආර්. සේනානායක මහතාගේ වැඩිමල් දියණිය සුරංගනී මහත්මිය මට රූපලාවණ්‍ය ගැන වැඩිදුර ඉගෙන ගන්න ශිෂ්‍යත්වයක් ලබා දෙන්න ඉදිරිපත් වුණා. ඒ එංගලන්තයට ගිහිල්ලා ඉගෙනුම ලබන්න. නමුත් මට හිතුණා ඒ ඊට අවස්ථාව නොවෙයි කියලා. ඒ නිසා මම ශිෂ්‍යත්වය භාර ගත්තේ නැහැ. මට ජීවිතයේ ඉලක්කයක් තිබුණා. මට ඕන වුණ් ඒ ඉලක්කය සපුරාගන්න. මනුෂ්‍යයන් විදිහට අපි කෙනෙකුට කරදර නොකර ජීවත් වෙන්න බලන්නට ඕන කියන එක තමයි මගේ ඉලක්කය වුණේ. මගේ හැකියාවන්ගෙන් වැඩක් කරන්නයි.

මම කවදා හරි පිටරට ගිහින් මේ ශිල්පය හදාරනවා නම් මගේ උත්සාහයෙන් පමණයි කියලා හිතාගෙන හිටියේ. ඒ දේ මම කරන්නේ කොහොමද කියලා මට ක්‍රමවේදයක් තිබුණා.

විදේශයක ඉගෙන ගැනීමට නම් ඉංග්‍රීසි හොඳින් දැන සිටිය යුතුයි. මම ඉංග්‍රීසි භාෂාව ටිකක් දැන සිටියා. මගේ දැනුම වඩාත් හොඳ මට්ටමක තබාගැනීම සඳහා මම ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීමට යොමු වුණා.

ඒ අනුව මම කළේ මගේ ඉංග්‍රීසි අධ්‍යාපනය මුලින්ම හදාගන්න එක. ඉතාම අමාරු තැනින් පටන්ගෙන මම ඉක්මනින් ඉංග්‍රීසි භාෂාව ගොඩනඟා ගත්තා. එය මට පහසු කාර්යක් වුණේ නැහැ. ඒ කාලේ මට‍ පොඩි මෝටර් සයිකලයක් තිබුණා. මේකෙ තමයි නිතර ම කොළඹ ගියේ ආවේ. මගෙ තාත්තා මට කිව් දෙයක් තමයි ඔයා ගෑනු ළමයෙක් වුණාට ඔයා කැමති දේ කරන්න කියලා. එනිසා තමයි මම වාහන පදවන්න පුරුදු වුණේ. මේ අතර මම ලංකාවේ ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පී ශිලිපිනියන් සමඟ වැඩ කරමින් රූපලාවණ්‍ය කලාව ප්‍රගුණ කළා.”

ඇය අධිෂ්ඨානශීලීය. ඇය උත්සාහවන්තය. එකම ඉලක්කයක් කරා යොමුව සිටි ඇය ඉදිරිය සැලසුම් කළාය.

“මම ඉන්දියාවට, සිංගප්පූරුවට ගියා. රූපලාවණ්‍ය ගැන ඉගෙන ගත්තා. අදටත් මම මගේ ඉගෙනීම අත්හැරලා නැහැ.” ඇය පවසන්නේ අධිෂ්ඨානශීලීවය.

“මගේ අරමුණ වුණේ කවදා හරි ස්වඋත්සාහයෙන් එංගලන්තයට ගිහින් රූපලාවණ්‍ය ශිල්පය හැදෑරීමයි. එංගලන්තයට යෑම ඒ කාලෙ අපි වගේ අයට හීනයක්. මොකද වීසා ගැනීම අසීරුයි. එතරම් මුදලක් හොයාගන්න බැහැ. උදව් කරන්න අය හිටියත් ඒ උපකාර ගන්න මම කැමැති වුණේ නැහැ. මම ග්‍රීසියට ගියා. ඒ ගෘහ සේවය සඳහා. ඒ ගෙදර අය මට හුඟක් කැමැති වුණා. ඔවුන් මට කතා කළේ ‘වොන්ඩර්ෆුල් ලේඩි’ කියලයි. එම ග්‍රීක පවුලට මගේ සේවය නිම කරලා යන විට ඔවුන් මගෙන් ඇහුවා ඔබට මොන රටට ද යන්න ඕන. ඔවුන් කිව්වා ඕනෑම රටකට යන්න උදව් කරන්නම් කියලා. ඒ වන විට මට ග්‍රීක සහ ඉංග්‍රීසි භාෂාවන් කතා කරන්න හොඳට පුළුවන්. මම එංගලන්තයට යන්න කැමතියි කිව්වා. ඔවුන් මට ටිකට් එක අරන් දුන්නා.මේ අතර මම සුරංගනි මහත්මියට කතාකරලා කිව්වා මම දැන් රූපලාවණ්‍ය ශිෂ්‍යත්වය ලබාගන්න සූදානම්, මට ලන්ඩනයේ රූපලාවණ්‍ය ඇකඩමියේ සාමාජිකත්වය ගන්න උදව් කරන්න කියලා. ඇය ‍මට පෙරළා උදව් කළා.”

ඇය සිය සිහිනය සැබෑ කරගැනීම සඳහා මාර්ගය සකස් කර ගත්තේ එලෙසිනි. ලන්ඩනයේ ගත කළ කාලය ඉතාම දුෂ්කර කාල වකවානුවක් විය. ඒ ආර්ථිකය ශක්තිමත් නොවීම නිසාය. ඇයත් සමඟ ඉගෙනුම ලබන මිතුරු මිතුරියන් විවේකයේදි විනෝද වන විට ඇය ඔවුන් මඟ හැර ගියාය. ඔවුන් සමඟ කෝපි කෝප්පයක් බොන්න තරම්වත් මුදලක් ඈ සතු නොවූ නිසාය. එවකට ඇය නවාතැන්ගෙන සිටියේ එංගලන්තයේ සේනානායක පවු‍ලේ නිවෙසකය. එම නිවසේ ශීලා වෙනුවෙන් කාමරයක් වෙන් වී තිබිණි.

“මම හැකි හැම වේලාවෙම ඔවුන්ගේ ගෙදර වැඩ කරදුන්නා. ඒ වගේම ඔවුන්ගේ උදව් උපකාර ඇතිව මගේ අධ්‍යාපන කටයුතු සමබරව කරගනෙ ගියා. අවසානයේදි මම කොලෙජ් එකේ ඉහළම ලකුණු ලබාගත්තා.”

“සුරංගනී සේනානායක මහත්මියගේ මහත්තයා මහාචාර්ය වෛද්‍යවරයෙක්. එංගලන්තයේ රූපලාවණ්‍ය ක්ෂේත්‍රය හදාරන විට දී මානව ශරීරයේ සෑම අංශයක් ගැනම ඉතා හොඳින් හැදෑරිය යුතුයි. එහිදී උගන්වන සමහර වචන තේරුම්ගැනීම අපහසුයි. මම ඒ නොතේරෙන තැන් අසා ගත්තේ සුරංගනී මහත්මියගේ සැමියාගෙන්. ඔහු මට ගුරුවරයෙක් වුණා කිව්වොත් නිවැරැදියි. මට නොතේරුණ හැම පාඩමක් ම කියලා දුන්නේ එතුමා.”

ශීලාගේ කැප වීම කිසි විටෙකත් අපතේ නොගියේය. ඇය ලන්ඩන් ඉන්සිටියුට් ඔෆ් බියුටි කල්චර් ඇකඩමියෙන් පිරිනමන උපාධිය සම්මානයක් සහිතව සමත් වන්නීය.

ඉන්පසු එංගලන්තයේ වසර කිහිපයක් ම රූපලාවණ්‍ය කටයුතුවල නිරත වූ ඇය පසුව ලංකාවට පැමිණියාය. එංගලන්තයේ සිටින කාලයේ ඇගෙන් සේවය ලබාගැනීමට පැමිණි එරට කාන්තාවන් ඇය හැඳින්වූයේ “යු ආ වොන්ඩෆුල් වුමන්” කියාය.

ලංකාවට පැමිණෙන ශීලා පෙරේරා යළිත් විදෙස් ගත වෙන්නේ කොණ්ඩා මෝස්තර සැලසුම් ශිල්පය හැදෑරීමටයි. එයත් උසස් ලෙස නිම කරන ඇය නැවත ලංකාවට පැමිණ බත්තරමුල්ල ප්‍රදේශයේ තම පළමු රූපලාවණ්‍යාගාරය අරඹන්නේ “ශීලා ශ්‍රි බියුටි’ ඇකඩමි ලෙසයි.

“මම මගේ ව්‍යාපාරය පටන්ගැන්මට ප්‍රථම ක්‍යුමර් සමාගමේ රූපලාවණ්‍ය උපදේශිකාවක ලෙස ඉගැන්වීම සිදු කළා.

බත්තරමුල්ල ප්‍රදේශයේ ඉතා කුඩා කාමරයකයි මම මුලින්ම රූපලාවණ්‍යාගාරය ඇරඹුවේ.

“එදා මගේ රූපලාවණ්‍යගාරයේ කුලිය රු. 2500යි. ගොඩනැගිල්ල අයිති වෛද්‍යවරියකට. ඇය මගෙන් ඇහුවා මේ මුදල ඔබට ගෙවන්න පුළුවන්ද කියලා. අවුරුදු 10ක් විතර එතැන අපි හිටියා. ඉන්පසුව බත්තරමුල්ලේ සුභූතිපුර වෙනත් තැනකට ආවා. අද වන විට මගේම කියලා ස්ථානයක තමයි රූපලාවණ්‍යාගාරය පවත්වාගෙන යන්නේ.” ඇය පවසන්නේ සතුටිනි. එදා සිට අද දක්වාම තමා වෙතින් රූපලාවණ්‍ය කටයුතු සිදු කරගන්නට පැමිණෙන ගනුදෙනුකරුවන් ගැන සිහිපත් කරන්නේ ගෞරවයෙනි.

“2002 දි ඔස්ට්‍රේලියාවට ගියා. ඒ ව්‍යාපර අධ්‍යාපනය විෂය හැදෑරීම සඳහා. මේ අතරවාරයේදී තමයි මට මගේ සහකරුවා හමු වන්නේ. ඔහු මේ වන විට මට හොඳ සහයෝගයක් ලබා දෙනවා.

ඕස්ට්‍රේලියාවේත් මම රූපලාවණ්‍යාගාරයක් ආරම්භ කළා. එයත් හුඟක් ජනප්‍රියයි.

Comments