ශ්‍රී ලංකා පැරැණි මෝටර් රථ හිමියන්ගේ සංගමයේ වාර්ෂික ‘ගාලු සවාරිය’ ලබන 24 සහ 25 දෙදින පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.
සභාපති නීල් ෆර්නැන්ඩු |
අඩපණ වී ඇති සංචාරක ව්‍යාපාරය, යළි නැංවීමත් සංචාරක ආකර්ෂණය අද්දවා ගැනීමත් මෙවර පැරැණි කාර්, ගාලු සවාරියේ අරමුණයි. දළදා පෙරහර නැරැඹීමට පැමිණි බහුතර සංචාරකයින් තවමත් රට තුළ රැඳී හිඳින මෙම කාල සීමාව තුළ මෙවරත් ගාලු කොටුව දක්වා රැලිය පැවැත්වීමට, සංගමය තීරණය කර ඇත. ගාලු කොටුවේදි රැලිය පවත්වනුයේ මෝටර් රථ හිමියන් එම මෝටර් රථ අයත් පැරැණි යුගයන්ට අයිති පැරැණි ඇඳුම් ආයිත්තම්වලින් සැරසී වීම, මෙහි විශේෂත්වයකි. පැරැණි ඔස්ටින් 7, ඔස්ටින් හෙවි ක්ලිෆ්ටන්, ඔස්ටින් බිග් සෙවන්ස් සහ ටෙන්ස්, වොක්ස්හෝල් සහ වූස්ලි ෆ්ලයින් ස්ටෑන්ඩර්ඩ් සමඟ ලෝක යුද්ධයට පෙර හා පසු යුගවලට අයත් ඔස්ටින්, බෙන්ස්, මොරිස් පර්ජෝ සහ වෝක්ස්වැගන් ආදි පෞරාණික මෝටර් රථ රැසක් මෙවර රැලිය ආලෝකමත් කරන බව, සංගමයේ සභාපති නීල් ෆර්නැන්ඩු මහතා පවසයි. ලබන 24 වැනි සෙනසුරාදා උදේ 7.00ට මොරටුව - රාවතාවත්ත වේල්ස් කුමාර විදුහල ඉදිරිපිටින් පටන් ගන්නා යුගයක් එකලු කළ මෙම රථ පෙරහර නැරැඹීමට, ගාල්ල දක්වා ගාලු පාර දෙපසට පැමිණෙන්න යැයි, ඔවුන් සැමට ආරාධනා කරයි.