දෙවියන් පිළිබඳ මිනිස් සිත්හි ඇති විශ්වාසය සුළුපටු නොවේ. මිනිසාට දේව සංකල්පය පිළිබඳ යම් විශ්වාසයක් පහළ වූයේ බ්‍රාහ්මණ යුගයටත් පෙර වූ උපනිෂද් යුගයටත් පෙර බව බ්‍රාහ්මණ වේද ග්රන්ථයන්හි සඳහන් වෙයි. මිනිසා තුළ ඇති වූ මේ දේව සංකල්පයට වඩා වැදගත් වන්නේ මිනිසුන් තම එක් එක් කාර්යයන් සඳහා වෙන වෙනම දෙවිවරුන් තෝරා ගෙන සිටීමය.
ඔවුන් තම කාර්යයන් සඳහා එක් එක් දෙවියන් තෝරා ගත්තේ කුමන පදනමකින්ද යන්න සිතා ගැනීම පවා අසීරුය. සියලු දෙවිවරුන් අතරින් මේ කතා කරන දෙවියා දඩයමට අධිපති වූ දෙවියෙකි.
මුලතිව් ඔඩ්ඩුසුඩාන් වැසියෝ එම දෙවියන් හඳුන්වන්නේ ඊශ්වර දෙවියන් වශයෙනි. ඒ දෙවියන් වෙනුවෙන් ඔඩ්ඩුසුඩාන් කැලයේ ඇති දේවාලය තානේඊස්වර දේවාලයයි. ඉතා කෙටියෙන් මේ මිනිසුන් මේ දේවාලය හඳුන්වන්නේ කැලේ දේවාලය වශයෙනි.
කැලේ දේවාලයේදී දෙවියන් උදෙසා කෙරෙන දේව පූජා දේව කර්ම දිනපතා නිතිපතා සිදු වූවත් මිනිසුන් විසින් දෙවියන් උදෙසා වූ බාර හාර ඔප්පු කිරීම වෙන් වන්නේ වසරකට දින හතක කාලයකට පමණි.
දඩයමට අධිපති දෙවියා
අප විසින් සමරනු ලබන ඇසළ පෝයත් සමඟ මේ ගෙවන්නේ ඒ බාරහාර ඔප්පු කරන සතියයි. සතියම බාර හාර ඔප්පු කිරීම සදහා වෙන් වූවත් බාර ඔප්පු කිරීමට පූජාව පටන් ගන්නේ මේ වෙන් වූ සතියේ පස්වරු හයයි හතළිස් පහත් හතත් අතර කාලයයි.
මෙවර කැලේ දේවාලයේ බාර ඔප්පු කිරීමට පැමිණ සිටි පිරිස කැලේ දේවාලයේ සිදුවන මේ අරුම පුදුම බාර ඔප්පු කිරීම ගැන කතා කළේ මේ අන්දමටයි.
''මේ දේවාලේ ඉතිහාසය කොච්චර කලක්ද කියලා දන්නේ නෑ. අපේ සීයලා මුත්තලාගේ කාලේ ඉඳලා මේ දේවාලේ තිබුණලු. අපි දන්න විදිහට මේ දේවාලෙට ඉස්සර මිනිස්සු බාර වෙලා තියෙන්නේ ඔවුන්ගේ දඩයම් සාර්ථක වෙන්න කියලයි.
මුල් කාලවලදී මිනිස්සු දඩයමේ ගිහින් තියෙන්නේ තුවක්කු අරගෙන නෙමෙයි. බල්ලොත් එක්කයි. වැඩියෙන්ම දඩයම් කරලා තියෙන්නේ තලගොයි හාවන් මීමින්නන් කබල්ලෑවන් වගේ සත්තු. බල්ලන් ලවා ගෝන්නුත් මුවනුත් දඩයම් කරලා තියනවා.
ඉතින් එහෙම මහ කැලේට යනකොට මේ දේවාලෙට ගිහිං වැඳලා කොළ අත්තක් එල්ලලා බාර වෙලා තමයි ගිහිං තියෙන්නේ. මෙහෙම බාර වෙලා ගිය කිසිම කෙනෙක් වල් ඌරන් මරන්නේ නැහැ.
එහෙම කළාම අතරමඟදි කොටියෙක් ඇවිත් ඒ දඩයම් කළ කෙනා කාලා දානවා කියලයි අපි පරම්පරාවේ අයගෙන් අහලා තියෙන්නේ.
කොහොම හරි ඒ කාලේ මිනිස්සු හැමදාම දඩයමේ ගියත් මේ වගේ අවුරුද්දකට එක සැරයක් බාර ඔප්පු කරන්න තියන දවසේ තමයි බාර ඔප්පු කරන්නේ. ඒක තමයි සිරිත.
කැලේ දේවාලේ ඉන්න පූසාරීවරු කවද්ද දිනේ කියලා දැනුම් දෙනවා. එදා ඉඳලා මස් මාළු කන්නේ නැහැ. බාර ඔප්පු කරන මුළු සතියෙම හවසට ඇවිත් බාර ඔප්පු කරන මංගල්ලෙට සහභාගි වෙනවා.
දෙවියන් ඉදිරියේ වෙස්වළාගෙන
මේ බාර ඔප්පු කරද්දි දෙවියන්ට මේ කවුද කියලා හඳුනා ගන්න බැරි විදිහට දඩයක්කාරයකු විදිහට වෙස්වළා ගෙන ඇවිත් තමයි මේ බාර ඔප්පු කරන්නේ. උඩුකයට මොනවත් අඳින්නේ නැහැ. මුළු ඇඟම වැහෙන්න කොළ අතුවලින් සැරසෙනවා.
මුහුණ හඳුනා ගන්න බැරි විදිහට කළුපාටින් අඳුරු කරනවා .
එහෙම ඉඳන් තමයි මේ බාර ඔප්පු කරන්නේ. මේකෙන් එදා මිනිස්සු බලාපොරොත්තු වෙලා තියෙන්නේ දෙවියන්ට මිනිහා හඳුනා ගන්නට නොහැකි වන අන්දමට දෙවියන් ළඟට යෑමයි. ඒකට හේතුව වන්නේ ඔවුන් දඩයක්කාරයන් වීමයි.
දෙවියන් වුණත් තමන් දඩයක්කරුවො විදිහට සලකනවාට ඔවුන්ගේ කැමැත්තක් නැහැ.
දෙවියන්ට බාර වෙලා තමන්ගේ දඩයම් සාර්ථක කර ගත්තත් ඔවුන් බාර ඔප්පු කරනදාට දෙවියන් රවට්ටනවා.
දෙවියන් කිව්වත් ඒ යක්කු
මුලතිව් දඩයක්කාරයින් කැලේ දේවාලෙට ගිහින් දෙවියන් වැඳලා බාර වෙලා දඩයමේ ගියාට ඔවුන් කැලේදී අදහන්නේ වෙනත් දෙවියෙකුයි.
ඇත්තෙන්ම ඔවුන් කැලේදී අදහන දෙවියන් දෙන්නෙක් හිටියත් ඒ දෙන්නම දෙවියන් නෙමෙයි. ඔවුන් යක්කු. රීරි යකා සහ මහසෝනා කියන දෙන්න තමයි ඔවුන් කැලේදී අදහලා පුද පූජා තබන්නේ. දඩයමක් හරි ගිය ගමන් මුලින්ම කරන්නේ රීරියකාටයි මහසෝනාටයි කොළ අතු එල්ලන එක කියලා තමයි ඉස්සර මුතුන් මිත්තෝ කිව්වේ.
ඊට පස්සේ දඩයමෙන් මරා ගත්ත සතා මස් කරලා හෘදය වස්තුව අක්මාව කියන දෙක අරගෙන එව්වා වෙන් නොවෙන්න හතරට පළනවා.
එහෙම හතරට පළපු සත්තුන්ගේ අවයව දෙක ඒ වෙලේම කපා ගත්ත ලී කෝටු දෙකක ගහනවා. ඒ ලී කෝටු දෙකත් හතරට පළලා ඒ පළපු පැල්ම ඈත් වෙන්න පොඩි ලී කෝටු ගහලා ඒ මල වගේ උඩට හැදෙන එක උඩ තමයි සතාගේ අක්මාවත් හෘදය වස්තුවත් තියන්නේ.
ඉන් පස්සේ එතනම ගිනි ගොඩක් ගහලා ඒ අවයව ගින්නට අල්ලලා රත් කරනවා. පුළුටු ගඳ එනකල් රත් කරලා ආයෙත් ඒ ලී කරු උඩ තියලා දෙවියන්ට පූජා කරනවා.
මේ වෙලාවෙදි ඉස්සර දඩයක්කාරයෝ ඒ යක්කුන්ට කරනකන්නලව් මන්තර තිබිලා තියනවා. ඒත් ඒවා දැන් ඉන්න කවුරුවත් දන්නේ නැහැ.
ඉතින් කැලේ දෙවියන්ට බාර වෙලා ගිහින් දඩයම හරි ගියාට පස්සේ වෙනත් යක්කු ඇදහීම නිසා කැලේ දෙවියන් ගැන ඇතිවෙන බය යන්න තමයි මේ මිනිස්සු ඒ කාලේ කොළ අතු ඇඳගෙන මුහුණු කළු කරලා දෙවියන් ළඟට ඇවිත් තියෙන්නේ. ඔවුන් එහෙම කළේ දෙවියන් මේ අය හඳුනා ගනියි කියලයි. අවසානෙදි දඩයක්කාරයෝ කැලේ දෙවියන්ට බාර ඔප්පු කළේ දෙවියන්ව රවට්ටමිනුයි. ඒක මිනිස්සුන්ගේ විශ්වාසය.
කැලේ දේවාලේ හාස්කම්
අද මුලතිව් මිනිස්සු දඩයම් නොකළත් මේ කැලේ දේවාලේ ඉපැරණි චාරිත්‍ර ඒ ආකාරයටම සිද්ධ කරනවා. ඉතින් මේ බාර ඔප්පු කරන කැලේ දේවාලේ එළිමහනේ තිබුණට බාර ඔප්පු කරන තැන තියෙන්නෙ කැලේමයි. මිනිස්සු කැලේ ඇඳුම් ඇඳගෙන මෙතන ඉන්න කොට පෙනෙන්නේ නැහැ. සමහර පොඩි ළමයි මේ අය දැකලා බය වෙනවා.
යුද්ධ කාලේ මෙහෙම කැලෑ ඇඳුම් ඇඳගෙන බාර ඔප්පු කරන්න ගිහින් ගොඩාක් ඇබැද්දි වුණා. ඒත් බාර ඔප්පු කළා.
මේ කැලේ දේවාලෙට ගොඩාක් බාරහාර වෙන්නේ කාන්තාවො. දරුවන් නැති කාන්තාවෝ තමයි ගොඩාක් බාර වෙන්නේ. මෙතැනින් ඒ අයට ලොකු පිහිටක් තියනවා කියලා ඒ අය කියනවා. කාන්තාවෝ බාර ඔප්පු කරන්න එන්නේ සාමාන්‍ය විදිහට ඇදගෙනයි. ඒ අය කැලේ ඇඳුම් අඳින්නේ නැහැ.
අපි හිතන්නේ මුල් කාලෙදි දඩයම් කරන අය විතරක් මේ කැලේ දේවාලෙට ගිහින් බාර වෙලා දඩයමේ ගිය නිසා ඒ කාලේ බාර ඔප්පු කළේ පිරිමි විතරයි. දැන් කාන්තාවනුත් බාර වෙනවා. අනෙක් කාරණය තමයි දැන් මේ පළාතේ දඩයම් කරලා ජීවත් වෙන අය නැති තරම්. එක්කෙනෙක් දෙන්නෙක්වත් හොයා ගන්න නැහැ. ඒත් පිරිමි කැලේ දේවාලෙට බාර වෙනවා. ඒ බාර ඔප්පු කරනවා.
මේ දේවාලේ වැඳලා මුල් කාලේදි බාර වුණේ දඩයක්කාරයෝ වුණත් පස්සේ පස්සේ තේරුණා මේ කැලේ දේවාලෙ මොනව හරි අමුතු හාස්කමක් තියනවා කියලා. ඊට පස්සේ තමයි දඩයමේ නොයන අයත් මේ දේවාලේ වඳින්න ගත්තේ.
මේ විදිහට බාර ඔප්පු කරන්න දවස් හතක් වෙන් වෙනවා. හත් වෙනි දවසේ රෑට බාර ඔප්පු කරලා කැළේ දේවාලේ ඊශ්වර දෙවියන්ට ලොකූ පූජාවක් තියනවා. ඊට පහුවදා උදේම දේවාලේ ඉස්සරහා කිරි උතුරවලා කිරිබත් හදලා දෙවියන්ට පූජා කරලා ගමේම අයර ඒ කිරිබත් බෙදනවා.
දවල්ට මුළු ගමේම අයටයි එන අයටයි දේව දානය දෙනවා. ඒක උයන්නෙත් මෙතනමයි. කාන්තාවන්ට උයන්න බෙදන්න මොනම වැඩකට වත් එන්න දෙන්නේ නෑ. හැබැයි දානේ කන්න එන්න තහනමක් නැහැ.
මේ දානෙට උයන්නේ මැල්ලුමක්, වම්බටු සහ හොද්දක් විතරයි. බත් කාලා ඉවර වුණාම අතුරුපසට කන්න පායාසම් (සව්, හකුරු, පොල් කිරි, වියළි මිදි යොදා සකසන අතුරුපසකි) හදලා දෙනවා. කැවුම් කෙසෙල් ගෙඩිත් දෙනවා. බිම පැදුරු එළලා කොළවල තමයි කන්න දෙන්නේ.
මේ ක්‍රියාවත් එක්කම කැලේ දේවාලේ බාර ඔප්පු කරන මංගල්ලය අවසන් වෙනවා. නමුත් දවසකට තුන් වතාවක් මේ දේවාලයේ සිදුකෙරෙන අනෙක් දේව කාර්යයන් අවුරුද්ද පුරාම පවතිනවා. ආයෙත් බාර ඔප්පු කරන මංගල්ල සමය එන්නේ ජූලි මාසේ පෝයත් එක්කයි.''
මිනිසා විශ්වය ජයගෙන අවසන් වූවත් වසර දහස් ගණනක් මුළුල්ලේම පැවති දේව සංකල්පයත් දෙවියන් ඇදහීමත් මිනිසා වෙතින් පහව නොයන පරම සත්‍යයකි. ඊට හේතුව වී ඇත්තේ මිනිසාගේ ඉන්ද්‍රියයන්ට ගෝචර වන්නා වූ දෙයින් ලැබෙන යම් යම් දේට හාත්පසින්ම වෙනස් හා බලාපොරොත්තු රහිත දේ නොපෙනෙන බලවේගමගින් මිනිසාට ඉඳහිට හෝ ලැබීමයි. ඔවුන් එය සලකනු ලබන්නේ දෙවියන් විසින් තමන්ට දුන් දායාදයක් ලෙසිනි.
විශේෂ ස්තූතිය-මුලතිව් ඔඩ්ඩුසුඩාන් තනේඊස්වර කෝවිලේ පී. සතාසිවම් හා ඉන්ද්‍රකුමාර් කුරුක්කල්තුමන්ට හා සහ මුලතිව් මුල්ලියාවලෙයි විද්‍යාලයේ විශ්‍රාමික විදුහල්පති එස්. කනගරත්නම් මහතාට.
රසුල දිල්හාර ගමගේ