ව්‍යවසායකයන් බිහි කළ යුත්තේ කුඩා කල සිටමයි | සිළුමිණ

ව්‍යවසායකයන් බිහි කළ යුත්තේ කුඩා කල සිටමයි

කොළඹ වාණිජ මණ්ඩලයේ නව සභාපති වරයා ලෙස සාරංග විජයරත්න මහතා පත් වී තිබේ. පසුගියදා පැවති එම මණ්ඩලයේ වාර්ෂික මහා සභා රැස්වීමේදී 2019-2021 දෙවර්ෂය සඳහා ඔහුව මෙම තනතුර සදහා තෝරා පත් කර ගන්නා ලදී.

කොළඹ විශ්වවිද්‍යාලයෙන් එම්.බී.ඒ උපාධියද, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් අලෙවිකරණය පිළිබඳ ගෞරව උපාධියක්ද හිමි කර ගත් සාරංග විජයරත්න මහතා ශ්‍රී ලංකා අලෙවිකරුවන්ගේ සංසදයේ (SLIM) පූර්ණ සාමාජිකයෙකු ලෙසද කටයුතු කරයි.මේ වන විට ජාතික රූපවාහිනි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කරන්නේද ඒ මහතායි. 2013-2014 වර්ෂ වලදී කොළඹ විශ්වවිද්‍යාලයේ එම්.බී ඒ උපාධිධාරීන්ගේ සංගමයේ සභාපති ධූරයද විජයරත්න මහතා ඉසිලූ අතර අන්තර්ජාතික දැන්වීම් කරුවන්ගේ සංගමයේ (IAA) අධ්‍යක්ෂ ධූරයක්ද ඔහු විසින් හොබවන ලදි.මීට අමතරව හෙතෙම මේ වන විට ශ්‍රී ලංකා කර්මාන්ත හා වාණිජ මණ්ල සම්මේලනයේ (FCCISL) අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකුද ලෙසද කටයුතු කරයි.2015 වසරේ සිංගප්පූරුවේ පැවති ලෝක අලෙවි කරුවන්ගේ සම්මන්ත්‍රණ උපදේශක කමිටු සාමාජිකයෙකු ලෙසද ඔහු ක්‍රියාකර ඇත.

කොළඹ වාණිජ මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස පත් වූ සාරංග විජයරත්න මහතා සිළුමිණ සමග කළ සාකච්ඡාවක් පහත පළ වේ.

මොකක්ද මේ කොළඹ වාණිජ මණ්ඩලය ලෙස හඳුන්වන්නේ. එහි ආරම්භය හා ඉතිහාසය පිළිබඳව දැනුවත් කළොත්...

‍කොළඹ වාණිජ මණ්ඩලය කොළඹ දිස්ත්‍රික්කයේ ව්‍යවසායකයන් වෙනුවෙන් ආරම්භ කරන ලද්දක්. මේ වාණිජ මණ්ඩලය අනෙකුත් වාණිජ මණ්ඩලවලින් වෙනස්. මොකද බොහෝ වාණිජ මණ්ඩලවල ඉලක්කය වන්නේ මහා පරිමාණ ව්‍යාපාරිකයන්. නමුත් අපි අවධානය යොමු කරලා තියෙන්නේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්. ඔවුන්ගේ ගැටලු අවබෝධ කරගෙන ඒවා නිරාකරණය කිරිමයි අපේ අරමුණ වන්නේ.‍

මෙම කොළඹ වාණිජ මණ්ඩලය ආරම්භ වූයේ 2015 වසරේදී යි. ඒ ශ්‍රී ලංකා කර්මාන්ත හා වාණිජ මණ්ඩල සම්මේලනයේ ආශිර්වාදයත් සමඟයි.

එවකට සභාපති ධූරය දරපු අජිත් වතුහේවා මහතාගේ සභාපතිත්වයෙන් තමයි මෙය ආරම්භ වූයේ. ඔහු ප්‍රාදේශීය වාණිජ මණ්ඩලයකින් පත්වූ ‍ප්‍රථම සභාපතිවරයායි. ඔහුට ක්ෂේත්‍රය පිළිබඳ විශාල අත්දැකීම් හා අවබෝධයක් තිබුණා. ව්‍යවසායකින් ගැන. ඔහු තමයි අපව යොමු කළේ. මෙතෙක් අඩු අවධානයක් පවතින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් නගා සිටුවන්නට ඔවුන්ට අත්වැලක් වන්නට ඉදිරිපත් වන්න කියා.

ඔබ මාධ්‍ය ක්ෂේත්‍රයට නෑකම් කියන්නෙක්. එවැනි අයෙකුට කොහොමද මේ සභාපති ධූරය හිමිවන්නේ...‍

කොළඹ වාණිජ මණ්ඩල වාණිජ මණ්ඩල අතර ළාබාල වාණිජ මණ්ඩලයක්. මම එහි තුන්වන සභාපතිවරයායි. මෙහි සභාපති ධූරය අවුරුදු දෙකකටයි ලබා දෙන්නේ පසුගිය ජූනි අට වැනිදා පවත්වපු වාර්ෂික මහා සභා රැස්වීමේදී තමයි මගේ පත්වීම සිදු වුණේ. සභාපති ධූරයට පත් කරන්නේ සාමාජිකයින් විසින්. සාමාජිකයින් වසර ගණනාවක් පුරා තනතුර සඳහා සූදානම් කිරීමක් මුල සිටම සිදු කරනවා. එම සැලැස්මේ මම තුන්වැනියාට හිටියේ. ඒ අනුව නිසි කාලයේ දී සාමාජිකයන්ගේ ඒකමතික තීරණයෙන් තමයි මම සභාපති වුණේ. මගේ නිල කාලය වසර දෙකක් වෙනවා.

ඔබේ නිල කාලය ඇතුළත ඔබ අනුගමනය කරන වැඩපිළිවෙළ, එහෙමත් නැතිනම් සැලැස්ම මොකක්ද විස්තර කළ හැකිද?

කොළඹ වරාය මූලික කොට ගනිමින් හා ලංකාව සහ බාහිර ලෝකය සමඟ සම්බන්ධ වන කේන්ද්‍රස්ථානයක් වන්නේත් කොළඹයි. ලංකාවේ ජීවත්වන සියලුම ජනවර්ග මෙන් ම නියම ආගම් අදහන අයගේ එකතුවක් වන ස්ථානයත් කොළඹයි. මේ නිසා වෙළෙඳ කේන්ද්‍රස්ථානය වීම යන හේතු කාරණා නිසා කොළඹ දිස්ත්‍රික්කය ව්‍යාපාරික වශයෙන් වැදගත් වෙනවා. රටේ ආර්ථික වර්ධනය සඳහා අවශ්‍ය වන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් පෙළ ගැස්වීම හා ඔවුන් සවිබල ගැන්වීමයි. අපේ ඉදිරි වසර දෙක තුළ අරමුණ වෙන්නේ. ඒ සඳහා අලුතින් පත්වූ ‍කණ්ඩායමත් සමඟ එකතුව ඉදිරි වසර දෙකක කාලය තුළ රටට සිදු කළ යුතු කාරණා පිළිබඳ පැහැදිලි අවබෝධයකින් කටයුතු කිරීමයි.

සුළු හා මධ්‍ය පරිමාණ ක්ෂේත්‍රවල ගැටලුවලට විසඳුම් ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා.

මොනවද එම පිරිස් වෙනුවෙන් ඉටු කරන්නේ

සුළු හා මධ්‍ය පරිමාණ ක්ෂේත්‍රවල තියෙන ගැටලු හඳුනාගත යුතුය. ඔවුන්ට තිබෙන ප්‍රශ්නය තමයි මුදල් ආයෝජනය පිළිබඳ ගැටලු. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා මුල්‍ය හා බැංකු සඳහා යොමුවීමේදී දැනුම අඩු බව ගැටලුවක්. ආයෝජනය (ණය) ලබා ගැනීම, ලබා ගන්නා මුදල ප්‍රතිඵලදායි ලෙස ආයෝජනය කිරීම, ණය ගෙවීම, යන අවස්ථා තුනදීම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ප්‍රශ්න තිබෙනවා. කිසිම ව්‍යවසායකයකුට බැංකුවට ගිය ගමන් ණය මුදලක් ලබා දෙන්නේ නැහැ. ඒ සඳහා ක්‍රමවේදයක් තිබෙනවා. ණය මුදලින් සිදු කරන ආයෝජනය, එය ප්‍රතිඵලදායි ලෙස යෙදවීම, ණය ගෙවීම ගැන බැංකුවට සහතිකයන් ලබාදීම අවශ්‍ය වෙනවා. ඒ සඳහා ව්‍යවසායකයින්ට ඇති දැනුම මද බවක් පෙනෙනවා. ඔවුන් පළමුව හදන සැලැස්ම වැරදුණොත් එම ණය මුදල ලැබෙන්නේ නැහැ. ව්‍යවසායකයා ඉන් කඩා වැටෙනවා. මෙම තත්ත්වය වළක්වන්න අපි ඔවුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාවට නගනවා. ඔවුන්ට අවශ්‍යය දැනුම නිරන්තරයෙන් ලබා දෙන්න අපි පියවර ගන්නවා.

රටේ ආර්ථික ස්ථාවරත්වය ඔබේ අවධානයට ලක්වන්නේ කොහොමද?

ලංකාවේ ආර්ථිකය වර්තමානයේදී යම්කිසි අසීරුතාවයකට මුහුණ දී තිබෙනවා. විශේෂයෙන් ම ර‍ටේ ආරක්ෂාව සඳහා ඇති වූ ප්‍රශ්නත් සමඟ. අපි කොළඹ වාණිජ මණ්ඩලය හැටියට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ටත් විශාල ගැටලු ඇතිවෙලා තිබෙනවා. මේ මෑතකදී සිදු වූ කාරණාවලදී අගතියට පත් වූ පිරිස් අතර සංචාරක කර්මාන්තයට ඍජුව හා වක්‍රව සම්බන්ධ වූ පිරිස් හැඳින්විය හැකි ය. ඔවුන්ට ප්‍රශ්න රාශියකට මුහුණ දෙන්න වෙලා තියෙනවා. ලංකාවේ ව්‍යාපාර ගත්තොත් සියයට 75 – 80 අතර ප්‍රමාණයක් අයිති වෙන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට. රටේ ශ්‍රම බළකායෙන් සියයට 40 ක් අයිති වෙන්නෙත් මේ පිරිසකට. දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 50 උදවන්නේත් මේ පිරිසයි. සුළු හා මධ්‍ය පරිමාණ ක්ෂේත්‍රයට අවාසිදායි තත්ත්වයක් ඇති වුණහම එහි තියෙන ආර්ථික බලපෑම ඇති වෙන්නෙත් මේ පිරිසටයි.

මම දකින දෙයක් තමයි වර්තමානය රටේ ඇතිවී තිබෙන දෙය ලංකාවට විතරක් සුවිශේෂී වූ තත්ත්වයක් නෙමෙයි කියන එක. අද ලෝකයේ කිසිම රටක්, කිසිම නගරයක් ආරක්ෂිතයි කියලා කියන්න බැහැ. ලංකාවේ සිට ලෝකයේ දියුණුම රටවලත් ඇමෙරිකාව, ප්‍රංශය, ජර්මනිය වගේ හැම රටකමත් මේ අවිනිශ්චිතතාවය එක හා සමානව තිබෙනවා.

පාස්කු ඉරිදා ඇති වූ බෝම්බ ප්‍රහාරයත් එක්ක කොළඹ ව්‍යාපාර ඇද වැටිලා කියලා බොහෝ බොහෝ තැන්වල ප්‍රකාශ වෙනවා. ඒ කතාව ඇත්තක්ද?

පාස්කු ඉරිදා ඇතිවූ තත්ත්වය නිසා රටේ ආර්ථිකය පසුබෑමකට ලක්වුණා කියලා පිළිගත යුතුය‍. ඉන් බලපෑම එල්ල වූයේ ව්‍යාපාරික ක්ෂේත්‍රයට.

නමුත් අපිට සතුටු වෙන්න පුළුවන් ඇතිවූ තත්ත්වය මනා ලෙස කළමනාකරණය කරමින් එම තත්ත්වය ආර්ථිකව මැඬ පැවැත්වීම පිළිබඳව. රට තුළ නැවත එවැනි තත්ත්වයක් ඇති නොවෙයි කියන මට්ටමටම ආරක්ෂක හා අදාළ අංශ එම තත්ත්වයට නිසි පිළියම් යෙදුවා. මම පෞද්ගලිකවම කියනවා අනික් කිසිදු රටකටත් වඩා අපේ රට එම තත්ත්වය සාර්ථකව මුහුණදීලා මනාව කළමනාකරණය කළා කියලා.

ව්‍යාපාරිකයන් වෙනුවෙන් වර්තමානයේ ආණ්ඩුව “එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා නමින් නවතම පොලී සහන ණය යෝජනා ක්‍රම රැසක් හඳුන්වා දුන්නා. මේ එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා නමින් නවතම පොලී සහන ණය යෝජනා ක්‍රම රැසක් හඳුන්වා දුන්නා. මේ එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ගැන තරුණ ව්‍යවසායකයකු ලෙස ඔබ දකින්නේ කොහොමද?

සුළු හා මධ්‍ය පරිමාණ හා ව්‍යවසායකයන්ට තම ව්‍යාපාර අවස්ථා පටන් ගන්න ලබාදුන් හොඳම අවස්ථාව තමයි මේ රජය ගම්පෙරළිය හා එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන් ආරම්භ කරමින් සිදු ක‍ෙළ්. ඉතාම ප්‍රශස්තතම වැඩසටහන එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා බව කිව යුතුයි. මූල්‍ය පහසුකම් ලබා ගැනීමේදී හා ලබාගත් මූල්‍ය පහසුකම වැඩි ප්‍රතිලාභ ලැබෙන ලෙස ආයෝජනය කිරීම සම්බන්ධයෙන් ඇති දැනුම වැඩි කිරීමත් ඒ සඳහා අවශ්‍යය පහසුකම් සැපයීම සිදු කළ යුතුව තිබෙනවා.

ලෝකයේ ඕනෑම දෙයක් සංකල්පයක් ගත්තොත් එය සර්ථක වෙන්න කාරණා දෙකක් තිබිය යුතුයි. එහි පළමු වැන්න එම සංකල්පයේ තිබෙන පවර් එක නැත්නම් ශක්තිය. දෙවැනි එක එම සංකල්පය ක්‍රියාත්මක කිරීමේදී තිබිය යුතු ශක්තිය‍. මෙතනදී ගම්පෙරළිය හා එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා සංකල්පයක් ලෙස අතිශයින් ම ශක්තිමත්. නමුත් එය ක්‍රියාත්මක කිරීමේදී එය ක්‍රියාත්මක කරන ආයතන, යාන්ත්‍රණය තවදුරටත් ශක්තිමත් කළ හැකි නම් මෙහි ප්‍රතිලාභ තවදුරටත් ලබාගත හැකියි යන්නයි ‍මගේ අදහස.

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා යටතේ අලුතින් ව්‍යාපාර ආරම්භ කරන අයට විශාල තල්ලුවක් ලබාදෙනවා. නමුත් ලංකාවේ විශාලතම ප්‍රශ්නය තමයි “ව්‍යවසායක මානසිකත්වයක්” අවශ්‍යයි කියන එක. නමුත් එහෙම දෙයක් අපේ රටේ හැදිලා නැහැ. අද බොහෝ රටවල ව්‍යවසායකත්වය කියන්නේ අධ්‍යාපනයේ ම කොටසක්. අපි දරුවන්ට දීලා තියෙන්නේ ගණන් ඉගෙන ගත්තොත් - ඉංජිනේරුවෙක් වෙනවා. විද්‍යාව ‍ඉගෙන ගත්තොත් දොස්තර කෙනෙක් වෙනවා කියන දේයි. මම කියන්නේ මේ මානසිකත්වයෙන් දරුවන් අයත් කළ යුතුයි. ව්‍යාපාරිකයෙක් වෙන්න මනස හදන්නේ නැහැ. මේ නිසා තමයි අපේ ර‍ටේ දියුණුව ප්‍රමාද වෙලා තියෙන්නේ. අපේ දරු පරපුර තරුණ පරපුර මනස හදන්න ඕන ව්‍යාපාරික ක්ෂේත්‍රයට නැඹුරු වන්නට. ඒ නිසා ව්‍යවසායකත්වය පළමු වසරේ සිට දරුවන්ගේ මනසට දැමිය යුතු දෙයක්.

Comments