![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2019/06/21/sil-06-23-bulath.jpg?itok=P3WgOLQq)
* අපේ බුලත් ගන්නේ මුස්ලිම් ගොවීන්. ඒත් බුලත් කඩවලට සිංහල මිනිස්සු යන්නේ නෑ. ඒකෙන් අසරණ වුණේ බුලත් වවන සිංහල ගොවීන්.
* බුලතට පන්දලම් බඳින්න ඉනි කැපීමට තහංචි
* බුලත් වගා වඳවේදැයි ගොවීහු බියෙන්
බුලතට අතීතයේ සිටම අපරටේ ඇත්තේ ඓතිහාසික වැදගත්කමකි. නාග ලොවින් ලැබුණායැයි විශ්වාස කෙරෙන බුලත් කොළයේ අගිස්ස කෑමට පෙර කඩා දැමෙනුයේ නයි විෂ දුරුවීම සඳහා යැයි මතයක් පවතී. මැණික් පුටුවක් අරබයා චුල්ලෝදර හා මහෝදර සහෝදරයන් අතර ඇතිවූ ගැටුම සමථයට පත් කිරීමේදී දෙපාර්ශ්වය නියෝජනය කරමින් බුලත් 20 බැගින් තබා කොළ 40ක බුලත් අතක් පූජා කර ඇතැයි පැවසේ.
බුලත් අතකට කොළ 40ක් ඇමිණීමේ සිරිත එතැනින් ඇතිවූවක් යැයි සැලකේ. මංගල අවමංගල ගෙදරට නැතිවම බැරි බුලත පසුකාලීනව මිනිසුන්ගේ කාන්සිය හා විඩාවට ඔසුවක් ලෙස භාවිත කිරීමටද හුරුවිය. කෙසේවුව අපරටේ ජනතාවගේ ජීවිත තරමටම බැඳී ඇති බුලත ගමේ ගොඩේ වත්ත පිටියක නැතිතැනක් නැතිතරම්ය.
එදා සිට අද දක්වාම ජාති ආගම් භේදයකින් තොරව බුලත් හුරුල්ලට හිමිවන්නේ සුවිශේෂී තැනකි. එසේම බුලත් යනු අපරටේ පාරම්පරික ගොවිතැනට හුරුවූ බහුතරයකගේ ප්‍රධාන ආදායම් මාර්ගයකි. ඕනෑම දේශගුණ තත්ත්වයක් හමුවේ වුව වැඩි වෙහෙසකින් තොරව වගා කළහැකි බුලත් වගාව රටේ සෑම තැනම පැතිරී ඇත්තේ බුලතට ඇති ඉල්ලුම මෙන්ම ඉන් සරු ආදායමක් ලබාගත හැකිවීම නිසාය. දේශීය පරිභෝජනයට මෙන්ම අපනයනය සඳහා ද බුලත් වගා කරන මැලේසියාව, තායිලන්තය හා බංගලිදේශය යන රටවල් අතර අප රට ප්‍රධානය. අපරටේ බුලතේ ප්‍රධාන ගැනුම්කරු වන්නේ පකිස්තානයයි. එසේවුවද, රටේ පාරම්පරික වගා අතරින් ප්‍රධාන තැනක් ගනිමින් ගොවීන් රැසකගේ ජීවනෝපාය සැලසූ බුලතට අද අත්ව ඇති ඉරණම කනගාටුදායකය. කෘෂිභෝගවලට මුල්තැන දෙමින් බුලත් වගා කටයුතුවල නිරතවූ පාරම්පරික බුලත් වැවිලිකරුවන් බහුතරයක් මේ දිනවල දැඩි ආර්ථික අපහසුතාවලට ලක්ව සිටිති.
බුලත් අක්කර 50ක්
වානිජ නිෂ්පාදනයක් ලෙස බුලත් වගා කරන ප්‍රදේශ අතරින් ගම්පහ, පුත්තලම සහ කුරුණෑගල දිස්ත්‍රික්ක ප්‍රධාන වෙයි. ඒ අතරින් කාලයක් තිස්සේ සාර්ථකව බුලත් වගාවේ යෙදුණු පුත්තලමේ බුලත් ගොවියෝ අද බුලත් විකුණා ගැනීමට නොහැකිව දැඩි අපහසුතාවට පත්ව සිටිති.
පුත්තලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මධ්‍යම අට්ටවිල්ලුව, කිවුල හා 09බවුම යන ප්‍රදේශවල ගොවීහු රැසක් 2013 වර්ෂයේ සිට මේ දක්වාම සාර්ථකව බුලත් වගාවේ නිරතව සිටිති. ඔවුහු මෑතක් වනතුරුම අක්කර 50කට ආසන්න ප්‍රමාණයක බුලත් වගා කරමින් සරු අස්වනු ලැබ සාර්ථකව ජීවනෝපාය සලසා ගත්හ.ඉන් බහුතරයක් ගොවීහු පාරම්පරික බුලත් ගොවීන්ය. දැනටමත් ඔවුහු වගාව සඳහා විශාල මුදලක් වැය කර ඇත්තාහ. බිම් සැකසීමෙන් පසු පාත්ති සාදා ඔවුන් වගා ආරම්භ කර ඇත්තේ සිය වගා බිම්වල ඇති මවු ශාකවලින් ලබා ගන්නා ලද බුලත් දඬුවලිනි. ඉන්පසු මාස හයක් වැනි කාලයකදී බුලත් වැල හොදින් වැඩෙන අතර, එසේ හොඳින් වැඩුණු බුලත් වැලක ආයු කාලය වසර 4-5ක් වැනි කාලයක් පවතී. බුලත් වැල සාර්ථකව වැඩීම සදහා සෑම බුලත් වැලක් පාසාම ඉනි සිටුවීම සිදුකරන අතර, එසේ සිටුවන ලද ඉනි මත බුලත් වැල එතීමට ඉඩ සැලැස්වීම දලු බැඳීම යනුවෙන් හඳුන්වයි. දලු බැඳීමෙන් සති කීපයකට පසු බුලත් වැලෙහි ස්ථාන කිහිපයකින් මුල් ඇදෙන අතර එම මුල් ඇදීම පවුරු බැදීම යනුවෙන් හැඳින්වේ. බුලත් වැලක පවුරු බැඳීමෙන් බුලත් වැලට අවශ්‍ය පෝෂණය බාහිරින් ලබා ගැනීමක් සිදුවන අතර, ඉන් වැලෙහි හට ගන්නා බුලත් කොළ විශාලවී වෙළද පොළේ හොඳ ඉල්ලුමක් පවතින බව ගොවීහු පවසති.
එසේ පවුරු බැඳීම සඳහා වැඩි වශයෙන් යොදා ගැනෙන්නේ අන්නදර, ගොඩරත්මල්, කොරකහ සහ ගැටුලා ශාකවල කොවුල්ය. නමුත්, මෑතක සිට මෙකී ලී සොයා ගැනීමට නොහැකිවීම නිසා බුලත් වගාව පහත වැටී ඇතැයි ගොවිහු පෙන්වා දෙති.
කොවුල් නැති නිසා අස්වනු අඩුයි
ගොවියන් පවසන පරිදි බුලත් වැල එතීම සදහා යොදා ගන්නා මෙම ලී කැපීම සම්පූර්ණයෙන් තහනම් කර තිබීම නිසා වන සංරක්ෂණ දෙපාර්ත්තුමේන්තුව සහ පොලිසිය ලී කැපීමට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීම හේතුවෙන් සුළු පරිමාණ බුලත් කොරටු හිමියෝ දැඩි ආර්ථික අපහසුතාවලට මුහුණ දී සිටිති.
මේ හේතුව නිසා සිය බුලත් කොරටුවල ඵලදාවේ සීග්‍ර අඩුවක් දක්නට ලැබෙන බවට ඔවුහු මැසිවිලි නඟති. බුලත් වගාවේ ආරම්භයේ සිට අස්වනු නෙළන කාලය දක්වා වගාව වෙනුවෙන් විශාල වියදමක් දැරීමට සිදුවන අතර වගාව සඳහා විශාල මිනිස් ශ්‍රමයක්ද අවශ්‍යවේ. බුලත් වගාකරුවන්ට අමතරව වගාවේ නියැළෙමින් වක්‍රව දෛනිකව ජීවනෝපාය සලසා ගන්නා කුලීකරුවෝද විශාල සංඛ්‍යාවක් වෙති.
මේ සියල්ලට අමතරව මෑතක සිට බුලත් වගාවට වැලඳී ඇති තෙල් රෝගය නිසා වගාව මුළුමනින්ම විනාශයට ලක්ව ඇතැයි ගොවීහු මැසිවිලි නඟති. රෝගය දිලීරයක් හෝ පලිබෝධකයක් හෝ නිසා වැලඳෙන්නක්ද යන්න මෙතෙක් සොයා ගෙන නොමැති අතර රෝගය කුමක්ද යන්න හඳුනා ගැනීමට හෝ මර්දනයට අවශ්‍ය උපදෙස් කෘෂිකර්ම පරියේෂණ ආයතනයෙන් මෙතෙක් නොලැබීම බරපතළ ගැටලුවක් බවට ගොවීහු චෝදනා කරති.
බලධාරීන්ගෙන් විසඳුමක් නැතත් ගොවිහු රෝගයට පිළියමක් ලෙස බුලත් වැල මුලින්ම ගලවා දමා පුලුස්සා දැමීම සිදු කරති.
එපමණක්ද නොව මුළු පුත්තලම වෙලා ගෙන ඇති අධික නියඟයෙන්ද බුලත් වගාකරුවෝ බැටකති. වගාවට අවශ්‍ය ජලය නොමැතිකම නිසා භූ ගත නළ ළිං ස්ථාන කිහිපයක ස්ථාපිත කර ජලය ලබා ගැනීමට ගොවීන්ට සිදුව ඇත. ඒ ජලය සඳහාද විශාල විදුලි වියදමක් වැයවේ.
වගා ගැටලුවලට විසඳුම් නෑ
බුලත්වලට ඇති ඉල්ලුම දිනෙන් දින ඉහළ යද්දී දිවා රෑ වද විඳිමින් බුලත් කොරටු සමඟ ඔට්ටුවන වගාකරුවන්ගේ මහන්සියටවත් නොසරිලන සේ ලැබෙන සොච්චම නිසා බුලත් වගාව මුළුමනින්ම මෙරටින් තුරන්වේදැයි බුලත් වගාකරුවෝ බිය පළ කරති.
බුලත් වගා කරුවන්ගේ ප්‍රශ්න කෙරෙහි අදාළ බලධාරීන් දක්වන කුඩම්මාගේ නොසැලකිල්ල ද ඊට හේතුවී ඇත.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී පාරම්පරිකව බුලත් වගාවේ නියැළෙන එස්.පී.ජී.සරත් චන්ද්‍රසිරි මෙසේ පැවසීය.
“අපට ගොවිතැනේ තියෙන විශාලම ගැටලුව තමයි ඉනි සපයා ගැනීම. ඉනි සපයා ගන්න තැනක් නැහැ. කෝටුවක්වත් කපන්න දෙන්නෙ නැති නීතියක් තමයි රටේ තියෙන්නෙ. එහෙමනම් රජය අපට විකල්පයක් හඳුන්වා දෙන්න ඕනෑ. හැම ඉන්නම මේ බුලත් වගාවට හරියන්නෙ නැහැ. හිටවන්න යෝග්‍ය ඉනි වර්ග තියෙනවා. එව්වා කපාගෙන එනකොට එක්කො වන සංරක්ෂණයෙන් අල්ලනවා එහෙම නැත්නම් පොලිසියෙන් අල්ලනවා.
එනිසා අපිට දැව සංස්ථාව වගේ තැනකින් පහසු මිළකට ඉනි ගන්න තැනක් හඳුන්ව දෙන්න ඕනෑ. එහෙමත් නැත්නම් බුලත් ගොවීන්ට රක්ෂිතයක් නොවන තැනකින් ඉනි කපා ගන්න අවසරයක් දෙන්න ඕනෑ. අපි බොහොම අමාරුවෙන් මේ ගොවිතැන කරලා සිංහල අවුරුද්දට බොහොම කෙටි කාලයකින් ආදායම් ලබා ගන්නවා. ඊට පස්සෙ දිගටම ලැබෙන්නෙ බොහොම අඩු මිලක්.
ඒ නිසා මේ කර්මාන්තය පවත්වාගෙන යන්න බැහැ. වැඩ කරන අයට වැටුප් ගෙව්වාම අපිට ජීවත් වෙන්න මදි. ඒ විතරක් නෙමෙයි බුලත් වගාවට අවශ්‍ය කරන ජලය සපයා ගැනීමේදී අපි ගැටලු රැසකට මුහුණ දෙනවා. මොකද මේ පළාතට වැස්ස අඩුයි. අපි භූගත ළිංවලින් තමයි ජලය ලබා ගන්නේ. ඊට වැයවෙන විදුලි බිලත් දරන්න අමාරුයි.
අපට රජයෙන් කිසිම සහනාධාර වැඩපිළිවෙළක් නැහැ. නමුත් මේ රටේ සියලු සිරිතට විරිතට අපි බුලත් සපයන්නෙ මහත් පරිශ්‍රමයක් දරලයි. ඒත් මේ වනතුරු බුලත් වගාවටනම් කිසිම සහනයක් ලැබී නැහැ.” කාබනික පොහොර ලෝඩ් එකක් රුපියල් විසිදාහක් විතර වෙනවා. ඒ වියදම දරන්න සිද්ධ වෙලා තියෙන්නෙත් අපිට. ඒ පොහොර විතරක් යොදන්න බැහැ රට පොහොර යොදන්න සිද්ධ වෙනවා. ඉතිං ඔය අතරට කෘමි හානි එනවා ඕවා එක්ක වෙනම ඔට්ටු වෙන්න සිද්ධ වෙනවා. මේ විදියට ගියොත් දවසින් දවස අපට බුලත් කෙරුවාව එපා වෙලා යනවා.
එස්.පී.ජී.නිසංසලා සංජීවනි මහත්මිය බුලත් වගාවේ නිරත වන්නේ වසර 20ක පමණ සිටිය. බුලතට සෙවණ අවශ්‍ය බව පවසන ඇය සෙවණ සැදීමට යන වියදම අධික බව පවසන්නීය.
හෙවණ නැත්නම් කොළ පොඩියි
“හෙවණ නැතිවුණාම කොළය කුඩා වෙනවා එතකොට ඵලදාව ඉතා අඩුයි. එතකොට අපිට සාධාරණ මිලක් වෙළද පොළෙන් ලැබෙන්නෙ නැහැ. බුලත් කොළය සාමන්‍ය විශාල තරමට ගන්නනම් සෙවණ දැලක් උපයෝගි කර ගන්න සිදු වෙනවා. ඒ වියදම අපට දරන්න අපහසුයි. රජයෙන් මේ සඳහා සහනයක් හෝ ණයක් ලබා දෙනවනම් හොඳයි. කෘෂිකර්මය මැදිහත්වෙලා අපට සහනයක් ලබා දී අවශ්‍ය දැනුම සහ බෙහෙත් දෙනවනම් මේ වගාව සාර්ථකව සිදුකරගෙන යන්න පුළුවන්.
අනෙක් කාරණය තමයි මේ පාස්කු ඉරිදා වෙච්ච ඛේදවාචකයත් අපේ බුලත් මිලට සෘජු බලපෑම් එල්ල කළා. අපි ගොඩක් ගනු දෙනු කරන්නෙ පුත්තලම නගරයේ මුස්ලිම් ව්‍යාපාරිකයින් සමඟ. ඒකට හේතුව සිංහල වෙළෙන්දො නොමැතිකමයි. දැන් ඒ අය ගම්වලට බුලත් ගෙනියන්න ආපුවහම ඒ අයට එක එක ප්‍රශ්න ඇති වෙනවා. ඒ අය අපේ බුලත් ගෙනිහින් මුස්ලිම් කඩවලට දැම්මාම අපේ සිංහල ජනතාව යන්නෙ නැහැ ඒ මුස්ලිම් කඩවලට බුලත් ගන්න. ඒත් ඒ අය දන්නෙ නැහැ මෙව්වා වගා කරන්නෙ සිංහල ජනතාව කියලා. ගොඩාක් දුරට ඒ ප්‍රශ්නෙත් එක්ක බුලත් මිල ගොඩාක් පහළ බැස්සා.”
රජයෙන් කිසිම සහනයක් නැතිව ණයවී බුලත් වගාවේ නිරතවන එච්. එම්. ඉන්දික තුෂාර හේරත්ගේ පරම්පරාවම බුලත් ගොවීන්ය.
“මේ වගාව අපි පාරම්පරිකව කරගෙන එනවා. දැන් ඉස්සර වගේ පහසුකම් අපිට නැහැ. අපි අපේ මහන්සියෙන් තමා මේ වගාව කරගෙන යන්නෙ. රජයෙන් අපිට කිසිම සහායක් මේ වෙනකම් ලැබිලා නැහැ. දැන් එන්න එන්නම මේ වගාව කරගෙන යන්න බැරි තත්ත්වයක් මතුවෙලා. අපට මේ පාස්කු ප්‍රහාරයේ බලපෑම ගැන කෙළින්ම කියන්න බැරිවුණත් ලැබෙන තොරතුරු අනුව පකිස්තානය වගේ රටවලින් අපේ රටවලට තියෙන බුලත් ඉල්ලුම අඩුවෙලා. එයත් බලපාන්නේ අපටයි.”
ඍජුවම බුලත් වගාවේ නොයෙදුණත් බුලත් කොරටුවල දෛනිකව සේවයේ යෙදෙන විශාල පිරිසක් පුත්තලමේ වෙති. දම්මි දිල්රුක්ෂි මහත්මියද බුලත් කොරටුවල වැඩ කරමින් දෛනිකව ජීවනෝපාය සලසා ගන්නියකි.
“අපි වැඩ කරන්නේ දවස් කුලියට. අපිට ලැබෙන පඩිය ජීවත් වෙන්න මදි. සමහර අවුරුදු කාලවලදී බුලත් මිල වැඩිවෙනවා. ඊට පස්සෙ එකපාරටම මිල පහත වැටෙනවා. බුලත්වලට රජයෙන් ස්ථාවර මිලක් ලබා දෙනවනම් මෙහෙම වෙන්නෙ නැහැ.
සමහර වෙලාවට අපි බුලත් කොරටුවක වැඩට ඇවිල්ලා බුලත් කඩලා වෙළද පොළට යැව්වාම අපේ පඩිය බේරුවාට පස්සෙ මුදලාලිලාට වෙන්නෙ හුළං බොන්න. බුලත් වගාවට බලධාරින්ගේ අවධානය දැන්වත් යොමු කරන්න කියා අපි ඉල්ලන්නේ ඒකයි”
කේ. ප්‍රියංකර කළුපහන