![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2019/06/21/sil-06-23-karapitiya.jpg?itok=rXq_yYwa)
හෘද රෝගියකුට ප්‍රතිකාර පිණිස අපට නහරයක් ශුද්ධ කළ හැකියි. ඒත් එම නාළ අවහිර වීම වළක්වන්න බෑ. පාලනය කරන්න පුළුවන්. නමුත් හේතුව නැති කරන්න බෑ. බෞද්ධ දර්ශනයේ මේ සියලු දේ ඇති වීමට හේතු තියෙනවා. අප නවීන වෛද්‍ය විද්‍යාවෙන් ලබන දැනුම බුදු දහමෙන් ලබන දැනුමට වඩා අල්පයි.
වෙදකමත් හෙදකමත් සමඟ දයාව කරුණාවත් කැටි වූ කල එතැන බිහි වන්නේ අපූරු මිනිසත්කමකි. එවැනි දයාවෙන් පිරිපුන් වෛද්‍යවරයකු ගැන මේ පොසොන් මාසයේ කතාබහට ලක් කෙරෙන්නේ ඔහු වෙදකමට එහා ගිය මිනිසත්කමෙන් හා බෞද්ධ දර්ශනයට අනුව හැඩ ගැසුණු ජීවිතාබෝධයකින් යුතු පුද්ගලයකු වීම හේතුවෙනි. අප සමාජයේ වෛද්‍යවරුන් ගැන ජනතාව අතර ඇත්තේ විවිධ මතවාදය. ඇතැම් වෛද්‍යවරුන් රෝගීන්ගේ අතමිට සූරන් කද්දී තවත් පිරිසක් තම අතින් වියහියදම් දරමින් රෝගීන් සුවපත් කරති. කෙසේ වුව ඉල්ලීම් දිනාගැනීම උදෙසා කෙරෙන වෛද්‍ය වැඩවර්ජන ඔස්සේ වුව අද අප රටේ ඇතැම් වෛද්‍යවරුන් ගැන ජනතාව අතර ඇත්තේ කලකිරීමකි. එසේ තිබියදී තමන් උගත් දෙයින් හැකිතාක් දුරට ජනතාවට සේවය කරමින් බෞද්ධ දර්ශනය ඔස්සේ සිය වෘත්තීය මෙන්ම පෞද්ගලික ජීවිතයද හැඩ ගස්වා ගත් තරුණ වෛද්‍යවරයකු ගැන සටහනකි මේ.
ඔහු ගාල්ල කරාපිටිය රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය හර්ෂණ සමරසිංහය. මාතර රාහුල විද්‍යාලයෙන් කොළඹ වෛද්‍ය පීඨයට තේරී එතැනින් වැඩිදුර අධ්‍යාපනය සඳහා ලොව ඉහළම පෙළේ හෘද රෝග පිළිබඳ අධ්‍යයන ආයතනයකට යොමු වී හෙතෙම ලංකාවට පැමිණියේ මෑතකදීය. මේ තරුණ වෛද්‍යවරයා පවසන්නේ තමා ලෝකයේ කොතැන ගියත් කුමන මහචාර්යවරයකුගෙන් ඉගෙන ගත්තත් බෞද්ධ දර්ශනයෙන් අප ලබන දැනුම එම කිසිම දැනුමකට සමාන කළ නොහැකි බවයි.
“හෘද රෝගියකුට ප්‍රතිකාර පිණිස අපට නහරයක් ශුද්ධ කළ හැකියි. ඒත් එම නාළ අවහිරවීම වළක්වන්න බෑ. පාලනය කරන්න පුළුවන්. නමුත් හේතුව නැති කරන්න බෑ. ඒත් බෞද්ධ දර්ශනය ඇතුළාන්තයේ මේ සියලු දේ ඇතිවීමට හේතු තියෙනවා. බොදු දර්ශනය අනුව ගත්විට එයට සාපේක්ෂව අපේ වෛද්‍ය විද්‍යා දැනුම ඉතා අල්පයැයි” විශේෂඳ වෛද්‍ය හර්ෂණ සමරසිංහ පවසයි.
පාසල් වියේදී ඉගෙනීමට අමතරව ක්‍රීඩාවටත් සංගීතයටත් නර්තනයටත් එකසේ දස්කම් පෑ මේ තරුණ වෛද්‍යවරයා සිය ජීවිතයේ ගමන්මඟ වෙනස් කළේ කොළඹ වෛද්‍ය පීඨයට තේරීමත් සමඟය.
“දෙදාහ වසරේදී වෛද්‍ය පීඨයට තේරීමත් සමඟම මගේ සිත බෞද්ධ දර්ශනය පැත්තට යොමු වුණා. විවේකී හැම වේලාවෙම බෞද්ධ පතපොත වැඩිපුර කියෙව්වා. හැදෑරුවා. ත්‍රිපිටකය, සිංහල අටුවාව, අමාවතුර, අට්ඨ කථා මෙන්ම දඹදෙණි හා අනුරාධපුරය ගැන කියැවෙන පතපොත බොහෝ ඇසුරු කරද්දී ඉන් ලබන දැනුම කිසිම මහාචාර්යවරයකුගේ දැනුමට සමාන කරන්න බැරියැයි මට හැඟුණා. ඒ දැනුම මහා විශාලයි ” ඔහු පවසයි.
වෛද්‍ය පීඨයට තේරී වෛද්‍යවරයකු වීමේ ඉලක්කයක සිටියත් තමා ශල්‍ය වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරයකු වනවාද නැතහොත් හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයකු වනවාද යන්න ගැන ඔහුට තීරණයක් නොවීය.
“වැඩිදුර අධ්‍යාපනය හදාරද්දී හෘද රෝග පැත්ත දිනෙන් දින තාක්ෂණය අතින් දියුණ වන අන්දම වැටහෙද්දී රෝගීන්ට වැඩි සේවයක් කිරීමේ අවස්ථාව ලැබෙන බව වැටහීමත් සමඟ මං හෘද රෝග පැත්ත තෝරාගෙන ඒ වෙනුවෙන් මහන්සි වී ඉගෙන ගත්තා. මං හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයකු වුණේ වෛද්‍ය විද්‍යාව ඉගෙනීමට අරන් වසර 18කට පසුවයි. ”
මේ අතරේ එංගලන්තයේ බ්‍රොම්ප්ටන් ඇන්ඩ් හාෆීල්ඩ් රෝහලේ හෘද රෝග පිළිබඳ වැඩිදුර ඉගෙනීමට ඔහු ශිෂ්‍යත්වයක් ලැබුවේය. ලෝකයේ හෘද රෝග පිළිබඳ ඉහළම පෙළේ විද්‍යායතනයක් වන එම රෝහල හෘද රෝග පිළිබඳ අති නවීන තාක්ෂණයකින් යුක්තය. අප තරුණ වෛද්‍යවරයා සිය ක්ෂේත්රය වෙනුවෙන් කළ උපරිම කැප කිරීම නිසා ඔහුට විද්‍යායතනයේ ඉහළම පිළිගැනීමක් සහිතව වැඩිදුර ඉගෙනීම සඳහා සියලු වියදම් එම විද්‍යායතනය මගින් දරනු ලැබීය.
“මං එම රෝහලේ ඉගෙන ගන්නා අතර උදේ 8 සිට රාත්‍රී 10 වන තුරුත් වැඩ කළා. හෘද කපාට පටුවීම නිසා ඇති වන රෝගී තත්ත්වවලදී කකුලේ නහරයක් හරහා කෘත්‍රිම කපාට බද්ධ කිරීම සිදු කිරීම එහිදී ඉගෙන ගත්තා. එය ඉංග්‍රිසියෙන් TAVI හෙවත් Trans Avotic Valve Implantation ලෙස හඳුන්වනවා. ලංකාවේ දැනට මෙය සිදු කෙරෙන්නේ නැහැ. වරක් විදෙස් වෛද්‍යවරුන් අප රටට පැමිණ මේ සැත්කම් සිදු කළත් දැන් එය සිදු කෙරෙන්නේ නැහැ. අප රටේ එම සැත්කම සිදු කෙරෙන්නේ සම්පූර්ණයෙන්ම උරස් කුහරය විවෘත කිරීමෙනුයි. TAVI ක්‍රමයේදී උරස් කුහරය විවෘත කිරීමක් සිදු වන්නේ නැහැ. සිහි නැති කිරීමක් නැහැ. හිරිවැටීමක් පමණයි සිදු වන්නේ. එනිසා අවදානම අඩුයි. රෝගියා දින ගණනක් රෝහල්ගත වී සිටීම අවශ්‍ය නැහැ.
මීට අමතරව දැනටත් අප රටේ සිදු කෙරෙන කිරීටක ධමනි ශුද්ධ කර ස්ටෙන්ට් දැමීමත් ඉගෙන ගත්තා. බ්‍රොම්ප්ටන් ඇන්ඩ් හාෆීල්ඩ් රෝහල හෘදය ආශ්රිත රෝග ප්‍රතිකාර සඳහා ලෝකයේ දිනෙන් දින දියුණු වන නවීන තාක්ෂණය භාවිත කරන ආයතනයක්. එහිදී මා එම්ආර්අයි හා සීටී ස්කෑන් පරීක්ෂණ සිදු කිරීමත් වැඩිදුර හැදෑරුවා. ඒ වගේම ඉගැන්වීම් කිරීමේ අවස්ථාවත් මට හිමි වුණා.
අප රටේ වර්තමානයේ හෘද පේශීවල රෝගවලින් පෙළෙන රෝගීන් සංඛ්‍යාවේ වැඩි වීමක් දක්නට තියෙනවා. එම්ආර්අයි පරීක්ෂණවලින් එවන් රෝග හඳුනාගැනීම ඉතා පහසුයි. එපමණක් නොවෙයි එම්ආර්අයි පරීක්ෂණයකින් හඳුනාගත හැකි දෑ බොහෝයි. හෘදයේ ව්‍යුහාත්මක ගැටලු, උපතින් එන රෝග තත්ත්ව අධ්‍යයනය කිරීම්, පේශීවල රෝග තත්ත්ව මෙන්ම හෘද මාංශ පේශිවලට රුධිරය සැපයීම් අඩාළ වීම් ද හෘදයේ ක්‍රියාකාරිත්වය ද එම්ආර්අයි පරීක්ෂණය මඟින් අධ්‍යයනය කරන්න පුළුවන්.
එම්ආර්අයි පරීක්ෂණ මඟින් රජයේ රෝහල්වලත් මේ රෝග හඳුනාගැනීම් ඉතා ඉක්මනින් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය අපෙන් අධ්‍යයන වාර්තාවක් ඉල්ලා තියෙනවා. දැනටත් රෝහල්වල යන්ත්‍ර තියෙනවා. අවශ්‍ය තාක්ෂණ ශිල්පීන් වැඩිදුර පුහුණුවීම් කළ යුතුයි. එංගලන්තයේ මා ඉගෙන ගත් බ්‍රොම්ප්ටන් ඇන්ඩ් හාෆීල්ඩ් රෝහල් බලධාරීන් ඒ පුහුණුවීම් නොමිලයේ ලබාදීමට හා අවශ්‍ය උපදෙස් සැපයීමට ඉතා කැමැත්තෙන් ඉදිරිපත්ව සිටිනවා. එනිසා මුලින්ම පෞද්ගලික අංශයේ ආරම්භ කර ඉතා ඉක්මනින්ම රජයේ රෝහල්වලත් මෙය පටන් ගන්න හැකිවේවි.
එංගලන්තයේ අධ්‍යයන කටයුතුවලින් පසු දැනටත් මං ගෞරවනීය සේවයක් ලෙස බ්‍රොම්ප්ටන් ඇන්ඩ් හාෆීල්ඩ් රෝහලේ හෘද රෝගීන්ගේ එම්ආර්අයි පරීක්ෂණ වාර්තා ඔන්ලයින් මාර්ගයෙන් නිරීක්ෂණය කිරීමේ යෙදී ඉන්නවා. එසේම එම්ආර්අයි සම්බන්ධ ලොව පිළිගත් විශ්වවිද්‍යාල සමඟ එක්ව දිගින් දිගටම නව ප්රවණතා ගැන වාර්ෂිකව දීර්ඝ කාලීනව අධ්‍යයනය කරනවා. වෛද්‍යවරුන් වශයෙන් ක්ෂේත්රයේ අත්දැකීම් ලැබීමට එය අවශ්‍යයි.
එංගලන්තයේ සිටින අවදියේ TAVI සැත්කම් 70ක් පමණ කිරීමෙන් ලද අත්දැකීම් ඔස්සේ අප රටේත් දීර්ඝකාලීනව එම සැත්කම් ආරම්භ කිරීමටත් බලාපොරොත්තු වෙනවා. එම සැත්කම්ද මුලදී පෞද්ගලික අංශයෙන් ආරම්භ කර පසුව රජයේ රෝහල්වලත් කරන්න අපේක්ෂා කරනවා. මේ ගැන දැනටමත් සෞඛ්‍ය අමාත්‍යංශය සමඟ එක්ව අවශ්‍ය පහසුකම් පිළිබඳ සොයා බලනවා.”
රෝගියකුගේ රුධිර පීඩනය මැනීමෙන් පසු ගාස්තුව ලෙස රුපියල් පනහක් ඉල්ලා සිටින ඇතැම් බංකොළොත් වෛද්‍යවරුන් ගැනද කලාතුරකින් හෝ අසන්නට ලැබීම කනගාටුවට කරුණකි. එහෙත් ලොව ප්‍රධාන පෙළේ රෝහල්වල සේවයේ නියුතු ශ්‍රී ලාංකීය වෛද්‍ය විශේෂඥවරු පිරිසක් අප රටේ පෙණහලු හා හෘද බද්ධ කිරීමේ සැත්කම් තවදුරටත් සාර්ථකව කරගෙන යෑමට සහාය දීමට ඉදිරිපත්ව සිටිති. අප රටේ ප්‍රථම හදවත් බද්ධ කිරීමේ සැත්කම සිදු කළ මහනුවර රෝහලේ හෘද ශල්‍ය විශේෂඥ වෛද්‍ය අනිල් අබේවික්‍රම මහතා මේ දිනවල මෙරට ප්‍රථම වරට පෙණහලු බද්ධ කිරීම් සිදු කිරීමට ප්රයත්න දරන බවට වාර්තා විය. ඒ පිළිබඳ අපි විශේෂඳ වෛද්‍ය හර්ෂණ සමරසිංහ විමසීමු.
“වෛද්‍ය අබේවික්‍රම මහතාගේ උත්සාහයට සහාය දීමට ලෝකයේ ප්‍රධාන පෙළේ රෝහල්වල සේවය කරන අපේ වෛද්‍යවරුන් ඉදිරිපත් වී සිටිනවා. මා මෑතකදී වෛද්‍ය වෘත්තීමය කටයුතු සඳහා විදේශගත වූ අවස්ථාවලදී ඒ සඳහා අවශ්‍ය උපකරණ හා ඖෂධ ඔවුන්ගේ සහයෝගයෙන් අපට ලැබුණා. පෙණහලු බද්ධ කිරීමේ සැත්කමට කෙළින්ම සම්බන්ධ නොවුණත් අප දැනුමින් මුදලින් හා තාක්ෂණයෙන් ඒ සඳහා දායක වෙනවා. මීට අවශ්‍ය සමහර එන්නත් වර්ග රුපියල් ලක්ෂ ගණනක් වටිනවා. අපේ වෛද්‍ය පිරිස සිය පෞද්ගලික් මුදලින් එම එන්නත් වර්ග ලබා දුන්නා.”
මෙයට කලකට පෙරදී අප රටේ හෘද රෝගීන් ලෙස බහුලව වාර්තා වූයේ වැඩිහිටි පරපුරය. එහෙත් දැන් තරුණ වයස්වල උදවියද වැඩිපුර හෘද රෝගවලට ලක්වීමේ අවදානමකින් පෙළෙති.
“ගාල්ල කරාපිටිය රෝහලේ වයස අවුරුදු 30 ගණන්වල තරුණ ළමයි හෘද අකර්මණ්‍ය වීම් හේතුවෙන් රෝහල්ගත වීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරනවා. ඇතැම් අය එක්වරම හටගත් හුස්ම ගැනීමේ අපහසුතා ගැන පැමිණිලි කරනවා. එලෙස පැමිණෙන සංඛ්‍යාව පෙරට වඩා වැඩියි කියා පෙනෙන නිසා මෙයට කිසියම් ජානමය හේතුවක් බලපා ඇත්දැයි යන්න ගැන සොයන්න අප පෞද්ගලිකව අවධානය යොමු කරනවා. මං පර්යේෂණයක් විදිහට දැන් ඒ ගැන සොයා බලමින් සිටිනවා.
කෙසේ වුවත් දියවැඩියාව හෝ අධික රුධිර පීඩනය හෝ මවට පියාට හෘද රෝග නැති නම් සාමාන්‍යයෙන් ඊසීජී, ව්‍යායාම ඊසීජී හා එකෝ පරීක්ෂණයක් මගින් සමාන්‍ය ලෙසින් හෘද රෝග අවදානම ගැන දැන ගන්න පුළුවන්.
අඩුම තරමේ දවසක් හැර දවසක් වේගයෙන් ඇවිදීම එසේ නැත් නම් දිනකට විනාඩි 20ක්වත් නොකඩවා ඇවිදිමින් තම සෞඛ්‍ය රැක ගැනීමට උත්සාහ කළ යුතුයි.
වයස අවුරුදු 45ට වැඩි උදවිය වසරකට වරක්වත් කොලෙස්ටරොල් මට්ටමත් මාස 6කට වරක්වත් ශරීරයේ සීනි මට්ටමත් පරික්ෂා කිරීම සුදුසුයි. වසස අවුරුදු 25ට වැඩි උදවිය පස් අවුරුද්දකට වරක් මේ පරීක්ෂණ කිරීම හොඳයි. ශරීර සෞඛ්‍යය ප්රශස්ත මට්ටමේ තබා ගැනීමට එය උපකාරී වේවි.”
විශේෂඥ වෛද්‍ය හර්ෂණ සමරසිංහ සිය වෘත්තීය ජීවිතයේ කෙතරම් කාර්යබහුල වුවද ඉසුඹුවක් ලද සෑම මොහොතකදීම කතරගම කිරි වෙහෙර වහන්සේ වෙත යෑම පුරුද්දක් කරගෙන සිටී.
“මං උදේම ගිහින් මල් ආසන පිරිසුදු කරලා වෙහෙර බිම සුද්ද කර අතු ගානවා. පිටරටවල ගොස් කොතැන සිටියත් ඉන් ලබන මානසික සුවය මට වෙන කොතැනකදීවත් ලැබෙන්නේ නෑ. වෙහෙර වහන්සේ වෙත එන සමහර පිරිස් මාත් සමඟ ඒ වැඩවලට එකතු වෙනවා. සමහරු මා හඳුනාගෙන කතා කරනවා. ඒ අයත් මා කරගෙන යන සද්කාර්යන්ට දායක වෙනවා.
පොදු ජන සේවය හා ධර්ම දානය සඳහා අප මිතුරු පිරිසක් එක් වී සිද්ධාර්ථ පදනම නමින් සංවිධානය වී සිටිනවා. එමඟින් අපි පන්සල්වල අඩුපාඩු සම්පූර්ණ කරමින් දුෂ්කර පන්සල් ගැන සොයා බලනවා. ත්‍රිපිටක ග්රන්ථ නැති සමහර පන්සල්වලට ත්‍රිපිටක පූජා කරනවා. භික්ෂුන්ට උපස්ථාන කිරීම් වගේම පාසල් දරුවන්ට පොත්පත් හා උපකරණ පරිත්‍යාග කිරීම් ද සිද්ධාර්ථ පදනමෙන් සිදු කරනවා. නුවර අනුරාධපුර හා මාතර ප්‍රදේශවල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථාන හා සම්බන්ධ වෙමින් මේ සද්කාර්යයන් දිගටම පවත්වාගෙන යෑම මගේ අරමුණයි.”
මේ තරුණ වෛද්‍යවරයාට ලෙඩෙකුට පිහිට වීමට තැනක් නොතැනක් නැත. බ්‍රොම්ප්ටන් ඇන්ඩ් හාෆීල්ඩ් රෝහල හෘදය රෝග පිළිබඳ කීර්තිමත් ආයතනයකි. එහි සුදුසුකම් ලද වෛද්‍යවරයකු වීම නිසාද ලෝකයේ කොතැන ගියත් ලබන පිළිගැනීම සිය වෘත්තීය සාර්ථකව කරගෙන යෑම සඳහා මහත් පිටිවහලක් බව විශේෂඳ වෛද්‍ය හර්ෂණ සමරසිංහ පවසයි.
සේයාරූ - විමල් කරුණාතිලක