අපි කන බොන දේවල් වවපු තැන් - හදපු කාලෙ හරියට ම දැනගන්න අලුත් උපකරණයක් | සිළුමිණ

අපි කන බොන දේවල් වවපු තැන් - හදපු කාලෙ හරියට ම දැනගන්න අලුත් උපකරණයක්

අද මෙරට පිළිකා රෝගීන් සංඛ්‍යාව එන්න එන්ම වැඩි වෙමින් පවතී. මේ පිළිබඳ අධ්‍යයනය කරන වෛද්‍යවරුන් අවධාරණය කරන්නේ මේ තත්ත්වයට ප්‍රධාන හේතුව අප කන බොන දේවල අඩංගු වස විස බවයි. මෙයට ප්‍රධානම පිළියම එතෙර මෙතෙර ආහාර පිළිබඳ දැඩි පරීක්ෂණවලට ලක් කර සුදුසු අහාර පාන පමණක් ‍රටේ ජනතාවට භාවිතයට ඉඩකඩ සලසා දීමයි.

පිටරටින් ගෙන්වන හා මෙරට විවිධ නිපැයුම්වල විවිධ ආහාර පානවල ලේබල් කල් ඉකුත්වීමේ දින වෙනස් කිරීම, නිෂ්පාදන රට වෙනස් කිරීම අපේ රටේ දිගින් දිගටම සිදුවන වංචා අතර අද ප්‍රමුඛත්වය ගනී.

මේ දූෂණ අක්‍රමිකතා හා වංචා නිසා කෙළින්ම අපේ ශරීරයට වස විස වන දේ හා අප ශරීරයට අපකැප විය හැකි දේ අනුභව කිරීමට අපට සිදුවනු ඇත.

ඒ සමඟම අද අපේ රටේ කාබනික ආහාර ඉල්ලුමට මුවාවී කාබනික නොවන රසායනික පොහොර දැමූ ආහාර ද්‍රව්‍ය ද වැඩි මිලට කාබනික ආහාර ලෙස වැඩි මිලට විකුණන අවස්ථා ද තිබේ.

අන්තර්ජාතික වෙළෙඳ පොළට කොකා පෙන්වමින් අපේ රටේ නිපයුම්වලට වෙනත් රටවල නම් ද වෙනත් රටවල නිපැයුම්වලට අපේ රටේ නම් ද යෙදූ අවස්ථා නීතියේ රැහැනට අල්ලා ගන්නට ද අවස්ථාව ලැබී ඇත.

අපේ ශරීරයට කෙළින්ම බලපාන හා අපේ රටේ ආර්ථික ප්‍රවර්ධනයට පෞඩත්වයට හානි කරමින් අපේ දේ බාලකරන ඉහත කී විවිධ වංචා දූෂණ ද අක්‍රමිකතා ද වළක්වන සුවිශේෂි නව තාක්ෂණික උපකරණයක් දැන් ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ ජෛව විද්‍යා අංශය මඟින් රටට හඳුන්වා දී තිබේ.

අපේ ආහාරපානවල හා ඵල නිපැයුම්වල අඩංගු ස්ථායි සමස්ථානිකවල මට්ටම හා පැවැත්ම සොයන මේ නව උපකරණය විවිධ අයුරින් අපේ රටට අලුත්ම නවීන විද්‍යාත්මක පරීක්ෂණ රැසක් සිදු කර ප්‍රතිඵල ඉදිරිපත් කිරීමට නියමිතය.

පරමාණුක බලශක්ති මණ්ඩලයේ ජෛව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ චම්පා දිසානායක මහත්මිය පවසන පරිදි නව උපකරණය මඟින් සිදු කරන්නේ යම් නිෂ්පාදන ද්‍රව්‍යයක හෝ ආහාර වර්ගයක, පාන වර්ගයක ස්ථායි සමස්ථානිකවල පැවැත්ම සොයා බලා එහි තත්ත්වය, මට්ටම හා පැවැත්ම තීරණය කිරීමයි.

අපේ රටේ පමණක් නොව මුළු ‍ලෝකයේම තිබෙන සුවිශේෂ ද්‍රව්‍යවල ආහාරවල ඇති ස්ථායි සමස්ථානිකවල ආවේනික අනුපාතය සොයා බලා දත්ත බැංකුවක් ඇති කිරීමද දැන් සිදුකරනු ලැබේ.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට හඳුන්වා දෙන මේ විද්‍යාත්මක සංවේදි නව තාක්ෂණික උපකරණ මඟින් එක් එක් ද්‍රව්‍යවල ඇති කාබන්, නයිට්‍රජන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් හා සල්ෆර් යන මූලද්‍රව්‍යවල ස්ථායි සමස්ථානිකවල අනුපාතය ක්‍රියාකාරිත්වය පිළිබඳව අධ්‍යයනය කරනු ලැබේ.

පසුව අපට අවශ්‍ය නිෂ්පාදන භාණ්ඩ ආහාර පාන පරික්ෂා කර බලා එහි ආවේණික ස්ථායි සමස්ථානිකවල තත්ත්වය පිළිබඳ පරමාණුක බලශක්ති මණ්ඩලයේ අලුතින් ඇති කරන දත්ත බැංකුවේ ඇති අත්‍යවශ්‍ය භාණ්ඩවල ස්ථායි සමස්ථානික පිළිබඳ නිශ්චිත තොරතුරු අනුව සසඳා බලා මේ එක් එක් ද්‍රව්‍ය හා ආහාරපාන නිපදවූ ප්‍රදේශය ද, නිපදවූ සෘතුවල පිළිබඳව සොයා ගත හැකිය. ඒ අනුව යම් වංචා අක්‍රමිකතා අවම කිරීමට මෙය හොඳ නිපැයුමකි.

මුලින් අප කියූ ආකාරයට මෙම උපකරණය ඉතා නවීන විද්‍යානුකූලව නිපදවා මෙරට ප්‍රයෝජනයට සුදුසු පරිදි සකස් කර ඇත.

මේ අනුව මේ නව උපකරණය අපේ රටේ නගරබදව ඉතා ජනප්‍රිය “කාබනික ආහාර” නියම කාබනික ආහාර දැයි කියා විද්‍යානුකූලව සොයා ගැනීමට ද අපට ඉඩ සලසා දෙයි. කෙළින්ම වෙළෙඳ පොළේ ‘කාබනික ආහාර’ ලෙස නම් කර ඇති ආහාර වෙළෙඳ පොළෙන් මිලදී ගෙන මේ උපකරණයෙන් පරික්ෂා කිරීමට ද අපේක්ෂා කෙරේ.

අපේ රටේ කුළු බඩු එතෙර යැවීමේදී තත්ත්වයෙන් බාල කුළුබඩු වැඩි ලාභ පිණිස එතෙර යැවීම හා ශ්‍රී ලංකා තේවල කීර්ති නාමයට හානි කරන වංචා දූෂණ වැළැක්වීම ද සිදු කෙරේ. ඒවා වැළැක්වීමට ද මේ උපකරණය මගින් හැකි බව පරමානුක බලශක්ති මණ්ඩලයේ ජෛව විද්‍යා අංශය පවසයි.

අප එදිනෙදා භාවිත කරන ඖෂධවල තත්ත්වය නිෂ්පාදන රට ආදිය ද මෙම උපකරණය මඟින් ඒවායේ ස්ථායි සමස්ථානික පරික්ෂා කර දත්ත ගබඩාවේ දත්ත අනුව සසදා තීරණය කළ හැකිය.

විදුලිබල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන ඇමැති රවී කරුණානායක මහතාගේ හා පරමාණුක බලශක්ති මණ්ඩලයේ බලධාරීන්ගේ උපදෙස් පරිදි ඉදිරියේදී මෙම උපකරණයේ ප්‍රයෝජන රටේ ව්‍යාපාරිකයන්ට හා පොදු ජනතාවට ලබා දීමට කටයුතු කෙරේ.

මේ උපකරණය අපේ රටට ලබාදීම හා හඳුන්වාදීම සඳහා අන්තර් ජාතික පරමාණුක බලශක්ති ඒජන්සි හා මහා භාණ්ඩාගාරය විදුලිබල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය එකතුව රුපියල් ලක්ෂ 530 ක් ලබාදී තිබේ. පරමාණුක බලශක්ති මණ්ඩලයේ සභාපති දීපාල් ගුණරත්න හා අධ්‍යක්ෂ ජනරාල් ටී.එම්.ආර්. තෙන්නකෝන් මහත්වරු ද මෙම උපකරණයේ ඉදිරිපත් කිරීමට අත හිත දුන් බව කෘතවේදීව සිහිපත් කරමු.

මේ කරුණු අනුව මේ ස්ථායි සමස්ථානිකවල තත්ත්වය මගින් අපි භාවිතකරන ආහාර පාන ඇතුළු භාණ්ඩවලත් නව නිපැයුම්වත් සැබෑ තොරතුරු හෙළි කර ගැනීමට අවස්ථාව ලැබී ඇත.

‍ෙම් අයුරින් අපේ රටේ විද්‍යාත්මක පර්යේෂණ ආයතන මහජන සහයෝගතාවට උදව් දෙන ආකාර‍ය ඉතා පැසසුම් කටයුතුය. ඒ අතරින් පරමානුක බලශක්ති මණ්ඩලය කරන මේ වැඩපිළිවෙළ ඉතා මහජන හිතකාමි බව ද කිව යුතුය.

Comments