සද්ධ­ර්ම ර­ත්නා­ව­ලිය ඉංගි­රි­සි­යෙන් පළ කරන්න රාජ්‍ය අනු­ග්‍ර­හය ලැබු­ණොත් වටි­නවා... | සිළුමිණ

සද්ධ­ර්ම ර­ත්නා­ව­ලිය ඉංගි­රි­සි­යෙන් පළ කරන්න රාජ්‍ය අනු­ග්‍ර­හය ලැබු­ණොත් වටි­නවා...

මහා­චාර්ය විනී විතා­රණ

වර්ෂ 1928 අද වන් දිනෙක මෙලොව ජන්ම ලාභය ලැබූ විනී විතා­ර­ණයෝ කුඩා වියෙහි පටන් මහත් ශාස්ත්‍ර පිපා­සා­ව­කින් පෙළු­ණාහු, ඒ මඟෙහි මහරු පල ලෙස ආචාර්ය උපාධි ද්වයක්ම හිමි කර­ගැ­නී­මට සමත් වූහ. හෙළ, පෙළ, සකු ඈ පෙර­දිගු බස්හි මෙන්ම ඉංගි­රි­සි­යෙ­හිද මැනැ­වින් නිපු­ණව, සෝප­හා­ස­වත් කථන ශෛලි­යක් ප්‍රගුණ කළ ආක­ර්ෂ­ණීය දේශ­ක­යකු වූ හෙතෙම ශ්‍රී ජය­ව­ර්ධ­න­පුර විශ්ව­වි­ද්‍යා­ලයේ සිංහල අධ්‍ය­ය­නාං­ශයේ මහා­චා­ර්ය­ව­ර­යකු සේ සේවාවේ නියුක්ත වූ අතර, රුහුණ විශ්ව­වි­ද්‍යා­ලයේ සිංහල අධ්‍ය­ය­නාං­ශයේ ප්‍රථම අංශ ප්‍රධා­න­යාද වූයේය. සම්මා­නිත මහා­චා­ර්ය­ව­ර­යකු වශ­යෙන් සිය පූර්ණ­කා­ලීන විශ්ව­වි­ද්‍යා­ල­යීය ආචාර්ය වෘත්ති­යට සමු දුන් විනී විතා­ර­ණයෝ අනූ­දෙ­වැනි වියට පා තබන මේ මොහො­තේත් ස්වකීය ශාස්ත්‍ර­කා­මය අත්නො­හළෝ, සම්භා­ව­නීය චිර­න්තන සිංහල කෘති විශ්ව භාෂා­වට නැඟී­මට සිත දී සිටිති.

භාෂා-ශාස්ත්‍ර විෂ­ය­යෙහි ප්‍රාමා­ණි­ක­යකු ලෙස මුළු රටම ඔබ ගැන දැන සිටි­යත්, ඔබේ උපන් ගම, ළමා විය ගැන තොර­තුරු එත­රම් පළට නැහැ. මේ කතා-බහ ඒ අතීත මත­ක­ව­ලින්ම අර­ඹමු...

මා උපන්නේ තංගල්ලේ. මා උප­දින විටත් මගේ පියා මිය­ගි­හින්. පවුලේ එකම දරුවා වුණේ මම. මට හිටියේ අම්මයි, ආත්ත­ම්මයි, මුත්තයි විත­රයි. එහෙ ඒ කාලෙ ඉතා නොදි­යුණු පළා­තක්. ලෙනාඩ් වුල්ෆ් ලිවුව ‘විලේජ් ඉන් ද ජංගල්’ කෘතියේ සඳ­හන් වුණු ආකා­ර­ය­ටම මහ කැලෑව. ඇත්ත­ටම ඒ කෘති­යට පාදක වෙච්ච ගම අපේ ගමට හැතැක්ම දෙකයි. එත­නින් පටන් ගත්තම යාප­න­යට වෙනකං කැලය. අපේ පවුල ගමේ තිබුණු පවු­ල්ව­ලින් ටිකක් ඉහ­ළින් තිබුණා. ගමේ ඔක්කොම ගෙවල් තිබුණේ දහ­යක් දොළ­හක් විතර. අපට ඉඩ­ක­ඩම් යහ­මින් තිබුණා; පොල් ඉඩම් තිබුණා. අප හේන් ගොවි­තැන් කළා; එළ­වුළු වැව්වා. කුර­හන්, මෙනේරි, තල වැනි ධාන්‍ය වර්ගත් ඒ අතර තිබුණා. අපේ ගෙදර ඒ දේව­ලින් ස්වය­ම්පෝ­ෂිත වුණාට අපට හාල් තිබුණෙ නැහැ. අපි වැඩි­පුර කෑවේ කුර­හන්, බඩ­ඉ­රිඟු. ඉරිඟු කර­ලක් කකා පාසල් ගියා...

මම ගියේ බද්දේ­ගම ක්‍රිස්තු­දේව ඉංගි­රිසි පාස­ලට. ඒකෙ කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ සහ­ති­කය වෙනකං ශිෂ්‍ය­යන් පුහුණු කළා. මේ තමයි කොළ­ඹින් ඈත පිටි­සර තිබුණු ඉහ­ළම ඉංග්‍රීසි පාසල.

මා පාස­ලට යන්න ඉස්සර, කුඩා ළමයා කාලේ ඉංගි­රිසි ඉගෙ­න­ගන්න අපේ ගම කිට්ටුව හිටිය ලංසි නෝනා කෙනෙක් ළඟට ගියා. ගෙදර ඉඳල හැතැක්ම කාලක් විතර දුර ඇති ඒ ගෙදෙට්ට. මා ඉගෙ­න­ගත්ත මුල් භාෂාව සිංහල නෙවෙයි; ඉංගි­රිසි. ඒ නිසා අවු­රුදු පහක් වෙන­කොට මට ඉංගි­රිසි ලියන්න කියන්න පුළු­වන් වුණා. ඒ නෝනා මගේ අම්මා ආත්තම්මා එක්ක සිංහ­ලෙන් කතා කළත් මා එක්ක කතා කළේ ඉංගි­රි­සි­යෙන්. අපට එයාට ගෙවන්න සල්ලි තිබුණෙ නැහැ; පොල්, අඹ, කොස්, දෙහි, කුර­ක්කන්, මිනේරි, ජූල්, තල... වගේ මොනව හරි අරන් යනවා. මං ඒවා අරන් ගියාම ඇය ඒවායේ නම් ඉංගි­රි­සි­යෙන් කියා දෙනවා.

එත­කොට ඔබ පාස­ලේදී ඉගෙ­න­ග­ත්තෙත් ඉංගි­රි­සි­යෙ­න්මද?

ඔව්, ක්‍රිස්තු­දේව විද්‍යා­ලයේ ඉංගි­රිසි කොට­සක් හා සිංහල කොට­සක් තිබුණා. ඉංගි­රිසි කොටසෙ ඉගැ­න්නුවේ උසස් පාස­ල්ව­ලින් හැදුණු ගුරු­වරු. ඒ අය අතර මහ­නු­වර ත්‍රිත්ව විද්‍යා­ලය, මොර­ටුවෙ වේල්ස් කුමර විද්‍යා­ලය, මීග­මුවෙ නිව්ස්ටෙඩ් විද්‍යා­ලය, ගාල්ලෙ රිච්මන්ඩ් විද්‍යා­ලය වගෙ පාස­ල්වල ආදි ශිෂ්‍ය­යන් හිටියා. විදු­හ­ල්පති විදි­යට කට­යුතු කළේ දකුණු ඉන්දීය සම්භ­ව­යක් ඇති දෙමළ ක්‍රිස්ති­යානි මහ­ත්ම­යෙක්. ඔහුගේ නම සැමු­වෙල්. මේ සියලු දෙනාම අපට ඉගැ­න්නුවේ ඉංග්‍රිසියෙන්. සිංහල පැයේ හා සිංහල කථි­කෝ­දය සමි­තියේ හැරු­ණාම සිංහ­ලෙන් කතා කිරීම තහ­නම්. එහෙම කතා කරලා අහු වුණොත් දඩ ගස­නවා.

මට කුඩා කල සිටම ලැබුණු ඉංගි­රිසි අධ්‍යා­ප­නය නිසා ඉංගි­රිසි විෂ­ය­යට ඉතා දක්ෂ අයකු වුණා. මේ නිසා මට පාසලේ කිසි­යම් සැල­කි­ල්ලක් හිමිව තිබුණා. පසුව මං නව­සිය හත­ළිස් ගණ­න්වල උසස් විභා­ගය කරන්න ගාල්ල මහින්ද විද්‍යා­ල­යට ආවා. සිංහල බෞද්ධ වුවත් මා ගාල්ල මහින්ද විද්‍යා­ල­යෙදී කතා කළේ ඉංගි­රි­සි­යෙන්. සිංහල ඉගෙ­න­ග­ත්තෙත් ඉංගි­රි­සි­යෙන්. ගුත්තිල කාව්‍යය, ලෝවැ­ඩ­ස­ඟ­රාව, පැර­කුම්බා සිරිත, සිදත් සඟ­රාව... ආදි පොත් ඉගැ­න්නු­වෙත් ඉංගි­රි­සි­යෙන්. බුද්ධ­ධ­ර්මය කාල­ච්ඡේ­ද­යත් ඉංගි­රි­සි­යෙන් තිබුණේ. නාරද හමු­දු­රු­වන්ගේ පොතක් තමයි එහිදී යොදා­ගැ­නුණේ. ඒ අනුව මා ජ්‍යෙෂ්ඨය වෙන­කම්ම අධ්‍යා­ප­නය ලැබුවේ ඉංග්‍රීසි මාධ්‍ය­යෙන්. ඉංග­රිසි භාෂාවේ තිබුණු හරය නිසා තමන්ගේ ආග­මට, භාෂා­වට, කුල­සි­රි­ත්ව­ලට ගෞරව කරන්න අප ඉගෙ­න­ගත්තා. අප රටට ඇලුම් කළා; රටේ ජන­තා­වට ඇලුම් කළා. ඉංගි­රිසි පරි­ස­රය තුළ ශ්‍රී ලාංකික බෞද්ධ උග­තුන් ලෙස අප හැදී-වැඩුණා.

ඔබ ගැන ගමේ උද­විය කල්පනා කළේ කොහො­මද?

ගමේ හාමු­දු­රුවෝ මගේ වේලා­ප­ත්කඩේ කිය­වලා කියපු දේවල් නිසා ගමම දැන­ගෙන හිටියා මම අධ්‍යා­ප­න­යෙන් ඉහ­ළට යන බව. කේන්දර, යන්ත්‍ර-මන්ත්‍ර, තොවිල්-පවිල් අපේ පරි­ස­රය තුළ තිබුණා. මේ සිංහල-බෞද්ධ ගම තුළ මෙරට පැවති පුරාණ විශ්වාස සියල්ල පැව­තියා. අප ඒවා පිළි­ගත්තා. කඳු­රු­පො­කුණේ යන්ත්‍ර-මන්ත්‍ර ශාස්ත්‍රය හොඳින් ව්‍යාප්තව තිබුණා. නැකැත් කුල­යක්ම එහි හිටියා. සිංහල අවු­රු­ද්දට නැකැත් කිව්වේ ඒ උද­විය. කේන්දර හදන්නේ, යාතිකා කියන්නේ, වතුර මතු­රන්නේ ඒ කට්ටිය. ඒ සියලු පාර­ම්ප­රික විශ්වාස අප පිළි­ගත්තා.

ඔබ ඔය කියන කාල­ප­රි­ච්ජේ­දය මේ රටේ ඉංගි­රිසි ආණ්ඩු­වක් පැවති වක­වා­නු­වක්. ඒ ගැන මොන විධියේ මත­ක­යක්ද ඔබට තිබෙන්නේ?

ඇත්ත­ටම අපට ඒ තරම් ඒ පිළි­බඳ හැඟී­මක් තිබුණේ නැහැ. කොටින්ම ඒ දේවල් ගැන අප දැනන් හිටි­යෙත් නැහැ. පස්සේ ආරම්භ වුණු ජනතා ව්‍යාපාර, අධි­රා­ජ්‍ය­වාදි සූරා­කෑ­මට විරුද්ධ වෙමින් ඇති වූ වාමාං­ශික නැඟී සිටීම් පිළි­බඳ මට යන්තම් මත­ක­යක් තියෙ­නවා. ඒ හැරෙන්න එත­රම් විශේෂ උන­න්දු­ව­කින් ඒ පිළි­බඳ සොයා බලා නැහැ.

බෞද්ධ පුන­රුද ව්‍යාපා­ර­යත් සමඟ බෞද්ධ පාසල් ක්‍රමය ආරම්භ වුණා. ඒ ආස්වා­දය ඔබට දැනු‍ණේ කොහො­මද?

මහින්දෙ ඉන්න කාලේ ඒ ආස්වා­දය අප­ටත් දැනුණා. කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කොට් තුමාගේ පරම විඥා­නාර්ථ සමා­ගම විසින් බෞද්ධ පාසල් ආරම්භ කිරීමේ ව්‍යාපා­ර­යක් දියත් කර තිබුණා.

ඒ අනුව 1892 මාර්තු 2 වැනිදා ගාල්ල කොටුව ෆෙඩ්ලර් වීදි­යේදී සෙත් පිරිත් සජ්ඣා­යනා මධ්‍යයේ තමයි මහින්ද විද්‍යා­ලය ආරම්භ කර තිබුණේ.

එවක සිසුන් හැට­දෙ­නකු හා ගුරු­ව­රුන් අට දෙන­කු­ගෙන් එය ආරම්භ කර තිබුණා. පළමු විදු­හ­ල්පති වුණේ අය­ර්ලන්ත ජාතික බෝල්ස් ඩැලී මහ­තායි. මෙහි කළ­ම­නා­කරු ලෙස කට­යුතු කළේ මුහ­න්දි­රම් තෝමස් ද සිල්වා අම­ර­සූ­රිය මහතා.

ඒ වෙද්දි සිංහල කිසි කෙනෙක් අධ්‍යා­පන ශාස්ත්‍රය කියල විධි­මත් අධ්‍යා­පන ක්‍රම­යක් දැන­ගෙන හිටියෙ නැහැ. කවුරු කියන්න අකැ­මැති වුණත්: අපට අධ්‍යා­ප­නය විද්‍යා­වක් ශාස්ත්‍ර­යක් විදි­යට ආවේ බට­හි­රින්. වෙස්ලි­යන් කට්ටිය යාප­න­යට ගියා. ක්‍රිස්ති­යානි කට්ටිය කොළඹ හිටියා.

ඔය විදි­යට ගාල්ල, මඩ­ක­ල­පුව, මීග­මුව, මාතර ආදි ප්‍රදේ­ශ­වල සාන්ත තෝමස්, සාන්ත ජෝසප්... ආදි වශ­යෙන් ක්‍රිස්ති­යානි පාසල් ඇති වුණා.

මේ ක්‍රිස්ති­යානි පාස­ල්ව­ලින් තමයි අධ්‍යා­ප­නය ක්‍රමා­නු­කූල නව ක්‍රම­වේ­ද­ය­කට කාල­ස­ට­හ­නක් අනුව ක්‍රියා­වට නැංවුණේ. අධ්‍යා­පන විෂය නිර්දේශ, අධ්‍යා­පන ක්‍රම, ගුරු­පු­හු­ණුව, ඒ සඳහා අවශ්‍ය ආය­ත­නික ව්‍යූහය... මේ ආදි සියල්ල ඇති වුණේ ඒ බල­පෑම අනු­වයි. මේ පාස­ල්වල අධ්‍යා­ප­නය ලැබූ බෞද්ධ දරු­වන් ක්‍රිස්ති­යා­නි­යට හර­වා­ගැ­නීම මෙහිදී සිදු වුණා.

මේ පාසල් මඟින් ශික්ෂ­ණය ලබපු බොහෝ දෙනා හැඳි­න්වුණේ ‘ඕල්කොට් බෞද්ධ­යන්’ නැති නම් ‘ප්‍රොතෙ­ස්තන්ත බෞද්ධ­යන්’ කිය­ලායි. ඒ ඇයි?

ඒක මේ නූතන නාම­ක­ර­ණ­යක් නේ. විශේ­ෂ­යෙන්ම මහා­චාර්ය ගණ­නාථ ඔබේ­සේ­කර තමයි ඔය විදි­යට නම් දුන්නේ. ඊට පස්සේ නූතන සමාජ විද්‍යා පර්යේ­ෂ­ක­ය­නුත් මේවා බලලා ‘ඕල්කොට් බෞද්ධයො’, ‘ප්‍රොතෙ­ස්තන්ත බෞද්ධයො’ කියලා කිව්වා. ඒ මිසක් ඒක සමා­ජී­යව විමසා බලා කරපු විද්‍යා­ත්මක අර්ථ දැක්වී­මක් නොවෙයි.

කෙසේ වෙතත් මේ මිෂ­නාරි පාඨ­ශාලා නිසා කිසි­යම් බෞද්ධ ප්‍රබෝ­ධ­යක් ඇති වුණා නේද?

ඒ සමය වන විට මිගෙ­ට්ටු­වත්තේ ගුණා­නන්ද හිමිගේ නාය­ක­ත්ව­යෙන් බද්දේ­ගම වාදය, උද­ම්මිට වාදය, ගම්පළ වාදය, පාණ­දුරා වාදය, ඌරු­ගො­ඩ­වත්ත වාදය ආදි බෞද්ධ-ක්‍රිස්ති­යානි වාද ඇති වුණා. හැබැයි ඒ එකක් වත් නියම ශාස්ත්‍රීය සංවාද නොවෙයි; හුදෙක් තර්ක කිරීම් විත­රයි. ඒ වන විට බෞද්ධ ජන නාය­කයො ක්‍රිස්ති­යානි වෙලා. ඔවුන්ගේ දරු­වොත් ක්‍රිස්ති­යානි. මේ අය ‘බෞද්ධ’ කියන නම කිය­න්නත් ලජ්ජයි.

ඒ අතරෙ මේ බෞද්ධ­කම ගැන හිතන එක්තරා පිරි­ස­කුත් ඇති වුණා. විශේ­ෂ­යෙන්ම දකුණේ අම­ර­සූ­රි­යල. සිංහ­ල­ක­මෙන් යුක්ත, සිංහල භාෂා­වට හා බෞද්ධ ධර්ම­යට ප්‍රමු­ඛ­ත්වය දෙන පාසල් අපිත් ආරම්භ කරන්න ඕනෑ කියලා මේ අය හිතුවා.

ඒත් ඒ අයට තිබුණ ගැට­ලුව තමයි මේක කරන්නෙ කොහො­මද කියන-එක. ඒත් නිකම් අතු-මඩු­වක් හදලා, හමු­දුරු කෙනෙක් සිදත් සඟ­රාව කිය­වලා තේරු­මක් නැහැ නේ? ඒක අධ්‍යා­ප­නය දීමක් යැ! මේ කාලෙ අධ්‍යා­ප­නය ලෝකය පුරා දියුණු වෙලා තිබුණා.

මේ නව අධ්‍යා­ප­නය ලබා­ගන්න කට­යුතු කිරීම නිසා ඉහත සඳ­හන් කළ විදි­යට හෙන්රි ස්ටීල් ඕල්කොට්, මාරි මියු­සි­යස් හිඟින්ස්, බ්ලැවැට්ස්කි මැති­නිය වගේ අයගේ දාය­ක­ත්ව­යෙන් අප­ටත් බෞද්ධ අධ්‍යා­පන ක්‍රම­යක් සකස් කර­ගැ­නීමේ අව­ස්ථාව හිමි වුණා. ඒ අය මෙහේ ආවේ නැත් නම් අප ම්ලේච්ඡ ජාති­යක් වීමට බොහෝ සෙයින් ඉඩ තිබුණා.

අප වර්ත­මා­න­යට ආවොත්... ඔබ මේ වන විට සම්භාව්‍ය සිංහල සාහිත්‍ය කෘති ඉංගි­රිසි බසට පරි­ව­ර්ත­නය කර­මින් සිටි­නවා. ඒ පිළි­බඳ යමක් සඳ­හන් කළොත්...

ඔව්, මා සිතන්නේ ඉදිරි පර­ම්ප­රා­වට හා සෙසු ලෝක­යට අපේ පැරණි සාහිත්‍ය කෘති හඳු­න්වා­දීම අව­ශ්‍යයි. මේ මහලු වයසේ එක එක නිෂ්ඵල දේට කාලය වැය කර­න­වාට වඩා මෙය උතුම් කාර්ය­යක් ලෙසයි මා සිතන්නේ. මේ වන විට සස­දාව, මුව­දෙ­ව්දාව, කව්සි­ළු­මිණ, ගිරා සන්දේ­ශය, සැල­ලි­හිණි සන්දේ­ශය, මයූර සන්දේ­ශය... ආදි සිංහල සාහිත්‍ය කෘති රාශි­යක් මා ඉංගි­රි­සි­යට පරි­ව­ර්ත­නය කර තිබෙ­නවා.

මේ වන විට සද්ධ­ර්ම­ර­ත්නා­ව­ලිය සම්පූර්ණ කර අව­සා­නයි. එය ඉතා භාර­ධුර කාර්ය­යක් බවට පත් වුණා. එහි සොදු­පත් බල­මින් සිටි­නවා. එය මුද්‍ර­ණය කිරී­මට අවශ්‍ය රාජ්‍ය අනු­ග්‍ර­හය ලැබේවි කියා මා විශ්වාස කර­නවා.

Comments