
වර්ෂ 1928 අද වන් දිනෙක මෙලොව ජන්ම ලාභය ලැබූ විනී විතාරණයෝ කුඩා වියෙහි පටන් මහත් ශාස්ත්‍ර පිපාසාවකින් පෙළුණාහු, ඒ මඟෙහි මහරු පල ලෙස ආචාර්ය උපාධි ද්වයක්ම හිමි කරගැනීමට සමත් වූහ. හෙළ, පෙළ, සකු ඈ පෙරදිගු බස්හි මෙන්ම ඉංගිරිසියෙහිද මැනැවින් නිපුණව, සෝපහාසවත් කථන ශෛලියක් ප්‍රගුණ කළ ආකර්ෂණීය දේශකයකු වූ හෙතෙම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ මහාචාර්යවරයකු සේ සේවාවේ නියුක්ත වූ අතර, රුහුණ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ ප්‍රථම අංශ ප්රධානයාද වූයේය. සම්මානිත මහාචාර්යවරයකු වශයෙන් සිය පූර්ණකාලීන විශ්වවිද්‍යාලයීය ආචාර්ය වෘත්තියට සමු දුන් විනී විතාරණයෝ අනූදෙවැනි වියට පා තබන මේ මොහොතේත් ස්වකීය ශාස්ත්‍රකාමය අත්නොහළෝ, සම්භාවනීය චිරන්තන සිංහල කෘති විශ්ව භාෂාවට නැඟීමට සිත දී සිටිති.
භාෂා-ශාස්ත්‍ර විෂයයෙහි ප්රාමාණිකයකු ලෙස මුළු රටම ඔබ ගැන දැන සිටියත්, ඔබේ උපන් ගම, ළමා විය ගැන තොරතුරු එතරම් පළට නැහැ. මේ කතා-බහ ඒ අතීත මතකවලින්ම අරඹමු...
මා උපන්නේ තංගල්ලේ. මා උපදින විටත් මගේ පියා මියගිහින්. පවුලේ එකම දරුවා වුණේ මම. මට හිටියේ අම්මයි, ආත්තම්මයි, මුත්තයි විතරයි. එහෙ ඒ කාලෙ ඉතා නොදියුණු පළාතක්. ලෙනාඩ් වුල්ෆ් ලිවුව ‘විලේජ් ඉන් ද ජංගල්’ කෘතියේ සඳහන් වුණු ආකාරයටම මහ කැලෑව. ඇත්තටම ඒ කෘතියට පාදක වෙච්ච ගම අපේ ගමට හැතැක්ම දෙකයි. එතනින් පටන් ගත්තම යාපනයට වෙනකං කැලය. අපේ පවුල ගමේ තිබුණු පවුල්වලින් ටිකක් ඉහළින් තිබුණා. ගමේ ඔක්කොම ගෙවල් තිබුණේ දහයක් දොළහක් විතර. අපට ඉඩකඩම් යහමින් තිබුණා; පොල් ඉඩම් තිබුණා. අප හේන් ගොවිතැන් කළා; එළවුළු වැව්වා. කුරහන්, මෙනේරි, තල වැනි ධාන්‍ය වර්ගත් ඒ අතර තිබුණා. අපේ ගෙදර ඒ දේවලින් ස්වයම්පෝෂිත වුණාට අපට හාල් තිබුණෙ නැහැ. අපි වැඩිපුර කෑවේ කුරහන්, බඩඉරිඟු. ඉරිඟු කරලක් කකා පාසල් ගියා...
මම ගියේ බද්දේගම ක්‍රිස්තුදේව ඉංගිරිසි පාසලට. ඒකෙ කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ සහතිකය වෙනකං ශිෂ්‍යයන් පුහුණු කළා. මේ තමයි කොළඹින් ඈත පිටිසර තිබුණු ඉහළම ඉංග්‍රීසි පාසල.
මා පාසලට යන්න ඉස්සර, කුඩා ළමයා කාලේ ඉංගිරිසි ඉගෙනගන්න අපේ ගම කිට්ටුව හිටිය ලංසි නෝනා කෙනෙක් ළඟට ගියා. ගෙදර ඉඳල හැතැක්ම කාලක් විතර දුර ඇති ඒ ගෙදෙට්ට. මා ඉගෙනගත්ත මුල් භාෂාව සිංහල නෙවෙයි; ඉංගිරිසි. ඒ නිසා අවුරුදු පහක් වෙනකොට මට ඉංගිරිසි ලියන්න කියන්න පුළුවන් වුණා. ඒ නෝනා මගේ අම්මා ආත්තම්මා එක්ක සිංහලෙන් කතා කළත් මා එක්ක කතා කළේ ඉංගිරිසියෙන්. අපට එයාට ගෙවන්න සල්ලි තිබුණෙ නැහැ; පොල්, අඹ, කොස්, දෙහි, කුරක්කන්, මිනේරි, ජූල්, තල... වගේ මොනව හරි අරන් යනවා. මං ඒවා අරන් ගියාම ඇය ඒවායේ නම් ඉංගිරිසියෙන් කියා දෙනවා.
එතකොට ඔබ පාසලේදී ඉගෙනගත්තෙත් ඉංගිරිසියෙන්මද?
ඔව්, ක්‍රිස්තුදේව විද්‍යාලයේ ඉංගිරිසි කොටසක් හා සිංහල කොටසක් තිබුණා. ඉංගිරිසි කොටසෙ ඉගැන්නුවේ උසස් පාසල්වලින් හැදුණු ගුරුවරු. ඒ අය අතර මහනුවර ත්‍රිත්ව විද්‍යාලය, මොරටුවෙ වේල්ස් කුමර විද්‍යාලය, මීගමුවෙ නිව්ස්ටෙඩ් විද්‍යාලය, ගාල්ලෙ රිච්මන්ඩ් විද්‍යාලය වගෙ පාසල්වල ආදි ශිෂ්‍යයන් හිටියා. විදුහල්පති විදියට කටයුතු කළේ දකුණු ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ක්‍රිස්තියානි මහත්මයෙක්. ඔහුගේ නම සැමුවෙල්. මේ සියලු දෙනාම අපට ඉගැන්නුවේ ඉංග්‍රිසියෙන්. සිංහල පැයේ හා සිංහල කථිකෝදය සමිතියේ හැරුණාම සිංහලෙන් කතා කිරීම තහනම්. එහෙම කතා කරලා අහු වුණොත් දඩ ගසනවා.
මට කුඩා කල සිටම ලැබුණු ඉංගිරිසි අධ්‍යාපනය නිසා ඉංගිරිසි විෂයයට ඉතා දක්ෂ අයකු වුණා. මේ නිසා මට පාසලේ කිසියම් සැලකිල්ලක් හිමිව තිබුණා. පසුව මං නවසිය හතළිස් ගණන්වල උසස් විභාගය කරන්න ගාල්ල මහින්ද විද්‍යාලයට ආවා. සිංහල බෞද්ධ වුවත් මා ගාල්ල මහින්ද විද්‍යාලයෙදී කතා කළේ ඉංගිරිසියෙන්. සිංහල ඉගෙනගත්තෙත් ඉංගිරිසියෙන්. ගුත්තිල කාව්‍යය, ලෝවැඩසඟරාව, පැරකුම්බා සිරිත, සිදත් සඟරාව... ආදි පොත් ඉගැන්නුවෙත් ඉංගිරිසියෙන්. බුද්ධධර්මය කාලච්ඡේදයත් ඉංගිරිසියෙන් තිබුණේ. නාරද හමුදුරුවන්ගේ පොතක් තමයි එහිදී යොදාගැනුණේ. ඒ අනුව මා ජ්‍යෙෂ්ඨය වෙනකම්ම අධ්‍යාපනය ලැබුවේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. ඉංගරිසි භාෂාවේ තිබුණු හරය නිසා තමන්ගේ ආගමට, භාෂාවට, කුලසිරිත්වලට ගෞරව කරන්න අප ඉගෙනගත්තා. අප රටට ඇලුම් කළා; රටේ ජනතාවට ඇලුම් කළා. ඉංගිරිසි පරිසරය තුළ ශ්‍රී ලාංකික බෞද්ධ උගතුන් ලෙස අප හැදී-වැඩුණා.
ඔබ ගැන ගමේ උදවිය කල්පනා කළේ කොහොමද?
ගමේ හාමුදුරුවෝ මගේ වේලාපත්කඩේ කියවලා කියපු දේවල් නිසා ගමම දැනගෙන හිටියා මම අධ්‍යාපනයෙන් ඉහළට යන බව. කේන්දර, යන්ත්‍ර-මන්ත්‍ර, තොවිල්-පවිල් අපේ පරිසරය තුළ තිබුණා. මේ සිංහල-බෞද්ධ ගම තුළ මෙරට පැවති පුරාණ විශ්වාස සියල්ල පැවතියා. අප ඒවා පිළිගත්තා. කඳුරුපොකුණේ යන්ත්‍ර-මන්ත්‍ර ශාස්ත්‍රය හොඳින් ව්‍යාප්තව තිබුණා. නැකැත් කුලයක්ම එහි හිටියා. සිංහල අවුරුද්දට නැකැත් කිව්වේ ඒ උදවිය. කේන්දර හදන්නේ, යාතිකා කියන්නේ, වතුර මතුරන්නේ ඒ කට්ටිය. ඒ සියලු පාරම්පරික විශ්වාස අප පිළිගත්තා.
ඔබ ඔය කියන කාලපරිච්ජේදය මේ රටේ ඉංගිරිසි ආණ්ඩුවක් පැවති වකවානුවක්. ඒ ගැන මොන විධියේ මතකයක්ද ඔබට තිබෙන්නේ?
ඇත්තටම අපට ඒ තරම් ඒ පිළිබඳ හැඟීමක් තිබුණේ නැහැ. කොටින්ම ඒ දේවල් ගැන අප දැනන් හිටියෙත් නැහැ. පස්සේ ආරම්භ වුණු ජනතා ව්‍යාපාර, අධිරාජ්‍යවාදි සූරාකෑමට විරුද්ධ වෙමින් ඇති වූ වාමාංශික නැඟී සිටීම් පිළිබඳ මට යන්තම් මතකයක් තියෙනවා. ඒ හැරෙන්න එතරම් විශේෂ උනන්දුවකින් ඒ පිළිබඳ සොයා බලා නැහැ.
බෞද්ධ පුනරුද ව්‍යාපාරයත් සමඟ බෞද්ධ පාසල් ක්‍රමය ආරම්භ වුණා. ඒ ආස්වාදය ඔබට දැනුණේ කොහොමද?
මහින්දෙ ඉන්න කාලේ ඒ ආස්වාදය අපටත් දැනුණා. කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කොට් තුමාගේ පරම විඥානාර්ථ සමාගම විසින් බෞද්ධ පාසල් ආරම්භ කිරීමේ ව්‍යාපාරයක් දියත් කර තිබුණා.
ඒ අනුව 1892 මාර්තු 2 වැනිදා ගාල්ල කොටුව ෆෙඩ්ලර් වීදියේදී සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ තමයි මහින්ද විද්‍යාලය ආරම්භ කර තිබුණේ.
එවක සිසුන් හැටදෙනකු හා ගුරුවරුන් අට දෙනකුගෙන් එය ආරම්භ කර තිබුණා. පළමු විදුහල්පති වුණේ අයර්ලන්ත ජාතික බෝල්ස් ඩැලී මහතායි. මෙහි කළමනාකරු ලෙස කටයුතු කළේ මුහන්දිරම් තෝමස් ද සිල්වා අමරසූරිය මහතා.
ඒ වෙද්දි සිංහල කිසි කෙනෙක් අධ්‍යාපන ශාස්ත්‍රය කියල විධිමත් අධ්‍යාපන ක්‍රමයක් දැනගෙන හිටියෙ නැහැ. කවුරු කියන්න අකැමැති වුණත්: අපට අධ්‍යාපනය විද්‍යාවක් ශාස්ත්‍රයක් විදියට ආවේ බටහිරින්. වෙස්ලියන් කට්ටිය යාපනයට ගියා. ක්‍රිස්තියානි කට්ටිය කොළඹ හිටියා.
ඔය විදියට ගාල්ල, මඩකලපුව, මීගමුව, මාතර ආදි ප්‍රදේශවල සාන්ත තෝමස්, සාන්ත ජෝසප්... ආදි වශයෙන් ක්‍රිස්තියානි පාසල් ඇති වුණා.
මේ ක්‍රිස්තියානි පාසල්වලින් තමයි අධ්‍යාපනය ක්රමානුකූල නව ක්‍රමවේදයකට කාලසටහනක් අනුව ක්‍රියාවට නැංවුණේ. අධ්‍යාපන විෂය නිර්දේශ, අධ්‍යාපන ක්‍රම, ගුරුපුහුණුව, ඒ සඳහා අවශ්‍ය ආයතනික ව්‍යූහය... මේ ආදි සියල්ල ඇති වුණේ ඒ බලපෑම අනුවයි. මේ පාසල්වල අධ්‍යාපනය ලැබූ බෞද්ධ දරුවන් ක්රිස්තියානියට හරවාගැනීම මෙහිදී සිදු වුණා.
මේ පාසල් මඟින් ශික්ෂණය ලබපු බොහෝ දෙනා හැඳින්වුණේ ‘ඕල්කොට් බෞද්ධයන්’ නැති නම් ‘ප්‍රොතෙස්තන්ත බෞද්ධයන්’ කියලායි. ඒ ඇයි?
ඒක මේ නූතන නාමකරණයක් නේ. විශේෂයෙන්ම මහාචාර්ය ගණනාථ ඔබේසේකර තමයි ඔය විදියට නම් දුන්නේ. ඊට පස්සේ නූතන සමාජ විද්‍යා පර්යේෂකයනුත් මේවා බලලා ‘ඕල්කොට් බෞද්ධයො’, ‘ප්‍රොතෙස්තන්ත බෞද්ධයො’ කියලා කිව්වා. ඒ මිසක් ඒක සමාජීයව විමසා බලා කරපු විද්‍යාත්මක අර්ථ දැක්වීමක් නොවෙයි.
කෙසේ වෙතත් මේ මිෂනාරි පාඨශාලා නිසා කිසියම් බෞද්ධ ප්රබෝධයක් ඇති වුණා නේද?
ඒ සමය වන විට මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිගේ නායකත්වයෙන් බද්දේගම වාදය, උදම්මිට වාදය, ගම්පළ වාදය, පාණදුරා වාදය, ඌරුගොඩවත්ත වාදය ආදි බෞද්ධ-ක්‍රිස්තියානි වාද ඇති වුණා. හැබැයි ඒ එකක් වත් නියම ශාස්ත්‍රීය සංවාද නොවෙයි; හුදෙක් තර්ක කිරීම් විතරයි. ඒ වන විට බෞද්ධ ජන නායකයො ක්‍රිස්තියානි වෙලා. ඔවුන්ගේ දරුවොත් ක්‍රිස්තියානි. මේ අය ‘බෞද්ධ’ කියන නම කියන්නත් ලජ්ජයි.
ඒ අතරෙ මේ බෞද්ධකම ගැන හිතන එක්තරා පිරිසකුත් ඇති වුණා. විශේෂයෙන්ම දකුණේ අමරසූරියල. සිංහලකමෙන් යුක්ත, සිංහල භාෂාවට හා බෞද්ධ ධර්මයට ප්‍රමුඛත්වය දෙන පාසල් අපිත් ආරම්භ කරන්න ඕනෑ කියලා මේ අය හිතුවා.
ඒත් ඒ අයට තිබුණ ගැටලුව තමයි මේක කරන්නෙ කොහොමද කියන-එක. ඒත් නිකම් අතු-මඩුවක් හදලා, හමුදුරු කෙනෙක් සිදත් සඟරාව කියවලා තේරුමක් නැහැ නේ? ඒක අධ්‍යාපනය දීමක් යැ! මේ කාලෙ අධ්‍යාපනය ලෝකය පුරා දියුණු වෙලා තිබුණා.
මේ නව අධ්‍යාපනය ලබාගන්න කටයුතු කිරීම නිසා ඉහත සඳහන් කළ විදියට හෙන්රි ස්ටීල් ඕල්කොට්, මාරි මියුසියස් හිඟින්ස්, බ්ලැවැට්ස්කි මැතිනිය වගේ අයගේ දායකත්වයෙන් අපටත් බෞද්ධ අධ්‍යාපන ක්‍රමයක් සකස් කරගැනීමේ අවස්ථාව හිමි වුණා. ඒ අය මෙහේ ආවේ නැත් නම් අප ම්ලේච්ඡ ජාතියක් වීමට බොහෝ සෙයින් ඉඩ තිබුණා.
අප වර්තමානයට ආවොත්... ඔබ මේ වන විට සම්භාව්‍ය සිංහල සාහිත්‍ය කෘති ඉංගිරිසි බසට පරිවර්තනය කරමින් සිටිනවා. ඒ පිළිබඳ යමක් සඳහන් කළොත්...
ඔව්, මා සිතන්නේ ඉදිරි පරම්පරාවට හා සෙසු ලෝකයට අපේ පැරණි සාහිත්‍ය කෘති හඳුන්වාදීම අවශ්‍යයි. මේ මහලු වයසේ එක එක නිෂ්ඵල දේට කාලය වැය කරනවාට වඩා මෙය උතුම් කාර්යයක් ලෙසයි මා සිතන්නේ. මේ වන විට සසදාව, මුවදෙව්දාව, කව්සිළුමිණ, ගිරා සන්දේශය, සැලලිහිණි සන්දේශය, මයූර සන්දේශය... ආදි සිංහල සාහිත්‍ය කෘති රාශියක් මා ඉංගිරිසියට පරිවර්තනය කර තිබෙනවා.
මේ වන විට සද්ධර්මරත්නාවලිය සම්පූර්ණ කර අවසානයි. එය ඉතා භාරධුර කාර්යයක් බවට පත් වුණා. එහි සොදුපත් බලමින් සිටිනවා. එය මුද්‍රණය කිරීමට අවශ්‍ය රාජ්‍ය අනුග්‍රහය ලැබේවි කියා මා විශ්වාස කරනවා.