තුන් ගුණයක් ලොකු චන්ද්‍රිකා හදන්න සැලසුම් ක්‍රියාත්මකයි | සිළුමිණ

තුන් ගුණයක් ලොකු චන්ද්‍රිකා හදන්න සැලසුම් ක්‍රියාත්මකයි

ශ්‍රී ලංකාව අභ්‍යවකාශ පර්යේෂණ ක්ෂේත්‍රයට පිවිසීම සනිටුහන් කරමින් පසුගියදා අපේ ඉංජිනේරුවරු දෙදෙනකු නිපදවූ රාවණ 1 චන්ද්‍රිකාව පසුගිය 18 වැනිදා අභ්‍යවකාශගත කෙරිණි. මොරටුව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂණ ඉංජිනේරුවරු ලෙස සේවය කරන දුලානි චාමිකා විතානගේ හා තරිදු දයාරත්න යන දෙදෙනා මෙම මෙරට ප්‍රථම චන්ද්‍රිකාව නිර්මාණය කර ඇත්තේ ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ දිගුකාලීන අභ්‍යවකාශ තාක්ෂණ සංවර්ධන වැඩසටහනේ එක් පියවරක් ලෙසය.

මොරටුව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයට අයිති ආයතනයකි. එය ජාතික මට්ටමේ අභ්‍යවකාශ තාක්ෂණ සංවර්ධන වැඩපිළිවෙළ 2014 දී පමණ ආරම්භ කර ඇත. එය රටට දිගුකාලීන ප්‍රතිලාභ දෙන වැඩපිළිවෙළකි.

2010 දී ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය මඟින් අභ්‍යවකාශ තාක්ෂණ සංවර්ධන අංශයක් හා අභ්‍යවකාශ තාක්ෂණ යෙදවුම් අංශයක් පිහිටුවනු ලැබීය. පසුව 2014 වසරේදී නිශ්චිත ලෙස ශ්‍රී ලංකාව තුළ ශ්‍රී ලාංකික ඉංජිනේරුවරුනට චන්ද්‍රිකා නිර්මාණ කිරීමේ තාක්ෂණය ලබාගැනීමේ වැඩපිළිවෙළ ආරම්භ විය. ඒ අනුව ශ්‍රී ලාංකික චන්ද්‍රිකාවක් නිර්මාණය කර අභ්‍යවකාශයට යැවිය යුතුයි යන අදහස පෙරදැරි කරගෙන 2014 වසරේදී මහ භාණ්ඩාගාරයට ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය මඟින් ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කළෙමු. එවකට විද්‍යා තාක්ෂණ ඇමැති ලෙස සිටි පාඨලී චම්පික රණවක මහතා මේ අදහස නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීම ගල්කිස්සේ හෝටලයේදී සිදු කළේය.

මේ අභ්‍යවකාශ තාක්ෂණ සංවර්ධන වැඩපිළිවෙල සඳහා එවකට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ලෙස සිටි වත්මන් ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතාගෙන් ද පූර්ණ උදව් ලැබුණි.

අභ්‍යවකාශ සංවර්ධන වැඩපිළිවෙළක් යනු අධි තාක්ෂණික විෂය සමූහයක එකතුවකි.

එය මුලින්ම බිහිවී ඇත්තේ ඇමෙරිකාව, ජපානය, රුසියාව වැනි දියුණු රටවල්වලිනි.

අභ්‍යවකාශ තාක්ෂණය එදිනෙදා ජීවිතයේ සියලුම අංග කෙරෙහි යොදා ගන්නා අවස්ථාව ලැබීම නිසා අප වැනි රටවලටද එම ක්ෂේත්‍රයේ සංවර්ධනය අවශ්‍ය විය.

2015 වසරේදී අභ්‍යවකාශයේ සාමකාමි භාවිතය සඳහා වූ එක්සත් ජාතීන්ගේ අනු කමිටුවේ සාමාජිකත්වය ශ්‍රී ලංකාවට ලැබීම අපේ අභ්‍යවකාශ සංවර්ධන වැඩ සටහනේ සුවිශේෂ සන්ධිස්ථානයකි. ඒ මඟින් අභ්‍යවකාශ ක්ෂේත්‍රයට අදාළ ඉහළ හැකියාවක් ඇති රටවල් සමඟ සම්බන්ධතා දියුණු කර ගැනීමට හැකිවේ. ලොව දියුණු අභ්‍යවකාශ තාක්ෂණ සංවර්ධන වැඩපිළිවෙළක් ඇති සියලු රටවල් මෙම කමිටුවේ සාමාජිකත්වය ලබා ගෙන ඇත.

‍මේ කමිටුවට සම්බන්ධ වීම අප රට අභ්‍යවකාශ පර්යේෂණ සංවර්ධන ක්ෂේත්‍රය මඟින් ඉදිරියට යාමට ලොකු රුකුලක් විය. ඒ මඟින් අපට රුසියාව, ජපානය, චීනය, ඉන්දියාව වැනි රටවල්වල සහාය අ‍පේ අභ්‍යවකාශ පර්යේෂණ ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා ලබා ගැනීමට අවශ්‍ය අවස්ථාව ලැබිණි.

ඒ අනුව අපේ ප්‍රධාන වැඩපිළිවෙළ 2014 සිට ක්‍රමික ඉදිරි ගමනකට අවතීර්ණ විය. ඒ අනුව නැනෝ චන්ද්‍රිකා වැනි චන්ද්‍රිකා නිර්මාණය කිරීමේ හැකියාව ශ්‍රී ලාංකික ඉංජිනේරුවරුන් ලබා ගැනීම අපේ ආයතනයේ ප්‍රථම අභ්‍යවකාශ තාක්ෂණ සංවර්ධන වැඩසටහනයි. දෙවැනි වැඩසටහන පෘථිවි නිරීක්ෂණ චන්ද්‍රිකා දත්ත ලබා ගැනීමේ ප්‍රතිග්‍රාහන මධ්‍යස්ථාන සංකීර්ණයක් අපේ රටේ ඉදිකිරීමයි. එය මහ නගර සංවර්ධන වැඩසටහන යටතේ හෝමාගම තාක්ෂණික නගරය ඇතුළත හොරගල ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිතය.

මේ යටතේ ක්‍රියාත්මක 3 වැනි වැඩපිළිවෙළ වූයේ ඉහත කී ක්ෂේත්‍රයන් වලට අදාළව තාක්ෂණික ශක්‍යතාව වැඩි දියුණු කිරීම, පර්යේෂණ කිරීම හා යෙදෙවුම් සංවර්ධනයට කටයුතු කිරීමයි.

මේ සඳහා මේ ක්ෂේත්‍රය පිළිබඳව විද්‍යාඥයන්ගේ හා ඒ ඒ යෙදවුම් විෂය ක්ෂේත්‍රවලට අදාළව ක්ෂේත්‍රවල විද්‍යාඥයන්ගේ අදහස් ගණනාවක් යොදා ගන්නා ලදි.

නැනෝ චන්ද්‍රිකාවක් නිර්මාණය කිරීමේ වැදගත්කම අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉතාම ඉහළ මට්ටමක පවතී. ඒ අනුව අපේ දුලානි හා තරිදු ඉංජිනේරුවරුන් දෙපළ කළ කැපවීම අපි ඉහළින්ම අගය කළ යුතු වෙමු.

පසුගිය දිනවල ඔවුහු රාත්‍රී 1.00 දක්වා නිදිවරමින් එම චන්ද්‍රිකාවේ අවසන් කටයුතු නිර්මාණය කරමින් සිටි බව අපි දනිමු.

නැනෝ චන්ද්‍රිකාවක් කුඩා වුවත් වඩා විශාල සංකීර්ණ චන්ද්‍රිකාවක අන්තර්ගත සියලුම මූලික තාක්ෂණික පද්ධති මේ තුළ අන්තර්ගතයි. මෙය කුඩා ප්‍රමාණයේ චන්ද්‍රිකාවක් වූවාට එය නිර්මාණය කිරීම හා ක්‍රියාත්මක කිරීම මඟින් අපේ ඉංජිනේරුවරුන්ටත් තාක්ෂණික පුහුණු හා අත්දැකීම් රැසක් ලබාගත හැකි විය. කෙසේ වුවත් මේ චන්ද්‍රිකාව නිපදවීම හුදෙකලා සිදුවීමක් නොවෙයි. එය ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයට ලැබුණු ව්‍යවස්ථානුකූල කාර්ය භාරය අනුව ක්‍රියාත්මක කළ අලුත් වැඩපිළිවෙළක අභ්‍යවකාශ පර්යේෂණයක ප්‍රතිඵලයකි.

අපේ රටේ අභ්‍යවකාශ තාක්ෂණික සංවර්ධන වැඩපිළිවෙළ මෙතැනින් නවතින්නේ නැත. ඉදිරියේදී රුසියාව සමඟ මීට වඩා තුන් ගුණයක් විශාල තවත් චන්ද්‍රිකා දෙකක් නිර්මාණය කිරීමට සූදානම්ව සිටී.

අපේ රටට චන්ද්‍රිකා තාක්ෂණය ලබා ගැනීමේ වැඩපිළිවෙළේ මුල් අදියර ලෙස මෙලෙස රුසියාව හා ජපානය සමඟ නැනෝ චන්ද්‍රිකා නිපදවීම ආරම්භ කර ඇත. ඉන් චන්ද්‍රිකා දෙකක් රුසියාව සමඟ නිපදවන අතර අනෙක් චන්ද්‍රිකාව ජපානය සමඟ දැනටමත් නිපදවා ඇත.

රාවණ - 1 ජපානයේ උදවු ඇතිව අපේ ඉංජි‍නේරුවරුන් නිර්මාණය කළ අපේ ප්‍රථම චන්ද්‍රිකාවයි. කෙසේ වුවත් අපි රුසියාවේ සමාරා සරසවියසමඟ මීට වඩා තෙගුණයක් විශාල චන්ද්‍රිකා දෙකක් නිපදවීමට කටයුතු යොදා තිබේ. එය ඉදිරියට නිර්මාණය වනු ඇත.

කෙසේ වුවත් රුසියානු වැඩපිළිවෙළට පෙර ජපාන වැඩපිළිවෙළ හා සම්බන්ධ රාවණ 1 ඉක්මනින්ම අභ්‍යවකාශගත කිරීමට අපට හැකිවූයේ කෙලෙසදැයි අපි සොයා බලමු. අපි 2014 දී පමණ සාමාජිකත්වය ලැබූ අභ්‍යවකාශයේ සාමකාමී භාවිතය සඳහා වූ එක්සත් ජාතීන්ගේ සංවිධාන අනු කමිටුවේ සහය ඇතිව ජපානයේ කියුෂි තාක්ෂණික විශ්ව විද්‍යාලය මඟින් දියුණු වෙමින් රටවල අභ්‍යවකාශ පර්යේෂණ කටයුතු සඳහා උපකාර කරනු ලැබේ.

ඒ යටතේ දියුණු වෙමින් පවතින රටවල අභ්‍යවකාශ කටයුතු පිළිබඳ පර්යේෂණ ක්ෂේත්‍රයේ පශ්චාත් උපාධි කටයුතු සඳහා ශිෂ්‍යත්ව කිහිපයක් ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබේ. ඒ අනුව 2016 දි මේ සඳහා ඉල්ලුම්පත් කැඳවීය.

මේ සඳහා ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ පුහුණුව ලබන තරුණ ඉංජිනේරුවරුන් හා ඉංජිනේරුවරියන්ට ඉල්ලුම්පත් දමන ලෙස අපි දන්වා සිටියෙමු. ඒ අනුව ඒ පිළිබඳව බලවත් ලෙස උනන්දු වූ ඉංජිනේරුවරියක වූ දුලානි චාමිකා විතානගේ ඒ සඳහා ඉල්ලුම්පතක් ඉදිරිපත් කළාය.

පසුව අපේ උපදෙස් මත ඒ සමඟ ඉදිරිපත් කළ යුතු ව්‍යාපෘති යෝජනාවක් රැගත් සංකල්ප පත්‍රිකාවක් ඉදිරිපත් කළේය.

මෙම පශ්චාද් උපාධි ශිෂ්‍යත්ව වැඩපිළිවෙළට ඉල්ලුම්පත් 1400 ක් ලැබුණු අතර ඉන් ඉල්ලුම්පත් 20 ක් දෙවැනි වටයට තේරී තිබිණි. ශ්‍රී ලංකාවේ ඉල්ලුම්පත ද එහි අන්තර්වී තිබීම අපට සතුටුදායක කරුණක් විය. නමුත් එමඟින් ලබා දෙන්නේ ශිෂ්‍යත්ව 2ක් පමණි. පසුව ඒ පිළිබඳව කටයුතු කරන මගේ මිතුරකු වූ කියුෂි සරසවියේ ජොර්ජ් මහතා සමඟ මා එකඟවූ ගිවිසුමක ප්‍රතිඵලයක් ලෙස දුලානිට අදාළ ශිෂ්‍යත්වය ලැබිණි.

මේ සඳහා මම යෝජනා කළේ ජපානය අප රටට මෙම ශිෂ්‍යත්වය ලබා දුනහොත් අපේ රටේ වියදමෙන් තවත් තරුණ විද්‍යාඥයෙක් මීට සම්බන්ධ කර අපේ රටෙන් නැනෝ චන්ද්‍රිකාවක් සකස් කිරීමට පියවර ගන්නා බවයි.

පසුව අපි පුවත්පත් දැන්වීමක් දමා මේ චන්ද්‍රිකාව තැනීම සඳහා සුදුසු ඉංජිනේරුවන්ගෙන් ඉල්ලුම්පත් කැඳවනු ලැබීය.

‍ෙම් සඳහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දක්ෂ ඉංජිනේරු උපාධිධාරියකු වූ තරිදු දයාරත්න තෝරා ගන්නා ලදි. පසුව ඉංජිනේරු තරිදු හා ඉංජිනේරු දුලානි ජපානයට යවා අදාළ පුහුණුව හා චන්ද්‍රිකා සකස් කිරීමේ කටයුතු සඳහා සූදානම් කිරීම අරඹා තිබේ. මෙම කටයුතු එවකට විද්‍යා තාක්ෂණ ඇමැති සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යාංශ ලේකම් වූ වත්මන් ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න හා අතාර් සී. ක්ලාක් ආයතනයේ පාලක මණ්ඩල සභාපති මහාචාර්ය කෙමල්ඩීන් මහතාත් උදව් කළ බව අපට මතකය. ඒ නිසාම මේ වැඩපිළිවෙළට කැබිනට් අනුමැතිය ලැබිණි.

මේ අතර රුසියාව සමඟ ඉදිරියේදී රාවණ - 1 නැනෝ චන්ද්‍රිකාව මෙන් තුන් ගුණයක් විශාල චන්ද්‍රිකාවක් නිර්මාණය කිරීම් සැලසුම් කළේය. 2017 වසරේදී රුසියාවේ සමාරා සරසවිය සමඟ අපි එම ව්‍යාපෘතිය ඇරැඹුවෙමු. 2017 මාරතු මාසයේ රුසියානු ජාතික අභ්‍යවකාශ ආයතනය (Roscosmos) සමඟ අපි අපේ රටේ අභ්‍යවකාශ තාක්ෂණය හා චන්ද්‍රිකා නිපදවීම් පිළිබඳව අවබෝධතා ගිවිසුමක් ඇති විය.

මේ රුසියානු ජාතික අභ්‍යවකාශ ආයතනය වනාහි මේ ලෝකයේ අභ්‍යවකාශ පර්යේෂණ කරන ප්‍රධාන ආයතන දෙකින් එකකි. ඒ මඟින් අපේ රටේ අභ්‍යවකාශ තාක්ෂණ පර්යේෂණ දියුණු කිරීමට අවස්ථාව ලැබුණි.

රුසියානු ජාතික අභ්‍යවකාශ ආයතනය සමඟ ඇරැඹුණු අවබෝධතා ගිවිසුම අනුව අපිට තාක්ෂණ වාසි රැසක් ලැබේ. ඒ අනුව සමාරා විශ්ව විද්‍යාලයත් සමඟ ආරම්භ කර තිබුණු නැනෝ චන්ද්‍රිකා නිපදවීමේ වැඩපිළිවෙළ යටතේ නිපදවනු ලබන චන්ද්‍රිකාවක් අභ්‍යවකාශගත කිරීමට උදව් ලබා දීමට එකඟ වී ඇත. ඊට අමතරව පොදුවේ අභ්‍යවකාශ තාක්ෂණය පිළිබඳව ශ්‍රී ලංකාවේ ශක්‍යතාව ප්‍රවර්ධනය කිරීමට මෙම ගිවිසුම මඟින් කටයුතු සලසා ඇත.

ඒ වගේම අපේ රටට පෘථිවි නිරීක්ෂණ චන්ද්‍රිකා මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමටත් මෙම ගිවිසුම යටතේ උදව් ලබාදීමට එකඟතාව පළකර ඇත.

පෘථිවි චන්ද්‍රිකා දත්ත ප්‍රතිග්‍රහණය කිරීමේ මධ්‍යස්ථානය අපේ රටට හා එයට සම්බන්ධ රටවලට ඉතා වැදගත් ආයතනයකි. මේ සඳහා හෝමාගම හොරගල ප්‍රදේශයේ අක්කර 15ක ඉඩමක් ලබාදී තිබේ. මේ සඳහා රටවල් ගණනාවක් උදව් කිරීමට සූදානම්ව සිටී. මෙවැනි මධ්‍යස්ථානයක් පිහිටුවීම මඟින් අපේ රටට අවශ්‍ය පෘථිවි නිරීක්ෂණ චන්ද්‍රිකා දත්ත ආදිය ඉතා කුඩා කාල පරාසයක් ඇතුළත වැඩි වශයෙන් ලබා ගැනීමට අවස්ථාව සැලසේ. අද ලොව සෑම රටකටම චන්ද්‍රිකා දත්ත අත්‍යවශ්‍ය වේ. සෑම රටක්ම චන්ද්‍රිකා මඟින් ලැබෙන දත්ත මත යැපේ.

මේ අයුරින් අපේ රටේ ඉදිකරන පෘථිවි චන්ද්‍රිකා දත්ත සංවේදී මධ්‍යස්ථානයක් මඟින් ලබාගන්නා දත්ත මඟින් අපට ද ඉමහත් ප්‍රයෝජන හා ආර්ථික ප්‍රගතියක් ද ලබාගත හැකිය. අපේ රටේ පෘථිවි චන්ද්‍රිකා මධ්‍යස්ථානයක් ඉදි කර එයට ඉහළින් යන චන්ද්‍රිකාවල දත්ත අපට ප්‍රතිග්‍රහණය කර ගත හැකිය. මෙම දත්ත එතෙර මෙතෙර අභ්‍යවකාශ පර්යේෂණ, කෘෂිකාර්මික, ස්වාභාවික සම්පත් සංවර්ධන, ආපදා කළමනාකරණ හා නාගරික සංවර්ධන ක්ෂේත්‍ර කෙරේ ඉතා වැදගත් වේ.

මේ අනුව රාවණ - 1 අපේ අභ්‍යවකාශ තාක්ෂණ සංවර්ධන වැඩසටහනේ එක් පියවරක් පමණි. මේ සංවර්ධන වැඩපිළිවෙළ යටතේ ඉදිරියේදී තවත් විශාල චන්ද්‍රිකා දෙකක් අභ්‍යවකාශයට යැවීමට චන්ද්‍රිකා දත්ත ලබාගැනීමේ පෘථිවි නිරීක්ෂණ මධ්‍යස්ථානයක් ඉදිකිරීමට මෙන්ම මෙරට චන්ද්‍රිකා තාක්ෂණය පිළිබඳව ශක්‍යතාව වැඩි දියුණු කිරීමට කටයුතු කරනු ලැබේ.

මේ අපේ රටේ අභ්‍යවකාශ තාක්ෂණ සංවර්ධන වැඩසටහන් නිසා රටට ආර්ථික වර්ධනය ද ලබා ගැනීමට හැකියාව ලැබේ. රටක් ඉදිරියට යාමට නම් මෙවැනි අභ්‍යවකාශ තාක්ෂණ ප්‍රගතිය අවශ්‍යයි. ආර්ථික විද්‍යාව අනුව අපේ රටට තවදුරටත් නිෂ්පාදන සාධක මත යෙදවීම් මඟින් ආර්ථික වර්ධනයක් ළඟාකර ගැනීම දුෂ්කරය.

ඒ අනුව අපේ රට ඉදිරියට යාමට නම් අනිවාර්යෙන් ම දැනුම පදනම් කරගත් නව්‍ය තාක්ෂණික හැකියාවන් මත පදනම් වූ නවෝත්පාදන මත බිහිවූ ආර්ථිකයක් කරා අප යා යුතුයි. එබඳු ආර්ථිකයක් කරා යාමේදී රටක වැඩි දියුණු විය යුතු අධි තාක්ෂණික ක්ෂේත්‍ර කිහිපයක් ඇත. ඒ අතරින් මේ අභ්‍යවකාශ තාක්ෂණය ප්‍රමුඛ පෙළේ ප්‍රධාන පදනම් තාක්ෂණික ධාරාවක් ලෙස අපට හඳුන්වා දිය හැකිය. ඒ නිසා අභ්‍යවකාශ තාක්ෂණ ප්‍රගතියක් අත්කර ගැනීම රටට ලොකු ප්‍ර‍යෝජනයක් වනු ඇත. එය හුදෙක් චන්ද්‍රිකා සෑදීමට පමණක් නොවේ. එය ක්ෂේත්‍ර ගණනාවක සංවර්ධනයක් ලෙස හඳුන්වා දීමට පුළුවන. අපේ රටේ නැනෝ චන්ද්‍රිකා නිර්මාණය නිසා රටේ විවිධ ක්ෂේත්‍ර ගණනාවක තාක්ෂණ දියුණුවක් අපේක්ෂා කෙරේ.

දැනට ලෝකයේ ඇති අලුත් ප්‍රවණතාව අනුව නැනෝ චන්ද්‍රිකාවලට ඉහළ ඉල්ලුමක් ඇති වෙමින් පවතින බව දැනගන්නට ඇත. ඒ අනුව නැනෝ චන්ද්‍රිකා ක්ෂේත්‍රය පිළිබඳව තාක්ෂණික හා වාණිජමය ඉල්ලුමක් අනාගතයේදී ඇති වනු‍ නොඅනුමානය. මේ අනුව මේ ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය මේ රාවණ 1 මඟින් ආරම්භ කළ අපේ අභ්‍යවකාශ තාක්ෂණික වැඩපිළිවෙළ තව ඉදිරියට ක්‍රියාත්මක වීම නිසා අපේ රටට ප්‍රතිලාභ රැසක් ලැබේ.

එමඟින් අපේ අභ්‍යවකාශ ඉංජිනේරුවරුන්ට අභ්‍යවකාශ තාක්ෂණික දැනුම ලබාගැනීමට පමණක් නොව රටේ තාක්ෂණ ප්‍රගතියට හා ආර්ථික ප්‍රවර්ධනයට ද මහඟු හිතකර බලපෑමක් එල්ල වන බව කිව යුතුය.

මේ අනුව රාවණ 1 වනාහි අපේ අභ්‍යවකාශ තාක්ෂණික සංවර්ධන ජාතික වැඩසටහනේ එක් අංගයක් පමණක් බවත් එම වැඩසටහන ඉදිරියට ගමන් කිරීම මඟින් රටේ අභ්‍යවකාශ තාක්ෂණ සංවර්ධනය පමණක් නොව ආර්ථික සංවර්ධනය ද ළඟා කර ගත හැකි බවත් කිව යුතුය.

මේ ව්‍යාපෘතියේ සම්බන්ධීකාරක ලෙස කටයුතු කළේ ආතර් සී. ක්ලාක් ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (තාක්ෂණ මෙහෙයුම්) ඉංජිනේරු කමනි එදිරිවීර මහත්මිය යි. ව්‍යාපෘති කළමනාකරු ලෙස කටයුතු කළේ ඉංජිනේරු කවින්ද්‍ර ජයවර්ධන මහතා ය. මේ සියලු කටයුතු සඳහා ආයතනික කාර්යයන් භාරව කටයුතු කළේ ආතර් සී. ක්ලාක් ආයතනයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු සනත් පනාවැන්නගේ මහතා ය. ඔහු ආයතනයේ හිටපු සභාපතිතුමන් සමඟ එක්ව ප්‍රවීණ ගීත රචක සුනිල් සරත් පෙරේරා මහතාගෙන් ද අදහස් විමසා මේ චන්ද්‍රිකාව “රාවණ -1” ලෙස නම් කර ඇත.

මේ සියලු කටයුතු සඳහා ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ අනෙක් ඉහළ නිලධාරින් ඇතුළු කාර්ය මණ්ඩලය කරන සේවය අති විශාල බවද ස්තුති පූර්වකව ප්‍රකාශ කරමි.

Comments