අවුරුදු 3000කට පෙර යාන් ඔය නිම්නය හැඩ කළ ජනාවාස මෝස්තරය | Page 2 | සිළුමිණ

අවුරුදු 3000කට පෙර යාන් ඔය නිම්නය හැඩ කළ ජනාවාස මෝස්තරය

ඩී.තුසිත මැන්දිස් පුරාවිද්‍යා මහාචාර්ය, අධ්‍යනාංශ ප්‍රධාන, පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යනාංශය, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ. පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ අනුරාධපුර තදාශ්‍රිත ප්‍රදේශ ව්‍යාපෘතිය, මධ්‍යම සංස්කෘතික අරමුදල.

යාන් ඔය මධ්‍ය කඳුකරයේ උතුරු බෑවුමෙන් එනම් මාතලේ දිස්ත්‍රික්කයේ සීගිරිය පොල්ලත්තෑව ආසන්නයෙන් ආරම්භ වී උතුරු දෙසට ගමන් කර කහටගස්දිගිලිය හා හොරොව්පොතාන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස ඔස්සේ ගලා ගොස් පුල්මුඬේ ප්‍රදේශයෙන් මුහුදට වැටෙන ගංගාවකි. එහි සම්පූර්ණ පෝෂක ප්‍රදේශය වර්ග කිලෝමීටර් 1520කි. වාර්ෂිකව මුහුදට ගලා යන ජල පරිමාව ඝන මීටර් මිලියන 132කි. (ශ්‍රී.ලං.ජා.සි.සං 2015- 60).

මධ්‍ය යාන් ඔය නිම්නයට අයත් භූ වපසරිය දළ වශයෙන් වර්ග කිලෝමීටර් 1360ක් පමණ වේ. යාන් ඔය නිම්නය තුළ පූර්ව ඉතිහාසයට අයත් සුසාන ස්ථාන 35ක් කාල රක්ත වර්ණ මැටි මෙවලම් හමුවන ස්ථාන 06 පමණ පවතින බව රංජිත් දිසානායක වාර්තා කර ඇත. (Dissanayake 2018: 31-104).

ශ්‍රී ලංකාවේ උතුරුමැද පළාතේ පූර්ව ඓතිහාසික සංස්කෘතියට අදාළ පැරණිතම සාධක දැනට වාර්තා වන්නේ අනුරාධපුර ඇතුළුපුරයෙනි. විකිරණමාන දින නියම කිරීම් හා ඔක්ස්කැල් කාල නිර්ණ කිරීම් අනුව එම සංස්කෘතිය අදින් වසර තුන්දහසකට එනම්, ක්‍රි. පු. 1000 තරම් ඈතට ගමන් කරන බව තහවුරු කරගෙන ඇත. (Deraniyagala 1992(707-712;Deraniyagala & Abyerathne: 707-731). අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැඩිම පූර්ව ඓතිහාසික යුගයට අයත් ජනාවාස හා සුසාන ස්ථාන ගත වී ඇත්තේ මධ්‍ය යාන් ඔය නිම්නය ආශ්‍රිතවය. දැනට වාර්තා වන ආකාරයට පූර්ව ඓතිහාසික සංස්කෘතියට අයත් සුසාන ස්ථාන 27 ක් හා ජනාවාස ස්ථාන 6 ක් පවතින අතර එම සුසාන ස්ථානගතව ඇති ස්ථාන වන්නේ වඩිගවැව, ගුරුගල්හින්න, කොක්එබේ, තම්මැන්නාගොඩැල්ල, දිවුල්වැව, මරදන්මඩුව, පරංගියාවාඩිය (නිකවැව), දික්වැව, ඇතාබැදිවැව, පන්කැටියාව, පළුකැටිවැව, ගල්ඇදකටුව, නෙළුගොල්ලාකඩවල, ඇලපත්වැව, මහපොතාන, බෙරවායගල, පන්වත්ත, පඩරැල්ලාව (රබෑව), මල්පෝරුවල, කිරිමැටියාව, ඕලුවැව, නෙතුගොල්ලෑව, කනගහඋල්පත, කරුවලගස්වැව, වාහල්කඩ ,මාවතවැව, වලස්මුල්ල යන ස්ථානයන් වන අතර ජනාවාස ස්ථානගත වන ස්ථාන වශයෙන් හඳුනාගෙන ඇත්තේ හල්මිල්ලකඩවල, බෙරවායකන්ද, ඇල්ලෙපොතාන, ගුරුගල්හින්න, පඩරැල්ලාව, කුඩාවැව යන ස්ථානය (Dissanayake 2018: 73) .

එම ස්ථාන අතරින් මේ වන විට රේඩියෝ කාබන් දින නියම කිරීම් ලබාගෙන ඇත්තේ වාහල්කඩ ක්‍රි.පූ 400-200 (එස්.ටී.ජී. ප්‍රියන්ත සමඟ සිදු කළ සම්මුඛ සාකච්ඡාව 2018). තම්මැන්නාගොඩැල්ල ක්‍රි. පූ.490-350 (රංජිත් දිසානායක සමඟ 2017 සිදු කළ සම්මුඛ සාකච්ජාව). කොක්එබේ ක්‍රි.පූ 790-125 ( මැන්දිස් 2017: 177-179 )ය.

ඒ අනුව දැනට සිදු කර ඇති අධ්‍යයන අනුව ලැබී ඇති දින නියම කිරීම්වලින් පැහැදිලි වන ප්‍රධාන කාරණයක් වන්නේ පූර්ව ඓතිහාසික සංස්කෘතිය අනුරාධපුර පැරණි නගරයෙන් නැගෙනහිර දිසාවේ ස්ථාපිත වී ඇත්තේ පූර්ව ඓතිහාසික අනුරාධපුරය බිහි වීමෙන් වසර 200කට පමණ පසුව වන බවය. එය අතිශයින්ම වැදගත් වන්නේ යාන් ඔය නිම්නය ආශ්‍රිත පූර්ව ඓතිහාසික සංස්කෘතික පිරිස් අනුරාධපුරය හා ඉන් අවට කලාපයේ ස්ථානගත වනවාට වඩා මහා පරිමාණයෙන් මධ්‍ය යාන් ඔය නිම්නයේ කේන්ද්‍රගත වී තිබීමය. එසේ නම් අප විමර්ශනය කළ යුතු කාරණය වන්නේ පූර්ව ඓතිහාසික සංස්කෘතිය අනුරාධපුරය කේන්ද්‍රගත කරමින් ඉන් පිටත කලාප දක්වා ව්‍යාප්ත වීමක් සිදු වී තිබේ ද?, එසේ නැති නම් යාන් ඔය මධ්‍ය නිම්නයේ එම සංස්කෘතිය ස්වාධීනව ආරම්භ වී ක්‍රමයෙන් අනුරාධපුර දෙසට හා කඳුකරය දෙසට ව්‍යාප්ත වූවා ද යන්නය.

ඒ පිළිබඳ අවධානය යොමු කරීමේ දී එක් වැදගත් කරුණක් වන්නේ මෙම සංස්කෘතිය ඉන්දීය මෙගලිතික සංස්කෘතියේ බලපෑම මත ඉන්දියාවේ දකුණු කොටසින් පිට වී ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ වන පුල්මුඩේ හෝ ත්‍රිකුණාමලය දෙසින් ශ්‍රී ලංකාවේ රට අභ්‍යන්තරයට ප්‍රවිෂ්ට වී යාන් ඔය පහළ නිම්නය පසු කර සාරවත් ආකර්ෂණීය භූමියක් වූ මධ්‍ය යාන් ඔය නිම්නයේ සිය ජනාවාස පිහිට වූවාද? යන්න විමර්ශනය කිරීමය. එසේ විමර්ශනය කිරීමෙන් යාන් ඔය නිම්නයේ පූර්ව ඓතිහාසික අවධියේ ජනාවාස පිහිටුවා ගැනීමේ රටාව හඳුනාගත හැකි වේ.

ජනාවාස රටාව

විශේෂයෙන් යාන් ඔය නිම්නය තුළ පූර්ව ඓතිහාසික ජනාවාස ස්ථානගත වීමේ දී එහි ඉහළ නිම්නය, මධ්‍ය නිම්නය හා පහළ නිම්නය යන සියලු නිම්න තුළම ජනාවාස ස්ථානගත වී ඇති ආකාරය හඳුනාගත හැකිය. ඉහළ නිම්නය ගත් කල පූර්ව ඓතිහාසික ජනාවාස දිගම්පතහ, වම්බොටුයාය, රොටවැව, දෙමටවැව හා නාමල්පුර යන ස්ථානවල ස්ථාපිත වී තිබේ( Dissanayake 2018 : 31). මධ්‍ය යාන් ඔය නිම්නය ගත් කල කහටගස්දිගිලිය හා හොරොව්පොතාන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල වඩිගවැව, ගුරුගල්හින්න, කොක්එබේ, තම්මැන්නාගොඩැල්ල, දිවුල්වැව, මරදන්මඩුව, පරංගියාවාඩිය (නිකවැව), දික්වැව, ඇතාබැඳිවැව, පන්කැටියාව, පළුකැටිවැව, ගල්ඇදකටුව, නෙළුගොල්ලාකඩවල, ඇලපත්වැව, මහපොතාන, බෙරවායගල, පන්වත්ත, පඩරැල්ලාව (රබෑව), මල්පෝරුවල, කිරිමැටියාව, ඕලුවැව, නෙතුගොල්ලෑව, කනගහඋල්පත, කරුවලගස්වැව, වාහල්කඩ, වලස්මුල්ල යන ස්ථානවල ස්ථානගත වී තිබේ. ඉහළ නිම්නය ගත්කළ මාවතවැව, දික්වැව හා සන්තනාම්මඩුකුලම් යන ස්ථානවල ස්ථානගත වී තිබේ (ibid 2018: 31-104) .

යාන් ඔය නිම්නය තුළ සිදු කර ඇති පූර්ව ඓතිහාසික යුගයේ ජනාවාස පිළිබඳ පුරාවිද්‍යා අධ්‍යයනයන්ගෙන් දැනට ලැබී ඇති කාලනීර්ණ අනුව පැහැදිලි වන්නේ එම සංස්කෘතියේ මුල්ම ජනපද මධ්‍ය යාන් ඔය නිම්නයේ ස්ථානගත වී ඇති බවය. එසේ නම් ආරම්භක ජනපද මධ්‍ය යාන් ඔය නිම්නයේ ආරම්භව එම සංස්කෘතියේ ඇති වන ජනරේඛනයේ ප්‍රසාරණ සමඟ ක්‍රමානුකූලව යාන් ඔය පහළ නිම්නය වන මාවතවැව සිට පුල්මුඩේ දෙසටත් ඉහළ නිම්නය වන නාමල්පුර සිට දිගම්පතහ දක්වා වූ සීගිරි නිම්නය දෙසටත් ව්‍යාප්ත වූවා ද යන්න විමසීම වැදගත් වේ. ඒ සඳහා දැනට සිදු කර ඇති පුරාවිද්‍යා පර්යේෂණවලින් අනාවරණය කරගෙන ඇති තොරතුරු භාවිත කිරීමෙන් ඉතා හොඳ පිළිතුරක් සපයාගත හැකිය.

යම් ස්ථානයක ඇතිවන ආරම්භක ප්‍රාථමික ජනාවාස එම ස්ථානයෙන් ප්‍රසාරණය වීම සඳහා ප්‍රධාන වශයෙන් ආකර්ෂණීය භූමි (Oasis), ජීවනෝපාය ක්‍රමය (Subsystem pattern), තාක්‍ෂණ ශිල්පයේ දියුණුව (Technology), ජනාවාස රටාව (Settlement pattern) හා බහු සම්පත් යැපුම් රටාව (Malty Resource Use Pattern) බලපාන බව පුරාවිද්‍යඥයන් පෙන්වා දී ඇත (Senaviratne 1996: 277).

තැනින් තැනට ගමන් කරන එඬේර ජන පිරිසක් වූ පූර්ව ඓතිහාසික ජනයා ස්ථාවර ජනපද පිහිටුවා ගැනීම ආරම්භ කරනු ලබන්නේ සංස්කෘතික වර්ධනයත් සමඟය. සුදර්ශන් සෙනෙවිරත්න පෙන්වා දී ඇති ආකාරයට යම් ජනාවාසයක් තුළ ජනගහනය වැඩි වීමෙන් පසු ඇති වන ජන ප්‍රසාරණය මත නව ජනපද බිහිවීම සිදු වේ (එම). එසේ ඇති වන ජනපද ප්‍රමාණයේ වර්ධනය සමඟ ඔවුන් එතෙක් ක්‍රියාත්මක කරන ලද තැනින් තැනට ගොස් ගත කළ එඬේර ජීවන ක්‍රමය අවසන් වන අතර එමඟින් ලබාදෙන අන්තර් සමාජ ක්‍රියාකාරිත්ව ක්‍රියාදාමය තුළ සමාජමය, ආර්ථික, දේශපාලන, හා ආගමික, යනුවෙන් හැඳින්වෙන ආයතන හැඩ ගැසීම සිදු වේ (එම). එසේ ආයතන බිහි වීම සමඟ ස්ථාවර ජනපද ආරම්භ වන අතර එවැනි ස්ථාවර ජනපද යාන් ඔය නිම්නයේ ස්ථාපිත වූ බව පැහැදිලි වන්නේ ක්‍රි.පූ 800 පෙර බව පෙනේ.

යාන් ඔය නිම්නය තුළ ස්ථානගත වන පූර්ව ඓතිහාසික ජනාවාස එම නිම්නයේ ස්ථාවර වීම සඳහා වූ බහුවිධ කාරණා බලපාන්නට ඇත. විශේෂයෙන් ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ පූර්ව ඓතිහාසික සංස්කෘතියේ පැරණිතම සාධක අනුරාධපුර ඇතුළුපුරය ඇසුරින් හඳුනාගෙන ඇති නමුත් අනුරාධපුර නගරය හා එහි තදාශ්‍රිත ප්‍රදේශ ආශ්‍රයෙන් එම සංස්කෘතිය පිළිබඳ තොරතුරු වාර්තා වී ඇත්තේ ඉතාම අල්ප වශයෙනි.

මේ සම්බන්ධයෙන් අනුරාධපුර ඇතුළුපුරයෙන් ජනාවාසමය තත්වයන් ( Deraniyagala 1992: 709-712) හා අභයගිරි විහාරය අභ්‍යන්තරයෙන් වාර්තා වන මෙගලිතික සුසානයක් හා එම විහාරයට උතුරින් අශෝකාරාමයට ප්‍රවිෂ්ට වන මංසන්දියේ සිට ගම්බිරිස්ගස් වැව මාර්ගයේ කි.මී 2ක් පමණ ගිය විට එම මාර්ගය තුළ හමුවන සුසානය මෙම ලේඛකයා විසින් 2016 වර්ෂයේ සිදු කරන ලද ගවේෂණයක දී හඳුනාගෙන තිබේ (මැන්දිස් 2016 : 85).

පූර්ව ඓතිහාසික යුගයට අයත් සුසාන අනුරාධපුරය හා එහි තදාශ්‍රිත කලාපයේ දැකගැනීමට නොහැකි වන්නේ බෞද්ධ ආරාම එම භූමිවල ස්ථාපිත වීම සමඟම පූර්ව ඓතිහාසික යුගයට අයත් වන සුසාන ස්මාරක වැනි අංග එම භූමිවලින් ගලවා ඉවත් කිරීම නිසා බව උපකල්පනය කළ හැකිය. නමුත් අනුරාධපුර සමහර විහාරාරාම ආශ්‍රයෙන් පූර්ව ඓතිහාසික යුගයට අයත් ජනාවාස තොරතුරු වාර්තා වන බව මෙම ලේඛකයා 2000 - 2009 කාලය තුළ ජේතවන විහාරය හා වෙස්සගිරි විහාරය (පුරාණ ඉසුරුමුණිය) ආශ්‍රිතව සිදු කර ඇති පුරාවිද්‍යා කැනීම්වල දී හමු වී ඇති භෞතික සංස්කෘතික තොරතුරුවලින් වාර්තා කර තිබේ (මැන්දිස් 2006 : 252-271, 300-310).

ඒ අනුව පූර්ව ඓතිහාසික යුගයේ දී අනුරාධපුර හා එහි තදාශ්‍රිත කලාපයේ පූර්ව ඓතිහාසික සංස්කෘතික අවධිය සම්බන්ධ තොරතුරු යම් ප්‍රමාණයක් එම යුගයේ ජනාවාස හා සුසාන සම්බන්ධව පැවතිය ද පූර්ව ඓතිහාසික සංස්කෘතියේ සාර්ව මුල් බැසගැනීම අනුරාධපුරය හා එහි තදාශ්‍රිත කලාපයට වඩා දැකගත හැක්කේ ඉන් නැගෙනහිර පර්යන්තයේ පිහිටි මධ්‍ය යාන් ඔය නිම්නය මෙන්ම ඉහළ හා පහළ යාන් ඔය නිම්න ආශ්‍රිතවය.

වැඩිම මෙගලිතික සුසාන

ශ්‍රී ලංකාවේ එක් ගංගා නිම්නයක් තුළ මහා පරිමාණ ලෙස ස්ථාපිතව ඇති වැඩිම මෙගලිතික සුසාන සංකීර්ණ යාන් ඔය ආශ්‍රයෙන් හඳුනාගත හැකිය. මේ ආකාරයට විශාල සුසාන භූමි ප්‍රමාණයක් යාන් ඔය නිම්නයේ මුල් බැස ගැනීම සඳහා එක් අතකින් ත්‍රිකුණාමල හා පුල්මුඬේ වෙරළ තීරයේ ස්ථානගත වීම ද බලපාන්නට ඇති බව උපකල්පනය කළ හැකිය. පුර්ව ඓතිහාසික අවධියේ දී ඉන්දියාවේ දකුණු දෙසින් ශ්‍රී ලංකාවට පැමිණි ජනයා ඒ සඳහා සරල යාත්‍රා භාවිත කර ඉතා පහසුවෙන් පටු සමුද්‍ර මායිමක් පසු කර ත්‍රිකුණාමලය හෝ ඊට ආසන්න පුල්මුඬේ දෙසට පැමිණීමට වැඩි අවකාශ තිබේ. විශේෂයෙන්ම සුළං රටාව මෙන්ම ස්වභාවික සම්පත් පිහිටීම හා සාරවත් භූමි පිහිටීම ද මේ සඳහා බලපාන්නට ඇත. භූ විද්‍යාඥයන් පෙන්වා දී ඇති ආකාරට ශ්‍රී ලංකාව හා ඉන්දියාව රටවල් දෙකක් ලෙස වෙන් වීම සිදු වන්නේ අදින් වසර 7000කට පමණ පෙර සිටය (Bossuyt et. al: 2004). ඉන්දියාවේ සිට අදින් අවුරුදු 3000කට පමණ පෙර පූර්ව ඓතිහාසික ජන කණ්ඩායම් මෙරටට පැමිණි බව අනුරාධපුරයේ සිදු කර ඇති පූර්ව ඓතිහාසික පුරාවිද්‍යා පර්යේෂණවලින් මේ වන විට කහවුරු කරගෙන තිබේ (Deraniyagala 1992: 709-712).

පූර්ව ඓතිහාසික ජනතාව අදින් අවුරුදු 3000කට පෙර ශ්‍රී ලංකාවේ වියළි කලාපයට සම්ප්‍රාප්ත වූයේ නම් ඔවුන් සමුද්‍රය තරණය කිරීම සඳහා යම් කිසි ක්‍රමයක් භාවිත කරන්නට ඇත. මානවවංශ විද්‍යාත්මකව ඒ දෙස බැලීමේ දී ඒ සඳහා යම් සහයෝගයක් ලබාගත හැකිය. වර්තමානයේ උතුරු කරයේ සාම්ප්‍රදායික ලෙස මසුන් මරන ජනතාව මසුන් මැරීමට කට්ටුමරන් හෙවත් කටමරන් යනුවෙන් හැඳින්වෙන ලී කොට කිහිපයක් එක් කර සකස් කර තිබෙන සරල ජල යාත්‍රා භාවිත කරයි.

දකුණු ඉන්දියාවේ නාගර්ජුන සාගර් ජලාශයේ මසුන් මරන සාම්ප්‍රදායික ධීවරයන් ද මෙයට වෙනස් යාත්‍රා විශේෂයක් වන වට්ටිඔරු යාත්‍රා භාවිත කරනු ලැබේ. පූර්ව ඓතිහාසික වැනි අවධියක දී එම මිනිසුන් සමුද්‍රය තරණය කිරීම සඳහා මෙවැනි සරල යාත්‍රා භාවිත කරන්නට ඇති බව උපකල්පනය කළ හැක්කේ මේ යාත්‍රා සඳහා ඉතා දිගු ඉතිහාසයක් පවතින බැවිනි. මෙවැනි යාත්‍රා භාවිත කර ආදිතම අවධිවල දී පූර්ව ඓතිහාසික වැසියන් ඉන්දියාවේ දකුණු දිගින් පැමිණ ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමලය හෝ පුල්මුඩේ වෙරළ තීරයෙන් ඉතා පහසුවෙන් රට අභ්‍යන්තරයට පැමණීමට වැඩි අවකාශයක් තිබේ.

එසේ පැමිණි ජනකණ්ඩායම් ශ්‍රී ලංකාවේ නැඟෙනහිර ප්‍රදේශයෙන් මුහුදට වැටෙන යාන් ඔයේ පහළ නිම්නය වන පුල්මුඬේ දෙසින් රට අභ්‍යන්තරයට ඇතුළු වී යාන් ඔය නිම්නයේ ඉහළට ගමන් කර එහි මධ්‍ය කොටස තුළ පිහිටි ආකර්ෂණීය භූමි ප්‍රදේශවල ආරම්භක ජනාවාස ක්‍රි.පූ 800 - 500 පමණ වන විට ස්ථානගත කර ඇති බව කොක්එබේ මෙගලිතික සුසාන භූමිය ආශ්‍රිතව සිදු කරන ලද පුරාවිද්‍යා පර්යේෂණයන්ගෙන් හා තම්මැන්නාගොඩැල්ල ආශ්‍රිත පර්යේෂණවලින් ලැබී ඇති කාලනීර්ණයන්ගෙන් පැහැදිලි වේ (මැන්දිස් 2017: 177-179 රංජිත් දිසානායක සමඟ 2017 සිදු කළ සම්මුඛ සාකච්ජාව).

විශේෂයෙන්ම යාන් ඔය පහළ නිම්නයෙන් එනම් වාහල්කඩ ප්‍රදේශයේ මෙගලිතික සුසාන ආශ්‍රිත කාලනීර්ණ ලැබී ඇත්තේ ක්‍රි.පූ 400-200 වශයෙනි (එස්.ටී.ජී. ප්‍රියන්ත සමඟ කළ සම්මුඛ සාකච්ඡාව 2018). එසේම ඉහළ නිම්නයේ පිහිටි කළවැල්ලා උල්පත මෙගලතික සුසානයේ කාලනිර්ණ ලැබී ඇත්තේ ක්‍රි.පූ 520 වශයෙනි (Jayaratne 2016:27). පහළ, මධ්‍යම හා ඉහළ යන නිම්න තුන තුළම පුර්ව ඓතිහාසික අවධියට අයත් සුසාන භූමි 35 හා ජනාවාස භූමි 6 ක් පමණ ස්ථානගත වී තිබීමෙන් ඒවා ස්ථානගත වන කාල පරාසය අනුව ජනාවාස ව්‍යාප්ත වීමේ ස්වරූපය හඳුනාගත හැකිය. කෙසේ වෙතත් ඉදිරි පර්යේෂණවලින් ලබාගන්නා වූ විද්‍යාත්මක කාලනීර්ණ ඔස්සේ සිදු කරන අධ්‍යයනයන් යාන් ඔය නිම්නයේ ජනාවාස ව්‍යාප්ත වීමේ ස්වරූපය හඳුනාගැනීමට වැඩි අවකාශයක් තිබුණ ද දැනට ලැබී ඇති කාල නීර්ණ අනුව පුර්ව ඓතිහාසික ජනාවාස ව්‍යාප්ත වීමේ මෝස්තරය හඳුනාගැනීම ද ඉතා වැදගත් වේ.

අමුද්‍රව්‍ය භාවිතය

මධ්‍ය යාන් ඔය නිම්නයේ ආරම්භක පූර්ව ඓතිහාසික අවධියේ ජනාවාස ස්ථානගත වීම පිළිබඳ විමසීමක් කිරීමේ දී පැහැදිලි වන්නේ හැඩගැසෙමින් ඇති සමාජය ආර්ථික හා තාක්‍ෂණ ශිල්පය පදනම් කරගෙන සුවිශේෂ වූ අමුද්‍රව්‍ය සොයා යාන් ඔය මධ්‍ය නිම්නයට ප්‍රවිෂ්ට වන්නට ඇති බවය. දැනට සිදු කර ඇති පර්යේෂණවලට අනුව ක්‍රි. පු. 500-600 පමණ වන විට අනුරාධපුරය නාගරික තත්ත්වයට පත් වී ඇත. එම කාලපරිච්ජේදයට අදාළව හමු වී ඇති දෙස් විදෙස් මානව කෘතීන්ගෙන් ඒ බව මැනවින් පැහැදිලි වේ. (Deraniyagala 1992 : 711-712).

නාගරික ක්‍රියාවලිය සමඟ අනුරාධපුරය ප්‍රධාන ජනාවාසය ලෙස ඉස්මතු වීමත් සමඟම එම ජනපදයට අවශ්‍ය බහු විධ සම්පත් හා භාණ්ඩ ඊට හාත්පස ප්‍රදේශවල පිහිටුවා ගන්නා ජනපද මඟින් සැපයීම ආර්ථික විද්‍යානුකූලව ද සිදු විය යුතු සිද්ධාන්තයකි. මධ්‍ය යාන් ඔය නිම්නය ආශ්‍රිත පූර්ව ඓතිහාසික ජනාවාස සාර්ව ලෙස ස්ථාපිත වීම සම්බන්ධයෙන් අධ්‍යයනය කර බැලුවහොත් හඳුනාගත හැකි වැදගත් කාරණය වන්නේ එම කාලය තුළ අන්තර් සමාජ සම්බන්ධතාව යාන් ඔය මධ්‍ය නිම්නය හා අනුරාධපුරය අතර සිදු වී තිබූ බව ය.

හැඩ ගැසෙමින් ඇති ප්‍රාථමික ජන සමාජයක් ස්ථාවර ලෙස මුල්බැස ගැනීම සඳහා ප්‍රධාන වශයෙන්ම ඛනිජ සම්පත්වල පිහිටීම සෘජුව බවපාන බව පුරාවිද්‍යා පර්යේෂණවල දී පෙන්වා දී තිබේ. යාන් ඔය නිම්නයේ පූර්ව ඵෙතිහාසික ජනාවාස ව්‍යාප්ත වීමේ මොස්තරය අධ්‍යයනයේ දී එම ජනපද ස්ථාන ගතවීම උදෙසා ඛනිජ සම්පත්වල පිහිටීම ද බලපා ඇති බව හඳුනාගත හැකිය. ඒ අතරින් ලෝහ සම්පත් මධ්‍ය යාන් ඔය නිම්නයට ඉතා ආසන්න ප්‍රදේශවල ස්ථානගත වී තිබීම නිසා යකඩ හා තඹ යන ඛනිජ සම්පත් පහසුවෙන් එම නිමිනයේ ජීවත් වූ වැසියන්ට පරිහරණය කිරීමට අවකාශ සැලසී තිබේ .ශ්‍රී ලංකාවේ යකඩ හා තඔ භාවිතය ආරම්භ වන්නේ පූර්ව ඓතිහාසික අවධියේ දී බව සුදර්ශන් සෙනවිරත්න පෙන්වා දී ඇත (Senaviratne 1994 : 16).

යාන් ඔය මධ්‍ය නිම්නයට ආසන්න කලාපයක් නිධිගත වී ඇති ලෝහයක් ලෙස තඹ ලෝහය සේරුවිල ප්‍රදේශයේ දී හමු වේ. 1971 වර්ෂයේ ශ්‍රී ලංකා භූ සමීක්ෂණ දෙපාර්තමේන්තුව සේරුවිල සිදු කර ඇති භූ විද්‍යා අධ්‍යනයන්ට අනුව මැග්නටයිට් තඹ (Copper Magnetite) සේරුවිල නිධිගත වී ඇති බව හඳුනාගෙන තිබේ (Senaviratne 1995 :116) පී. ජී. කුරේ පෙන්වාදෙන ආකාරයට මෙම මැග්නටයිට් තඹ නිධිය සම්භවය ලබා ඇත්තේ නැඟෙනහිර විජයානු සංකීර්ණය හා උස්භූමි සංකීර්ණයට අයත් අන්තර් භූ කලාපයේය (Cooray 1984 : 212 ;Senaviratne 1995 : 116). සේරුවිල ප්‍රදේශයේ දී මතුපිටට ප්‍රවිෂ්ටව ඇති මැග්නටයිටි තඹ ටොන් මිලියන 07ක් එම භූමියේ මතුපිට මටිටමේ සිට අඩි 200ක් පොළොව අභ්‍යන්තරයට විහිදෙන බව ශ්‍රී ලංකා භූ සමීක්ෂණ දෙපාර්තමේන්තුව 1971 දී සිදු කළ පර්යේෂණවලින් තහවුරු කර තිබේ (ibid ( 117).

ලබන සතියට...

Comments