කවි මඬල | සිළුමිණ

කවි මඬල

සත් පියුම් පිපුණා

සිදු­හ­තුන් ලොව දිනුවා‍
ආනා­පාන සතිය ද වැඩුවා
රජ සැප ද හැර දමා
ගිහි ගෙයින් නික්මුණා
කටුක දුක් විඳි­මින්
මැදුම් පිළි­වෙ­තට ළංවී
විමු­ක්තිය සෙව්වා
අවි­ද්‍යා­වෙන් අන්ධ වූ
රුදුරු සිත්වල
අඳුර නිව්වා
කුසල් - අකු­සල්
එකි­නෙ­කට පහ­ද­මින්
සසර කත­රින් එතෙර කෙරුවා
ලෝ සතුන් සිත සුව ­පි­ණි­සම
බුදු කෙනකු ලොව පහළ වූවා...


රත්න­සිරි පති­රණ

----------------

ලොවුතුරා දහම් මහිමේ
 

එදා වෙසඟ පෝදා - ලුම්බිණි සාල වනයේ
බිහි ව මව් මහා­මායා - කුසින් රන් පිඬක් සේ
බැස මහ බඹු දෝතින් - පියුම් මත්තෙහි නැඟීලා
සිහ නද පෑවෝ ' අග්ගෝ හමස්මි කියාලා

පුරා සය වසක් දුක් - විඳ පලක් නොවුණු තන්හි
මැදුම් පිළි­වෙ­තට පත් - බෝස­තා­ණන් වහන්සේ
එදා වෙසඟ පෝදා - ඇසතු බෝ රුක් මුලේදී
නසා සියලු කෙලෙ­සුන් - බුදු ව සවුනේ ගෙවා දත්

අනෙක ජාති සංසාරං - උදම් වැකි ගැයී­මෙන්
සකල සතට පෑවෝ ලොව්තුරා දහම් මහිමේ
සුතුර - විනය - අභි­දම් - තුන් පිටක දම් අමාවේ
සිසිල සුවයෙ නැහැවී - ලෙවන් මොක් මඟට වූවෝ

ඥාන­ලතා මල්ල­ව­ආ­රච්චි

---------------

කරුණා නදිය ගලයි

වසන්ත සුළඟේ සිහි­තල උරලා
රොනින් සුවඳ සුදු සලු පිළි ඇඟලා
නෙලුම් කැකුළු එක යායට පිපිලා
බුදු සිරිපා පිළි­ග­න්නට හැදිලා

තිලො­වග හිමි තෙම­ඟුල ළඟ එනවා
සන්සුන් සුව­යක් ළයට දැනෙ­නවා
පිනි­දිය නා සිල් රෙදි පොර­ව­නවා
නාමල් අතු­යට බවුන් වඩ­නවා

බැති­බර වී සිල් සුව­ඳින් නාගෙන
රෝස කුසුම් අලු­යම පිබි­දී­ගෙන
පහන් සිතින් බිඟු කැල කැන්දා­ගෙන
බුදු ගුණ ගී උග­නියි සැන­හී­ගෙන

කරුණා සීතල සුළ‍ඟේ එනවා
බුදු හාමු­දු­රුවො ගමට වඩි­නවා
තුරු­යට වැඩ හිඳ ගිමන් නිව­නවා
දොඹ මල් සුදු පිය­විලි අතු­ර­නවා

සුදු සලු හැඳ­ගෙන රොන් පියරු
අර­ලිය මල් පන්සල් යන අයුරු
දැක පැහැදී නාගෙන පිනි වතුරු
මහන වෙලා කිණි­හිරි මල් පොකුරු

නාගෙන බක්මාසේ පොද වැස්සෙන්
සුවඳ හලා­ගෙන කිරි­කැටි හොස්සෙන්
බුදු සිරිපා පැහැ පෙන්වන රිස්සෙන්
සල් මල් පෙති විද­හයි අතු අස්සෙන්

කරුණා ගඟ උතු­රන බුදු මූණේ
සිනා මිහිර අප හඳු­නන වානේ
කිය­මින් දෑස­මන් මල් හඳ පානේ
සුවඳ පෙරා­ගෙන හිනැ­හෙන වානේ

ගහ­කොළ නව­ප­ණ­කින් දලු ලනවා
සුදු ‍රතු කහ නිල් මල් පුබු­දි­නවා
ලය සන­හා­ගෙන සුවඳ හම­නවා
මල් ලොව බුදු මඟු­ලට සැර­සෙ­නවා


මාදම්පේ ඊබට් ෂෙල්ටන්
 

----------------

වෙසක් මල්

සල්මල් පිපුණ වෙසඟේ පුන් පොහො දිනයේ
දෙවි­යන් පවා විඳ සැන­සෙති සැණ කෙළියේ
ඉපදී බෝස­තුන් දඹ­දිව ලුම් බිණියේ
සත් පියු­මන් මතින් කුම­රුන් වැඩ සිටියේ

සා වස­රක් පුරා විඳ දුක් දරා නෙක
තුන් ලෝ සතුන් සනසා දුන් ආ ලෝක
සිරි­මහ බෝ මුල දී වෙ‍ස‍ඟේ පෝ දාක
‍කෙලෙසුන් නසා හිමි බුදු බව ලද සේක

කුසි­නාරා නුවර මල්ලව රජ උයනේ
සුව­ඳැති සුපිපි මල් මිලි­නව බිම වැටුණේ
යුග නෙත් පියා­ගෙන දම්රද අව­සානේ
පිරි­නිව් වදාළා සැතපී මල් යහනේ


වග - ජී.ඒ. විලි­යම් ධර්ම­දාස

----------------

තෙමඟුල් සිරිසර

පෝය සඳයි සඳ කිර­ණයි වෙසක් උදා­වයි
ලෝසත සනහා සද­හම් ගඟුල ගලා යයි
දෙව්රම් වෙහෙ­රට දෙවි­වරු වඩින වෙලා­වයි
දෙව්රම් වෙහෙ­රින් සද­හම් රසය බෙදා­ලයි

තෙල් මල් අර­ගෙන වෙහෙ­රට පිය ඔස­වන්නේ
උවසු උවැ­සි­යන් බැති­යෙන් හිමි නම­දින්නේ
සාදු හඬයි වෙහෙර බිමේ දසත ඇසෙන්නේ
බණ අසනා සිත් තුළ මෙත් මල් පිබි­දෙන්නේ

තෙම­ඟුල් සිරිය ලොව දස අත­ටම වීදූ
මිසදිටු දනන් හට සුම­ඟට මග පෑදූ
සද­හම් මෙත් දියෙන් ලොව පව් මල සේදූ
තිලො­වග පියා බැති­යෙන් නම­දිමි සාදූ

වික්‍රම සෙන­වි­රත්න

---------------

නිබඳ පින් රැස් කරමු

පිළි­වෙ­ළින් පිළි­වෙ­තින් හැඩ­වන
උතුම් සම්බුදු සම­රමින
මෙත් දම් සිසිල පතු­රන
සුවඳ මල් පිපේ දස­තින

හය සිය වසක සිය­වස්
විහි­දන ලකඟනගෙ බුදු­රැස්
බුදු ගුණ සපිරි අද­හස්
උතුම් බුදු දහමේ අනු­හස්

දසට තුන් වරක් අප සැම දින
තුනු රුවන් මෙනෙහි කර සැම දින
සිතේ කෙලෙස් පහ කර සැම දින
මෙත් සිතින් බුදුන් වඳිමු සැම දින

දිවි ගමන යහ­තින් සරු කර ගන්න
පස් පව් දස අකු­සල් දුරු කර ගන්න
අරි අටඟ මඟ පහ­දවා අකු­සල් දුරු­කර ගන්න
නිබඳ පින් රැස් කරමු නිවන් වටහා ගන්න


සුනේත්‍රා විජේ­රත්න

---------------

තුන් බුදු මඟුල

බොදු ජන ලෝකයේ අති උත්තම දිනය
පොදු දන සාමයේ බැති බර වන වගය
සැදු ගුණ ප්‍රාණයේ නිති සුව උදෙ­සාය
කුදු මහ මානයේ වෙති, වෙස‍ඟේ පොහොය

දිටි­යෙන් වෙසඟ දින අසි­රිය පෑ ලොවට
පව­නින් සැලුණි සල්මල් ලුම්බි­ණියෙ වට
තබ­මින් පැතුම මතු සම්බුදු පද­වි­යට
දිනු­වෙන් මෙදිය කුස, කුම­රෙකු ලෝ පිනට

පෙර හා පසු භවය පිළි­බඳ නුවණ ගෙන
කැර­කෙන සකය ලෙස හේතුව ඵලය දැන
වෙර ගෙන සියලු කෙලෙ­සුන් පලවා හැරිණ
මර­සෙන් පර­දවා බුදු­විය වෙසඟ දින

බුදු පද­විය ලදත් ලොව ඉහ­ළම සැපත
කුදු මහ ප්‍රාණි­යෙකු ලෙස මර­ණය නියත
සිදු කර අනිත බව පෙන්වා මුළු දියත
විදු‍ ­නෙත පිය­වු­ණෙන් වෙස‍ඟේ පොහොය මත

දිව­මල් වගු­ළේය මනු­ලොව සැපත් දින
ලොව සුව ගඟු­ලේය බුදු බව පසක් දින
මව මිහි ගුගු­ළේය පිරි­නිවි සෙයක් දැන
තුන් බුදු මගු­ලේය ලෝසත වෙසක් දින


විශ්‍රා­මික පරි­වේ­ණා­චාර්ය
පී.බී. ගුණ­රත්න

------------

සම්බුදු හිමි නම­දිමි!

ඉපිද මේ මනු­ලො­වෙහි කුල­හී­න­යන් යැයි අව­මාන විඳි­මින්
අස­ර­ණව දිවි ගෙව‍ූ දන­හට පවා පිළි­ස­ර­ණවී කුළු­ණින්
දම් අමා­වෙන් සන­සවා ලොව් තුරා නිව­නෙහි සුවය ලැබ­දුන්
තථා­ගත සම්බුදු පියා­ණන් වඳිමි සුව­දැති මලින් පුද­මින්...

සව් සතුන් සස­රෙන් මුදා­ලන පිණිස මෙත් සිත පතු­රවා
පාරමී දම් පිරූ පින් මහි­ම­යෙන් නැණ බල විහි­දුවා
වෙසඟ පොහො දින­කදී අද වැනි කෙළෙස් මර­සෙන් පර­දවා
උතුම් සම්බුදු පදවි හිමි දිනු­සේක! තිලො­වම බබ­ළවා


ඇම්.ඒ.ජේ. සුනිල් ශාන්ත

-------------

සාදූ!

මෙත් කරුණා ජලෙන් හද­වත මල සේදූ
සද­හම් අමා කල්කෙන් දෙනු­වන් පෑදු
තුන් ලොව සියලු සත­හට සුව­සෙත සෑදූ
මම අද වඳිමි මගෙ සම්බුදු හිමි සාදූ


සරත් ධර්ම­සේන

--------------

ලොවම සැනැහෙයි

පින් බර වෙසක් සඳ රන්වන් කිරණ හෙළා
බැබ­ළෙ­නවා පෙනේ! අම දම් සිසිල සලා
බොදු දන සිත් සතන් බැති­යෙන් පහන් වෙලා
තිලො­වම තෙමා යයි! බුදු ගුණ ගඟුල ගලා

බෝපත් ලෙළ දිදී මුනි ගුණ මුමු­න­නවා
මුදු මඳ පවනෙ සිල් සුව­ඳක් විහි­දෙ­නවා
වන විහ­ඟුන්ගෙ බැති ගී හඬ පැති­රෙ­නවා
මුළු තුන් ලොවම බුදු මඟු­ලට සැ‍රසෙ­නවා


ඇම්.ඒ. ජය­සිරි

--------------

සෙත් නා හිමි දසුන

පුර වෙසඟේ ගලයි බැති­බර ගාය­නය
සිති­විලි සරැලි දෙයි සිසි­ලස සේව­නය
කුසු­මෙන් සිනා­සෙයි සිව් දිග කාන­නය
බුදු සමි­ඳුන් සදා­තන සම්මා­න­නය!

දිය­වර පරිදි හිමි නිර­තු­රු­වම ළංව
මුළු ජීව­නය නිවි නිවි යයි සුප­හන්ව
බුදු සමි­ඳුන් කැලුම් දහ­රින් දඹ­රන්ව
දිය­ගබ අදත් දිදු­ලන සැටි මන­රම්ව!

සුසු­වඳ විදා සාමය සරැලි නඟ නඟා
මිනි­සත් බවට යයි නිර­තු­රුව පොඟ පොඟා
සත හට පොකුරු වැස්සක් පරිදි කළ සඟා
වෙස­ඟෙහි අරුත පොර­ණෙහි පටන් විය වගා!

පත­ළව දස­නු­දෙස වෙ‍සඟෙහි සඳ කිරණ
මොන­වට කියන රඟ! සෙත් නා හිමි දසුන
එක හෙව­ණක එකට හිඳ එක බත බුදින
සත්වග බලනු මැන! සුදු හස­රැළි පිපුණ!


මාදම්පේ කලා­භූ­ෂණ
ඇම්. අසෝක ද සිල්වා

--------------

බැති කුසුම්

සුබ වෙස‍ඟේ සල් සු‍ව‍ඳේ උයනෙ එදා
සිදු­හත් කුමරු බිහි විය සෙත කරන උදා
සව්නේ ගෙවා දත් සඳ වෙස‍ඟේ පෝදා
සුර­න­ර­බ­ඹහු නමැදූ බැති කුසුම් පුදා

මෙත් කුළුණු ගුණෙන් සමි­ඳුන් අස­මා­නයි
බුදු නුවණින් දෙව් බඹු­නට අස­මා­නයි
දුක් ගිනි නිවන මොක් හිමි මඟ අස­මා­නයි
තුන් මෙදි­යත සැමට සමි­ඳුන් අස­ම­ස­මයි

දස පෙරු­මන් පුරා අප­මණ දුක් ගත්තා
දස බිම්බ­රක් මර­සෙන් බිඳි ජය ගත්තා
දස බල නැණින් දෙසු දම් තේරුම් ගත්තා
දස කෙළ කෝටි­යක් මොහ­ඳුර හැර ගත්තා

අස­රණ සෝපාක වැනි දරු දැරි යන්ට
මාලා කිසා ගෝතමි වැනි අඟ­නන්ට
නොමඟ යැව් අඟු­ල්මල් වැනි සිසු­වන්ට
පුදු­මයි සරණ වූ හැටි දුක් දුර­ලන්ට

මහ බඹු සච්ච­කා­දීන් වාදෙට ආවා
සද­හම් මදු පොවා දම­නය කර යැව්වා
පූති­ගත්ත තෙර පිරි­සිදු කර නාවා
සද­හම් අවු­ස­දෙන් සස­රි­නෙ­තෙර කෙරුවා

බුදු ගුණ මහ සයුරෙ නිර­තුරු කිමි­දෙ­න්නම්
සද­හම් විලේ නෙලු­මක් වී බැබැ­ළෙ­න්නම්
දහම් එළියෙ සැදැ­හෙන් මන පින­ව­න්නම්
මගෙ හද­ම­ඬල ගඳ කිලි­යක් කර ගන්නම්

‍අප­රි­මිත මෙතින් පිරි රළ නැගි සින්දු
අප­රි­මිත පුරිස් ලකු­ණින් රැස් විහිදු
අප­රි­මිත කුලුණු ගුණ පිරි බුදු සමිඳු
අප­රි­මිත බැතින් පා නම­දිමු සාදු!


ජේ.ජේ. රාජ­පක්ෂ

----------

මැදි මඟට පිවිසෙමු

තෙම­ඟුල සිදු වුණා අද වැනි දිනක එදා
කාලය පැමිණ ඇත ඒ ගුණ ගයමු මෙදා
පස් පව්ව­ලින් වැලකී දිවි ගෙවමු සදා
සිසි­ලස පතමු අපි බුදු හිමි­යන්ට පුදා

ආමිස ප්‍රති­පත්ති පූජා­වන් දෙකම
සම­රති මහ ඉහ­ළින් ලක් දෙර­ණම
දුක සැප අතර මැද ඇති පිළි­වෙ­තම
සැන­සුම ගෙන දේවි සංසාරේ හැම­දාම

ඉපදී බුදු වී නිව­නට ගිය සමි­ඳාන
අප හට ඉතිරි කළ අගනා මිණි­කැට මෙන්න
කරුණා ගුණෙන් ඔබේ හද­වත පුර­වන්න
වෛරය නසා මෙත් සිසි­ලෙන් හද දෝවන්න

පණ ඇති කිසිම සතෙ­කුට හිරි­හැර කරනු එපා
අන්සතු මිල මුදල් වස්තුව සොර­කම් කරනු එපා
හිමි නැති සතුට සොය­මින් ලත­වෙන්න එපා
බොරු­වෙන් කිසි විටක කෙනෙ­කුන් රව­ටන්න එපා

සැකයේ බීජ ජීවිත කෙතේ වපු­රන්න එපා
මත් වතු­රට ගිජු වෙලා වැන­සෙන්න එපා
කෝධය නිසා ජීවිත නැති­කර ගන්න එපා
සැන­සුම සොයා මිරි­ඟුව පසු පස යන්න එපා


කපිල කෝර­ලේගේ

-----------

උදා­නය

හැම­ටම එක පරිදි මෙත් ගුණ කඳ වීදූ
දිවි මඟ දින­න්නට නිසි මාවත පෑදූ
දුර­කර සසර දුක සද­හම් මඟ සෑදූ
උත්තම බුදු පියා මම නම­දිමි සාදූ...

හද තුළ නැඟෙ­න­විට ගුණ නව අර­හාදී
අමු­තුම සතු­ට­කින් යයි මගෙ සිත පෑදී
සද­හම් දියෙන් යන­විට පව්මළ ‍ෙස්දී
දිවි මග බබ­ල­වයි නව එළි­යක් වීදී...

බුදු ගුණ දහම් ගුණ මහ සඟ­රු­වනෙ ගුණ
මතු­රන හැම­වි­ටම තම සිත පහද මින
නැති කෙළෙ­ව­රක් මේ සස­රෙහි අඳුරු වුන
එළි­යක් නැගෙනු ඇත තෙරු­වන් දුටුව තැන...

සස­රෙහි බැඳෙන කෙළෙ­සුන් දැමූ විටදි බිඳ
නොරැ­දෙයි එයින් පසු පව් කඳු අතර මැද
අන් සතු දෙයට සිත තුළ ඇති රුතිය සිඳ
අම­සුව ලැබිය හැක සම්බුදු සමිඳු වැඳ

කලා­භූ­ෂණ
නම්බා­ද­ළුවේ සෝම­පාල විජේ­සූ­රිය

------------

වෙසක් අරු­ත

බිඳ අඳුර හිරු කුමරු බට දෙරණ එළිය කර
පරි­ස­රය සිනා විය සිය­තු­නගෙ ගී නදට
තුරු ලතා පල බරව නැළ­වුණා මඳ හලට
සන් කලා ඝණ්ටාරේ විහා­රෙන් බොදු­ව­නට

පහළ විය කරු­ණාව වඩ­න්නට මෛත්‍රිය
දොවා පා යුග හිමිගෙ සමා­දන් විය ස‍ීල
නෙළු කුසුම් බැති­බ­රව මුනි­ඳු­නට කළා පුද
පිදු දනන් වළදලා භාව­නා­යෝගී විය

ගැඹු­ර­ටම දම් රසෙන් මත්වූ සිත පහන් කර
වෛර­යත් ක්‍රෝධ­යත් මාන­යත් සිඳු බිඳ
රැස් කළා පින් ක්‍රියා පව් ක්‍රියා බැහැර කර
වෙසක් පොහොයේ අරුත තිලො­ව­සත යුතුය දත

නොගැටි නෙත ඔලු බක්කො බහුරු කෝල­ම්ව­ලට
හඳු­නා­ගත් සොඳින් ජීවි­තයෙ නිස්සා­ර­කම
ඇලී­මෙන් මිදී සිත තබා බිය දුකට කිත
ලොවුතුරා අම මිහිර පසම යා යුතුව ඇත

චම්පා ගුණ­සේ­කර
 

ඔබේ කාව්‍ය නිර්මාණ යොමු කරන්න.
කවි මඬල, සිළුමිණ,
ලේක්හවුස්, කොළඹ 10

[email protected]

 

 

Comments