
සත් පියුම් පිපුණා
සිදුහතුන් ලොව දිනුවා
ආනාපාන සතිය ද වැඩුවා
රජ සැප ද හැර දමා
ගිහි ගෙයින් නික්මුණා
කටුක දුක් විඳිමින්
මැදුම් පිළිවෙතට ළංවී
විමුක්තිය සෙව්වා
අවිද්‍යාවෙන් අන්ධ වූ
රුදුරු සිත්වල
අඳුර නිව්වා
කුසල් - අකුසල්
එකිනෙකට පහදමින්
සසර කතරින් එතෙර කෙරුවා
ලෝ සතුන් සිත සුව පිණිසම
බුදු කෙනකු ලොව පහළ වූවා...
රත්නසිරි පතිරණ
----------------
ලොවුතුරා දහම් මහිමේ
එදා වෙසඟ පෝදා - ලුම්බිණි සාල වනයේ
බිහි ව මව් මහාමායා - කුසින් රන් පිඬක් සේ
බැස මහ බඹු දෝතින් - පියුම් මත්තෙහි නැඟීලා
සිහ නද පෑවෝ ' අග්ගෝ හමස්මි කියාලා
පුරා සය වසක් දුක් - විඳ පලක් නොවුණු තන්හි
මැදුම් පිළිවෙතට පත් - බෝසතාණන් වහන්සේ
එදා වෙසඟ පෝදා - ඇසතු බෝ රුක් මුලේදී
නසා සියලු කෙලෙසුන් - බුදු ව සවුනේ ගෙවා දත්
අනෙක ජාති සංසාරං - උදම් වැකි ගැයීමෙන්
සකල සතට පෑවෝ ලොව්තුරා දහම් මහිමේ
සුතුර - විනය - අභිදම් - තුන් පිටක දම් අමාවේ
සිසිල සුවයෙ නැහැවී - ලෙවන් මොක් මඟට වූවෝ
ඥානලතා මල්ලවආරච්චි
---------------
කරුණා නදිය ගලයි
වසන්ත සුළඟේ සිහිතල උරලා
රොනින් සුවඳ සුදු සලු පිළි ඇඟලා
නෙලුම් කැකුළු එක යායට පිපිලා
බුදු සිරිපා පිළිගන්නට හැදිලා
තිලොවග හිමි තෙමඟුල ළඟ එනවා
සන්සුන් සුවයක් ළයට දැනෙනවා
පිනිදිය නා සිල් රෙදි පොරවනවා
නාමල් අතුයට බවුන් වඩනවා
බැතිබර වී සිල් සුවඳින් නාගෙන
රෝස කුසුම් අලුයම පිබිදීගෙන
පහන් සිතින් බිඟු කැල කැන්දාගෙන
බුදු ගුණ ගී උගනියි සැනහීගෙන
කරුණා සීතල සුළඟේ එනවා
බුදු හාමුදුරුවො ගමට වඩිනවා
තුරුයට වැඩ හිඳ ගිමන් නිවනවා
දොඹ මල් සුදු පියවිලි අතුරනවා
සුදු සලු හැඳගෙන රොන් පියරු
අරලිය මල් පන්සල් යන අයුරු
දැක පැහැදී නාගෙන පිනි වතුරු
මහන වෙලා කිණිහිරි මල් පොකුරු
නාගෙන බක්මාසේ පොද වැස්සෙන්
සුවඳ හලාගෙන කිරිකැටි හොස්සෙන්
බුදු සිරිපා පැහැ පෙන්වන රිස්සෙන්
සල් මල් පෙති විදහයි අතු අස්සෙන්
කරුණා ගඟ උතුරන බුදු මූණේ
සිනා මිහිර අප හඳුනන වානේ
කියමින් දෑසමන් මල් හඳ පානේ
සුවඳ පෙරාගෙන හිනැහෙන වානේ
ගහකොළ නවපණකින් දලු ලනවා
සුදු රතු කහ නිල් මල් පුබුදිනවා
ලය සනහාගෙන සුවඳ හමනවා
මල් ලොව බුදු මඟුලට සැරසෙනවා
මාදම්පේ ඊබට් ෂෙල්ටන්
----------------
වෙසක් මල්
සල්මල් පිපුණ වෙසඟේ පුන් පොහො දිනයේ
දෙවියන් පවා විඳ සැනසෙති සැණ කෙළියේ
ඉපදී බෝසතුන් දඹදිව ලුම් බිණියේ
සත් පියුමන් මතින් කුමරුන් වැඩ සිටියේ
සා වසරක් පුරා විඳ දුක් දරා නෙක
තුන් ලෝ සතුන් සනසා දුන් ආ ලෝක
සිරිමහ බෝ මුල දී වෙසඟේ පෝ දාක
කෙලෙසුන් නසා හිමි බුදු බව ලද සේක
කුසිනාරා නුවර මල්ලව රජ උයනේ
සුවඳැති සුපිපි මල් මිලිනව බිම වැටුණේ
යුග නෙත් පියාගෙන දම්රද අවසානේ
පිරිනිව් වදාළා සැතපී මල් යහනේ
වග - ජී.ඒ. විලියම් ධර්මදාස
----------------
තෙමඟුල් සිරිසර
පෝය සඳයි සඳ කිරණයි වෙසක් උදාවයි
ලෝසත සනහා සදහම් ගඟුල ගලා යයි
දෙව්රම් වෙහෙරට දෙවිවරු වඩින වෙලාවයි
දෙව්රම් වෙහෙරින් සදහම් රසය බෙදාලයි
තෙල් මල් අරගෙන වෙහෙරට පිය ඔසවන්නේ
උවසු උවැසියන් බැතියෙන් හිමි නමදින්නේ
සාදු හඬයි වෙහෙර බිමේ දසත ඇසෙන්නේ
බණ අසනා සිත් තුළ මෙත් මල් පිබිදෙන්නේ
තෙමඟුල් සිරිය ලොව දස අතටම වීදූ
මිසදිටු දනන් හට සුමඟට මග පෑදූ
සදහම් මෙත් දියෙන් ලොව පව් මල සේදූ
තිලොවග පියා බැතියෙන් නමදිමි සාදූ
වික්‍රම සෙනවිරත්න
---------------
නිබඳ පින් රැස් කරමු
පිළිවෙළින් පිළිවෙතින් හැඩවන
උතුම් සම්බුදු සමරමින
මෙත් දම් සිසිල පතුරන
සුවඳ මල් පිපේ දසතින
හය සිය වසක සියවස්
විහිදන ලකඟනගෙ බුදුරැස්
බුදු ගුණ සපිරි අදහස්
උතුම් බුදු දහමේ අනුහස්
දසට තුන් වරක් අප සැම දින
තුනු රුවන් මෙනෙහි කර සැම දින
සිතේ කෙලෙස් පහ කර සැම දින
මෙත් සිතින් බුදුන් වඳිමු සැම දින
දිවි ගමන යහතින් සරු කර ගන්න
පස් පව් දස අකුසල් දුරු කර ගන්න
අරි අටඟ මඟ පහදවා අකුසල් දුරුකර ගන්න
නිබඳ පින් රැස් කරමු නිවන් වටහා ගන්න
සුනේත්‍රා විජේරත්න
---------------
තුන් බුදු මඟුල
බොදු ජන ලෝකයේ අති උත්තම දිනය
පොදු දන සාමයේ බැති බර වන වගය
සැදු ගුණ ප්‍රාණයේ නිති සුව උදෙසාය
කුදු මහ මානයේ වෙති, වෙසඟේ පොහොය
දිටියෙන් වෙසඟ දින අසිරිය පෑ ලොවට
පවනින් සැලුණි සල්මල් ලුම්බිණියෙ වට
තබමින් පැතුම මතු සම්බුදු පදවියට
දිනුවෙන් මෙදිය කුස, කුමරෙකු ලෝ පිනට
පෙර හා පසු භවය පිළිබඳ නුවණ ගෙන
කැරකෙන සකය ලෙස හේතුව ඵලය දැන
වෙර ගෙන සියලු කෙලෙසුන් පලවා හැරිණ
මරසෙන් පරදවා බුදුවිය වෙසඟ දින
බුදු පදවිය ලදත් ලොව ඉහළම සැපත
කුදු මහ ප්රාණියෙකු ලෙස මරණය නියත
සිදු කර අනිත බව පෙන්වා මුළු දියත
විදු නෙත පියවුණෙන් වෙසඟේ පොහොය මත
දිවමල් වගුළේය මනුලොව සැපත් දින
ලොව සුව ගඟුලේය බුදු බව පසක් දින
මව මිහි ගුගුළේය පිරිනිවි සෙයක් දැන
තුන් බුදු මගුලේය ලෝසත වෙසක් දින
විශ්‍රාමික පරිවේණාචාර්ය
පී.බී. ගුණරත්න
------------
සම්බුදු හිමි නමදිමි!
ඉපිද මේ මනුලොවෙහි කුලහීනයන් යැයි අවමාන විඳිමින්
අසරණව දිවි ගෙවූ දනහට පවා පිළිසරණවී කුළුණින්
දම් අමාවෙන් සනසවා ලොව් තුරා නිවනෙහි සුවය ලැබදුන්
තථාගත සම්බුදු පියාණන් වඳිමි සුවදැති මලින් පුදමින්...
සව් සතුන් සසරෙන් මුදාලන පිණිස මෙත් සිත පතුරවා
පාරමී දම් පිරූ පින් මහිමයෙන් නැණ බල විහිදුවා
වෙසඟ පොහො දිනකදී අද වැනි කෙළෙස් මරසෙන් පරදවා
උතුම් සම්බුදු පදවි හිමි දිනුසේක! තිලොවම බබළවා
ඇම්.ඒ.ජේ. සුනිල් ශාන්ත
-------------
සාදූ!
මෙත් කරුණා ජලෙන් හදවත මල සේදූ
සදහම් අමා කල්කෙන් දෙනුවන් පෑදු
තුන් ලොව සියලු සතහට සුවසෙත සෑදූ
මම අද වඳිමි මගෙ සම්බුදු හිමි සාදූ
සරත් ධර්මසේන
--------------
ලොවම සැනැහෙයි
පින් බර වෙසක් සඳ රන්වන් කිරණ හෙළා
බැබළෙනවා පෙනේ! අම දම් සිසිල සලා
බොදු දන සිත් සතන් බැතියෙන් පහන් වෙලා
තිලොවම තෙමා යයි! බුදු ගුණ ගඟුල ගලා
බෝපත් ලෙළ දිදී මුනි ගුණ මුමුනනවා
මුදු මඳ පවනෙ සිල් සුවඳක් විහිදෙනවා
වන විහඟුන්ගෙ බැති ගී හඬ පැතිරෙනවා
මුළු තුන් ලොවම බුදු මඟුලට සැරසෙනවා
ඇම්.ඒ. ජයසිරි
--------------
සෙත් නා හිමි දසුන
පුර වෙසඟේ ගලයි බැතිබර ගායනය
සිතිවිලි සරැලි දෙයි සිසිලස සේවනය
කුසුමෙන් සිනාසෙයි සිව් දිග කානනය
බුදු සමිඳුන් සදාතන සම්මානනය!
දියවර පරිදි හිමි නිරතුරුවම ළංව
මුළු ජීවනය නිවි නිවි යයි සුපහන්ව
බුදු සමිඳුන් කැලුම් දහරින් දඹරන්ව
දියගබ අදත් දිදුලන සැටි මනරම්ව!
සුසුවඳ විදා සාමය සරැලි නඟ නඟා
මිනිසත් බවට යයි නිරතුරුව පොඟ පොඟා
සත හට පොකුරු වැස්සක් පරිදි කළ සඟා
වෙසඟෙහි අරුත පොරණෙහි පටන් විය වගා!
පතළව දසනුදෙස වෙසඟෙහි සඳ කිරණ
මොනවට කියන රඟ! සෙත් නා හිමි දසුන
එක හෙවණක එකට හිඳ එක බත බුදින
සත්වග බලනු මැන! සුදු හසරැළි පිපුණ!
මාදම්පේ කලාභූෂණ
ඇම්. අසෝක ද සිල්වා
--------------
බැති කුසුම්
සුබ වෙසඟේ සල් සුවඳේ උයනෙ එදා
සිදුහත් කුමරු බිහි විය සෙත කරන උදා
සව්නේ ගෙවා දත් සඳ වෙසඟේ පෝදා
සුරනරබඹහු නමැදූ බැති කුසුම් පුදා
මෙත් කුළුණු ගුණෙන් සමිඳුන් අසමානයි
බුදු නුවණින් දෙව් බඹුනට අසමානයි
දුක් ගිනි නිවන මොක් හිමි මඟ අසමානයි
තුන් මෙදියත සැමට සමිඳුන් අසමසමයි
දස පෙරුමන් පුරා අපමණ දුක් ගත්තා
දස බිම්බරක් මරසෙන් බිඳි ජය ගත්තා
දස බල නැණින් දෙසු දම් තේරුම් ගත්තා
දස කෙළ කෝටියක් මොහඳුර හැර ගත්තා
අසරණ සෝපාක වැනි දරු දැරි යන්ට
මාලා කිසා ගෝතමි වැනි අඟනන්ට
නොමඟ යැව් අඟුල්මල් වැනි සිසුවන්ට
පුදුමයි සරණ වූ හැටි දුක් දුරලන්ට
මහ බඹු සච්චකාදීන් වාදෙට ආවා
සදහම් මදු පොවා දමනය කර යැව්වා
පූතිගත්ත තෙර පිරිසිදු කර නාවා
සදහම් අවුසදෙන් සසරිනෙතෙර කෙරුවා
බුදු ගුණ මහ සයුරෙ නිරතුරු කිමිදෙන්නම්
සදහම් විලේ නෙලුමක් වී බැබැළෙන්නම්
දහම් එළියෙ සැදැහෙන් මන පිනවන්නම්
මගෙ හදමඬල ගඳ කිලියක් කර ගන්නම්
අපරිමිත මෙතින් පිරි රළ නැගි සින්දු
අපරිමිත පුරිස් ලකුණින් රැස් විහිදු
අපරිමිත කුලුණු ගුණ පිරි බුදු සමිඳු
අපරිමිත බැතින් පා නමදිමු සාදු!
ජේ.ජේ. රාජපක්ෂ
----------
මැදි මඟට පිවිසෙමු
තෙමඟුල සිදු වුණා අද වැනි දිනක එදා
කාලය පැමිණ ඇත ඒ ගුණ ගයමු මෙදා
පස් පව්වලින් වැලකී දිවි ගෙවමු සදා
සිසිලස පතමු අපි බුදු හිමියන්ට පුදා
ආමිස ප්‍රතිපත්ති පූජාවන් දෙකම
සමරති මහ ඉහළින් ලක් දෙරණම
දුක සැප අතර මැද ඇති පිළිවෙතම
සැනසුම ගෙන දේවි සංසාරේ හැමදාම
ඉපදී බුදු වී නිවනට ගිය සමිඳාන
අප හට ඉතිරි කළ අගනා මිණිකැට මෙන්න
කරුණා ගුණෙන් ඔබේ හදවත පුරවන්න
වෛරය නසා මෙත් සිසිලෙන් හද දෝවන්න
පණ ඇති කිසිම සතෙකුට හිරිහැර කරනු එපා
අන්සතු මිල මුදල් වස්තුව සොරකම් කරනු එපා
හිමි නැති සතුට සොයමින් ලතවෙන්න එපා
බොරුවෙන් කිසි විටක කෙනෙකුන් රවටන්න එපා
සැකයේ බීජ ජීවිත කෙතේ වපුරන්න එපා
මත් වතුරට ගිජු වෙලා වැනසෙන්න එපා
කෝධය නිසා ජීවිත නැතිකර ගන්න එපා
සැනසුම සොයා මිරිඟුව පසු පස යන්න එපා
කපිල කෝරලේගේ
-----------
උදානය
හැමටම එක පරිදි මෙත් ගුණ කඳ වීදූ
දිවි මඟ දිනන්නට නිසි මාවත පෑදූ
දුරකර සසර දුක සදහම් මඟ සෑදූ
උත්තම බුදු පියා මම නමදිමි සාදූ...
හද තුළ නැඟෙනවිට ගුණ නව අරහාදී
අමුතුම සතුටකින් යයි මගෙ සිත පෑදී
සදහම් දියෙන් යනවිට පව්මළ ෙස්දී
දිවි මග බබලවයි නව එළියක් වීදී...
බුදු ගුණ දහම් ගුණ මහ සඟරුවනෙ ගුණ
මතුරන හැමවිටම තම සිත පහද මින
නැති කෙළෙවරක් මේ සසරෙහි අඳුරු වුන
එළියක් නැගෙනු ඇත තෙරුවන් දුටුව තැන...
සසරෙහි බැඳෙන කෙළෙසුන් දැමූ විටදි බිඳ
නොරැදෙයි එයින් පසු පව් කඳු අතර මැද
අන් සතු දෙයට සිත තුළ ඇති රුතිය සිඳ
අමසුව ලැබිය හැක සම්බුදු සමිඳු වැඳ
කලාභූෂණ
නම්බාදළුවේ සෝමපාල විජේසූරිය
------------
වෙසක් අරුත
බිඳ අඳුර හිරු කුමරු බට දෙරණ එළිය කර
පරිසරය සිනා විය සියතුනගෙ ගී නදට
තුරු ලතා පල බරව නැළවුණා මඳ හලට
සන් කලා ඝණ්ටාරේ විහාරෙන් බොදුවනට
පහළ විය කරුණාව වඩන්නට මෛත්‍රිය
දොවා පා යුග හිමිගෙ සමාදන් විය සීල
නෙළු කුසුම් බැතිබරව මුනිඳුනට කළා පුද
පිදු දනන් වළදලා භාවනායෝගී විය
ගැඹුරටම දම් රසෙන් මත්වූ සිත පහන් කර
වෛරයත් ක්‍රෝධයත් මානයත් සිඳු බිඳ
රැස් කළා පින් ක්‍රියා පව් ක්‍රියා බැහැර කර
වෙසක් පොහොයේ අරුත තිලොවසත යුතුය දත
නොගැටි නෙත ඔලු බක්කො බහුරු කෝලම්වලට
හඳුනාගත් සොඳින් ජීවිතයෙ නිස්සාරකම
ඇලීමෙන් මිදී සිත තබා බිය දුකට කිත
ලොවුතුරා අම මිහිර පසම යා යුතුව ඇත
චම්පා ගුණසේකර
ඔබේ කාව්‍ය නිර්මාණ යොමු කරන්න.
කවි මඬල, සිළුමිණ,
ලේක්හවුස්, කොළඹ 10