පන්ස­ලේදී දුන් පල්ලියේ දානය | සිළුමිණ

පන්ස­ලේදී දුන් පල්ලියේ දානය

පාස්කු ඉරිදා ඛේදාන්තය සිදුවී අදට හරියටම සති දෙකකි. බිහිසුණු සිදුවීම් මාලාව සිහිපත් වන විට තවමත් සිත නැ‍ඟෙන්නේ තිගැස්මකි. මහසිකුරාදායින් පසු එළැඹුණ පාස්කු ඉරිදා කතෝලික ජනතාව උදෑසන දේවමෙහෙයට පල්ලියට ගියේ තමන්ට තියෙන හොඳම ඇඳුම ඇඳ, රන්ආභරණ පැලඳ හැඩවීය. තනිතනිව නොව ඔවුහු පවුල්පිටින් පල්ලියට ගියහ. පල්ලියේ බෝම්බ පිපිරුමෙන් පවුල්පිටින් ජීවිතක්ෂයට පත්වූහ.

 

ඇතැම් තැනෙක මවුපියා පමණක් ඉතිරිව සිටියදී දරුවන් මිය ගියහ. සිදුවූයේ කුමක්දැයි යන්න අප එකින් එක පැහැදිලි කළ යුතු නැත. නමුදු පල්ලියේ භීෂණයෙන් තැවුලට පත් කතෝලිකයන් සමඟ ඔවුන්ගේ දුක බෙදා ගන්නට බෞද්ධයෝ ජාති ආගම් කුල භේදයෙන් ‍තොරව එක්වූහ. බෝම්බ ප්‍රහාර වලින් තුවාල ලැබූ ජනතාවට ලේ අවශ්‍ය යැයි කියූ විට තරා තිරම නොබලා රෝහල් ඉදිරිපිට පෙළ ගැසුණේ ලේ දන්දීමටය.

මොන ප්‍රශ්න තිබුණ ද අපේ රටේ මිනිසුන් කවදත් අන් දුකේදි පිහිටට ඉදිරියට එන්නාහ. එවන් වූ අවස්ථාවන් පිළිබඳ ඉකුත් දිනෙක අපට දැන ගන්නට ලැබිණි. සහජීවනය, සංහිඳියාව පිළිබඳව මහ ඉහළින් කතා කරන අප සැබැවින් ම අගය කළ යුත්තේ මෙවැනි සත්කාර්යයන් ය.

“පල්ලිවල බෝම්බ පුපුරලා දේව මෙහෙයට පැමිණි කතෝලික බැතිමතුන් මිය ගියා කිව්වා ම මට පුදුමාකාර දුකක් ඇති වුණේ. අපේ පල්ලිය තියෙන්නේ නගරය මධ්‍යයේ. නගරයේ වෙළෙඳසල් හතර වටේ. මට පුදුමාකාර දුකක් දැනුණා. අනේ අපි තනිවුණා නේද කියලා. ඒ දුකත් එක්ක තමයි මම එදා දවස ගත කළේ. නමුත් පහුවදා බලන විට නගරයේ වෙළෙඳසල් ඉදිරිපිට දැන්වීම්, ශෝක ප්‍රකාශ බැනර් එල්ලලා.

ඒ වගේම ටිකක් වෙලා යනවිට ස්වාමින් වහන්සේ පල්ලියට වැඩම කළා. උන්වහන්සේ අප සමඟ කතා කළා. එවිට තමයි මගෙ හිතට සැනසුමක් දැනුණේ මට අපි තනිවෙලා නැහැ කියලා. මගෙ ඇස්වලට කඳුළු ආවා. ඒක හරිම සංවේදී අවස්ථාවක්. ස්වාමීන් වහන්සේ, පන්සලේ දායක මහත්වරු කිහිප දෙනෙක් අප සමඟ කතා කළා.

පල්ලියේ පියතුමා පවසන්නේ තවමත් දෑසේ කඳුළු පුරවාගෙනය. ඒ කඳුළු සතුටු කඳුළු යැයි විටෙක සිතේ. තවත් විටෙක ඒ දුක් කඳුළු යැයි ද සිතේ. ඒ මනුස්සකමේ කඳුළු යැයි නම් කිරීම වඩා හොඳයැයි සිතේ. කොළඹ කොච්චිකඩේ පල්ලිය, මීගමුව කටුවාපිටිය පල්ලිය, මඩකලපුව සියෝන් පල්ලිය තුළ හා අනෙකුත් ස්ථානවල බෝම්බ පුපුරා ගිය අවස්ථාවේ එයින් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් දිගු වූ සෙනෙහසේ දෑත්වල වටිනාකම රුපියල් සත වලින් මැනිය නොහැක. පෙර කතා කළ පල්ලියේ පියතුමා අපට හමුවූයේ ගම්පහ සිරිකුරුස දේවස්ථානයෙනි. පියතුමා විසින් බොහෝ ගෞරවයෙන් සිහිපත් කළ භික්ෂුන් වහන්සේ නම් ගම්පහ මැදගම සිරි සුනන්දාරාම ධර්මදූත පිරිවෙන් විහාරයේ විහාරාධිපති තුම්මෝදර සමිතසෝම ස්වාමින් වහන්සේය.

‘පල්ලියේ දේව මෙහෙය පන්සලේ පවත්වලා’ ඉකුත් දිනෙක ලද ආරංචියේ සැබෑ තතු සෙවීමේ අරමුණින් අප එහි ග‍ියෙමු. ආරක්ෂාව තරකර තිබූ පල්ලියට යා නොහැකි විය. ඒ ප්‍රධාන පියතුමා වූ ෆීලික්ස් නිශාන්ත පියතුමා පල්ලියෙන් බැහැරව ගොස් තිබූ බැවිණි. අවසන අප ගම්පහ උසාවිය අසල ඇති විහාරස්ථානයට ගියෙමු. එහිද ඉබියතුරු දමා ගේට්ටුව වසා තිබිණි. දැන් සියලු තැන්හි ආරක්ෂාව තරකර ඇත. පැමිණි කාරණය පැවසීමෙන් පසු අපට එහි ඇතුළට යා හැකි විය. විහාරාධිපති ස්වාමින් වහන්සේ අප පිළිගත්තේ කරුණාවෙනි.

“ඇත්තම කිව්වොත් ඒක දේව මෙහෙයක් නොවෙයි. එය පින් අනුමෝදන් කිරීමේ පින්කමක්. මම කුලියාපිටියේ තුන්මෝදර කියන ගමේ උපන්නේ. මගෙ පියා රජයේ සේවකයෙක්. අපි පුංචි කාලේ අපිට කතෝලික පවුල් කිහිපයක් ම ඇසුරු කරන්නට ලැබුණා. මා පැවිදි වීමෙන් පසුත් කතෝලික ජනතාව සමඟ ඇසුරු කරන්නට ලැබුණා.

ඒ නිසා අපි බෞද්ධ, ඒ අය කතෝලික කියන බෙදීම නැතිව කා සමඟත් සහයෝගයෙන් කටයුතු කිරීමේ හැකියාව එදා පටන්ම අපට තිබෙනවා. කොහොම නමුත් මේ අවාසනාවන්ත සිදුවීම වුණාට පස්සේ මං කල්පනා කළා අප මේ ජනතාව පියතුමා තනිකළ යුතු නැහැ කියලා. අපි පල්ලියට ගියා.

ඔවුන‍්ගේ දුක බෙදා ගත්තා. මේ ජනතාව මිය ගිහිල්ලා සත්දින පිරෙනදා පිංකමක්කළ යුතුයි කියන සිතිවිල්ල මට ඇති වුණා. බෞද්ධයන් හැටියට නම් අප කරන්නේ හත්දවසේ දානය දීමනේ. නමුත් කතෝලික ජනතාවගේ පිංකම ඊට වෙනස්. අපි යළිත් 24 බදාදා පල්ලියට ගිහිල්ලා පියතුමා සමඟ කතා කළා. කොහොමද මේක කරන්නේ කියලා. පියතුමා කිව්ව විදිහට තමයි අපි ඒ පින්කම 27 සෙනසුරාදා පන්සලේ ධර්මශාලාවේදි පැවැත්වුවේ. කිසිම දවසක අප මේ ජනතාව තනි කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කිව්වේ සියලු සත්වයන්ට මෛත්‍රිය කරුණාව දක්වන්න කියලා. ගම්පහ නගරයේ වෙළෙඳ සංගමය තමයි මේ සඳහා අනුග්‍රහය දැක්වූවේ.”

සමිතසෝම හිමි පැවැසුවේය. අප හා කතා කරමින් සිටිනා අතරම නායක ස්වාමින් වහන‍්සේ පියනමට දුරකථන ඇමතුමක් ලබා ගත්තේය.

“දැන් පියතුමා මෙතනට ඒවි.”

ගතවූයේ විනාඩි කිහිපයකි. පියතුමා පන්සලට ආවේය. පියතුමා හා නායක ස්වාමින් වහන්සේගේ ඒ හමුවීම ඔවුන් එකිනෙකා කතා කළ සුහද ආකාරය අපූරුය.

සැබැවින්ම දැන් විය යුත්තේ මෙය ‍නොවේද? අපි නිහඬවම සිතුවෙමු.

“කවදාවත් මෙහෙම දෙයක් වෙලා නැහැ පන්සලක. නායක හාමුදුරුවෝ මට කතා කළා. මිය ගිය අය වෙනුවෙන් පින් පැමිණවීමත්, තුවාල ලැබූ අය වෙනුවෙන් සෙත් පැතීමත් කරමු කියල. දුගී මගී 25 දෙනෙකුට දිවා ආහාරය පිරිනමලා, ඒ අයට වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දීමත් එදින විහාරස්ථානයේදී සිදුකෙරුවා.

ඒ වගේම පිං පැමිණ වීමේ දේව මෙහෙයකුත් පන්සලේ ම පැවැත්වුවා. මගෙ හිතට එය විශාල සැනසිල්ලක්, සතුටක්. බෝම්බ පිපිරීම නිසා හිත් කඩා වැටිලා හිටිය අපේ සිත්වලට එය විශාල සැනසීමක් වුණා.

මේ අවස්ථාවට මිරිස්වත්ත පල්ලියේ ප්‍රසන්න පියතුමා, මොරගොඩ පල්ලියේ රසික පියතුමාත් සහභාගි වුණා. 27 සෙනසුරාදා තමයි මේ සියල්ල කෙරුණේ. ජේසුස් වහන්සේ ගේ දේශනාව අසල්වැසියනට ප්‍රේම කරන්න. මේ ව්‍යසනය වෙලාවේ පල්ලියයි පන්සලයි එක්වීම. මගෙ හදවතට දැනෙනවා. ඒ මනුස්සකම කිසි දිනෙක අපට අමතක වෙන්නේ නැහැ.”

පියතුමා පවසන්නට වූයේ සමිතසෝම හිමි දෙස කෘතවේදී බැල්මක් හෙළමිනි.

මියගිය කතෝලික ජනතාව වෙනුවෙන්, පිං පැතීමටත්, විපතට පත් කතෝලික ජනතාවගේ සිතට සහනයක් සැලසීමටත්, ඔවුන් තනි නොකරන්නටත්, සමිතසෝම හිමි පෙරමුණ ගනිද්දි ඒ වෙනුවෙන් උන්වහන්සේට සහාය වීමට පෙරට පැමිණියේ ගම්පහ නාගරික එක්සත් වෙළෙඳ සංගමයයි.

“අපේ නායක හාමුදුරුවෝ මුලින් ම මේ අදහස ඉදිරිපත් කළා ම අප පුදුම වුණා. හේතුව මීට පෙර කිසිම දවසක කතෝලික ආගමික කටයුත්තක් පන්සල ඇතුලේ කරලා නැති නිසා. නමුත් මේ අවස්ථාවේ අපි උන්වහන්සේගේ යෝජනාවට එකසිතින් කැමති වුණා. අපේ වෙළෙඳ සංගමය වසර විසිහතක් පැරණියි. සාමාජිකයෝ මීට උපරිම සහාය ලබා දුන්නා. බෝම්බ පිපිරීමේ සිද්ධිය වුණේ 21 දා. අප 22 දාම පන්සලට ආවා.

ඒ ආවේ ආරක්ෂක වැඩපිළිවෙළ ගැන කතා කරන්නට. ඒ අවස්ථාවේ තමයි අපේ හාමුදුරුවෝ මේ යෝජනාව ඉදිරිපත් කළේ.

පියතුමන්ලා තිදෙනාම හා භික්ෂූන් වහන්සේලාට 27 දා විහාරස්ථානයේදී දානය පිරිනැමුවා. අපි බොහෝම කැමැත්තෙන් සහයෝගයෙන් තමයි මේ කටයුත්ත සංවිධානය කළේ. මේ අවස්ථාවට ගම්පහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු, නාගරික මන්ත්‍රිවරු වගේ ම ප්‍රභූන් රැසක් සහභාගි වුණා. කිසිම දවසක අපි විපතකදි කිසිවෙක් තනි කරන්නේ නැහැ. පල්ලියේ පියතුමාට අප හැමවිටම ශක්තියක් වෙනවා.”

ගම්පහ නාගරික වෙළෙඳ සංගමයේ අනුශාසක ගාමිණි මොරගොඩ මහතා පැවැසීය.

දැන් අපට රටට අවශ්‍ය මෙවැනි එකමුතුකමකි. ජන සමගියකි. ජාති ආගම් කුල වශයෙන් බෙදී සිටීම නොව සියල්ලෝම ශ්‍රී ලාංකිකයන් ලෙස එක්ව කටයුතු කිරීම වැදගත්. ඒ වැදගත්කම ආදර්ශයෙන් පෙන්වා දුන් ගම්පහ පන්සලත් - පල්ලියත් සිහිවන විට සිතෙහි ඇති වන්නේ අපමණ පැහැදීමකි. 

 

Comments