
මෑත කාලයේ දී ලොව පුරා විශාල පාඨක පිරිසකගේ අවධානය දිනාගත් ප්‍රකට නයිජීරියානු ලේඛිකා චිමාමන්දා න්ගෝසි අඩිචි (Chimamanda Ngozi Adichie) රචනා කළ ‘අමෙරිකානා’ (Americanah) නමැති නවකතාව සිනමා කෘතියක් ලෙස නිර්මාණය කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතී.
ඒ සඳහා මූලිකත්වය ගෙන ඇත්තේ ලුපිටා න්යෝන්ගෝ නමැති ජනප්‍රිය කෙන්යානු රංගන ශිල්පිනියයි.
පසුගියදා එක්තරා අන්තර්ජාතික සඟරාවක් හා පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ඇය මේ සිනමා කෘතිය පිළිබඳ ව අදහස් පළ කර තිබිණි. එහිදී ඇය පවසා තිබුණේ 2013 වසරේ දී පළවී ඇති ‘අමෙරිකානා’ නවකතාව ඉතා නුදුරු දිනෙකදී ම සිනමා නිර්මාණයක් ලෙස ඉදිරිපත් කිරීමට හැකිවනු ඇති බවයි. මේ නවකතාව සිනමා කෘතියක් ලෙස නිර්මාණය කිරීම සඳහා ඇය නෛතික අවසරය ලබාගෙන ඇත්තේ 2014 වසරේදීයි.
ඉන් පසුව ඇය දනියා ගුරිරා නමැති සිම්බාබ්වේ ජාතික රංග ශිල්පියකු සමඟ එක් ව නවකතාව ඇසුරෙන් සිනමා තිරපිටපතක් ද රචනා කිරීම ඇරඹුවා ය. කෙසේවෙතත්, 2018 වසර වන විට මේ නවකතාව ඇසුරෙන් සිනමා කෘතියක් වෙනුවට රූපවාහිනී නාට්‍ය මාලාවක් නිර්මාණය කිරීම වඩාත් සුදුසු බව ඔවුන් තීරණය කළහ. ඒ කාලය අතරතුරදී නවකතාවට අදාළ සැබෑ පසුබිම පිළිබඳ වැඩිදුරටත් අධ්‍යයනය කිරීම සඳහා ඔවුන් කෙටි කාලයක් නයිජීරියාවේ ද ගත කළ බව වාර්තා වේ.
ෆිලිප් පුල්මන්ගේ අලුත් ම නවකතාව ඔක්තෝබරයේදී එයි
ලොව පුරා විශාල පාඨක පිරිසක් අතර ඉහළ ජනප්‍රියත්වයක් හිමි කරගෙන සිටින ඉංග්‍රීසි ලේඛකයකු යන ෆිලිප් පුල්මන් රචනා කළ අලුත් ම නවකතාව එළැඹෙන ඔක්තෝබර් මාසයේ දී නිකුත් වීමට නියමිත බව වාර්තා වේ.
‘ද සීක්‍රට් කොමන්වෙල්ත්’ (The Secret Commonwealth) නමින් පළ වන මෙය පුල්මන් විසින් ද ‘බුක් ඔෆ් ඩස්ට්’ (The Book of Dust) නමින් රචනා කරනු ලබන තුන් ඈඳුතු නවකතා පෙළක දෙවැන්නයි.
මෙයට වසර හතකට පෙර පළ වූ ඒ පොත් පෙළෙහි පළමුවැන්න වූ ‘ලා බෙල් සෝවේජ්’ (La Belle Sauvage) නවකතාවෙන් හඳුන්වා දෙන ලද ලයිරා සිල්වර්ටන්ග් නමැති දැරියගේ තරුණ විය පාදක කරගනිමින් රචනා වී ඇති මේ අලුත් නවකතාව ප්‍රකාශයට පත් කරනු ලබන්නේ බ්‍රිතාන්‍යයේ ඩේවිඩ් ෆික්ලිං බුක්ස් සහ පෙන්ගුවින් රෑන්ඩම් හවුස් යන ප්‍රකාශන සමාගම්වල සහයෝගිතාවෙන් යුතුවයි.
මේ නව කෘතිය පළවීමෙන් පසුව, පුල්මන් මෙයට පෙර රචනා කළ ‘හිස් ඩාර්ක් මැටීරියල්ස්’ (La Belle Sauvage) නවකතා ත්‍රිත්වය ඇසුරෙන් නිර්මාණය කරන ලද රූපවාහිනී නාට්‍ය මාලාවක් විකාශය වීමට ද නියමිතයි. ලොව පුරා පාඨකයින් විශාල පිරිසක් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත් වූ ඒ නවකතා ත්‍රිත්වයේ පිටපත් මිලියන 17.5කට අධික ප්‍රමාණයක් අලෙවි වී ඇති අතර, විවිධ භාෂා 40කට ඒ කෘති පරිවර්තනය වී ඇති බව සඳහනි.
අස්ථානගතව තිබී හමු වූ ඩිකන්ස්ගේ ආලේඛ්‍ය රූපය ප්‍රදර්ශනයට
කාලයක් තිස්සේ අස්ථානගත ව තිබී, වසර 130කට පසු මෑතකදී සොයාගන්නා ලද චාල්ස් ඩිකන්ස්ගේ ආලේඛ්‍ය රූපයක් එළැඹෙන අප්‍රේල් මාසයේ දී බටහිර ලන්ඩනයේ පිහිටි චාල්ස් ඩිකන්ස් කෞතුකාගාරයේ දී ප්‍රදර්ශනයට තැබීමට නියමිත බව වාර්තා වේ. මාගරට් ගිලීස් නමැති චිත්‍ර ශිල්පිනියක විසින් අඳින ලද මේ ආලේඛ්‍ය රූපය ඩිකන්ස් කාලයක් තිස්සේ ජීවත්ව සිටි නිවෙස වූ මේ කෞතුකාගාරයේ දී ප්‍රදර්ශනයට තැබෙන්නේ එය ඔහුගේ නිර්මාණ රැසක් හා සම්බන්ධ ස්ථානයක් වන නිසයි.
ඩිකන්ස් විසින් ‘ඔලිවර් ට්විස්ට්’ (Oliver Twist) ‘නිකල්ස් නිකල්බි’ (Nicholas Nickleby) සහ’ ද පික්වික් පේපර්ස්’ (The Pickwick Papers) වැනි නිර්මාණ රචනා කරනු ලැබුවේද, ‘බාර්නබි රජ්’ (Barnaby Rudge රචනා කිරීම අරඹනු ලැබුවේද මේ ස්ථානයේදීයි. එහිදී ප්‍රදර්ශනයට තැබෙන මේ ආලේඛ්‍ය රූපය අහම්බෙන් මෙන් නැවත හමු වූයේ 2017 වසරේ දකුණු අප්‍රිකාවේ පීටර්මැරිට්ස්බර්ග් නුවර පැවැති වෙන්දේසියකදීයි.
ඉන් පසුව පසුගිය වසරේදී එය ලන්ඩනයේ ෆිලිප් මෝල්ඩ් ඇන්ඩ් කම්පනි කලාගාරය වෙත බාරදෙනු ලැබ ඇති අතර, එහි දී එය සැබැවින් ම ගිලීස් විසින් අඳින ලද ඩිකන්ස්ගේ ආලේඛ්‍ය රූපයක් බව තහවුරු කරගැනීමෙන් අනතුරුව එය සංරක්ෂණය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරනු ලැබීය. එහිදී වැඩිදුරටත් කරන ලද පර්යේෂණවලින් හෙළි වී ඇති පරිදි මේ ආලේඛ්‍ය රූපය නිර්මාණය වී ඇත්තේ 1943 වසරේදීයි. ඒ 31 හැවිරිදි වියේ පසුවූ ඩිකන්ස් ‘අ ක්‍රිස්ට්මස් කැරොල්’ (A Christmas Carol) කෘතිය රචනා කරමින් සිටි කාලයේදීයි.