ළමා ශ්‍රමය සහ සාහිත්‍ය නිර්මාණ
මග හැරෙන මං පෙත් ලිපි පෙළ අතරෙහි කුට්ටප්පායි, වන්කා සහ ඉක්බාල් මශීහ් තිදෙනා ගැන සටහනක් ඇතුළත් කරන්නට සිත බලකරන හෙයින් මෙවර සටහන ඒ වෙනුවෙන් වෙන් කරමි. කුට්ටප්පායි සහ වන්කා යනු ප්‍රබන්ධ චරිත දෙකකි. කුට්ටප්පායි අපට හමුවන්නේ මලයාලම් සිනමාවෙනි. ඕට්ටාල් (උගුල) නමින් 2014 දෙසැම්බර් මස තිරගත වන මේ අපූර්ව සිනමා පටය සම්මානනීය මලයාලම් සිනමාකරු ජයරාජ්ගේ නිර්මාණයකි. කේරල රාජ්‍ය සිනමා උලෙළේදී හොඳම සිනමා පටය ලෙස සම්මානයට පාත්‍රවන මෙහි කථානායකයා වන්නේ අට හැවැරිදි කුට්ටප්පායි ය. මට කුට්ටප්පායි හමුවන්නේ කළුතර දරුදැරියන් පිරිසකගේ වින්දනය උදෙසා මෙය තිරගත කරන ලද අවස්ථාවෙහිදීය. ඒ කටයුත්ත සංවිධානය කරනුයේ වාස් නම් තරුණයකු සහ තවත් පිරිසකගේ කැපවීමෙනි. සිය මාසික වැටුපෙන් යම් මුදලක් දරුවන්ගේ ලෝකය යහපත් කිරීමට වෙන් කරනා මේ තරුණ පිරිස විසින් ප්‍රදේශයේ දරුදැරියන් වෙනුවෙන් විවිධ ක්‍රියාකාරකම් සංවිධානය කරනුයේ එය තම සමාජ වගකීම ලෙස සලකමිනි.
සිය මවුපියන් අහිමිව සීයා සමග දිවි ගෙවන කුට්ටප්පායිගේ දිවිය කෙතරම් කටුක අත්දැකීම් බහුල වුව ඔහු ඒ සියල්ල මැද ළමා වියෙහි සුන්දරත්වය අත්විඳියි. මුදලාලි කෙනකුගේ තාරා රංචුවක් බලාගන්නා සීයා සමග ගෙවන සංචාරක දිවිය මේ දරුවාගේ ලෝකය පුළුල් කරයි. එසේම සීයා සහ මුනුපුරා අතර ඇත්තේද අපූර්ව බැඳීමකි. එහෙත් වියපත් සීයා කල්පනා කරනුයේ තම මරණයෙන් පසු දරුවා පත්වන අනාථබව පිළිබඳවය. එහෙයින් ඔහු ඊට විසඳුමක් කල්පනා කරයි. එහි ප්‍රතිපලය වනුයේ පාසල් යවන්නට කටයුතු කරනා මුවාවෙන් සීයා විසින් දරුවා මුදලාලිට බාර දෙනු ලැබීමයි. ඒ මුදලාලි කරනුයේ දරුවා නගරයට රැගෙන ගොස් ළමා ශ්‍රමිකයකු ලෙස අලෙවි කර තැරැව්කාර ගාස්තුවක්ද ලබා ගැනීමයි. තමන් පත්ව ඉන්නා උපකාර විරහිතබව වටහා ගන්නා දරුවා සීයාට තම විස්තර කියා ලිපියක් මහ මග තැපැල් පෙට්ටියකට රහසින් දමයි. එහෙත් ඔහු එය යවන ලිපිනය දන්නේ නැති. සිනමාකරුවා සිය සිනමා පටය මගින් ළමා මනස පමණක් නොව වැඩිහිටි මනසද අවදි කරන්නට සමත් වන්නේ දරුවන්ගේ ලෝකය ගැන සාකච්ඡාවකට මඟ පාදමිනි.
මේ ඔට්ටාල් සිනමා පටය ද පාදක වන මූලාශ්‍රය අපට හමුවන්නේ ලෝක පූජිත සාහිත්‍යධරයකුගේ කෙටිකතා පෙළ අතරිනි. ඒ සාහිත්‍යධරයා අන්කවරකුවත් නොව ඇන්ටන් චෙකෝෆ් ය. ඔට්ටාල් සිනමා පටයට පාදක වන චෙකෝෆ් ගේ කතාවෙහි නම වන්කා ය. ඒ කතාවෙහි ප්‍රධාන චරිතයේ නමයි. වන්කාගේ කතාව හා ඔට්ටාල් සිනමා පටයෙහි කතා අතරෙහි ඇති වෙනස පරිසර දෙකෙහි වෙනස පමණි. වන්කාද තමන් මෙහෙකාරකමට යවන ලද පසුව සිය සීයාට ලිපියක් යවයි. සපත්තු සාදන්නකුගේ යකඩ හස්තයට යට කරන ලද වන්කා සිය පියාට යවන ලිපියෙහි මෙසේ සඳහන් කරයි. ‘කොන්ස්තන්තීන් මකාරිච් ආදරණීය සීයේ, මම නුඹට ලිපියක් එවමි. මම සර්වබලධාරී දේවියන්වහන්සේගේ ආශීර්වාදයද සමගින් නුඹට සුබ නත්තලක් පතමි. අම්මා තාත්තා නැති මට ඉන්නේ නුඹ පමණි.’ කුට්ටප්පායි ගේ ලිපියට මෙන්ම වන්කාගේ ලිපියට ද ලිපිනයක් නැත. එහෙයින් ඒ ලැබීමට ඉඩක්ද නැත. මේ කතා දෙකම පාඨකයාගේ අවධානය ළමා වියෙහි අසිරිය විඳින්නට අයිතිය ඇති දරුවන් වහල් බවෙහි ගිල්වාලීමේ අපරාධය කරා යොමු කරයි.
මේ කතා දෙකම ප්‍රබන්ධ වුව ද ඉක්බාල් මශීහ් ගේ කතාව සපුරා සත්‍ය කතාවකි. 1983 වසරේ පකිස්ථානයේ දිළිඳු පවුලක උපත ලබන මශීහ් වයස අවුරුදු හතරේදී බුමුතුරුණු වියනා ස්ථානයක මෙහෙයෙ පිණිස යොදවනු ලබන්නේ සිය පියාගේ ණය ගෙවීමට මාර්ගයක් ලෙසිනි. සතියකට පැය එකසිය විස්සක් මෙහෙ කරනා මශීහ් බොහෝ විට ආහාර ගන්නේ ද වැඩ අතරෙහි ම ය. ඔහු වැනි තවත් ළමයි ගණනාවක් එම වහල් සේවයෙහි නිරත වුවද කිසිවකුටත් ඊට එරෙහිවීමට නොහැකිය. වදනකින් හෝ අකීකරු වීමට දඬුවම ඉතා දරුණු හෙයින් ළමෝ කරබාගෙන වැඩ කරති. අන් ළමයින්ට වෙනස්ව යමින් මශීහ් සිය දිවියෙහි දසවන වසරෙහිදී නිදහස දිනාගනී. ඒ පකිස්ථානයේ උපරිමාධිකරණය ණය පියවීම සඳහා ළමා ශ්‍රමය ඇපයට ගැනීම නීති විරෝධී බව ප්‍රකාශ කිරීමත් සමගිනි. සිය නිදහස දිනාගන්නා මශීහ් ඉතිහාසයට එක්වන්නේ හුදෙක් තම නිදහස දිනාගැන්මෙන් නොසෑහී තමන් වන් අන් දරුවන්ගේ විමුක්තිය උදෙසාද අප්‍රතිහත ධෛර්යයෙන් මැදිහත්වීම නිසාවෙනි. එසේ ඉක්බාල් ළමා වහලුන් මෙන් මෙහෙ කරනා තුන්දහසකට පමණ උපකාරී වන්නේ සේවායෝජකයන්ගේ දරුණු වෛරයට පාත්‍ර වෙමිනි. 1995 අප්‍රියෙල් 16 දින මශීහ් ගේ ධෛර්ය සම්පන්න ක්‍රියාදාමයට නැවතුම් තිත තැබෙනුයේ හෙරොයින්වලට ඇබ්බැහි වූ අශ්රෆ් නම් පුද්ගලයකු විසින් ඔහු වෙඩි තබා මරා දමනු ලැබීමත් සමඟිනි. මිය යන විට ඔහුගේ වයස යාන්තම් දොළහකි. තම දිවිය ළමා වහලුන්ගේ විමුක්තිය උදෙසා කැප කළ මශීහ් යනු අදවන විට මානව හිමිකම් ක්ෂේත්‍රයෙහි මෙන්ම පකිස්ථානයෙහිද යුක්තිගරුක මිනිසුන් අතර විරුවකු ලෙස උපහාරයට ලක්වන චරිතයකි.
මේ කතන්දර තුන අපට සත්‍ය ජීවිතය සහ ප්‍රබන්ධය අතර වන සබඳතාව වටහා ගැනීමට ඉඩ විවර කරයි. පූර්ව විප්ලවීය රුසියාවෙහි සම්මානනීය ලේඛකයකු වන චෙකෝෆ්, නව සියවසෙහි ඔට්ටාල් නිර්මාණකරු ජයරාජ් යන දෙදෙනාම සත්‍යය ප්‍රබන්ධයක් බවට හරවා අතිශය වැදගත් මාතෘකාවක් සාකච්ඡාව පිණිස ඉදිරියට ගෙන එයි. අප මේ දෙකම ප්‍රබන්ධ බව දන්නේවී නමුදු මානව දයාව වෙනුවට මුදල ආදේශ වන සමාජයෙහි මේ ප්‍රබන්ධයටත් වඩා දරුණු යථාර්තයක් පවතින බව එය අපට ප්‍රබල ලෙස සිතන්නට බල කරයි. ඉදින් ඉක්බාල් මශීහ් අපට හමුවන්නේ මේ පසුබිමෙහිදීය. සත්‍යය සහ යථාර්තය අතර පවතින පරතරය කෙතරම් සිහින් ද යන්න මේ කතා තුන අපට සිහිගන්වයි.
හොඳම දෙය ළමයින්ට යැයි ව්ලැදිමීර් ඉල්යිච් ලෙනින් කී බව උජාරුවෙන් පවසන මිනිසුන්ම තම දරුවා හැර අන් දරුවන් ක්‍රමයෙහි ගොදුරු බවට පත්වන විට කුහක මුනිවතකට මාරු වෙති. ඒ මුනිවත බිඳින්නට හැකියාව ඇත්තේ වන්කා සහ ඔට්ටාල් වැනි නිර්මාණයන්ට බව මේ දෙකම පරිශීලනය කරන අයකුට පෙනී යයි. එහෙත් අප ඉදිරියෙහි ඇති අවාසනාව වන්නේ අදටද මෙහි ඇති බරපතලකම බහුතර සමාජයක් තේරුම් නොගැනීමය.