ඔබ කවද හරි නාට්‍යයක් බල බල ඉන්දැද්දි නාට්‍යාගාරෙන් පිට වෙලා වේදිකාවෙ පිටුපස්සට ගිහිල්ල ඒ නාට්‍යයෙ නළු නිළියො අඳින හැටි, හැඩවැඩ වෙන හැටි බලං ඉඳල තියෙනවද? එහෙම නං ඔබ මං වගේම පුදුමයට පත්වෙලා ඇති. හොඳටම විනෝද වෙලත් ඇති.
මං පුංචි කාලෙ අපේ ගමේ අවුරුදු පතා රාම සීතා කතාව, රාම්ලීලා නාටකේ රඟ දැක්වුණා. නිඳිමත හැදෙන ඒ නාටකේ බලනවට වඩා වේදිකාව පිටිපස්සට ගිහිං නළු නිළියො හැසිරෙන විදිහ බල බල අමුතු විනෝදයක් ලබන්ඩ මං හිතුව, මං යනකොට සීත දේවිට රඟපාන නිළිය හිටියෙ බීඩියක් උර උර.
ඉන්දියානුවො සීතට සලකන්නෙ රටට බිහිවෙච්ච උත්තමාවියක් විදිහටයි. ඇය පිදුම් ලබන්නෙ පතිදම් රකින, ගුණවත්, නිකැළැල් කාන්තා රත්නයක් හැටියටයි. ඒ වගේ ආගමට දහමට නැඹුරුවෙච්ච සුපිරිසිදු ශුද්ධවන්ත වෙනත් කාන්තාවක් ගැන ඉන්දියානුවන්ට හිතාගන්නවත් බැරි තරම්! එහෙව් චරිතෙකට පණ දෙන නිළිය තමයි වේදිකාවට නගින්ඩ කලිං හිතට හයිය ගන්ඩ අර විදිහට නිකොටින් උර උරා හිටියෙ.
ඒ වගේම සීතව පැහැරගෙන ගිහිං ඉන්දියාවට වින කරපු රාවණා, ඒ කියන්නෙ රාමලීලා නාටකේ රාමගෙ ජීවිතය විනාශ කරපු ලංකාවෙ රාවණා වේදිකාව පිටිපස්සට වෙලා රාමට මෙන්න මෙහෙම තර්ජනයක් කර කරයි හිටියෙ.
‘තමුසෙ දැනගන්නව! ඊයෙ රෑ තමුසෙ නාටකේ බල බල හිටියට මගෙ නෝනට ඇහැ ගහගෙන හිටිය හැටි මං දැක්ක! තමුසෙ ආයෙත් සැරයක් ඒ විදිහට හැසිරුණොත් මං තමුසෙට හොඳ පාඩමක් උගන්නනව! හරිද?’
නාට්‍යයෙදි දෙවියන්ගේ පුනරුත්පත්තිය නිරූපණය කරපු රාමව වේදිකාවෙන් පිටදි පෙනුණෙ හරියට ඉස්කෝලෙ යන ළමයෙක් වගේ. නපුරෙ පුනරුත්පත්තිය වෙච්ච රාවණා ඒ ළමයට උගන්නනව! ‘ මගෙ නෝන දිහෑ බලන්ඩ එපා! ඒක හරි නෑ’ රාවණා එහෙම කියනව.
ජීවිතේ අත්දැකීම්වලට මුහුණ දෙන්ඩ ඔබ ජීවිත වේදිකාවෙන් පිටතට එබිල බලන්ඩ ඕනැ. සිද්ධීන් වෙන්නෙ හරිම විකට විදිහට. ඒ වගේම ඒව සිද්ධ වෙන්නෙත් අතාර්කික විදිහට. කිසිම හැගීමක් ඇතිවෙන්නෙ නැති විදිහට. ඒත් ඒක තමයි ජීවිතේ තියෙන ලස්සන! ලස්සන කියන්නෙ කිසිම හැඟීමක් ඇති නොවන එක. හැම දෙයින්ම හැඟීම් දැනෙන්ඩ පටන් ගත්තම ඒකාකාරී වෙනව. හැඟීම් ඇති නොකරන දේවලින් ඇතිවෙන්නෙ විනෝදයක්. ඒකෙං ජීවිතේ පුදුමයට පත් කෙරෙනව.
රාවණාගෙ චරිතෙට පණ පොවපු, රාමගෙ බිරිය පැහැරගෙන ගිය නපුරු මනුස්සය හොඳ මල්ලවපොරකාරයෙක්. මායි එයයි ගඟෙං නාන්ඩ පුරුදුවෙලා හිටියෙ එකම වෙලාවට. ඒ හින්ද අපි යාළුවෙලයි හිටියෙ.
‘හැම අවුරුද්දෙම ඔයා රාවණා වෙනව. හැම අවුරුද්දෙම ඔයාව රවට්ටනව. හැම අවුරුද්දෙම ජනක රජ්ජුරුවන්ගෙ දූ සීතව කසාද බඳින්ඩ සූදානම් වෙලා දුන්න කඩන්ඩ හදනකොටම පණිවිඩකාරයෙක් ඔයා ළඟට දුවගෙන ඇවිත් ලංකාපුරේ ගිනි අරං කියල කියනව. ඉතිං ඔයාට වහාම එහෙ යන්ඩ සිද්ධ වෙනව. ඒ අල්ලපනල්ලෙ රාම දුන්න කඩල සීතව කරකාර බඳිනව. හැම අවුරුද්දෙම ඔය එකම දේ කරල ඔයාට එපා වෙන්නෙ නැද්ද?’ මං එයාගෙං ඇහුව. ‘පොතේ තියෙන්නෙ එහෙමනෙ’ ඔහු කිව්ව.
‘ඔයා මං කියන දේ ඇහුවොත් කතන්දරේ අපේ අතට ගන්ඩ පුළුවං. හැම අවුරුද්දෙම ඔය නාට්‍යය බලන මිනිස්සු නිඳා වැටෙන බව ඔයා දන්නවනෙ. පරම්පරාවෙන් පරම්පරාව නිඳාවැටෙනව. ඒකට අපි පොඩි ප්‍රාණයක් දෙමු!’ මං යෝජනා කෙරුව.
‘මක්කරන්ඩ කියලද ඔයා කියන්නෙ?’ ඔහු ඇහුව.
‘මේ වතාවෙ ඔයා මං කියන දේ කරල බලන්ඩකො’ මං කිව්ව. කිව්වත් වගේම ඔහු ඒ විදිහටම කළා.
ඔන්න පණිවිඩකරු ආව. ‘ ඔබේ රන් දූව, ලංකාපුරය ගිනි ඇවිළෙනව! ඔබ වහාම එහි යා යුතුයි!’ පණිවිඩකරු එහෙම කියද්දිම ‘ කට වහගනිං මෝඩය!’ කියල රාවණා කෑගැහුව.
එහෙම කියන්ඩ කියල තමයි මං ඔහුට කියල දීල තිබුණෙ. නිඳා වැටි වැටි හිටිය නරඹන්නො ඇහැරුණා! රාම්ලීලා නාට්‍යයෙ කවුද මේ ඉංග්‍රීසියෙන් කතා කරන්නෙ කියල බැලුව. එතකොටම රාවණා සිවගෙ දුන්න කෑලි කෑලිවලට කඩල කඳුකරේට විසිකරල දැම්ම. දුන්න හදල තිබුණෙ උණ බම්බුවලින්. ඊට පස්සෙ රාවණා ජනක රජ්ජුරුවන්ට මෙහෙම කිව්ව. ‘තමුන්නාන්සෙගෙ දියණිය මෙහාට කැඳවගෙන එන්ඩ! මගෙ ජම්බෝ ජෙට් එක එයා එනකං බලාගෙන ඉන්නව.’
ඒක හිනා කන වැඩක්. අවුරුදු විස්සකට පස්සෙ අද වුණත් ගමේ කෙනෙක් මාව හම්බඋණාම රාම්ලීලා නාටකේ මතක් කරල ‘අර වගේ වැඩක් නං කවදාවත් වෙලා නෑ’ කියල හිනාවෙනව.
ඉතිං එදා අර වෙලාවෙ වේදිකා පාලකට සිද්ධ වුණා වහාම තිරය පහතට ඇදල දාන්ඩ. රාවණා මල්ලවපොර ශූරයෙක් හින්ද මිනිහ වේදිකාවෙන් එළියට ගන්ඩත් දොළොස්දෙනෙක් විතර ඕනැ වුණා. මේ හින්ද එදා රෑ රාම්ලීලා නාටකේ නටන්ඩ බැරි වුණා. පහුවදා ඒ චරිතෙට වෙන කෙනෙක් තෝරගෙන තිබුණ.
ගඟේදි මට පරණ රාවණා මුණ ගැහුණ. ‘ඔයා මගෙ වැඩ අවුල් කෙරුව’ කියල ඔහු කිව්ව.
’ඒ වුණාට දැක්ක නේද ඔයාගෙ රඟපෑමට මිනිස්සු අප්පුඩි ගගහ හිනාවෙවී සතුටු වෙච්ච හැටි! පහුගිය අවුරුදු ගාණකටම ඔයාට ඒ වගේ අප්පුඩි හඬක් ඇහිල තියෙනවද? ඔයාට ඒකම වටින්නෙ නැද්ද?’ මං ඇහුව.
ආගමකට ආගමික ගුණාංග තිබිය යුතුයි. ඒ අතරින් එකක් තමයි හාස්‍යය දැනවීම. මේ සිදධියෙන් පස්සෙ ඔවුන් මට නළු නිළියො මුණ ගැහෙන්ඩ ඉඩ දුන්නෙ නෑ. මා එක්ක කතා කරන්ඩ තියා මාව මුලිච්චි වෙන්ඩවත් ඔවුන්ට ඉඩ දුන්නෙ නෑ. ඒ වුණත් මං අතෑරියෙ නෑ. ඒ කොටස ඊ ළඟට කියවමු.
ලබන සතියට