බෝම්බයෙන් දරුවන් අහිමිවූ ස්කොට්­ලන්තයේ ලොකුම ඉඩම් හිමියා | සිළුමිණ

බෝම්බයෙන් දරුවන් අහිමිවූ ස්කොට්­ලන්තයේ ලොකුම ඉඩම් හිමියා

ඇන්ඩර්ස්ගේ වතුයාය ප්‍රමාණය අක්කර 221000කි. එම වතුයායවල් පුරා වනාන්තර වවමින් වඳවීමේ තර්ජනයට ලක්ව සිටින වන සතුන් බෝකිරීම ඔහුගේ දිගුකාලීන සැලැස්මකි. ඇන්ඩර්ස්ගේ දරුවෝද පරිසරයට දැඩි ඇල්මක් දැක්වූවෝ වෙති. වසර 200ක් පමණ ගතවෙතැයි සිතූ එම ව්‍යාපෘතිය ඉදිරියට ගෙනයෑමට මේ දරුවන්ද දැක්වූයේ දැඩි උනන්දුවකි.

ලෝකයම කම්පාවට පත්කරමින් අපරටේ සිදු වූ ‘මහ සිකුරාදා ඛේදවාචකය’ ගැන තවමත් ලොවපුරා කතා කරයි. එම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් මියගිය විදේශිකයන්ද බොහෝය. සංඛ්‍යාවෙන් තිහ ද ඉක්මවීය. මියගිය විදේශිකයන් අතරින්, පසුගිය දින කීපය පුරා බීබීසී, සීඑන්එන්, ඒපී, නිව්සීලන්ඩ් හෙරල්ඩ්, යූඑස්ඒ ටුඩේ, ද ගාඩියන් හා ග්ලෝබල් නිව්ස් යනාදී ලෙසින් සෑම රටකම මාධ්‍ය ඔස්සේ වැඩිපුරම තොරතුරු පළවූ පුද්ගලයකු වූයේ එක්තරා බිලියනපතියෙකි. අපරටේ සිරි නැරැඹීමට සිය බිරිය දරුවන් හා ආරක්ෂකයන්ද සමඟ පැමිණ ආපසු යෑමට පෙර කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ නතරව සිටි ඔහු පිළිබඳ ඒවනතුරුත් කිසිවෙක්වත් නොදැන සිටියහ.

ඩෙන්මාර්ක ජාතික ඔහු එරට ධනවත්ම පුද්ගලයා ලෙසින් හැඳින්වේ. නමින් ඇන්ඩර්ස් හොල්ච් පෝල්සන්ය. ඔහුට අයත් විශාල වතුයාය 12කි. ස්කොට්ලන්තයේ විශාලතම ඉඩම්හිමියාවන ඔහු සතු වතුයාය ප්‍රමාණය අක්කර 221000කි. එංගල්තයේ චාල්ස් කුමරා සතු ඉඩම් ප්‍රමාණයද අක්කර 130000 වෙද්දී මොහු සතු ඉඩම් ප්‍රමාණය එංගලන්තයේ පෞද්ගලික ඉඩම් හිමියකු සතු විශාලතම ඉඩම් ප්‍රමාණය ලෙස සඳහන්වේ. පවුම් බිලියන 5.4ක ධනයක් හිමි ඇන්ඩර්ස් පරිසරලෝලියෙකි. ඔහු අප රටේ සංචාරයට පැමිණ ඇත්තේද ස්වභාව සෞන්දර්ය විඳීමට ඇති කැමැත්ත නිසාය.

ඇන්ඩර්ස් ගේ බිරිය ඈන් ස්ටෝම්ය. ඔහුට දරුවන් සිවුදෙනෙකි. අල්මා, ඇස්ට්‍රිඩ්, ඇග්නස් හා ඇල්ෆ්‍රඩ්ය. මේ දරුවෝ අවුරුදු 5 සිට 15 අතර වයසේ පසුවූහ. ෂැංග්‍රිලා හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් ඇන්ඩර්ස්ගේ දරුවන් තිදෙනකු මියගොස් ඇතැයි පැවසුණද ඒ කුමන දරුවන්දැයි හෙළිවී නැත. ප්‍රහාරවලින් මියගොස් ඇති සිය රටේ පුරවැසියන් වෙනුවෙන් වන නීතිමය කටයුතු සඳහා අප රටට පැමිණි, ඉන්දියාවේ සිටින ඩෙන්මාර්ක තානාපති පීටර් ජෙන්සන්ට අනුව තුවාල ලැබ ඇතැයි අනුමාන කරන්නේ මේ බිලියනපතියාය.

“රෝහල්ගතව සිටි පුද්ගලයා ප්‍රතිකාර ලැබ සියරට ගියා. මියගිය අය වෙනුවෙන් කටයුතු කිරීම තානාපති අංශවලට බාරවී තිබෙනවා. පවුලේ රහස්‍යභාවය රකිමින් කටයුතු කිරීම අපේ වගකීම ” යැයි තානාපතිවරයා පවසා තිබිණ.

ඇන්ඩර්ස්ගේ සුන්දර වතුයායන් බොහොමයක් විශාල වනගහනයකින් යුතුය. හතරවටින් කඳුයායවලින් වටවූ එම වතුයායන් ගහකොළ හා සතාසිවුපාවුන්ගෙන් යුතුව තබා ගැනීම මොහුගේ අදිටනය. ස්කොට්ලන්තයේ ඇතැම් පළාත්වල මහා ඝන වනාන්තර යළි ඇති කරමින් වඳවීමේ තර්ජනයට ලක්ව ඇති වනසතුන් සඳහා වාසභූමි ඇති කිරීමේ ව්‍යාපෘතියකට ඔහු අතගසා තිබිණි. ඒ සඳහා වසර 200ක් පමණ ගතවෙතැයි ගණන් බලා තිබේ. වතුයාය දරුවන් සිවුදෙනා අතර බෙදාදී පරිසරය සුරැකීමේ සිය උරුමය ඉදිරියට ගෙනයෑම සඳහා ඔවුන් උනන්දු කරවීමට ඇන්ඩර්ස් අරමුණු කළේ නොබෝදාය. ඒ බව ඇන්ඩර්ස් හා බිරිය සිය සමාගමේ වෙබ් අඩවියේ විවෘත ලිපියකින් සටහන් කර තිබුණේ මෙසේය.

“අපි දෙන්නාත් දරුවනුත් මවුපියනුත් පදිංචිව සිටින මේ නිවෙස හා ඒ මනරම් වටපිටාවත් සමඟ අපට ඇත්තේ දැඩි සබදතාවක්. අපි සැලසුම් කළ මේ ව්‍යාපෘතිය නිම කිරීමට අපගේ ජීවිත කාලයටත් වඩා ගතවිය හැකියි. මෙය අප වෙනුවෙන් පමණක් නොවෙයි ස්කොට්ලන්ත ජනතාව හා ස්වභාව ධර්මය වෙනුවෙන් සිදුවන්නක්. දැඩි කැප කිරීමකින් එම ව්‍යාපෘතිය ඉදිරියට ගෙනයෑම අත්‍යවශ්‍යයි. මිනිසුන් පරිසරයට කළ හානිය වෙනුවට ස්වභාවිකත්වය යළි මතුකිරීම සඳහා අපි නැති කලක මේ ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යෑමට අපේ දරුවන්ට බාරදීමට අදහස් කරමු. අපගේ මරණින් පසු අපේ දරුවන් මේ භාරදූර කර්තව්‍යය ඉදිරියට ගෙනයනු ඇත ”

බෝම්බ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූයේ ඇන්ඩර්ස් සිය උරුමය බාරදීමට අපේක්ෂා කළ දරුවන් සිවුදෙනාගෙන් තිදෙනෙකි.

‘බෙස්ට් සෙලර් ’ නමින් හැඳින්වෙන අන්තර්ජාතික ඇඟළුම් නිමැවුම් ජාලයක හිමිකරුවන ඇන්ඩර්ස් ‘ඇසොස් ’ නමැති යෝධ ඇඟළුම් නිෂ්පාදන සමූහයේ වැඩිම කොටස්හිමියාය. මේ දැවැන්ත මෝස්තර අධිරාජ්‍යය එක් වෙළෙඳ සලකින් 1975දී මුලින්ම ආරම්භ කරන ලද්දේ ඇන්ඩර්ස් ගේ පියා විසිනි. ලෝකයේ ඉතා ඉහළ ගනයේ සන්නාම ගණනාවක හිමිකරුවන ඇන්ඩර්ස් එක් ආයතනයකින් පමණක් පුද්ගලයන් 15000කට අධික සංඛ්‍යාවකට රැකියා සපයයි.

විදෙස් මාධ්‍ය පවසන අන්දමට ඔහු මෙතරම් ධනයක් එක්රැස් කරගෙන ඇත්තේ මීට වසර 12කට පමණ පෙර සිටය. ඔහු මුලින්ම වතුයායක් ලෙස මිලදී ගෙන ඇත්තේ අක්කර 42000කි. දැන් ඔහු සතුව රටවල් 70ක සුපිරි වෙළෙඳ ව්‍යාපාර 3000කට අධික සංඛ්‍යාවක් ඇත. ධනය උපයා ගත්තද ඇන්ඩර්ස් ගත කරන්නේ සරල ජීවිතයකි.

මොහු සිය දරු පවුලට දැඩිව ආදරය කරන්නෙකි. පවුලේ පෞද්ගලිකත්වය සුරැකීමට කළහැකි සියල්ල කරන්නේය. ඩෙන්මාර්ක ජනතාව පවා ඔහුගේ දරු පවුල ගැන එතරම් නොදනී. දැන සිටියේ ඔහු එරට ඔටුන්න හිමි කුමරා හා කුමරියගේ සමීප මිතුරකු බව පමණකි. ඔහු කිසිදිනක පවුලේ සියලු දෙනා එකට සිට ජායාරූප නොගත්තේය. කෙතරම් ධන කුවේරයකු වුව ඔහු සිය දරුවන් යවා ඇත්තේ ප්‍රාදේශීය පාසල් කරාය.

ඉන්දියාවේදී වරක් ඇන්ඩර්ස් කියා වෙනත් පුද්ගලයකු පැහැර ගනු ලැබිණි. දින පහකට පසු තමන්ට වැරදුණු බව දැනගත් කප්පම්කරුවෝ ඒ පුද්ගලයා නිදහස් කර යැවූහ. මෙය ඔහුගේ පවුලට දැඩිව බලපෑවේය.

මේ මහා ධනකුවේරයාගේ දරුවන් අතරින් මියගොස් ඇත්තේ කුමන දරුවන්දැයි මෙතෙක් හෙළිකර නොමැති අතර ඔවුන් මියගොස් ඇති බව පමණක් තහවුරු කර තිබේ. ඒ ගැන තවදුරටත් හාරා ඇවිස්සූ මාධ්‍ය වෙත පවසා තිබුණේ “කරුණාකර, පවුලේ පෞද්ගලිකත්වය සුරකින්න ඉඩ දෙන්න යනුවෙනි ”.

Comments