ජීවි­තේ­ටම එක්කෙ­නයි; එයා එන­තුරු සදා­කල් බලා සිටින ‘ටකා­පුහ්’ | Page 2 | සිළුමිණ

ජීවි­තේ­ටම එක්කෙ­නයි; එයා එන­තුරු සදා­කල් බලා සිටින ‘ටකා­පුහ්’

හොඳින් ඉර පායා තිබුණද වෙරළ දෙසින් හමනා සුළඟ සුවදායකය. වක්වෙවී ඉදිරියට ඇදෙන මඟ එක් පසෙකින් කඳු බෑවුමත් සමඟ ගහකොළෙන් සෙවණ දෙයි. අනෙක් පස ඈතින් දිස්වන්නේ මහ සමුදුරය. ඉහළට ඇදෙන මාර්ගය තැනින් තැන කුඩා කඳුගැට ඔස්සේ වංගු ගැසෙමින් යද්දී පහළින් මුහුදු රළ පෙණ නඟමින්විත් කුඩා ගල්පරවල වැදෙන හඬ ඇසේ.

ඇතැම් තැන්හි දී උඩට විසිරෙන රළ බිඳු මීදුම් පොදක් ගත තැවරුණාක් මෙන් සිසිල සදයි. නවසීන්තයේ උතුරු දිවයිනේ ප්‍රධාන නගරය වන ඕක්ලන්ඩ් සිට අප මේ පිය නඟමින් සිටින්නේ නගරයේ බටහිර දෙසින් පිහිටි මුරුවායි වෙරළ වෙතය. මුරුවායි වෙරළ මුළු ලෝකය පුරාම ප්‍රසිද්ධව ඇත්තේ වසරේ එක්තරා කාලසීමාවකදී එහි කඳු ගැට මුදුන් සිසාරා ලැගුම් ගන්නා පක්ෂි සමූහයක් නිසාය. කඳු ගැටය නැඟ ඉහළට ගොස් වේදිකාවක් මෙන් වූ පියස්සක සිට පහත බලද්දී අප නෙතට දිස්වූයේ සිය ගණනක් නොව දහස් ගණනක් වූ පක්ෂීන් සමූහයක් බිමක විසුරුවා හළ සුදු සහල් ඇට මෙන් ලැග සිටිනා අන්දමය. අපි තවත් ඉහළට නැඟ එතැන වූ කඳු ගැටයෙන් එබී බැලීමු. ඒ දුටු දසුන නෙත් අදහා ගත නොහැකි තරම්ය. අප සිටි තැනට අඩි හතරක් තරම් වූ පහළින් කුඩා වපසරියක එකිනෙකා ළඟින් ලැග සිටියේ ද ඒ පක්ෂීන්මය.

උන් සිරුරින් වැඩුණු තාරාවකු තරම්ය. දිගු උල් හොටයත් හිස පෙදෙස තරමක් කහ පැහැයත් හැරුණුවිට තනිකරම සුදු පැහැතිය. ඉගිළෙද්දී තටුවේ වාටියෙන් පමණක් යන්තම් කළු පැහැයක් දිස්වේ. උන් නැරැඹීම සඳහා පැමිණෙන අයගේ දැන ගැනීම සඳහා අප ඒ මොහොතේ සිටි, ඉබේ තැනුණු කඳු ගැට වේදිකාවේ තැනින් තැන තැනුණු ඵලකයන්හි මේ කුරුල්ලන්ගේ වතගොත සටහන් කර ඇත්තේ අව් වැසි සුළං සියල්ලෙන් ආරක්ෂා වනසේ වීදුරු පුවරුවලින් ආවරණය කරමිනි.

ගැනට් නමින් හැඳින්වෙන මේ පක්ෂීන් එක්තරා ලිහිණි විශේෂයකි. නවසීලන්තයේ ආදි වාසී ජනතාවට අනුව නම් උන් ‘ටකාපුහ්’ය. සංක්‍රමණික පක්ෂි විශේෂයක් වන මේ පක්ෂීන් අගෝස්තු සිට මාර්තු දක්වා අතර කාලයේ ඔස්ට්‍රේලියාවේ සිට මේ රටට පැමි‍ණෙන්නේ බිජු ලෑමටය. ගැනට් පක්ෂීන් ගැන සැවොම කුතුහලයට පත්වන්නේ උන්ගේ පවුල්කෑමේ රටාව නිසාය. උන් මුළු ජීවිත කාලය පුරාම එක්ව කල්ගත කරනුයේ එකම ජෝඩුවක් ලෙසය. ජීවිතය තියෙනතාක් මං නුඹ හැර නොයමියි කියමින් දස අතේ දිවුරා මාසයකින් හෝ වසරකින් දෙකකින් සහකරු හෝ සහකාරිය අත්හැර යන්නට යන මනුසතුන් මෙන් නොව මුන් සැමදාම සිටින්නේ එකටය. උන්ගේ ආයු කාලය වසර 35කි. කිසි ලෙසකින් හෝ සහකරු මඟ හැරුණද යළි පවුල් කෑමට එම සතාම පැමිණෙනතුරු අනෙක් කුරුල්ලා දිවි ඇතිතුරා පෙරමඟ බලා සිටී. එපමණක් නොවේ වසර සිය ගණනක සිට පරම්පරා ගණනක් තිස්සේ උන් කැදලි තනන්නට පැමිණෙන්නේද එකම තැනකටය. විශාල කුරුලු කොලනියක කුරුලු කැදලි සංඛ්‍යාව දස දහස ඉක්මවයි.

කැදලි තනා ඇත්තේ එකිනෙකට ඉතාම සමීපවය. එම කැදලිවලට වී එකිනෙකාගේ ඇඟේ ගෑවෙන නොගෑවෙන තරම් ළඟින් සිටින කිරිල්ලියෝ අල්ලපු ගෙදර අයත් සමඟ කිසිම රණ්ඩුවක් හෝ ආරෝවක් නැතිව සමගියෙන් සිටිති. අප කැදලි ලෙසින් හැඳින්වුවද ඒවායේ කැදලිවල පෙනුමක් නැත. මේ පක්ෂි වර්ගය කැදලි තනන්නට තෝරා ගන්නා කඳු ගැට මත කාලයක සිට තැන්පත්වූ කළු පැහැති සියුම් වැල්ලක් වෙයි. කුරුල්ලා කැදැල්ල තනන්නට පෙර මේ වැල්ල දෙපයින් එහාට මෙහාට කරමින් කුඩා පැතලි වළක් සාදා ගනී. උන් කැදැල්ල තනන්නේ ඒ පැතලි වළේය. මේ කැදැල්ල තනන්නේ කුරුල්ලාය. අත්තටු විදහා පාවෙමින් යන්නාක් මෙන් පියඹාගොස් මුහුදේ පාවෙන පෙඳපාසි හෝ මුහුදු පැළෑටි රැගෙනවිත් එහි පතුලේ අතුරයි. බැලූ බැල්මට නම් අප රටේ කපුටු කැදැල්ලට වඩා තරමක් පිළිවෙළය. කිරිල්ලිය එහි ලැගුම් ගන්නීය.

කඳු ගැට වේදිකාවේ සිට අප, පහළින් පෙනෙන කුරුලු කොලනිය දෙස බලා සිටින්නේ කුතුහලයෙනි. විස්මයෙනි. මුහුදේ හඬත් කුරුලු නාදයයත් හැර වෙනත් හඬක් එහි නැත. නරඹන්නන් සැම උඩ සිට එබී බලා සිටියදීත් උන් උන්ගේ පාඩුවේය. එක කැදැල්ලක කුරුල්ලාත් කිරිල්ලියත් දෙදෙනාම එක ළඟ ලැග සිටිති. තවත් කූඩුවක කිරිල්ලිය තනිව සිටින්නීය. එක් කූඩුවක කිරිල්ලිය සතුටින් හඬ නඟන්නේ කුරුල්ලා හොටෙන් අහරට යමක් ඩැහැගෙන පැමිණෙද්දීය. එක කූඩුවක බිත්තරයක් තිබෙද්දී අනෙක් කූඩුවේ සිටින්නේ පැටියෙකි. එක් එක් කූඩුවේ විවිධ වයසේ පැටවුන් සිටිනු අපි දුටුවෙමු. එකක පුබ්බෝරුවෙකි. තවත් කූඩුවක හොඳින් වැඩුණු පැටවෙකි. ඌ මවු කිරිල්ලිය හොටෙන් ගෙනා අහර හොට දිගු කරමින් ඩැහැ ගනී. තවකෙක සිටියේ මස් වැදැල්ලක්මෙන්වූ එවේලේ බිත්තරයෙන් එළියට ආවාක් වැනි පැටියෙකි. කෙසේවුව මේ සැම කැදැල්ලකටම සිටියේ එක පැටවෙකි. නැත්නම් එක බිත්තරයකි. එය ගැනට් පක්ෂීන්ගේ විශේෂයකි. කිරිල්ලිය වරකට දමනුයේ එක බිජුවකි. එම බිජුව බිඳී ගියහොත් යළිත් මාස හතරකට හෝ පහකට පසු තවත් බිජුවක් දමන්නීය. කිරිල්ලිය දින 44ක් පුරා බිජු රකින්නීය. කුරුල්ලාද ඇයට සහාය වෙයි.

අප එබී බලා සිටියදී එහෙමෙහෙ වූ කිරිල්ලියකගේ තටු යටින් අප දුටුවේ ඇටිකුකුළකුගේ පැහැයට වඩා ළාපැහැයක් ගත් පැටියෙකි. කුරුලු පැටවා ඉපදී වැඩී සම්පූර්ණයෙන් සුදු පැහැ ගැනීමට ටික දිනක් ගතවන බව මා දැන ගත්තේ කුරුලු කොලනිය ගැන විස්තර දන්වා තිබූ පුවරුවෙනි.

බිත්තරයෙන් එළියට ආ පැටව් තටු ඉදී පණ ලැබ ලොකුමහත්වී මාස හතරකට පමණ පසු කූඩුවෙන් පිටතට පැමිණ තමන්ම අහර සොයා ගනිති. ඉන්පසු උන් මවුපියන්ගෙන් වෙන්ව ආපසු ගමනට සූදානම්ය. දින 8 සිට 14ක් තිස්සේ යන ඒ ගමන සැතපුම් දෙදහසක් පමණ දුරය. තස්මේනියානු මුහුද හරහා ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළ තීරය කරා පැටවුන් ඉගිළ යද්දී මවුපිය කුරුල්ලෝ ගිම්හාන හා වසන්ත කාලයත් නවසීලන්තයේම ගත කරති.

වෙනත් රටකට ඉගිළ ගිය තරුණ කුරුල්ලෝද වසර හතරක් හා හයක අතර කාලයකට පසු උන්ගේ මවුපියන් ආවාක් මෙන් බිජු ලෑම සඳහා යළි නවසීලන්තයට පැමිණෙති. අප මේ දකින්නේ එලෙස පැමිණි කුරුලු සමූහයකි. උන් සංඛ්‍යාවෙන් මෙතරම් යැයි කිව නොහැකිතරම්ය. පෙනෙන අන්දමට කුරුලු ජෝඩු ගණන 2000 ඉක්මවයි.

බොහෝ කුරුල්ලෝ සංක්‍රමණික අවදියේ යළි පැමිණ තමා තැනූ පරණ කූඩුවේම ලැගුම් ගනිති. අව් වැසි සුළංවලින් වූ හානි නිසා ඒවා යළි අලුත්වැඩියා කර ගනිති. අලුත් ජෝඩුවක් පැමිණ අලුතින්ම කූඩුවක් තනා හෝ වටපිට බලා පරණ කූඩුවක හෝ තැන්පත් වෙයි. එහෙත් ඇතැම්විට හයිරාම්කාර පරණ කුරුල්ලෙක් පැමිණ එම කූඩුවට අයිතිවාසිකම් කියයි. අලුත් ජෝඩුව උන් සමඟ හැප්පීමට නොගොස් “උඹලාගේනම් උඹලාම ගනිල්ලා” යැයි කියමින් පැත්තකටවී වෙනත් කූඩුවක් තනා ගනී. මුන් තම සහකරුවන් සොයා ගන්නේද මේ භූමියේදීමය. කිරිල්ලිය සහකරුවෙක් සොයමින් අමුතු හඬක් නඟමින් පියාසර කරද්දී කුරුල්ලා හිස ඉදිරිපසට හා පසුපසට දිගු කරමින් ආඩම්බරකාර ඉඟියක් පායි. එකට එක්වූ පසු මුළු ජීවිත කාලයම පාහේ දෙදෙනා එක්ව ගත කරති.

ඇස් පෙනීම තියුණු මේ කුරුල්ලෝ නිතරම මුහුද දෙසට එල්ලය ගෙන සිටිති. මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 45ක උසක සිට වුව උන්ට ගොදුර පෙනේ. ගොදුරක් දුටු සැණින් මීටර් 30ක 40ක උසක සිට පැයට කිලෝමීටර් 100ක වේගයෙන් ගොදුර කරා පහත්වන්නේ රොකට්ටුමෙනි. මුන් දක්ෂ කිමිදුම්කරුවෝය. එහෙත් කිමිදීමට මෙන්ම ආහාර සොයා ගැනීමට වැඩි දස්කම්පාන්නේ කිරිල්ලියන්ය. කිමිදී අහර සොයන වෙනත් කුරුල්ලන්ට වඩා වේගයෙන් ගැඹුරට කිමිදීමේ හැකියාව ඇති ගැනට් කුරුල්ලෝ මීටර් 15ක් ගැඹුරට කිමිදී මසුන් ඩැහැ ගනිති. එපමණක් නොව මාළුන් ඩැහැගැනීමට ධීවර බෝට්ටු පසුපස යෑමට ද උන් දක්ෂය. ගැනට් යන ඉංග්‍රිසි වදන හැදී ඇත්තේ ‘කෑදරයන්’ යන වදනට සමාන අරුත් දෙන වදනකිනි. මේ කුරුල්ලෝද කෑදරයෝය. උන්ට ඉතා විශාල මාළු ප්‍රමාණයක් ගොදුරු කර ගතහැකි මහාපරිමාණ ආහාර රුචියක් ඇත්තේය.

නවසීලන්තය මේ කුරුල්ලන් සලකනුයේ තමන් ලද සම්පතක් ලෙසය. උන් දැකීමට එන අයට පහසුකම් සලසමින් උන් ගැන තොරතුරු සපයමින් නරඹන්නන් දැනුම්වත් කරන්නේය. කුරුල්ලන් නැරැඹීමට ස්වභාවිකව තැනුණු කඳුගැට වේදිකා අසල නරඹන්නන්ගේ ආරක්ෂාවට ලී වැටවල් සවිකර තිබේ. ඒ තැන්වල කුරුල්ලන්ට කෑම විසි කරන කිසිවකු හෝ ප්ලාස්ටික් බෝතල් ඉටි උර හෝ හිස් බෝතල් කෝප්ප දමා බිම අපවිත්‍ර කර තිබෙනු හෝ අපි නොදුටුවෙමු. 

Comments