අලු­තෑ­පොල ගණේ­කන්ද විහා­රයේ හැදුණු තනි ගසකින් නෙළූ ලොව විශා­ල­තම දැව­මය‍ සැත­පෙන බුදු පිළි­මය | Page 4 | සිළුමිණ

අලු­තෑ­පොල ගණේ­කන්ද විහා­රයේ හැදුණු තනි ගසකින් නෙළූ ලොව විශා­ල­තම දැව­මය‍ සැත­පෙන බුදු පිළි­මය

මිනුවන්ගොඩට ආසන්න අලුතෑපොල ගණේකන්ද රජමහා විහාරය වසර සිය ගණනකට උරුමකම් කියන ඓතිහාසික රජමහා විහාරයකි; සුන්දරත්වයෙන් අනූන පරිසරයක පිහිටි පූජනීය ස්ථානයකි. ශ්‍රී ලාංකීය රාජවංශයේ 19 වැනි රජතුමා ලෙස සැලකෙන වලගම්බා රජතුමාට රජකමට පත්වී රට පාලනය කිරීමට ලැබුණේ මාස 5 ක් වැනි ඉතා කෙටි කාලයක් පමණි. ඒ; චෝල හෙවත් ද්‍රවිඩ ආක්‍රමණ නිසා ය.

රජකම අතහැර පලාගිය වලගම්බා රජතුමා වාසය කළේ වනගතවය. රට පුරා පිහිටි ගල්ලෙන් ආශ්‍රිතවය. එසේ රට පුරා සැඟව සිටිමින් සේනා සංවිධානය කරමින් චෝලයන්ට විරුද්ධව සටන් කළ වලගම්බා රජතුමා ක්‍රි.පූ. 89 දී දාඨිය නම් චෝල පාලකයා පරදවා අනුරාධපුරය රාජධානිය කොටගෙන නැවත රට පාලනය කිරීම ආරම්භ කළේ ය. වලගම්බා රජතුමා සැඟව සිටි රට පුරා පිහිටි ලෙන් පසුකාලීනව මහා සංඝරත්නය වැඩ වසන පූජනීය ස්ථාන බවට පත්විය. වත්මන් අලුතෑපොල ගණේකන්ද රාජමහා විහාරස්ථානය ද අතීතයේ වලගම්බා රජතුමා සැඟව සිට සේනා සංවිධානය කළ ලෙනක් සහිත විහාරස්ථානයක් ලෙස සැලකුම් ලබන්නේ ප්‍රදේශයට ඉමහත් ගෞරවයක් එක් කරමිනි.

වලගම්බා රජතුමා සැඟව සිටියා යැයි සැලකෙන ලෙන තුළ අද තිබෙන්නේ රමණීය විහාර මන්දිරයකි. ඒ තුළ ඉතා විශාල සැතපෙන ‍ බුදු පිළිම වහන්සේ නමක් ද තවත් ඉපැරැණි පිළිම වහන්සේ රාශියක් ද වැඩ හිඳිති. වලගම්බා රජු ස්නානය කළා යැයි සැලකෙන පොකුණ අදත් හොඳින් සංරක්ෂණය කර ඇත.

අලුතෑපොල ‍ගණේකන්ද රජමහා විහාරය සතු මෙම ඓතිහාසික වටිනාකම තවත් වැඩි කරමින්, දැවයෙන් නිර්මාණය කළ සැතපෙන බුදුපිළිම වහන්සේ නමක් විහාරස්ථානයේ කඳු මුදුනෙහි ගල්තලාව මත ස්ථාපිත කිරීමට මේ වනවිට සියලු කටයුතු සූදානම්කර ඇත. තනි දැව කොටයකින් මනරම් ලෙස නිර්මාණය කර තිබෙන මෙම සැතපෙන බුදු පිළිම වහන්සේ දිගින් අඩි 17 ක් වන අතර උසින් අඩි හතර හමාරක් පමණවේ.

මේ බුදුපිළිම වහන්සේ ලොව විශාලතම දැවයෙන් නිර්මිත සැතපෙන බුදුපිළිම වහන්සේ යැයි මහාචාර්ය නැදලගමුවේ ධම්මදින්න හිමියෝ පවසති.

බෞද්ධ ජනතාවගේ චිත්තප්‍රසාදය ඇතිවන ආකාරයට දැවයෙන් සැතපෙන බුදුපිළිම වහන්සේ නමක් ගණේකන්ද රජමහා විහාරයේ ස්ථාපිත කිරීම සුදුසු බවට මුලින් ම අදහසක් පළ කළේ ගණේකන්ද රජමහා විහාරාධිපති කැලණිය විශ්වවිද්‍යාලයේ විදේශ භාෂා අධ්‍යයන අංශයේ මහාචාර්ය නැදලගමුවේ ධම්මදින්න හිමිපාණන්ය. ඒ 2013 වසරේ ය. උන්වහන්සේ තම සිතිවිල්ල සමීපතම දායක දායිකාවන් කීපදෙනෙකුට දැන්වී ය. ඔවුන් එම අදහස අනුමත කළේ විහාරාධිපති හිමියන් තව තවත් දිරිමත් කරමිනි. ධම්මදින්න හිමියන් තම අදහස කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය මාලිංග අමරසිංහ මහතාට දැන්වූයේ මෙම පිළිම වහන්සේ ඉතා නිවැරැදි අයුරින් සජීවී ලෙසින් නිර්මාණය කිරීමට අවශ්‍ය උපදෙස් ලබාගැනීම සඳහා ය. ඉන්පසුව ඔවුන්ට අවශ්‍ය ව‍‍ූයේ මෙවැනි නිර්මාණයක් කිරීමට හැකියාවක් ඇති නිර්මාණකරුවකු සොයා ගැනීමට ය. ඒ සඳහා වඩාත්ම සුදුසු පුද්ගලයා ලෙස දිවුලපිටිය මඩම්පැල්ල ප්‍රදේශයේ පදිංචි කැටයම් නිර්මාණකරුවකු වන ජයන්ත සරත්කුමාර මහතා තෝරා ගැනිණි. ඒ අනුව ලොව විශාලතම දැවමය සැතපෙන බුදුපිළිම වහන්සේ නිර්මාණය කිරීමේ බාරදූර කාර්ය සරත් කුමාර මහතාට පැවරිණි. ඉන්පසුව මෙම කණ්ඩායම රටපුරා පිහිටි කළු ගලෙන් මෙන් ම බදාමයෙන් ද නිර්මාණය කළ පිළිම වහන්සේ දැක බලා ගනිමින් ඒවා අධ්‍යයනය කිරීමේ චාරිකාවක යෙදුණේ ය. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ වැඩ හිඳින අවස්ථාව දැක්වෙන සැතපෙන පිළිම වහන්සේ මෙන්ම වෙනත් ආකාරවලින් නිර්මාණය කරන ලද සැතපෙන පිළිම වහන්සේ රැසක් ම නිරීක්ෂණය කිරීමට මෙම කණ්ඩායමට හැකි විය. මහාචාර්ය ධම්මදින්න හිමියන් ඇතුළු පිරිසට අවශ්‍ය වූයේ බුදුරජාණන් වහන්සේ සජීවී ලෙස සැතපෙන ආකාරයේ පිළිම වහන්සේ නමක් නිර්මාණය කිරීමටය. රටපුරා කළ සංචාරයෙන් ඒ සඳහා තොරතුරු රැසක් ම එක් රැස්කර ගැනීමට ධම්මදින් හිමියන් ඇතුළු පිරිසට හැකිවිය.

මීළඟට පැන නැගුණු ගැටලුව වූයේ මේ සඳහා සුදුසු ලී කොටයක් සොයා ගැනීම ය. තම තමන්ගේ සබඳතා මඟින් රට පුරා සිටින විවිධ පුද්ගලයින් දැනුම්වත් කොට මේ සඳහා උදව් පැතීමට බුදුපිළිමය නිර්මාණ කණ්ඩායම කටයුතු කළේ ය.

මෙසේ කාලය ගතවෙද්දී 2015 වසරේ එක්තරා දිනෙක ධම්මදින්න හිමිපාණන් වෙත පණිවිඩයක් ලැබිණ. පිළිම වහන්සේ නෙළීමට සුදුසු ලී කොටයක් හෝමාගම ‘සොමිරිච්’ ලී වෙළෙඳ සලේ ඇති බව ය. ධම්මදින්න හිමි ඇතුළු කණ්ඩායම වහා එතැනට ගියහ. එය ‘පාරි මාර’ නම් විශාල මාර ගසක කඳකි. උස අඩි 5 ½ ක් ද අඩි 18 ක් පමණ දිගින් ද යුතුවූ මෙම ලී කොටය පිළිම වහන්සේ නෙළීමට සුදුසු බව නිර්මාණ කණ්ඩායමට අවබෝධ විය. ඒ අනුව එම ලී කොටය මිලදී ගත්තේ ය.

මීළඟ අභියෝගය වූයේ හෝමාගම සිට මෙම ලී කොටය අලුතෑපොලට ප්‍රවාහනය කිරීමය. විවිධ යෝජනා මතු වුව ද අවසානයේ තීරණය කළේ යුද ටැංකි ප්‍රවාහනය කරන ආකාරයට මෙම කොටය ප්‍රවාහනය කිරීමටය. ඒ සඳහා පිටිපන ප්‍රාදේශීය‍ ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ සහාය නොඅඩුව ලැබුණේ ය. දැඩි පරිශ්‍රමයකින් අනතුරුව හෝමාගම සිට අලුතෑපොල ගණේකන්ද විහාරස්ථානයට ලී කොටය ප්‍රමාණය කිරීමට හැකි විය. ඉන්පසුව සරත්කුමාර මහතාට පැවරුණේ සුළු පටු වගකීමක් නොවේ. ඒ මෙම ‘පාරි මාර’ ලී කොටය බුදුරජාණන් වහන්සේ සජීවීව සැතපී සිටින ආකාරයේ සැතපෙන බුදුපිළිමයක් ලෙසින් නිර්මාණය කිරීමය. මෙම වගකීම සුළුපටු නොවන්නේ මෙය නිර්මාණය කළ පසු එය ලොව විශාලතම සැතපෙන දැවමය සැතපෙන බුද්ධ ප්‍රතිමාව ලෙස ඉතිහාසයට එක්වන බැවිනි. ලොව සුපතළ වන බැවිනි.‍

සරත්කුමාර මහතා මෙම කටයුත්ත ආරම්භ කළේ ඓතිහාසික වූත් ගෞරවනීය වූත් නිර්මාණ කටයුත්තක නිරතවීමේ හැඟීමෙනි‍. මෙහිදී මහාචාර්ය මාලිංග අමරසිංහ මහතා තම දැනුම නොපැකිළව ලබාදෙමින් සරත්කුමාර මහතාට විශාල සහායක් ලබාදුන්නේය. බුදුපිළිමය නිර්මාණය කිරීමේදී පොලොන්නරු යුගයේ බුදුපිළිමවල ලක්ෂණ බහුලව භාවිතා කෙරිණි. නිර්මාණ ශිල්පියා සැමවිටම උත්සාහ කළේ නිර්මාණයේ සජීවී බව ආරක්ෂා කිරීමටය.

දැවමය සැතපෙන බුදුපිළිම වහන්සේ ගණේකන්ද රජමහා විහාරස්ථානයේ කඳු ශිකරයේ ඉදිකෙරෙන පිළිම ගෙයක තැන්පත් කිරීමට බොහෝ දෙනෙකුගේ අදහස මත තීරණය විය. කඳු මුදුණේ පිළිම ගෙය නිර්මාණය කිරීම ඇරඹුණේ ඒ අනුවය. එය දැවමය පිළිමය නිර්මාණය කරනවා මෙන් ම දැවැන්ත කටයුත්තක් විය. ඒ සඳහා නොපැකිළව ඉදිරිපත් වූයේ අලුතෑපොල ගණේකන්ද රජමහා විහාරස්ථානයට සම්බන්ධ දායක පින්වතුන් ය. අව්වැසි හා දිවා රෑ නොබලා බාල මහලු වයස් භේදයකින් තොරව ඔවුහු මේ කර්තව්‍යයට උර දුන්හ. ගඩොලින් ගඩොල කඳු මුදුනට ගෙන යමින් සිමෙන්ති කොට්ටය තුන් හතර දෙනෙක් රැගෙන යමින් දායක වූහ.‍ එහි ප්‍රතිඵලයක් ලෙස ඉතා මනරම් පිළිම ගෙයක් ගණේකන්ද රජමහා විහාරස්ථානයේ කඳු මුදුණේ නිර්මාණය විය. පිළිම ගෙය අසල සිට හාත්පස බලන විට සැතපුම් ගණනාවක් දුරට පෙනෙන්නේ තුරු මුදුන් ය. එය ඉතා මනරම් දසුනකි.

මේ වනවිට දැවමය පිළිමයේ වැඩ කටයුතු අවසන් ය. එහි ඇති කැටයම්, ලියකම් දෙස බලන විට පෙනී යන්නේ නිර්මාණ ශිල්පී සරත්කුමාර මහතා සතු ප්‍රතිභාවය.

ලොව විශාලතම සැතපෙන දැවමය බුදුපිළිමයේ නේත්‍රා ප්‍රතිස්ථාපනය සහ මහජනයාට දැකබලා ගැනීමට නිරාවරණය කිරීම අප්‍රේල් මස 30 වැනිදා සවස 5 ට පමණ සිදු කිරීමට නියමිත ය. මෙහිදී චිරාගත වත් පිළිවෙත් සියල්ල අනුගමනය කෙරෙනු ඇත. මෙම ‍උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමාත් සහභාගි වීමට නියමිත ය.

 

Comments